Showing posts with label විශේෂ. Show all posts
Showing posts with label විශේෂ. Show all posts

Tuesday, September 8, 2015

පශ්චාත් යථාර්ථවාදී නවකතාවේ ශිල්ප විධි භාවිතය



(රාජ්ය සාහිත්ය අනුමණඩලය විසින් ජූලි මස පවත්වනු ලැබූ “සාහිත්ය සංකථන“ සඳහා සහභාගි වූ පේරාදෙණිය විශ්ව විද්යාලයේ සිංහල අධ්යයන අංශයේ, ජ්යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද රත්නායකගේ දේශනය ඇසුරෙන්) 

          ලාංකීය නවකතා රචක රචිකාවියන් බොහෝ දෙනෙකු තම නිර්මාණයන් ඔස්සේ නව අත්හදා බැලීම් කරන්නට බියක් දක්වනවා. ඊට හේතුව විය හැක්කේ, එවන් පොතක් ප්‍රකාශයට පත්කරගැනීමේදී ගැටළු ඇතිවේය යන හේතුව හෝ යථාර්ථවාදී කතාකලාවෙන් පිටතට ඒමට ඇති මැළිකම යි. මෙම ලිපියෙන් කියැවෙන්නනේ ලාංකීය නවකතා රචනා කලාව යථාර්ථවාදී නැතහොත් ගතානුගතික බවෙන් මිදී අලුත් මානයන් හොයා යායුතු බව සඳහන් කිරීමටයි. 

1. යථාර්ථවාදී කතාව තුළ කතාව හා කතා වින්යාසය ගොඩ නැගී ඇත්තේ හේතුඵල සම්බන්ධය මතයි. එහෙත් මෙම ක්‍රමය තුළින් පාඨකයාට හිතන්න දෙයක් ඉතිරි නොකරයි. මන්ද බොහෝ කතා කියවාගෙන යද්දී අවසානය මෙය යයි පාඨකයා තේරුම් ගනියි. නැතිනම් රචකයා ලබාදෙන අවසානය පිළිගැනීමට සිදුවීමයි. එහෙත් හේතු ඵල නොපෙන්වන කතාව පාඨකයා අපූරු සිතුමකට ඇරලවයි. ආශ්චර්යාත්මක සිදුවීම් කෙසේ සිදුවීදැයි සිතන්නට පොළඹවා පාඨකයා දෙගිඩියාවට පත්කරයි. තීරණ ගණනාවක් තුළ සිත දෝලනය වෙයි. කිසිත් සිතාගත නොහැකිවූ විටක “හිතා ගන්න බෑ, මාරයි“ වැනි වදන් පාඨක මුවින් පිටවන්නේ එවිටය. උදාහරණ,
       a. ගුන්තර් ග්‍රාස් ගේ - තහඩු බෙරය නව කතාවේ ඔස්කා කෑ ගසන විට වීදුරු බිදෙයි. එයට හේතු නැත. යථාර්ථවාදී නවකතාකරුවා නම් මෙය භූත දෝෂයක් හෝ සිහිනයක් කියා හීලෑ කරයි. එවිට එතැනින් එහාට සිතීම නවතා ලේඛකයා දෙන තීරණය භාර ගනී. එසේම ඔස්කා වසර හයේදි වැඩීම නතර කරයි. ඒ තමන්ට පිය මනින්ට සිදුවන අනාගත ලෝකය ම්ලේච්ඡ, යුධ අපරාධ, දූෂණ වංචා වලින් පිරුණු කුහක ලෝකයක් වන නිසා. එසේ නොවැඩී සිටින්නේ කෙසෙද යන්න කතාවේ සඳහන් නොවේ.
       b. සල්මාන් රුෂ්ඩි ගේ - රෑ මැදියමේ දරුවෝ නවකතාවේ, සලීම් සිනායිගේ කිරිඅම්මා ඇගේ දියණිවරුන්ගේ සිහිනවලට එබී බලයි.
       c. ඉසබෙලා අය්යන්දෙ ගේ - මායාවාස නවකතාවේ ක්ලේරා අනාගතයේ වීමට ඇති දෑ දකියි.


2. නූතන ප්‍රබන්ධ කතා කලාවේ ප්‍රධාන ලක්ෂණයකි ‘අහම්බය‘. මිනිසාගේ එදිනෙදා ජීවිතවල ගැටළු දකින පාඨකයා එයම නැවත කතාවකින් කියවන්න මැලිකමක් දක්වයි. එමනිසා අත්හදාබැලීම් කරන ලේඛකයාට අහම්බය නැතහොත් අභව්‍ය යැයි සම්මත කලාපය හොඳ තෝතැන්නකි. ඒ තුළින් කතාවකට බහුමානීය ප්‍රවේශයන් සාදා දෙයි. එනම් පශ්චාත් යථාර්ථවාදී නවකතා කරුවා ලබාදෙන්නේ ඉවර නොවූ කෘතියකි. මෙය අපූරු අත්හදා බැලීමකි. තල කිහිපයක දිවයන කතාවකි. ඒ නිසා කෙනෙකු විසින් තවත් කෙනෙකුට කියා දිය නොහැකි, තමා විසින්ම කියවා තේරුම්ගත යුතු කතාවකි. උදාහරණ,
        a. සුනේත්‍රා රාජකරුණායකගේ පොදු පුරුෂයා නවකතාවේ, යථාර්ථවාදී නවකතාවේ තෝරාගන්නා එක් සිද්ධීයක අවසානයට වඩා සිද්ධි ගණනාවක අවසානයක් පෙන්නුම් කරයි.
        b. උම්බෙර්තෝ ඉකෝගේ - රෝස මලේ නම
        c. ඉතලෝ කැල්විනෝගේ - සිසිරයේ රැයක මගියෙකු


3. නවකතාවේ වචන මුද්‍රණය වී ඇති ආකාරය පවා යම් කුතුහලයක් ඇති කරවිය හැක. උදා,
        a. මායාවාස නවකතාවේ ‘බරබාස් අප වෙත අවේ මහමුහුදෙනි' ළදරු ක්ලේරා ඇගේ ලස්සන අත් අකුරෙන් ලියා තිබුණි. බරබාස් යනු බල්ලෙකි. එම වගන්තිය තද කළු පැහැති, ඉරි ඇඳි, ඇල අකුරෙන් ලියා තීබීම. මේ තුළින් ලොකු පණිවිඩයක් පාඨකයාට ලබාදෙනවා. එනම් කතාව කියවාගෙන යද්දී අරුම පුදුම බොහෝ දේ සිදුවිය හැකි බවත් පාඨකයා විසින් එවා බාරගැනීමට සූදානමින් සිටිය යුතුබවත් ය.


4. යථාර්ථවාදී නවකතා වින්‍යාසය මුල සිටම හේතු යුක්තීන් සහිතව විකාශනය වෙමින් ඇදහිය හැක යන සීමාවේදී කතාව මෙන්ම කතා වින්යාාසයද නතර වෙයි. එහෙත් පශ්චාත් යථාරථවාදය තුළ එවැනි සිමා නැත. එය යථාර්ථයේ සිට අද්භූතයට ගොස් නැවත යථාර්ථයට පැමිණෙනුයේ කිසිදු බාධාවකින් තොරවය. එසේම විශ්වීය නීති රීතිවලට පටහැනිව නවකතාවේ ආකෘතිය සූදානම්ව තිබේ. එහි කුරුල්ලෝ පීනති, මාළුවෝ ඉගිලෙති, මාළු වැසි වසිති. මියගිය අය ජීවත් කරවයි. ජීවත්වන්නෝ මියගියවුන් කරවයි. විය නොහැකි දේවල් සිදුවෙයි. උදා,
         a. මඩවලගේ - මාගම් සෝලියේ සේදරා සුළඟට ගසාගෙන යයි.
         b. හොසේ සරමාගෝ ගේ - අන්ධභාවය නවකතාවේ අන්ධභාවය බෝවෙයි.
         c. සියවසක හුදකලාවේ - අමතකවීම හා අනිද්‍රාව වසංගතය බෝවෙයි. 


       එසේම පශ්චාත් නවකතාවේ ආකෘතිය තවත් අවස්ථාවක විශේෂත්වයක් පෙන්වයි. එනම්, අප කියවමින් සිටින නවකතාව අපගේ සාමාන්‍ය ලෝකයම මිස අනෙකක් නොවන බව ප්‍රකට කිරීම තුළිනි. ඒ යථාර්ථවාදී ලෝකේ සිදුවීමකින් කතාව ඇරඹීමෙන්ය. එවිට පශ්චාත් නූතන නවකතාව සහ සැබෑ ලෝකය අතර වෙනසක් නොවී, දෙකම එකම අවකාශ භාවිතයන් බව අපට තහවුරු කරයි.

Thursday, July 2, 2015

බුදුරජාණන්වහන්සේ අංගවිකල කළ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා බෞද්ධ සංස්කෘතිය



කාලයක් පුරා මගේ හිතේ කැකෑරෙමින් තිබූ පැනයකි බුදුරජාණන් වහන්සේ ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහ බෞද්ධ ඉතිහාසය ලියා තිබෙන ආකාරය ගැන. මේ ගැන මට හිතෙන දේ ලියන්න බොහෝ වාර ගණනක් හිතුවද, ඒ අදහස දිනෙන් දින පස්සට ගියේ මෙය තරමක් සංවේදී මාතෘකාවක් වන නිසායි. ඒත් තවදුරටත් මේ ගැටළුව හිතේ තියා ගෙන සිටිය නොහැකිය. මා එය මෙසේ  ඔබට ඉදිරිපත් කරන්නම්,

අපි පාසැල් යනකාලේ ඉගෙන ගන්නවා බුදුහාමුදුරුවෝ, රාහුල කුමරු පැවිදි කරවපු බව, නන්ද කුමරු පැවදි කරවපු බව, සේම වෙස්සන්තර රජුව සිට තම දරුවන් දන් දීම යනාදී කරුණු. මා හිතන විදිහට නම් අප බෞද්ධ සංස්කෘතියට මේ එකතු වී තිබෙන කරුණු ගැන සලකා බලන කළ, බුදුන් වහන්සේ කටයුතු කර තිබෙන්නේ ආත්මාරථකාමී ඒකාධිපතියකු ලෙසයි.  මහා කාරුණිකයාණෝ කියන විරුදාවලිය ලත් උන්වහන්සේ එවැනි ක්‍රියාවක් කරයිද? එසේම බුදුන් වහන්සේ අසම සම වූ සේක. සියල්ල දත් සේක නම්, රාහුල කුමරු සහ නන්ද කුමරු ඔවුන්ගේ මව්වරුන්ගේ අවසරයකින් තොරව හිතුමතේට මහණ කරාවිද? සියල්ල දත් සේක නම් උන්වහන්සේට එම අවස්ථාවේදී තමන් වහන්සේ මේ කරන්නේ වැරදි ක්‍රියාවක් බව නොවැටහුණේද? පසුව දෙමව්පිය අවසරයකින් තොරව දරුවන් මහණ කිරීමට තහංචියක් දමන්නට තරම්. ජාලිය සහ ක්‍රිෂණජිනා දරු දෙදෙනා මෙහෙකාරකමට දන්දෙන්න පියෙකුට හැකිද?  සාමාන්‍ය සමාජය තුළ මෙවැන්නක් වුවහොත් කාගෙ කාගෙත් මුවගට නැගෙන පැනයයි ඒ. මේ තත්ත්වය වඩාත් බැරෑරුම් වෙන්නෙ බුද්ධත්වය පතන්නෙකු අතින් එවැන්ක් සිදුවීමය.

අප බුදු රජාණන් වහන්සේට සාමාන්‍ය පෘතග්ජන මිනිසෙකුගේ ශරීරයේ නොපිහිටන්නා වූ අංග ලක්ෂණ 32  ක් තිබූ බවට  දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රය,  දිඝ නිකායේ මහාපදාන සූත්‍රය,  සද්ධර්ම පුණ්ඩරීක සූත‍්‍රය, අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයේ ද්‍රෝණ සූත්‍රය, සේල සූත්‍රය, බ්‍රහ්මායු සූත්‍රය පමණක් නොව පාලි ත්‍රිපිටකයේද සඳහන් කර ඇත

වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍යය ආරම්භයේ දී බුදුගුණ වැනුමේදී උන්වහන්සේගේ ශ්‍රී ශරීරය ගැන මෙසේ සඳහන් කර තිබේ.

සියපින් සිරින්                    සරු
දෙතිස් ලකුණින් විසි          තුරු
කෙලෙසුන් කෙරෙන්         දුරු
වඳිම් මුනි උතුමන් තිලෝ   ගුරු

         මෙම තෙදිස් ලක්ෂණ ගැන කියවාගෙන යද්දී මට හැඟුන දෙයක් තමයි, අපි මහා ඉහළින් වර්ණනා කළාට මෙහි තිබෙන සියල්ලම නොව සමහර ලක්ෂණ ගත් කළ බුදු හාමුදුරුවෝ අංගවිකල තත්ත්වයට පත් කරලා නේද කියා. 

ජාලහත්ථපාද
දැල් කවුළුවකට බඳු අත් පාද ඇති බව මේ ලක්‍ෂණයෙන් කියවිණි. ජාලයනු දැල යන අර්ථයයි. බුදුන්වහන්සේගේ අත්පාදවල පිහිටි ජාලයක් බඳු වූ ලක්‍ෂණ උන්වහන්සේගේ හස්තයේ මාපටඟිල්ල හැර, අනෙක් ඇඟිලි හතරත් පයේ ඇඟිලි පහත් යන මේවා එක සමාන උසින් පිහිටා තිබීමත් සමව පුරුක් පිහිටා තිබීමත් යන ලක්‍ෂණ මෙයින් කිය වේ. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් එකක් වන මෙය දැල්කවුළුවක් මෙන් ඇඟිලි සමප‍්‍රමාණව අත්පාවලින් යුතු බව කිය වේ.


ඨිතකෝව අනෝමමන්තෝ උභෝහි අත්තේභි ජන්නුකාමි පරිවසති

නොනැමී දෙඅතින් දෙදණ පිරිමැදිය හැකි ය, යන මහාපුරුෂ ලක්‍ෂණය මෙයින් කිය වේ. මෙය මහා පුරුෂයාට දීර්ඝ අත් ඇති බවද කියන අතරම උන්වහන්සේ සෘජුව සිටගත් විට දෙඅත් දණ හිස් දක්වා එල්බ සිටිතැයි ලලිත විස්තරය කියයි. මහා පුරුෂයාගේ මුළු සිරුරම පරිපූර්ණය. උන්වහන්සේට සෘජුව සිට නොනැමී දෙඅතින් දෙදණ පිරිමැදිය හැකි ය.

චත්තාලීස දන්ත
මහා පුරුෂයාට සමසතළිස් එනම් දත් 40ක්  පිහිටීමේ ලක්‍ෂණය මෙයින් විවරණය කරයි .

සමදන්ත
මහාපුරුෂයාට ඒකාකාර දන්ත පිහිටීමේ ලක්‍ෂණය මෙයින් විවරිතය. මහාපදානයට අනුව සමවූ දත් පිහිටීම මහාපුරුෂයාගේ ළදරුකළ පටන්ම පැවැත එන ලක්‍ෂණයෙකි. මෙම සම දත් ඇති ලක්‍ෂණය ලක්ඛණ සූත‍්‍රයේද තවත් එක් පුරුෂ ලක්‍ෂණයක් වශයෙන් දක්වයි 
 .
පහූත ජිව්හො
මහාපුරුෂයාගේ දිව හා සම්බන්ධ ලක්‍ෂණය මෙනමින් හැඳින්වේ. දික් පුළුල් දිවකින් යුක්ත බව මේ ලක්‍ෂණය පිළිබඳ ලක්ඛණ සූත‍්‍රයේ විග‍්‍රහයයි. මහා පුරුෂයාගේ දිව මෘදුය, දිගය, පුළුල් ය. වර්ණයෙන් පි‍්‍රයංකර දිව දිගු කර කනෙහි අග‍්‍ර ස්පර්ශ කළ හැකි ය. නාසිකාශ‍්‍රය ස්පර්ශ කළ හැකි ය. එහි පෘථුල බව නිසා නළල් තලය ද දිවෙන් වැසිය හැකි බව බුදුරදුන් තම දිවෙහි ස්වභාවය පෙන්නුම් කරන අවස්ථාවන්හි සනාථ කර ඇත.

අභිනීලනෙත්ත
මහාපුරුෂයාගේ අතිප‍්‍රබල වර්ණයෙන් යුක්ත නේත‍්‍රයුග්මය මෙම ලක්‍ෂණයෙන් ප‍්‍රකාශිතය. බුදුන්වහන්සේගේ නේත‍්‍ර යුග්මය සිත්කළු වන බව මේ ලක්‍ෂණය පිළිබඳ පැහැදිලි කරන පජ්ජමධුව කියයි. බුදුරදුන්ගේ නෙත් නීලවර්ණ වුවමනා විට දිය බෙරලිය මල් වැනි ඉතා පිරිසුදු නිල් පැහැයෙන් ද, රන්වන් වුවමනා විට කිණිහිරිය මල් වැනි රන් පැහැයෙන්ද, රතුපාට වුවමනා තැන බඳුවද මල් වැනි රන්පැහැයෙන්ද, සුදු වුවමනා තැන තාරකාමෙන් සුදු පැහැයෙන් ද, කළු වුවමනා තැන රුක්පෙණෙළ ඇට වැනි ඉතාපිරිසුදු කළු පැහැයෙන් ද බබළයි  .

උණ්ණා (ඌර්ණ රෝමය)
දෙබැම අතර රජත හිම කැටයක් මෙන් දීප්තිමත් ව බබළන සුදු කෙස් ගස ඌර්ණ රෝම ලක්‍ෂණය ලෙස ලලිත විස්තරය විග‍්‍රහ කරයි. බුදුරදුන්ගේ නාසිකාවට ඉහළින් නළල මැද පිහිටා ඇති ඌර්ණ රෝමය පිළිබඳ විස්තර කරන අටුවාව, ඌර්ණ රෝමය අගින් අල්වා ඇද්ද විට අර්ධ බාහුවක් පමණ වන බවත්, අත්හළ විට දකුණට කරකැවී උඩු අක්ව පවතින බවත්ය.

මෙවන් පුරුෂ ලක්ෂණ පිහිටන්නේ සක්විති රජකමට පත්වෙන අයෙකුට හෝ බුද්ධත්වයට පත්වන්නෙකුට පමණක්ම වන බැව් කියැවේ. එසේම මෙවන් ලක්ෂණ පිහිටන්නේ පෙර ආත්මභවවල සිදුකර ඇති පින්මහිමෙන් බව ද කියැවේ.
එහෙත් බුදුරදුන්ගේ මහා පුරුෂ ලක්ෂණ අතරින් ඉහත දක්වා ඇති මා විසින් තොරාගත් ලක්ෂණ කිහිපය බුදුරදුන්ට සිතෙන් ආදේශ කර බලන්නෙකුට මැවෙන්නේ අංග විකල මිනිස් රුවකි.

බුදුරදුන් සාමාන්‍ය මිනිසෙකුට වඩා වෙනස් වූවා විය හැක. එකල ලිවීමේ ක්‍රම වේදයක් නොමැති වූ නිසා සියල්ල මුඛ පරම්පරාවෙන් ආවා වෙයි. එසේ පැමිණෙද්දී උන්වහන්සේ ගැන අතිශයෝක්තියෙන් වර්ණනා කිරීමට මෙවන් ලක්ෂන එක් කළා විය හැක. එහෙත් ඒ තුළින් උන්වහන්සේගේ සැබෑ රූපයට සිදුව ඇති අවමානය ගැන කිසිවෙකුටත් සිතී නොමැති බවකි, ඒ සම්බන්ධව ලියැවී ඇති සෑම සූත්‍රයකින්ම කියැවෙන්නේ.  මේ වූ කලී බුද්ධ චරිතයට නිගා දෙන මෙවන් අවස්ථා දැන්වත් නිවැරදි විය යුතුයයි මගේ හැඟීම.

(නිවැරදි කිරීමක්- වෙස්සන්තර රජුගේ දරු දෙදෙනා ජීවහත්ත සහ දිසාලා ලෙසින් වැරදීමකින් සඳහන් කරතිබීම ජාලිය සහ ක්‍රිෂ්ණජිනා ලෙස නිවැරදි කර ඇත. එම වරද පෙන්නා දුන් අමුතු සිතුවිලිවලට ස්තූතියි!)

Wednesday, June 4, 2014

මාධ්‍ය - ආගම - අපරාධ

පසුගිය මාස හයක පමණ කාලයක් පුරාවට මා ප්‍රධාන පෙළේ සිංහල සහ ඉංග්‍රීසි පුවත් පත්වල පලකෙරුණ පුවත් පිළිබඳ අධ්‍යයනයක යෙදුනා. එහි දී  පෙනී ගිය කරුණත් තමයි, සිංහල බසින් පළකෙරෙන ලංකාදීප, දිවයින, රාවය, මව්බිම වැනි පත්තරවල ඇති පුවත් ඉතාමත් බාල පහත් මට්ටමක පවතින බව.
එසේම සිරස, ස්වරණවාහිනී, හිරු යනාදී රූපවාහිනී මාධ්‍යගත් කළ ඒවායේ ප්‍රවෘත්තිවලට රටේ කොහේ හෝ මිනී මැරුමක් සිදුවූ විට ඒවෙනුවෙන් කාලය වෙන් කරන්නේ නරඹන ප්‍රේක්ෂකයන්ට ටෙලි නාට්‍යක් බලනවාය යන හැඟීමක් ඇතිවන පරිද්දෙනි.
රට තුළ මිනී මැරීමක්, සිය දිවිනසා ගැනීමක්, ස්ත්‍රී දූෂණයක් හෝ මංකොල්ලයක් සිදුවූ විට එම පුවත, පුවත් පත්වල ඉතාමත් ඡුගුප්සාජනක අයුරින් මුල් පිටුවේම පළකරනු ලබයි. මෙය ඉතාමත් කණගාටුදායක කරුණකි.  මීට අමතරව හොල්මන්-ආත්ම වැහෙන කතා, දේවාරූඩ කතා වැනි නොදියුණු යුගයේ කතා පලකිරීමෙන් පෙනෙන්නේ අප රටේ පුවත්පත් කලාව ඉතාමත් පහත් බාල මට්ටමකට වැටී ඇති බවයි. මෙය එම පුවත් පත් ආයතනවල අලුත්ම ප්‍රවණතාවයද එසේ නැති නම් මාධ්‍යවේදීන්ගේ නූගත්කමද?
යුද්ධය තිබෙන සමයේ යුද්ධය මත යැපුන මාධ්‍යායතන දැන් ඉහත කරුණු මත යැපෙන බවක් පෙනේ. මෙවන් පුවත් කියවන විට අපට සිතෙන්නේ එය ලියූ මාධ්‍යවේදියා එම සිදුවීම බලාගෙන හිටියා හෝ එසේත් නැතිනම් එම සිදුවීමේ හවුල්කරුවෙකුව සිටිවගයි. එසේම එම පුවත් ප්‍රනීත ආහාරයක් ලෙස පෙන්නුම් කෙරෙන්නේ සිංහල පුවත්පත්වලය. එසේනම් ඔවුන් ඉලක්ක කරගන්නේ නගරයේ ජනතාවට වඩා ගමේ ජනතාව නොවේද? අප ඉන්එහාටත් විමසා බැලුවහොත් මෙවන් පහත් වූත් නීති විරෝධී කටයුතු වැඩියෙන් සිදුවන්නේද ගම්බද ජනතාව අතින් බව දැකගැනීමට හැකිය. හන්දියේ කඩේට යන මිනිස්සුන්ට, ගමේ බෝක්කුව උඩට වී කල්මරණ ඉලන්දාරීන්ට, නාන තොටට යන ගෑනුන්ට මේවා තරම් රස පුවත් ඉතිං තව කොයින්ද.

ඉංග්‍රීසි පුවත් පත්වල මෙවන් පුවත්වලට පුළුල් ප්‍රචාරයක් ලබානොදෙන්නේ එම පුවත් නගරයේ වෙසෙන උගත් බුද්ධිමත් ජනතාවක් අතට යන නිසාද?
දැන් අපට හිතන්නට සිදුව ඇත්තේ තව දුරටත් මේ තුට්ටු දෙකේ පුවත්පත් කලාව පිළිගන්නවාද? නැතහොත් වර්ජනය කරනවාද? යන්නය.
මේනයින් බලන කළ රට තුළ අපරාධ වැඩිවීමට මුද්‍රිතසේම විද්්‍යුත් මාධ්‍ය ද වගකිව යුතුවේ. සෑම දිනකම උදේට ගුවන්විදුලි නාලිකා අරඹන්නේ ධර්ම දේශනාවලිනි. රටේ වැඩි හරියක් ඇත්තේ බෞද්ධ විහාරස්ථාන වන අතර මේවායෙහි නිරන්තරෙන් ධර්ම දේශනා ආදිය පැවැත් වෙයි. කවුද ඒවා ශ්‍රවනය කරන්නේ. වයසක අම්මලා, තාත්තලා. දැන් බොහෝ පන්සල්වල භාවනා වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒවාට වැඩිහරියක් සහභාගිවෙන්නේ වයෝවෘද්ධ මව්-පියන්ය. එසේ නම් මෙම දේශනාවන්ද සුදුසු පුද්ගලයන් වෙත නොයන බව පෙනේ. පොහොයට දිනයට දරුවන් සමග බොහෝ විට පන්සලට යන්නෙ මවයි. මසකට වරක්වත් පියා ඒ වෙනුවෙන් කැපනොවීමෙන්ම දරුවන්ට නරක ආදර්ශයක් ලබාදෙයි.
මා හිතන පරිදි බොහෝ නිවාසවල බුදුන් වැඳිමක්වත් වර්තමානේ සිදුවෙන්නේ නැහැ. එසේ සිදුකරත් එය මව විසින් සිදුකරයි. දරුවන් සිටීනම් ඔවුන් අතුරින් ද දියණියට එම කටයුත්ත පැවරෙයි. එහෙත් ඒ සඳහා අනිවාර්යයෙන් පුතුන් ද සම්බන්ධ කරගත යුතුයි.
තව උදාහරණයක් ගතහොත්, ධර්ම දේශනාවක් පැවැත්වෙන නිවසක බණ අහන්න නිවෙස තුළට යන්නේ කාන්තා පාර්ශවය වන අතර පිරිමි නිවසින් පිටට ගොස් ඉඳින්නේ ඔවුනට එය අකැප දෙයක් මෙනි. එහෙත් අපේ සමාජයේ අපරාධ දෙස බැලුවහොත් 99% ක්ම සිදුකරන්නේ පිරිමින් විසින්ය. එසේ නම් කොතැනද වරද ඇත්තේ? ඒ අතින් බලන කළ ඉස්ලාම් ධර්මයේ ක්‍රමවේදය විශිෂ්ට යැයි කිවහැක. අනිවාර්යයෙන්  පල්ලියට ගොස් එම ආගම ඇදහීමේ ප්‍රමුඛතාවය පිරිමියාට පවරා ඇත.
(බුද්ධිමත් සංවාදයකට විවෘතයි)

Sunday, May 18, 2014

දොළපිදේනි ජනගත කෙරුන වගෙයි


වසර එකහමාරක් වැනි කාලයක් ගත කරමින් තොරතුරු එකතු කරමින් ලියන ලද, හතර පස්වතාවක් කියවමින් සංස්කරණය කරමින් ඇති දැඩිකරපු මගේ මුල්ම නව කතාව දොළපිදේනි මැයි මස 09 වැනි දින ජාතික පුස්තකාලයේ දී ජනතාව අතට පත්කළා.
එදින මට මගේ ජීවිතේ අමතක නොවන දවසක්. ඊට විශේෂ හේතුවක් ද තිබේ.  එනම් මෙය හුදෙක් තවත් එක් නවකතාවක් නොවීමය. මෙය ත්‍රස්තවාදය මුල්කරගෙන ඔවුන්ගේ සැබෑ නම් යොදාගනිමින් කාන්තාවක් විසින් ලියන ලද පළමු නව කතාව වීම. හොඳ කතාවක් ලිවීමේ නොනිත් ආශාව නිසා මෙම තේමාව මා තොරාගෙන නව කතාව ලියූ පසුවයි දැනගන්න ලැබුණේ... මෙවන් නව කතාවක් මින් පෙර ලියැවී නොමැති බව. එය මා සිතේ සතුටක් ඇති කළා මෙන්ම මා විසින් රටට යුතුකමක් කළ යැයි පසුව මට හැ‍‍ෙඟෙන්නට විය.
එදින මාහාචාර්ය සෝමරත්න බාලසූරිය මහතා නව කතා නිර්මාණය සම්බන්ධව දේශනයක් පැවැත් වූ අතර ප්‍රවීන මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය මහතා විසින් රටේ ආරක්ෂාව පිළිබඳ දේශනයක් පවත්වන ලදි.
පොත් පිළීගැන්වීම සඳහා එම පොත් මා අතට ලබාදීම කෙරුනේ පොතේ ප්‍රකාශක දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා විසිනි. මුල්ම පොත පිළිගැන්වීම මා මොළොවට බිහිකළ මගේ දෙමව්පියන් දෙපල සඳහා විය. අනතුරුව මහාචාර්යතුමාට සහ වර්ණකුලසූරිය මැතිඳුන් වෙනුවෙන් සිදුකෙරුනි. වර්ණකුලසූරිය මහතා දොළපිදේනි ලිවීමේදී මට අනගි සහයෝගයක් ලබාදීම මම ගෞරකපූර්වකව මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඊළඟට මගේ ලේඛන දිවියට අත්වැලක් වූ ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත සහ ප්‍රවීන ලේඛක උදිත අලහකෝන් වෙනුවෙන් වෙන්විය. එහෙත් නොවැළැක්විය හැකි හේතුන් නිසා මේ දොපොලටම එම අවස්ථාවට සහභාගිවීමට නොහැකි බැව් දන්වනු ලැබූවා. අනතුරුව පිදුම සිදුකෙරුනේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලයාධිපතිනි ආචාර්ය ප්‍රදීපා විජේතුංග මහත්මිය වෙතටයි.
එදින උත්සවයට හිතමිතුරු ඉවාන් පැමිණී සිටීම සතුටට කරුණක්. ඉවාන් ඔබට මගේ ස්තූතිය. පොත කියවන්න පටන්ගත්තද?  ඒ වගේම මම දන්නවා බින්දි හිටියනම් ඇයත් අනිවාර්යෙන් සහභාගිවන බව. එහෙම නේද බින්දි?

Saturday, May 3, 2014

ආරාධනා!

            මා විසින් නවකතාවක් රචනා කර ඇති බවත් එය එළිදැක්වීමේ උත්සවයක් සංවිධානය කරන බවත් මින් පෙර මා විසින් පවසා සිටි බව ඔබසැමට මතක ඇති.  ඔව්, එයට කාලය එළැඹ ඇත. 

           කාලයක් පුරාවට මා සිතේ තිබූ සිහිනයක් සැබෑවන මොහොතක ඒ සතුට බෙදාගන්න ඔබ සැමට ආරාධනා!


Sunday, April 13, 2014

සුභ නව වසරක් ඔබ සැමටම




ලබන්නා වූ සිංහල දෙමළ නව වසර ඔබ සැමට සෞභාග්‍යමත් නව වසරක් වේවායි පතමි...!

හමුවෙමු නව වසරින් පසු.


Thursday, March 27, 2014

මගේ නව කතාව

“මගේ කුළුඳුල් නවකතාව“ මැයෙන් බ්ලොග් පෝස්ට්ටුවක් දැම්මා මතක ඇති. ඔන්න එහි සඳහන් වූ නවකතාව මුද්‍රණද්වාරයෙන් නිකුත් වුණා. එය දොරට වැඩීමේ උත්සවය ඉදිරියේ දිනක පැවැත්වීමට කටයුතු යොදාගෙන යනවා. ඒ පිළිබඳ ලාංකීය බ්ලොග් රචකයන්ටත් ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා.
අපි අපේ ළමා කාලය තරුණ කාලය ගෙව්වේ ත්‍රස්තවාදය සමග. හැමදාම ම්ලේච්ඡ ප්‍රභාකරන් විසින් මරා දමන ලද මිනී බලමින් තමයි අප ජීවත් වුනේ. අප හැමෝම සෘජුව හෝ වක්‍රව ත්‍රස්තවාදයේ ගොදුරු වූහ. ඉන් අපේ පරම්පරාව විදෙව්වා. මහජනතාව ගැවසෙන ඕනෑම තැනක හිටියේ මර බියෙන් වට පිට බලමින්. දැන් ඒ මරබියෙන් අපි නිදහස්ව තිබුණත් ඒ අතීතය අමතක කළ නොහැක. දුටුගැමුණු රජතුමා, විජයබාහු රජතුමා සතුරන් පරාජය කරපු නොදුටු අතීතයක් ගැන මහ උජාරුවෙන් අපි කතා කරනවා, ලියනවා. ඒත් අපේ අත්දැකීම් විඳවීම් අමතක කරන්න උත්සහ ගන්නවා. එය එසේ නොවිය යුතුයි. අපට තමයි යුද්ධය ගැන යමක් මතුපරපුරට දායාදකරලා දෙන්න පුළුවන්. අපි ඒ මෙහෙය කළ යුතුයි. මේ එවන් වෑයමක ප්‍රතිඵල යයි.   
මගේ නව කතාවේ එන කොටසක් මෙසේ පළකරමි.
පිට්ටුයි මුරුංගා හොදියි එකට අනාගත් පරම් එය ඉක්මනින් ගිලදමන්නට විය.
“ටිකක් හෙමින් කාපන්කො පුතේ..... මොකද්ද තියෙන හදිස්සිය?“
“ඔව් ඉක්මනට යන්න ඕන.“
පවුලේ බඩ පිස්සා වූ පරම් කෙරෙහි රේවතීගේ හිතේ තිබුණේ අසීමිත සෙනෙහසකි. ඒ නිසාම ටික දිනක සිට ඔහුගේ හැසිරීමේ ඇති වී ඇති වෙනස මවගේ හිතට ගෙනාවේ කුතුහලයකි.
වෙනදාට දෙපාරක් බෙදාගෙන කන තම ප්‍රියතම ආහාරය වූ මුරුංගා වෑංජනය දෙස ඔහු එදා බැලුවේවත් නැත. ඔහු හිතාමතාම මුරුංගා වෑංජනය මගහරින්නට වූයේය.
“උඹට මුරුංගා කෑල්ලක් දාන්නද?“
“එපා එපා...“ මවගේ අතේ තිබූ මුරුංගා වෑංජනය තම අතින් පසෙකට තල්ලු කළ හෙතෙම ඉඳුල් අත සෝදාගත්තේය.
“උඹට දැන් මං හදන මුරුංගා වෑංජනෙත් එපා වෙලාද?“ මවගේ මුහුණ ශෝකාකූල විය.
**        **        **
ස් පහත්වන රළ අතරේ රටාවට උස් පහත් වන බෝට්ටුවේ සැඟවී සිටි පරමානන්දන් හා පෙරියසෝති පිටතට පැමිණයේ බෝට්ටුව යාපනේ වෙරළ තීරයෙන් නික්ම බොහෝ දුරක් ගිය පසුය.

සෑ.යු.- මෙහි ප්‍රධාන නම් තුන හතරක් ප්‍රකාශකගේ ඉල්ලීම පරිදි අකමැත්තෙන් වුවද වෙනස් කිරීමට සිදුවීම ගැන කණගාටුව පළකරමි.