Tuesday, September 10, 2013

සැඳෑ සක්මන




මේ සාහිත්‍ය මාසය නිසා මා විසින් රචිත විශේෂ කෙටි කතාවක් ඉදිරිපත් කරන්න හිතුවා.
 
අඳුර මුළු පරිසරය ම ගිල ගනිමින් තවත් දිනයක් අවසන් කිරීමට අර අඳියි. අම්මා ගෙයි උළුවස්සට බරදීගෙන තාත්තා පැමිණෙන තුරු මාවත දෙස බලා සිටින්නී ය. හිරු අවරට හැරී දෙහෝරාවක් ගියත් තාත්තා තවම ගෙදර පැමිණ නැත. අම්මා, තාත්තා එනතුරු පෙරමග බලා සිටින්නේ ජීවිතේ පළමුවරට තාත්තා ප්‍රමාද වී ගෙදර පැමිණෙන්නා සේ ය. කාර්යාලයේ වැඩ අධික වූ සමහර දිනවල තාත්තා ප්‍රමාද වී පැමිණීම අප කාටත් අරුමයක් නොවේ.
“ලොකු පුතේ.... පාරට ගිහින් බලපන් තාත්තා මොකද පරක්කු කියලා.“ වෙනදාට තාත්තා ප්‍රමාද වනවිට අම්මා මෙලෙස නොකීවා ය.
“තාත්තා එයි අම්මේ. තවම වෙලාව අටයිනෙ.“ දවසේ දස පැයක්ම ටියුෂන් පන්තියේ ගත කර නිවසට පැමිණි මගේ සිතට මෙන්ම ගතට ද දැනුනේ මහත් විඩාවකි. ටියුෂන් පන්තියේ විෂය භාර ගුරුතුමා ශබ්ද විකාශන යන්ත්‍රයෙන් බෙරිහන් දෙන හඬ තවමත් මා දෙසවන දෝංකාර දෙන්නේ වැස්සට පෙර ඇසෙන ගෙරවුමක් ලෙසිනි. විභාගය අත ළඟට ඇවිත්. මම භූගෝල විද්‍යාව පොත අතට ගතිමි. කලා විෂයන් අතරින් භූගෝල විද්‍යාව මට දිරවන්නේ ම නැත. එක එක මිණුම් දඬුවලට හැඩතල ඇඳීම හරියට වහකඳුරු වගේ. කොහොම නමුත් අසමත් නොවී සාමාන්‍ය සමාර්ථයක්වත් ලබාගෙන මුළු විභාගයම ගොඩදා ගැනීම මාගේ ඒකායන පරමාර්ථයයි.
“අනේ... පුතේ පොඩ්ඩක් පාරට ගිහින් බලන්න තාත්තා මොකද පරක්කු කියලා.“ මව නැවතත් ඇවටිලි කළා ය. වෙනදාට නැති නොසන්සුන් බවක් ඇගේ වතෙන් පහළ වී තිබේ. චණ්ඩ මාරුතයකට අසුවී කැළඹෙන මහා සාගරය මෙන් මවගේ සිතුවිලි ද හොඳටම කැළඹී තිබේ.
කාමරයට ගිය මා කමීසයක් ඇඟලාගෙන එළියට ආවේ ආම්මාගේ ආයාචනාව ඉවතලන්න බැරි ම තැන ය.
පාරට යෑමට මා උළුවස්සෙන් එළියට බැස්සා පමණි වේගයෙන් පැමිණි වෑන් රථයක් මහ හඬ නගා ගේට්ටුව අසල දී තිරිංග තද කළේ ය. අම්මා සිටිවන ම සිට ඇඟිලි තුඩුවලින් ඉස්සෙමින් වාහනය දෙස බලන්නට වූවා ය. රථයෙන් බිමට බට රියැදුරා ඉක්මන් ගමනින් විත් රථයේ දොර විවර කළේ ය. ඉන් බිමට බැස්සේ තාත්තා ය. තාත්තා පැමිණ ගේට්ටු පළු දෙකෙන් එකක් හොඳින් විවෘත කළේ ය. රථයේ අසුනක් මත තිබූ විශාල පෙට්ටියක් රැගත් රියැදුරා නිවස දෙසට මහත් අසීරුවෙන් පිය නගන්නට විය. පෙට්ටිය තරමක් බර යැයි හැඟුන නිසා මම ද ගොස් ඔහුට සහාය වීමි. පෙට්ටිය ගෙනැවිත් මැද සාලයේ තැබූ රියැදුරා තාත්තා සමග කතා කර පිටව ගියේ ය. තාත්තා බොහෝ සෙයින් පීඩාවට පත්ව ඇතැයි මට සිතේ.
ගතට දැනෙන තෙහෙට්ටුවට විවේකයක් ලබාදීමට තාත්තා අසුනකට බර වූයේ ය.
“උත්සවේ ජයටම යන්න ඇති.“ ජලය පිරි වීදුරුවක් රැගෙන පැමිණි මව එය තාත්තා අත තබන ගමන් ඇසුවා ය. තාත්තා උත්සවේ ගැන තොරතුරු අම්මා සමග පැවසුවේ ඉතා උදාසීනව ය. අද ඔහුගේ සිතේ මුල්ලක සැඟවුණු කුමක්දෝ දොම්නසක් මට පෙනෙයි. වෙනදාට කෙතරම් මහන්සි වී පැමිණියත් තාත්තා සිටියේ සැහැල්ලුවෙන් සහ ප්‍රබෝධයෙනි.
මුළුතැන්ගෙයි හොද්දක් පිසිමින් සිටි ලොකු අක්කා එළියට පැමිණියේ තාත්තා පැමිණ මද වෙලාවක් ගතවූ තැන ය. ඒ වනවිට තාත්තා හුනස්නෙන් නැගිට ඇඟපත දොවා ගැනීම පිණිස ගොස් සිටියේ ය. මේසය මත වූ පාර්සලය දුටු ලොකු අක්කා මහත් උද්දාමයෙන් එය විවෘත කරන්න විය. මාත්, අම්මාත් පාර්සලය වටා රොක්ව පාර්සලය ලිහන්නට වූයේ කෑමකට ගිජුව පොරකන උකුස්සන් රැලක් පරිද්දෙ නි. පාර්සලය තුල ඇති දෑ දැකබලා ගැනීමට අප කාටත් ඉවසිල්ලක් නැති විය. මෙතරම් සීරුවෙන් විවෘත කළ පෙට්ටිය තුළ වූ දෑ දුටු මවගේ මුහුණ අඳුරු වලාවකින් වැසී යන්නට විය.  “ අයියෝ මේ මොනව ද?“ කියන්නා සේ ඇය මගේත්, ලොකු අක්කාගේත් මුහුණු දෙස මාරුවෙන් මාරුවට බැලුවා ය. අම්මා අකමැති වුවත් ඒ තුළ ඇති දේවල්වලට මාත් අක්කාත් බෙහෙවින් ඇළුම් කළෙමු. අක්කා පෙට්ටිය තුළට අත දමා, තිබෙන්නේ මොන මොනවද කියා සැක හැර ගනු පිණිස එහාට මෙහාට පෙරළ පෙරළා බලන්නේ හැඳි ගාන හොද්දක් විලස ය. හොදි හැඳි ගෑම අක්කාට මනා හුරු පුරුදු කාර්යයක් බැවින් එම විශාරද හැකියාව උපයෝගී කරගෙන පෙට්ටිය තුළ වූ බඩු එහාට මෙහාට පෙරළමින් බලන්නට විය. තම සිතැඟියාවන් ඉටු නොවූ කල අම්මා හෙමින් සීරුවේ එතැනින් ඉවත්ව ගියාය. ඇය බලාපොරොත්තුවන්නට ඇත්තේ හොඳ පිඟන් කෝප්ප සහිත වටිනා තෑගි පාර්සලයක්ය කියා විය හැක. එහෙත් මෙය වසරක් ගෙවෙන තැන විවිධ තරාතිරමේ ප්‍රභූවරුන් වෙනුවෙන් සකසන තෑගි පාර්සලයක් නැතහොත් දන්න සිංහලෙන් කියතොත් “හැම්පර්“ එකක් විය.
“කෝ... පොඩි කෙලී?“ ඇඟපත දොවාගත් තාත්තා ගෙට ගොඩවෙමින් විමසී ය.
“ඔය හිසේ ඇම්මයි කියලා නිදාගෙන ඉන්නේ.“ පෙට්ටිය තුළ වූ හොඳ පිරිපුන් කජු පැකට්ටුවක් අතට ගත් ලොකු අක්කා එය ඒ මේ අත පෙරළමින් පැවසුවා ය. කජු පැකට්ටුව සොයාගත් අක්කා තරඟයකින් ජයගත් වීරයකු ලෙස මා දෙස බලා සිනහවක් පෑවා ය. කාමරයට ගොස් කමිසයක් ඇඟලාගෙන පැමිණි තාත්තා ආලින්දයේ වු සුවපහසු අසුනක හිඳගත්තේ ය. තමා ලැබුණ තැගි පාර්සලය කෙබඳු එකක් ද කියා නිකමටවත් ඇසීමට තාත්තා ට උවමනාවක් නොවී ය. ඔහුගේ හිත ඊට වඩා බරපතල ප්‍රශ්න රාශියකට මැදිව ඇතුවා සේ කල්පනා කරන්නට විය. තෑගි පාර්සලය පෙරළු මගේ අතට ද වටිනා අල බැදුම් බැරලයක් අසුවුණි. එය සොයාගත් මාත් අක්කා දෙස බලා සිනහසුනේ තරඟයේ දෙවැනි තැන ලැබුවා සේ ය. එහෙත් මාත් අක්කාත් තවම තරඟය අතහැර නැත. අපි එකිනෙකා පරයමින් පාර්සලය තුළ වූ වටිනා දෑ සොයා ගැනීමට සීතල යුද්ධයක යෙදී සිටියෙමු. අම්මා තේ කෝප්පයක් රැගෙන තාත්තා වෙත පිය මැන්නා ය.
“ දෙනවත් වෙලා වැදගත් දෙයක් දෙන්න එපැයි“ ලද දෙයින් සතුටට පත් නොවූ අම්මා  නෝක්කාඩුවට මෙන් තාත්තා සමග පැවසුවා ය. තාත්තගෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි.
“සිරී... ඔයාට දැන් තියෙන්නේ හොඳ ප්‍රයිවට් ෆර්ම් එකක ජොබ් එකක් හොයාගන්න“
තැග්ග සම්බන්ධ කතාවට තාත්තගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණ නිසාදෝ අම්මා වෙනත් මාවතක් ඔස්සේ තාත්තව කතාවට පටලව ගන්න මහත් වෙහෙසක් දැරුවා ය.
“ළමයිනේ ඔන්න ඔහේ තියෙන දෙයක් දීපල්ලා මටත් කන්න“ මම මගේ අතේ වූ බැරලයෙන් අල බැඳුම් කිහිපයක් ගෙනගොස් දුනිමි.
වැඩි කතා බහකින් තොරව එදින දවස ගෙවී ගියේ ය. මව කිහිප විටක්ම තාත්තව කතාවට ඇද ගන්න උත්සහ කළත් ඒ සෑම උත්සහයක් ම ව්‍යර්ථ විය.
ඇඳට වැටුණු සැනින් ම නිදි දෙව්දුව මා තුරුලට ආවේ ඇඟේ තිබෙන කෙඩෙත්තු ගතියට ය.
තද නින්දක පසු වූවත් උදයේ අම්මා මුළුතැන්ගෙයි කරන සද්ද බද්දවලට මට ඇහැරුණි. විභාගෙත් අත ළඟ බැවින් අවදි වූ මා මුව සෝදාගෙන අම්මා සාදා තිබූ තේ කෝප්පයක්ද රැගෙන ආවේ පාඩම් කිරීමේ අදහසිනි. වෙනදාට කාර්යාලයට යාම සඳහා උදෑසනින්ම අවදිවන තාත්තා අද තවමත් නිදි ය. පෙර දින මධ්‍යම රාත්‍රිය වනතුරුම ඔහු ඇහැරගෙන කල්පනාවෙහි නිමග්නව සිටින අයුරු මා දුටුවේ මගේ පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා රෑ මැදියමේ අවදි ව කාමරෙන් පිටතට පැමිණි විට ය.
අද දින ටියුෂන් පන්ති නැති නිසා නිවසට වී පාඩම් තිරීමට අදහස් කළෙමි. ලොකු අක්කාත් පොඩි අක්කාත් සුපුරුදු ලෙසින් තම රැකියා සඳහා පිටව ගිය පසු නිවස ඉතාමත් නිශ්ශබ්ද ස්ථානයක් විය. කාමරයේ එක දිගට සිටීම කම්මැලි සහගත ක්‍රියාවක් වූයෙන් මම පොත් ටිකත් රැගෙන සාලයේ මහ මේසය අසලට පැමිණියෙමි.
අවුරුදු ගණනාවක්  නිරතුරුව ම තමාත් සමග කාර්යාලයට ගිය හම් බෑගය අතට ගත් තාත්තා කාමරෙන් පිටව මිදුලට බැස්සේ අනෙක් අතින් රෙදි කඩක් ද රැගෙන ය. ඔහු අතට ගත් රෙදි කඩෙන් බෑගයේ අස්සක් මුල්ලක් නෑර පිස දමන්නට විය. කුණු පැල්ලම් වැදුණු තැන් හොඳින් පිස දමමින් ඒ මේ අත හරවමින් බෑගය දෙස හොඳින් බලන තාත්තාගේ මුහුණ පශ්චත්තාපයකින් පිරී ඇත. කාලයක් තිස්සේ ළඟින් ඇසුරු කළ හොඳ මිතුරෙකු තමා අතහැර යනවා වැනි හැඟීමක් ඔහු සිත තුළ ඉපිද ඇතුවා සේ ය. සැලකිය යුතු කාලයක් බෑගය සමග කාලය ගෙවූ ඔහු අවසන එය රැගෙන සෙමින් සෙමින් කාමරය වෙත පිය මැන්නේ ය. ඇඳෙහි එළන ලද පත්තර පිටු කිහිපයක් මත තැබූ බෑගය ඉන් ආවරණය කර බිත්ති අල්මාරියේ සුරක්ෂිතව තබා යතුරුලෑවේ සොර සතුරෙකුට තබා කුරා කූඹියෙකුගේවත් ඇස නොගැටෙන පරිද්දෙනි.
කාමරයෙන් පිටතට පැමිණි තාත්තා ගෙයි දොරකඩින් මිදුලට බැස්සේ අරමුණකින් තොරව ය. ඔහුගේ හිත හිස්ව ගොස් කුමක්දෝ සැඟවුණ පාළුවකින් හා තනිකමකින් ඒ හිත වෙළාගෙන තිබෙන බවක් පෙනේ. ඔහු කවදත් තම රාජකාරිය කැපවීමෙන් අකුරටම ඉටුකළ රාජ්‍ය සේවකයෙකි. දේවකාරියටත් වඩා ඉහළින් රාජකාරිය ගැන සැලකුවේ ය. වයස අවුරුදු හැට වෙනකම් සේවය දීර්ඝ කරගැනීමටය හැකියාව තිබුණත් ඔහු කවදාවත් එවැන්නකට උත්සාහ දැරුවේ නැත. තම සේවා කාලය දික්කර ගන්නා මෙන් අම්මා විටින් විට තාත්තා වටේ කැරකෙමින් පොඩි දරුවෙක් තමා ආශා කරන දෙයක් ඉල්ලා කරදර කරන්නා සේ ඇවටිලි තරනවා මම දැක ඇත්තෙමි. තාත්තට දියුණු වීමේ අවස්ථා තිබුණ ද ඔහු එවැනි ක්‍රියාවන්ට නොපෙළඹුණේ ය. තාත්තා සාමාන්‍ය නිවසක ජීවත් වන විට ඔහුගේ බොහෝ මිතුරෝ විශාල මන්දිරවල විරාජමානව ජීවිතය ගෙනයන්නට වූහ. ඉඳහිට යෙදෙන අතිකාල සේවයෙන් වැඩිපුර කීයක් හරි සොයාගත්තා විනා වැඩි මුදල් පසුපස හඹා නොගියේ ය. තාත්තාගේ මේ අත්තනෝමතික ක්‍රියා මවගේ දෝෂාරෝපණයට ලක් වූ අවස්ථා එමට ය. පදේ තාලෙට නටනවා විනා නටන තාලෙට පද අල්ලන්න එපා යැයි ඈ නිතර නිතර පැවසුවා ය
මිතුරන්ගෙන් පිරී ඉතිර ගිය ඒ අපූරු සුන්දර ලෝකය දැන් ඔහුට අකැප ය. කාලයත් සමග සිදුවන වෙනස්කම්වලට අප කා හට වුව ද මුහුණදීමට සිදුවෙයි. එය ස්වභාව ධර්මයාගේ නියමයකි.
අක්කලා දෙන්නාගේ අනාගතය, මගේ අනාගතය තාත්තාගේ හිසට මහ මෙරක බර මෙන් දැනෙනවා ඇති. සමහර විට අම්මා විසින් නිතර නිතර කියන ලද බෙර පද තාලේ හඳුනා ගන්නට බැරිවීම ගැන තාත්තා දැන් පසුතැවිලි වන්නේවත් ද?      
2006 වසරේ සංස්කෘතික හා සන්නිවේදන ආයතනය මගින් මෙහෙය වූ, සමස්ත ලංකා නිර්මාණ සම්මාන කෙටිකතා තරඟ සම්මාන හිමි.
2009-01-06 දින ලංකාදීප විමංසා කෙටිකතා සංග්‍රහයේ පළ වීම සහ විමංසා කෙටිකතා ග්‍රන්ථයේ පළ වීම.

10 comments:

  1. අන්න ඒකනේ බං කියන්නේ.. මට කියවන කොට මේක මාර විදියට හුරු ගතියක් දැනුනා.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඇයි දේශක කලින් මේ කතාව කියවලා තියෙනව ද?

      Delete
    2. ඔව් නේන්නං තරු. මට ඒක තේරුනා. ඔබ අර පසු ලියපු එක නොදැම්මත් මම ඒක කියන්න හිටියේ..

      Delete
    3. සතුටුයි. එහෙනම් විමංසා කෙටි කතා පොත දේශක ළඟ ඇති, කතාව ඔච්චරටම මතක හිටින්න.

      Delete
  2. ඉතාම සංවේදී නිර්මාණයක් තරු, කෝ නෙතු අද්දර ..?

    ReplyDelete
    Replies
    1. අවංක මිනිස්සුන්ගේ ජීවිත කතා මේ වගේ තමයි ඉවාන්. මගේ තාත්තගේ චරිතය තමයි ඉවහල් උනේ මට මේ නිර්මාණය ගොඩනගන්න. එනවා එනවා නෙතු අද්දර මීළඟ.

      Delete
  3. හොඳට හුරුපුරුදු ගතියක් දැනුනා...අන්තිමටයි දැනගත්තෙ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලප අයියේ....

      Delete
  4. Anonymous13/9/13

    කතා තේමාව මටත් පෞද්ගලිකව දැනෙනවා. ඔච්චර දක්ෂකමක් තියාගෙන ඇයි නොලියන්නේ? චිත්‍රය කාගෙද?

    ReplyDelete
    Replies
    1. මුලින්ම තරු අරණට සාදරයෙන් පිළිගන්නවා. ස්තූතියි අරුණ. ඇත්තෙන්ම ලියන්න නම් පුදුම ආශාවක් තියෙන්නේ. මම දැනටමත් ලේඛන ක්ෂේත්රනයට පිවිසිලයි ඉන්නේ. කෙටි කතාවක් හෝ නව කතාවක් ලියන්න කාලය සහ හොඳ සංයමයක් තියෙන්න ඕන. මගේ මුල්ම නව කතාව ලබන අවුරුද්දේ එළි දැක්වීමට බලාපොරොත්තුවෙන් ඉන්නේ. කතා ලිවීමට ඇති කැමැත්ත නිසාමයි බ්ලොග් එකක් පටන් ගත්තේ. ඒත් මේවායේ පල කරන්නේ ක්ෂණික නූඩ්ල්ස් වැනි කතා. ඒවායේ ප්රවමිතිය මදි.
      දිගටම රැදෙන්න ආරාධනා....!

      Delete