Showing posts with label නෙතු අද්දර - 34. Show all posts
Showing posts with label නෙතු අද්දර - 34. Show all posts

Tuesday, June 10, 2014

නෙතු අද්දර - 34

දින සති මාස ගෙවීගොසින් කේෂිණී මගෙ නංගිත් සුරංගත් අතිනත ගන්නා සුභ දිනය උදා විය. මම නංගිව හැඩ ගන්වන කාමරයට ගියෙමි. සුරංගනාවියක් වගේ හැඩගැන්වී සිටින නංගිව දැකීමෙන් මගේ සිතට ඇති වූයේ අප්‍රමාණ සතුටකි.
“නංගී.... ඔයා අද හරිම ලස්සනයි කෙල්ලෙ. හරිම ලස්සනයි.“
මා එසේ කියද්දී ඈ ලැජ්ජාවෙන් මෙන් සිහින් සිනහවක් පෑවා. මම ඇගේ වත දිහා බලාසිටියේ උතුරා යන සහෝදර සෙනෙහසිකිනී. සත්තකින්ම ඈ අද කෙතරම් හැඩ ද? මාල හත, නළල් පට, තැල්ල ඇතුළු උඩරට මනාලියකට අවශ්‍ය සියලුම ආයිත්තම්වලින් සැරසීගත් නංගිගේ හැඩ විස්තර කරන්න මට වචන නැත. මේ ඇඳුමට ඇගේ දඟකාර බව යටපත්වී තැම්පත් පෙනුමක් ඇති කරයි. මගේ සිතුවිලි අතීතයේ අපේ කුඩා අවදියට ඇදී යන්නට විය. අතීත සැමරුම් අතරේ සිටින විට එකවරම ඇසුන රතිඤ්ඤා හඬින් ඒ සියල්ල බිඳී ගියාය. සුරංග පැමිණ ඇත. මගේ හෘද ස්පන්දනය මටත් හොරා වැඩිවන බව දැනෙන්නට විය. ඔහු දැක ගන්නතුරු මගේ සිත නොඉවසිලිමත් ය. මම රෝද පුටුව දෑතින් කරකවමන් හැකි ඉක්මනින් සාලයට ගියෙමි. ජනෙල් තිරය අතරින්, බිම බලාගෙන සන්සුන් ගමනින් සුරංග ගේ දෙසට එයි. මං හිතුවේ සුරංග උඩරට ඇඳුමෙන් සැරසී ඉඳීවිය කියලා. ඒත් ඔහු සැරසී සිටියේ බටහිර ඇඳුමෙන්ය. ඒ වතෙන් වෙනදා නොදුටු කඩවසම් බවක් අද දිස්වෙයි. සුරංග මේ ඇඳුමෙන් සැරසී සිටිනු මා දකින්නේ පළමුවතාවටය. අක්කගේ මගුල් ගෙදරටවත් සුරංග කෝට් එක ඇඳ සිටියේ නැත. සුරංග ගෙට ඇතුල්වෙන්නට කලින් මම මගේ කාමරයට වැදුනෙමි. ඒ මේ වගේ සුන්දර මෙහොතක මං වගේ අබ්බගාත ගෑනියෙක් කාගෙ කාගේත් ඇස ගැටෙන්න ඉන්න එක හරි නැති නිසා. මගේ කාමරයට පෝරුව හොඳින් පෙනෙයි. මම දොරට මුවා වී දොර රෙද්ද අස්සෙන් පෝරුව දෙස බැලුවෙමි. සුළු මොහොතකින් පිටකොරටුවේ මමා එක්ක නංගී පෝරුව අසලට පැමිණියා. ඇය බිම බලාගෙනය. සුරංගද පෝරුව වෙතට පැමිණියා. ඔහුගේ දෑස් නංගී වෙත එල්ල වි තිබුණි. නියමිත නැකත එළැඹවීමත් සමග දෙපස මාමාවරු විසින් සුරංගවත් නංගිවත් පෝරුවට නංවනු ලැබූහ. පෝරුවට නැග්ග සුරංගගේ දෙනෙත් සාලය පුරා යමක් සොයන්නට විය. “මම දන්නවා සුරංග, ඔයා හොයන්නේ මාව බව. ඒත් මට අද ඔයාගෙන් විතරක් නෙමෙයි මේ හැමෝගෙන්ම හැංගෙන්න වෙලා.“
රන් නූලකින් දෑඟිලි බැඳ අතපැන් වත්කිරීම, ජයමංගල ගාථාව කීම ආදී පෝරු චාරිත්‍ර එකිනෙක නිම වී පෝරුවෙන් බැසීමට පෙර වැඩිහිටියන්ට ආචාර කිරීම ඇරඹිනි. දෙපැත්තේම මව්වරුන්ට රෙදිකඩ බැගින් දී නමස්කාර කිරීමෙන් අනතුරුව අනෙක් ළඟම ඥාතීන් ඔවුන් ඉදිරියට ගොස් බුලත් අත පිළිගෙන ආචාර පිළිගත්හ. අයියගේ දරුවෝ නැන්දටත් අලුත් මාමාටත් බුලත් දී ආචාර කළහ.
“කෝ අමාලි දුව.“ කවුදෝ කියනු ඇසුණි.
“ඉස්සෙල්ල නම් හිටියා.“
“බලල එක්කගෙන එන්න බුලත් දෙන්න.“   නොපෙනුනත් එසේ කියනු ඇසෙයි. එකවරම කාමරයට පැමිණි අයියාගේ ලොකු දුව නේත්‍රා,
“නැන්දා, ඔයා මොනවද මෙතන කරන්නෙ. අන්න අරහෙ කට්ටිය ඔයාව හොයනවා. එන්න යන්න.“
“අනේ මට බැහැ. ආච්චි අම්මට කියන්න මං එන්න බෑ කිව්වා කියලා.“
“එහෙම කියලා බැහැනෙ. චූටි නැන්දත් ඇහැව්ව. අපේ අප්පච්චිත් ඇහැව්වා.“
“ඔයා අප්පච්චිටයි ආච්චිඅම්මටයි කියන්න මං කියපු එක.“
එසේ කියා කටගන්නත් කලින් තමරඅක්කා (ලොකු අයියගේ නෝනා) කාමරේට ආවා.
“නංගී! ඔයා මොකද මේ කාමරේ රිංගගෙන. යමු යමු ඔයා එනකම් හැමෝම බලාගෙන ඉන්නවා.“
“ප්ලීස් අක්කෙ මට බැහැ. මං වගේ කෙනෙක් ඔතනට යන එක හොඳ නැහැ.“
“පිස්සු කියවන්නේ නැතුව යමු.“
“බැහැ. අක්කෙ. මට මෙතන ඉන්න දෙන්න.“
අක්කා තරහෙන් පිටය ගියා. “දෙයියනේ කාටවත් තේරෙණ්නෙ නැති හැටි. මම කොහොමද සුරංග ඉදිරියට යන්නෙ? එයාගෙ මූණ බලන්න මට ශක්තියක් නැහැ.“
එකවරම පොල් ගෙඩියක් බිඳෙන හඬ ඇසිණ. සෙනග අතරින් දෙදෙනා පෝරුවෙන් බැස්සා. නෑදෑ හිතවතුන්ගෙන් පිරී ඇති නිසා මට නංගීත් සුරංගවත් පෙනෙන්නට නැත. මම දොරට මුවාවෙමින් ඉස්සි ඉස්සී බැලුවත් ඔවුන්ව බලාගන්නට බැරිවිය. නෑදෑ හිතවතුන් අතර ඔවුන් සැඟව ගොසින් වගේ. සිනහ කෙළි කවටකම් මැද මා තනි වී ඇත.
“අක්කේ....“ නංගිගෙ හඬ මා සවන්පත් අසලින්ම ඇසෙයි. මම හැරී බැලුවෙමි. නංගීත් සුරංගත් මා අසලය.
“අපි අක්කව හැම තැනම හෙව්වා. ඇයි එළියට ආවෙ නැත්තේ?“
නංගි මගේ හිස අතගාමින් අසද්දී මම සිනහවකින් පිළිතුරු දුන්නෙමි. ඇගේ මූණ පෙම් පාටින් බබළයි. සුරංග මූණ හංගාගන්නට මෙන් කාමරේ පුරා දෙනෙත් යවයි.
“අක්කේ අපිට යන්න වෙලාව හරි.“ යි පවසමින් මගේ දෙපා වැඳ මා වැළඳ ගත්තා. මෙතෙක් වෙලා හිතේ තෙරපෙමින් තිබූ දුක කඳුළු වී දෝරෙ ගලායන්නට විය.
“ඔන්න ඔයාගෙ ඉල්ලීම ඉෂ්ඨ කරලා දුන්නා.“ යි මම රහසින් ඇගේ සවනට කෙඳිරුවෙමි.
නැගණීයගෙන් මිදුන මම සුරංග දෙස බැලුවෙමි. ඔහුගේ දෑස් අගින් එළියට පනින්න දඟලන කඳුළු කැට දෙකක් දැකගත හැක.  සුරංග මුව හපාගෙන කඳුළු වළකාලන්නට දරන උත්සහය බලාගෙන සිටීමට නොහැකි තැන මම පහත් වී ඔහුට නමස්කාර කළෙමි. මගේ පිට එකවරම සීතල වී යනු දැනුණි. සුරංග ලේන්සුවෙන් මූණ වසාගෙන මා වෙතින් ඉවතට ගියා.
නෑදෑ හිතමිතුරන්ගේ ආශීර්වාද මැද ඔවුන් මධු සමය සඳහා පිටව ගියා. ළඟම ඥාතීන් කීප දෙනෙකු හැර අනෙක් අය ද එක්කෙනා දෙන්නා පිටව යන්නට වූනා. මොහොතකට පෙර සතුටෙන් පිරී තිබූ නිවස දැන් පාළුවෙලා. මගේ සිතට සාංකාවක් දැනුණි. මගේ කාමරයට ගිය මා, පෙර දිනක සුරංග මගේ උපන් දිනය දා තබා ගිය මුද්ද අල්මාරියෙන් ගෙන බලන්නට විය. අදින් පසු සුරංගව අයිතිවන්නේ මගේ නංගිටය. ඒත් මගේ හිතේ බැඳි ආදරය එහෙම්මමයි. ගතින් නොවුණත් සිතින් හැමදාමත් ඔයා අයිති මටයි රත්තරං.



තරු
මතුසම්බන්ධයි

වෙනදාසේම සිතට දැනුන අදහස තියලයන්න අමතක කරන්න එපා....