Showing posts with label කෙටි කතා. Show all posts
Showing posts with label කෙටි කතා. Show all posts

Wednesday, August 12, 2015

තුන් වැන්නා


ටාං... ටාං... ටාං... ටාං... ටාං... ටාං... ටාං... ටාං... ටාං... ටාං... ටාං... ටාං...

“ඔරලෝසුව මරහඬ තලයි. ඒ පැත්තට මේ පැත්තට හැරි හැරී නිදාගන්න හැදුවත්, නින්ද අහලකටවත් ආවේ නැහැ.  ඒ නිසා මං ඇඳෙන් නැගිට්ටා. විදුලි පහන දල්වා කණ්ණාඩිය ඉදිරියේ හිට ගත්තා. දුහුල් නයිටිය අස්සෙන් මට මගේ සිරුර පෙනෙයි. මං ඒ සිරුර දෙස කෙලින් බැලුවා. ඒ මම ලෙසින්. ඊළඟ මොහොතේ හොරෙන් බැලුවා. ඒ පිරිමියෙක් බලන විදිහට. කොයි ආකාරයකට බැලුවත් අඩුවක් පාඩුවක් ඇදක් කුදක් පේන්න නැහැ. ඒත් මං තවම තනිකඩයි. අවුරුදු තිහක් ගතවෙලත් මට මිනිහෙක් හොයාගන්න බැරි උනා. නාඹර කෙල්ලෝ කොල්ලන්ගේ අත්වල එල්ලිලා වැව රවුමේ යන හැටි, හැමදාම හවසට මේ ජනෙල් කවුළුවෙන් බලාගෙන ඉන්නවා. ඒ වෙලාවට, මගේ හිතට දුකක් වගේම ඉරිසියාවක් ද ඇති වෙනවා.“ 

“තමුන්ගෙ නොහැකියාවට අනුන්ට ඉරිසියා කරන්න එපා කාමිනී...“
“නැහැ, ඒක වැරදියි චින්තෝ...ඒක මගේ නොලැබීම නැතිනම්....“
“ නැතිනම් කරුමෙ. තමන්ට යමක් නොලැබුණහම හැම ගෑණියෙක්ම කියන්න දන්නෙ ඔය වචනෙ විතරයි.“
“ඒක තමයි යථාර්ථය“
“කෙහෙල් මල. දැන් බලපං උඹ දිහා. උඹේ අඟපසඟවල අඩුවක්ද, රස්සාවේ අඩුවක්ද, දේපලවල අඩුවක්ද. එහෙම වෙලත් උඹට තවම මිනිහෙක් හොයාගන්න බැරි උනා.“
“ඒක නෙ චින්තෝ මං කිව්වෙ. ඉතිං මං මොනව කරන්න ද?“
“මෝඩි, ගෑනියෙකුට පුළුවන් වෙන්නඕන පිරිමියෙක්ව දැපනෙ දාගන්න. ඒකට තමයි හැට හතරක් දීලා තියෙන්නේ අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න“
“මට එකක්වත් පාවිච්චි කරන්න දන්නෙ නැති කොට,  ඔයා හැට හතරක් ගැන කියෝනවා..“
“හරි, දැන්වත් මං කියන දේ හොඳට අහගනින්. ඊට පස්සෙ ක්‍රියාත්මක වෙයන්.“
“මං දන්නවා චින්තෝ.... ඔයා හැමදාමත් මට ලෙන්ගතු එකී බව“
“උඔට දැන් හරි ඒක තේරිච්ච එක හොඳයි. උඹ මීට කලින් මට කතා කළානම් උඹට තුන් වැන්නෙක්ව බලා ඉන්ට අවශ්‍යවෙන්නෙ නැහැ.“
“හ්ම්......“
“හූල්ලලා හරි යන්නෙ නැහැ. උඹ වගීෂට ආදරය කරනවා නේද?“
“මං දන්නෙ නෑ“
“උඹ වගීෂ ඉදිරියේ ගොඩදාපු මාළුවෙක් වගේ ගැහෙනවා මං බලාගෙන. මම හරි නේද?“
.......................
“මොකද ගොළු වෙලා? ඔව් ද නැද්ද?“
“ඔ-ඔව්“
“වගීෂ ඉදිරියේ උඹේ දිව පැටලෙනව නේද?“
“එහෙම වෙන්නැති“
“උගුරට හොරා බේත් බොන්න බෑ කාමිනී. අවුරුදු තිහක් ජීවත් වෙලත් උඹ තවම ළාමකයි. ඉස්සෙල්ලා උඹේ හිත දැඩි කර ගනිං. මොන බාධක ආවත් උඹේ ඉලක්කයට යන බවට, උඹටම සපත කරගනිං. මේ මොහොතේ ඉඳන් වගීෂව ලබාගැනීමේ හීනය ලුහුබැඳපන්. ඒ වෙනුවෙන් වැඩ කරපං. උඹට උදව්වක් ඕන වෙලාවක මට තට්ටු කරපං“
“චින්තා පිටවෙලා ගියා. මං ආයෙමත් ඇස් පියාගත්තා. මං වගීෂ සොයාගෙන ගියා. ඇත්තටම ඒ රුව මොන තරම් කඩවසම් ද? දෙකන් තෙක් යාන්තමට වැවී ඇති දඟකාර රැවුල, ගැහැණියකගේ දොතොලට උපමා කරන නා දළුවන් අහිංසක තොල් සඟල, රාගය තැවරුණ අඩවන් දෙනුවන්, සිහින් හුරතල් නැහැය මේ හැම ඉන්ද්‍රියක්ම වගීෂගේ සිහින් දිගටි මුහුණට අපූරුවට පෑහුණා. අහ්, හදිසියේම දැනුන අමුතුම ස්පර්ශයකින් මම ඇස් ඇරියා. වගීෂ මගේ පිටුපසින් සිට මගේ දෙවුර සෙමෙන් පිරිමදිනවා. නහයෙන් පිටවෙන උණුසුම් ප්‍රාශ්වාසය මගේ දකුණු කන කිතිකවන්නට උනා. මෙය හීනයක් ද? සැබෑවක් ද? එය මායාවක්ම විය. මගේ හෘද ස්පන්දනය වේගවත් වෙමින් එයි. මං උමතුවෙන් මෙන් හිනා උනා. ගොදුරකට පනින්න කුරුමානම් අල්ලන කොටි දෙනකගේ දෑස් වගේ මගේ දැස් තියුණු වෙලා. මගේ බැල්ම නපුරු වෙලා. “ඔව් වගීෂ..., ඔයා මගේ. මේ සැරේ මං පරාද වෙන්නේ නැහැ. කිසිකෙනෙකුට මාව පරාද කරන්නත් බැහැ. මං කෙහොම හරි දිනනවා... මං කොහොම හරි දිනනවා..!“
“මේ රාත්‍රිය හරි අපූරු රාත්‍රියක්. හිතට පණ දුන් රාත්‍රියක්. සුභ රාත්‍රියක්!“
**        **        **        **
“සාරියට උඹ හරි හැඩයි. ඔය පෙන්ඩන්ට් එක පෙන්න තියපං අස්සෙ දාගන්නෙ නැතුව. හා හා කොණ්ඩෙ ලූස් එකට හරි නැහැ. අර ඇවිදිනකොට දෙපැත්තට උජාරුවෙන් වගේ පැද්දෙන අස්සවලිගෙ වගෙ වෙන්න කොණ්ඩෙ දාගනිං.“
“දැන් හරි ද චින්තෝ....“
“හරිම අපූරුයි.“
“මම එහෙනම් වගීෂව බලන්න යනවා.“
“හරි. ඒත් හිස් අතින් යන්න එපා. ඊයෙ බෝඩිමේ අක්ක හදල දුන්න වැලිතලප වලින් කීපයක් ගෙනියපං“
“චින්තගේ කීම අහලා මං වැලිතලප කීපයකුත් පාර්සල් කරගෙනම කාර් එකට ගොඩ උනා.“
“මොකද ඔච්චර හදිස්සි. ටිකක් හෙමින් එළවපං. කොහේ හරි හැප්පුනොත් ඔක්කොම හීන වතුරෙණේ. මට නම් හිතෙන්නේ අද කලින් වැඩියි කියලා. වගීෂ ඇවිල්ලා නොහිටියෝත් උඹ මොකද කරන්නෙ..?“
“මේ චින්තෝ, ටිකක් කට වහගෙන යනවද? වෙලාවකට ඔයා හරිම කරච්චලයක්නේ. හිතනවා කියලා ඔහොමත් හිතන්න පුළුවන්ද?“
“මං නැත්නම් මෙච්චර හරියක් කොරගනියි. හා හා ඕන් මං ගියා.“
“ශාස්ත්‍ර පීඨයේ මගේ සුපුරුදු ස්ථානයේ රථය නතර කළා. අද ටිකක් වේලාසනින් වගේ. කෙලින්ම ඔෆිස් එකට යනවද... නැති නම් වගීෂ ඇවිත්ද කියලා බලාගෙනම යනවද? කළ යුත්තේ කුමක්ද කියලා හිතට එන්නේ නෑ.“
“චින්තො, ඇවිත් උදව් කරන්නකෝ. ඔයා තරහද? මං දන්නවා ඔයාට බැහැ මාත් එක්ක තරහා වෙන්න. කියන්න මං දැන් මොකද කරන්න ඕන කියලා..?“
“අනේ චින්තෝ... ඔච්චර ගනන් උස්සන්න එපා. ඔයා මෙච්චර දුරක් මාත් එක්ක ඇවිත්, මාව අතර මං කරලා යන්නද හදන්නෙ. මාව අසරණ කරන්න එපා. ප්ලී...ස්.“
“ඉබ්බි මං කියන විදිහට වැඩ කරනවා.“
“එසේය දේවිය. මේ ගැත්තීට අනුකම්පා කර උදව් කර මැනවි.!“
“තව පුයර ටිකක් එහෙම දාගෙන කෙලින්ම වගීෂ හම්බවෙන්න ගියොත් හොඳා.“
“චින්තාගේ අණ පරිදි, වැලිතලප පෙට්ටියද අතට ගනිමින් මම වාහනෙන් බිමට බැස්සා. කොරිඩෝව දිගේ ඇවිද යද්දී වගීෂගේ ඔෆිස් කාමරේට යන්න පුළුවන් කෙටි මගක් තියෙන බව මතක් උනා. එය කොරිඩෝව සම්බන්ධවෙන ගොඩනැගිලි දෙකක් මැද්දෙන් වැටී ඇති අඩි පාරක්. ඉන් යා හැක්කේ වගීෂලගෙ ඔෆිස් කාමරයට විතරයි. මම අඩි පාරට පිවිසියා. එතෙක් නොඉවසිලිවන්තව තිබූ හිතට බියක් දැනෙන්ට උනා.
“මොකද බය වෙලා. වගීෂ යකෙක් නෙමෙයි. ආපු ගැම්මටම ඔෆිස් එකට පලයන්.“
“අනේ මං දන්නෙ නෑ චින්තෝ, මං මේ කරන වැඩේ හරිද මන්දා...“
“මෙච්චර දුරක් ඇවිත් හැරිල යන්නද හදන්නෙ? තව අඩි කීයද තියෙන්නේ. වගීෂ ඇවිත් නැති නම්, එයාගේ මේසෙ ඉස්සරහින් වාඩි වෙලා ඉන්න එකයි තියෙන්නේ. අද දෙකෙන් එකක් බේරගෙන එනව හොඳයි. අහ්, ඔය ඇවිල්ල ඉන්නෙ. මිනිහ ලොකු කතාවක වගේ. බාධා නොකර අපි මෙහෙන් නවතිමු.“
“වගීෂගේ ඔෆිස් කාමරේට හැරෙන තැන ඇති අරලිය ගහට හේත්තු වී දුරකථනෙන් බර කතාවක්.“
“අම්ම කෑවද?“

“බෙහෙත් ටික වෙලාවට ගන්න කියන්න. අම්මට වැඩිය මහන්සිවෙන්න දෙන්න එපා“

“අප්පච්චිට දැන්මම එන්න විදිහක් නෑ පැටියෝ.... මයෙ දූ මල්ලිවයි අම්මවයි බලාගෙන දඟනොකර ඉන්න ඕන. අප්පච්චිට නිවාඩු ලැබුණ ගමන් එනවා.“

“මගේ අතේ වූ පාර්සලය බිම වැටුණා.“
“මොකද එකපාරටම ගැස්සුණේ? ඒ පාර හිනාවෙනවා. උඹට පිස්සු හැදීගෙන එනවද?“
“නෑ චින්තෝ මං හීනයක් දැක්කා.“
“මං දන්නෙ නෑනේ.“
“ඔයා කොහේ දැන ගන්නද ඔයත් මාත් එක්ක නිදිනෙ.“
“හා හා ඔය කතාවලින් කාරිනෑ. මේ කට්ටියට කියන්නෙ නැද්ද උඹත් දැන් මහ ලොකු පෙම්වතියක් කියලා. එයාලත් දැනගන්න ආස ඇති ඒ කතාව.“
“ඔව් චින්තෝ... ඔයා නැති නම් මට වගීෂවත් මග ඇරෙනවා. ඔන්න එදා මං වැලිතලපත් අරගෙන වගීෂගේ ඔෆිස් කාමරේට යනකොට එයා මොනවදෝ ලියමිනුයි උන්නේ. එයා හිනාවෙලා මාව සතුටින් පිළිගත්තා.“
“මං අපේ මාසික සඟරාවට සාහිත්‍ය ලිපියක් ලියනවා. ඒකෙ මාතෘකාව තමයි.... මචං න්‍යායට සාහිත්‍ය සම්මාන පිදීම“
“ඒ කිව්වෙ?“
“අපේ රටේ සාහිත්‍ය සම්මාන දිහා බලපුවහම මට පෙනුන දෙයක් තමයි, එකම කණ්ඩායමකට විතරක් සම්මාන ලැබෙන බව.“
“ඇයි මේ රටේ අලුත් නිර්මාණශීලී කතාකරුවන් නැතිද?“
“ඉන්නවා. ඒත් අර කට්ටිය නමකුත් හදාගෙන, ඇඳුරුම්කමුත් හදාගෙනනෙ තියෙන්නේ“
 “මං ආපු එකෙන් වගීෂගේ ලිවීමට බාධා උනානේද?“
“මොන බාධාවක්ද. උදේ පාන්දර මේවගේ සුන්දර රූපයක් දැක්කහම සාහිත්‍ය සිතුවිලි වැඩි වැඩියෙන් ගලාගෙන එනවා.ඒක නෙවෙයි මොනවද ඔය අතේ?“
“වැලිතලප වගයක්“
“කාටද?“
“ඔයාට දෙන්න“
“පොඩි ලැජ්ජාවකුත් මගේ හිතට ඇතුල් උනා. මං වැලිතලප පාර්සලේ වගීෂගේ මේසෙ උඩින් තියලා එන්න හැරුණා.“
“කොහෙද හදිස්සියෙ දුවන්නෙ. ඔෆිස් පටන්ගන්න තව වෙලා තියෙනවනෙ. එන්න, අපි ටිකක් කතා කරමු.“
“කිසිම මොහොතක එවන් ආරාධනාවක් වගීෂගෙන් ලැබෙයි කියලා හිතුවෙ නැහැ. හිතේ සැඟවුණ ආසාවත් මොකද්දෝ බියකුත් එක්ක මං ආයෙත් එයා ඉදිරියේ ඉඳගත්තා“
 “මාත් දවස් කීපයක ඉඳන් බලා හිටියා ඔයත් එක්ක කතා කරන්න.“
“වගීෂ ඒක කිව්වේ හොරගල් අහුලනවා වගේ. “මොකක් ගැනද?“ කියලා මං ඇහැව්වා. මගේ හිතෙත් මොකද්දෝ නොඉවසිල්ලක් තිබුණා. එකපාරට කියන්නේ නැති බරපතල දෙයක් කියන්න හදන බව දැනුනා. ඒ මගේ හිතත් ඉල්ලන දේ තමයි කියලා මට ඉවෙන් මෙන් දැනෙන්ට උනා.“
“ම්...මේ... මං මේ කියන්න හැදුවේ... මං ඔයා ගැන ඔක්කොම හොයාගත්තා. විශේෂයෙන්ම ඔයා මැරි කරලා නැති එකයි ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැ කියලයි.“
“මං කිසිම දෙයක් නොකියා වගීෂ දිහා බලාගෙනම හිටියා. වගීෂ කියන්න හදන දේ තතනද්දී කාලය යන බවනම් මට තේරුණා. වගීෂ, තව ටිකකින් කට්ටිය එන්න පටන් ගනීවි. මාත් සීට් එකට යන්න ඕන. ඊට කලින් ඔයා කියන්න හදන දේ කියන්න.“
“එහෙනම් මං කෙලින්ම කියන්නම් කො. ඔයා කැමතිද මාව මැරි කරන්න.?“
“හැම දෙයක්ම එකපාරට කැරකිලා නැවතුනා වගේ දැනුනා. මං කසාය බීපු ගොළුවෙක් වගේ එයා දිහා බලාගෙන හිටියා. වගීෂගේ සුරත හෙමින් ඇවිත් මගේ සුරතින් අල්ලාගත්තා.“
 “කැමතිද?“
“මම හිනාවෙලා ඔළුව වැනුවා“

“හුරේ.... අපේ කාමිනිත් දැන් පෙම්වතියක්. හුරේ....!!!“

නිමි

Sunday, June 7, 2015

අට වෙනි හෝරාව



            මහ පොළව මත වැතිර සිටි මා නැගී සිටියා. වෙනදා නැති මහා සීතලක මගේ ගත ගිලී ඇත. මම වටපිට බැලීමි. දසත පැතිරි අඳුර සමග ඝන වනාන්තරයකි. බස්සන්ගේ රැහැයියන්ගේ හඬවල් එකට මිශ්‍රව මහා විලාපයක් සේ ඇසෙයි. අද හඳ ඇති රාත්‍රියක් වුවත් මේ මහා ඝන වනාන්තරයට හඳේ එක් රැස්කදම්බයක්වත් පහළ නොවේ. මම බිම අතගාමින් මගේ බෑගය සොයන්නට වීමි. ඒත් අසුවන මානයක නැතුවාසේ ය. එසේ නම් එය පාරේ විය හැකියි. මම අනුමානෙට පාර සොයාගෙන යන්නට වූයේ, මා වනාන්තරය අස්සට පිවිසි ආකාරය සිහිගන්වන්නට උත්සහ දරමින් ය. ඔව්, මට ටිකෙන් ටික දැන් මතක් වෙයි. රෙදි පොට්ටනියකුත් කිහිල්ලේ ගහගෙන හොර රහසෙම ගෙදරින් එළියට ආවේ නිශ්ශංක හමුවීමට යන්නයි.
          “අපිට කවදාවත් ඔයාලගෙ ගෙදරින් කැමැත්ත ලැබෙන්නෙ නෑ උදාරි. ඒ නිසා ඔයා තීරණය කරන්න මාවද අම්මලව ද තෝරගන්නෙ කියලා.....“
          ඒ මීට දින දෙකකට පෙර නිශ්ශංක කීවා මතකයි. ඔව්, එදා මා නිශ්ශංක ළඟට යන්න තීරණය කළා.
          “මම ඔයත් එක්ක එනවා නිශ්ශංක.“
          ඒ නිශ්ශංක මාව ආදරෙන් බලාගනීවි යන විශ්වාසය මා තුළ ඇති වූ නිසායි ඔහු සමග යන්න තීරණය කළේ.
          “හරි, එහෙනම් අනිද්දා හරියටම රෑ අටට, මං ඔයාලගෙ ගෙවල් ගාවට එනවා. ඔයා අවශ්‍යම කරන බඩු ටික විතරක් අරගෙන එන්න.“
          “එපා නිශ්ශංක ඔයා අපේ ගේ ගාවට එන්න. දන්නවනේ අයියගෙ හැටි. ඔයා හන්දියට ඇවිත් ඉන්න. මං එතනට එන්නම්.“
          පෙර දින කතා කරගත් පරිදි ඇඳුම් බෑගයත් අරගෙන හරියටම අට වෙද්දී පාරට පැමිණියෙමි. කවුරුවත් නොමැති අන්ධකාරේ පාර දිගේ ඇවිදගෙන ගිය මා වනාන්තරයකින් මතු වූයේ කෙසේද? කෑලි කපන අඳුරේ කිසිවක් පැහැදිලිව නොපෙනේ. මම අඳුරේම එහා මෙහා සක්මන් කළේ රෙදි පොට්ටනිය සොයා ගන්නටය.
          “අහ්.., මේ තියෙන්නෙ.“ පොට්ටනියේ ගැටීමෙන් වැටෙන්නට ගිය මා සමබරතාව රැක යන්තම් නොවැටී බේරුණි. පොට්ටනිය යන්තම් කිහිල්ලේ ගහගත් මම ඉක්මන් ගමනින් හන්දිය  දෙසට පිය නගන්නට වීමි.
          “දැන් නිශ්ශංක ඇවිත් බලාගෙන ඉන්නවා ඇති.“ මටම මුමුණා ගතිමි.

          වනාන්තර පෙදෙස අවසන කුඹුරු යායක් ආරම්භ වෙයි. දැන් සඳේ රැසින් පාරට ආලෝකයක් ලැබෙයි. මම අඩිය ඉක්මන් කළෙමි. අටේ බස් එක ඈතින් එයි. අද දවසට එන අවසන් ගමන් වාරයයි ඒ එන්නේ. කලක් මම ද සේවය කළ ටවුමේ ගාමන්ට් එකේ වැඩ කර කාන්ති, චාපා, සුගත්, අනුරාධ එන්නෙත් මේ බස් එකේ. ඒ අය ඉදිරියෙන් ඇති  නැවතුම් පොළෙන් බහින නිසා මම ඒ ආසන්නයේ වූ පඳුරකට මුවාවුණිමි.  බසය නවත්තනු ලැබූ අතර ඔවුහු ඉන් බිමට බැස පාර මාරු වී මා සිටින දෙසට එන්නට වූහ. බසය නැවත පිටත් වන්නට වූයෙන් ඔවුහු ඊට ඉඩ දීමට මා සිටින තැන නැවතුන අතර මා දෙස බැලූ කාන්ති නන්නාදුනන්නියක සේ ඉවත බලා ගත්තාය. බසය එතැන පසුකරගෙන ගිය පසු යළි පාරට පිවිසි ඔවුහු මා දෙස නොබලාම යන්නට වූහ. සමහර විට මා ඇඳ සිටින තදපැහැ ඇඳුම නිසාත් ඔවුන් මාව ‍නොදුටුවා විය හැක. එක අතකට එහෙම උන එකත් හොඳය. ඔවුන් මාව දැකල අහන ප්‍රශ්නවලට මං මොනවද දෙන උත්තර. අනික මං ගැන ආරංචිය ගෙදරට යන්නත් තිබුණා. එහෙම උනානම් අයියා අපිව ලුහුබැඳගෙන ඒවි. ඇවිත් නිශ්ශංකව අල්ලාගෙන හොඳ හැටි තඩිබාවි. කොහොමත් අයියා නිශ්ශංකත් එක්ක ඉන්නේ තරහින්.
          “උඹ ඌත් එක්ක තියෙන සම්බන්ධෙ නතර නොකළොත් මං ඕකට මේ ගමේ බත් කන්න ඉඩ තියන්නෙ නෑ.“

          අයියත් නිශ්ශංකත් අතර දිනක් මා සම්බන්ධව ඇති වූ බහින් බස්වීමෙන් අනතුරුව මා අසලට පැමිණි අයියා වියරුවෙන් පැවසූ අයුරු සිහියට නැගෙන විටත් ඇතිවන්නේ බියකි. බස් එක පිටව ගිය පසු පාරට පිවිසි මා අඩිය ඉක්මන් කළා. අනේ... පව් නිශ්ශංක බලාගෙන ඉන්නවා. මම ඔහු අසලට දිව ගියෙමි.
          “නිශ්ශංක ඔයා ඇවිත් ගොඩක් වෙලා ද? මට සමාවෙන්න මං ටිකක් පරක්කු උනා.“

          නිශ්ශංක තරහෙන් වගේ කිසිවක් නොකියා ඉවත බලාගත්තා. මං පරක්කු උන නිසා ඔහු උරණ වී සිටියි. මා ගෙදරින් වෙලාවට පිටත් වු බව කිවත්, මගදි මට සිදුවූ මංවත් හරිහැටි නොදන්න දෙය කියන්න පුළුවන්ද?  නිශ්ශංක එවැනි දෙයක් පිළිනොගන්නා බව විශ්වාසය. ඔහු පමණක් නොව කිසිවෙකුත් එවැන්නක් පිළිනොගනු ඇත. ඒ නිසා මම සත්‍ය යටපත් කරගත්තෙමි.
          “නිශ්ශංක දැන් මම ආවනේ. දැනටමත් අපේ ගෙදරින් හොයනවා ඇති. අපි ඉක්මනට මෙතනින් යමු.“

          නිශ්ශංක නෙමෙයි ගණනකට ගත්තේ. ඔහු මා කියන දේ නෑසුනා සේ හිඳියි. මගේ සුළු ප්‍රමාදයට ඔහු මෙතරම් නපුරු විදිහට හැසිරෙන්නේ ඇයි.? කොහොමටත් නිශ්ශංක කුකුල් කේන්ති කාරයනේ. මා ඒ අසල වූ ගල් බැම්ම මත ඉඳගත්තේ ඔහුගේ කේන්තිය නිවෙන තුරුය.  ටික වෙලාවක් එසේ සිටි නිශ්ශංක අත් ඔරලෝසුව දෙස බැලීය. ඒ සමගම බයිසිකලයට නැගී පිටව ගියේ මා දෙසවත් නොබලාය. මට කෑගසන්නට හිතුන ද අහල පහළට ඇසේවීය යක බියෙන් නිහඬ වූයෙමි. මගේ හිතට නිශ්ශංක ගැන තරහක් මෙන්ම දුකක් ඇති විය. මම හිස ඔක්කෙ තියාගෙන ඇඬුවෙමි. ජීවිතේ කිසිම දවසක මෙතරම් අසරණ බවක් දැනී නැත. අම්මා අයියා නංගි ඒ හැමෝම අත්ඇරලා නිශ්ශංක ළඟට ගිය මාව ඔහු පිළිගත් ආකාරය කෙතරම් අසාධාරණ ද? දෙවියනේ....! මම ආපහු ගෙදර යන්නේ කොහොමද? ගෙදර ගියොත් කාගෙන් බේරුනත් අයියගෙන් නම් බේරෙන්න බැරි වේවි. එයා මාව මරා දමාවි. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී කිව්වලු. මාත් පත්ව ඇත්තේ එවන් තත්වයකට නොවේද?
          “දුව බය වෙන්න එපා. ඔයා ගෙදර යන්න. ඔයාට කිසිම කරදරයක් වෙන්නෙ නෑ.“
          කවුදෝ මගේ කනට කොඳුරා පැවසීය. මම හිස ඔසවා බැලුවෙමි. සුදුවතින් සැරසීගත් පිරිමි රුවක් ඇවිදගෙන යනු පෙනුණී.
          “තාත්තේ....“ මට ඉබේටම කියැවුණි. ඒ සමගම ඔහු නොපෙනී ගියේය. තාත්තා කියූ දෑ සිහියට නගිමින් නැවත ගෙදර යන්නට හිතහදා ගතිමි.  

          ගේට්ටුව ඇරදාලා තිබුණි. “දෙවියනේ....! අයියා“ මට ඉබේටම කියැවුණි. අයියා අල්ලපු ගෙදර නන්දන මාමා එක්ක කතා කරමින් සිටියි. ගෙයි දොර ද ඇර තිබෙන අතර නිවස විදුලි බුබුළුවලින් ඒකාලෝක වී තිබේ. කීප දෙනෙකුගේ කතා බහ ගේ ඇතුළෙන් ඇසේ. ඒ අතරින් අම්මාගේ කට හඬ ද විටින් විට ඉස්මතුවී ඇසෙයි. ඒ හඬ හැඬුම් බරය. මම හෙමින් සීරුවේ අයියට නොපෙනෙන සේ ගොස් ගෙට ඇතුල් වූයෙමි.
          “අහ්, තාත්තා..“ තාත්තා මා දෙස බලා සිනා සුණා. ඒ දෑස් මට අඬගසනවා වගෙයි දැනෙන්නේ. කවදත් අපි තුන්දෙනා ගෙන් තාත්තා වැඩියෙන්ම ආදරය කළේ මටයි. ඒකයි මට එහෙම දැනෙනවා ඇත්තේ. ඒත් තාත්තා දැන් අපි අතර නැත. සුරදූතයෝ එයාව අපෙන් උදුරගෙන සුරවිමනට එක්කගෙන ගිහින් ගොඩක් කල්. කාගෙ කාගෙත් කතා බහ සිදු වෙන්නේ මුළුතැන් ගේ තුළ දීය. මම අඩි ඉක්මන් කර එහාට ගියෙමි. අම්මයි අල්ලපු ගෙදර සුනීතා නැන්දයි (ඒ කිව්වේ නන්දන මාමාගේ නෝනා)  එයාලගේ දුව ඉරේෂා අක්කයි, මගේ නංගියි කුස්සියේ ඉඳගෙන හරි හරියට කතාව. අම්මා විටෙක නහය උඩට අදිමින් කඳුළු පිස දමමින් ද කතා කරන අයුරු මට දොර පළුව අතරින් පෙනේ. මට ඈ ඉදිරියට ගොස් කතා කරන්නට තරම් ධෛර්යක් නැත. මා දොර අසලට වී තැවෙන්නට වීමි. එවිට තාත්තා මා ළඟට පැමිණියා.
          “දුව යන්න, ගිහින් අම්මගේ දෙපා වැඳලා සමාව ගන්න.“
          
           මගේ හිත මහා දුකකින් පිරී යන්නට විය. මම අඬාගෙන ගොස් අම්මගේ දෙපා මුල වැඳ වැටුණෙමි. මුළු මුළුතැන්ගේ පුරා පැවතියේ නිශ්ශබ්දතාවකි. අම්මගේ හිතේ තියෙන වේදනාව තරහක් සේ මවා ගනිමින් මා මතින් පිටකරනවා ඇති. කමක් නැහැ, අම්මා මට සමාව දෙනතුරු මම මෙහෙම්මම ඉන්නවා යි සිතා ගත්තෙමි. මද වෙලාවකින් මගේ දෙවුර අල්ලා ඔසවන්නට විය. මම හිස එසෙව්වෙමි. මුළුතැන්ගෙයි පෙර සිටි කවුරුත් දැන් නැත. මා අසල සිටියේ තාත්තා පමණයි. තාත්තා මා දෙස ආදරෙන් බලාගෙන සිටියි. මම ඔහුව බදා වැළඳගෙන අඬන්නට වීමි. ඔහු මාව ඔහුගේ සිරුරට හේත්තු කරගෙනම ඉදිරියට ඇවිදගෙන ගියේය. ගෙදරින් පිටතට පැමිණි තාත්තා මාවත් එක්කගෙන පාර දිගේ යන්නට විය. නිශ්ශංකත් අම්මාත් මාව නොසළකා හරිද්දී, තාත්තාවත් මා ළඟ නොසිටියේ නම්, මට මොනවා වේද කියා මටවත් සිතාගත නොහැකි වනු ඇත. මගේ සිරුර අප්‍රාණික වී ඇතුවා සේ දැනේ. මගේ දෙපා මට අවනත නැතුවා සේ. ඇවිදිනවා නොව පාවී යනවා සේ දැනෙයි.  තාත්තා මාව එක්කගෙන මීට හෝරා කිහිපයකට පෙර මා ගමන් ගත් පාර දිගේ ගමන් කරන්නය විය. පාරේ ටික දුරක් යන කොට කැලෑව හමුවිය. ඒ කැලෑවේ අතුරු පාරකි. එය අවසන්වෙන්නේ ආරණ්‍යයකිනි. ආරණ්‍යයට යන ගුරු පාරට හැරුණ තාත්තා රූස්ස ගහක් යට නතර වී බිම වූ යමක් දෙසට ඇඟිල්ල දිගු කළා. ගස යට වැටී ඇති කාන්තා මළ සිරුර දෙසට මගේ දෑස් යොමු විය.
          “දෙවියනේ.....! මේ ඉන්නේ මම නේද? සියල්ල එකවර නැවතුනා සේ විය. හිස මුදුනේ දියසුළියක් සේ  රූප රාමු පෙළක් භ්‍රමණය වන්නට විය. අනතුරුව ඒ එක් එක් රූප රාමුව මා දෙනෙත් අබියස දිග හැරෙන්නට විය. ඔව්, හරියටම අපේ ගෙදර බිත්ති ඔරලෝසුවේ අට වදිද්දී රෙදි පොට්ටනියකුත් අරගෙන මා එළියට බහින අයුරු, මාර්ගය දිගේ ඉක්මන් ගමනින් ඇවිදගෙන යන අයුරු පෙනෙන්නට වෙයි.  සඳ එළියෙන් ආලෝකමත් ව ඇති පාර එකපාරටම පත්තුවෙමින් තිබූ පහනක් නිවා දැමුවාසේ අඳුරු වෙයි. ඒ වනාන්තරයේ ආරම්භයයි. මා පය ඉක්මන් කරන්නෙ අඳුරෙන් හැකි ඉක්මනට එළියට යන්න හිතාගෙනය. ටික දුරක යද්දී මගේ කකුලට පෑගෙන නයා කකුලට දෂ්ඨ කරයි. රෙදි පොට්ටනිය බිමට වැටෙයි. වේදනාව ඉවසාගත නොහැකිව සිහිවිකල් වූවෙකු සේ  පාර පුරා ඇවිදගෙන යන මම සිහිමුර්ජා වී මේ ගස මුල ඇදගෙන වැටෙයි. නයි විස මා සිරුර පුරා දිවයයි. ඉන් මා මරණයට පත්වෙයි.

(හිතුට දැනුන අදහසක් ලියල යන්න අමතක කරන්න එපා....)


Wednesday, September 17, 2014

කැරලිකාරයා



 කුරුන්දෙනුත් රබර් වත්තෙනුත් වට වූ ගරාවැටෙන්නට ආසන්න නිවසකි. නිවසේ සිට මීටර් පනහක් පමණ දුරකින්  ගුරු පාර පිහිටා ඇත. බල්ලන්ගේ බිරුම් හඬින් අවදි වූ යසෝහාමි පැදුරේ ඒ අත මේ අත පෙරලෙන්නට වුණි. රැහැයියන්ගේ විලාපයත්, බස්සන්ගේ ‘බුග්‘ හඬත් ඇරුණ විට ඉඳහිට හිවලෙකුගේ හූ වක් ඇසෙයි, නැතිනම් බල්ලෙකුගේ උඩු බිරුමක් හෝ උන්ගේ පොර කෑමක් ඇසෙයි. ඒත් බල්ලන් බුරන්නට ගන්නේ ආගන්තුකයෙකුගේ පැමිණීමක් ඉව වැටුන විට ය.


බල්ලන්ගේ බිරුම නින්දට බාධාවන නිසා යසෝ හාමි පොරවාගෙන උන්නු චීත්තය ඇද ඉහේ සිට පොරවාගෙන ගුලිවුවා ය. ඒත් වැඩි වෙලාවක් එසේ සිටීමට ඇයට බැරි වුණි. නිරාවරණය වී ඇති දෙපා මදුරු සේනාවේ ප්‍රහාරයට ගොදුරු වීම නිසා යසෝහාමිගේ නින්දට දිගින් දිගටම බාධා ඇති විය.පැදුරේ ඉඳගත්  ඈ බල්ලන්ගේ බිරුමට කන්දීගෙන ඉන්නට වුවා ය.  රැහැයියන්ගේ හඬ පරයාගෙන ඇසෙන බල්ලන්ගේ හඬ පෙරට වඩා නිවසට ආසන්නයෙන් ඇසෙන්නට විය. මෑතක සිට ආගන්තුක මුහුණු කිහිපයක් ගමපුරා සැරිසරන බව යසෝහාමිගේ මුහුණටම මුණගැසී තිබුණි. මේ ආගන්තුකයන් ගැන ගමපුරා කාගෙ කාගෙත් මුවග නිතරම පැවතියේ කසු කුසුවකි.


“ටක් ටක්“


එකවරම ඇසුණ හඬින් තිගැස්සුණු යසෝහාමි, තම දෙසවන් දොර දෙසට යොමා සිටින්නට වූවා ය. දොරේ ලෑලි පලු අතරි කවුදෝ හනි හනිකට හූස්ම ගන්නා අයුරු ඇයට ඇසෙන්නට විය.


“අම්මේ....“ යි සිහින් හඬින් ඇසුන ඒ හඬ යසෝහාමි හැඳිනගත්තා ය. ඇඟේ දැවටී තිබූ චීත්තය පසෙකට විසි කළ ඈ වීර්යය ගෙන පැදුරෙන් නැගී සිටියේ ‘අම්මෝ‘ යයි කියමින් ය. දැන් මාස ගණනක සිට දණහිස් අමාරුවකින් පෙළෙන යසෝහාමිට නැගිට්ට සැනින් අඩිය තියා ඇවිදීමට නොහැක. ඈ නොන්ඩි ගසමින් දොර දෙසට ගියේ “පොඩි පුතේ.... උඹ ද?“ යයි අසමින් ය.


“ඔව් අම්මෙ, මං තිස්ස, ඉක්මනට දොර අරින්න.“


යසෝහාමි දෙපළු දොර හරස් කර ඇති පොල්ල ගලවා පසෙකින් තැබුවා ය. එසැනින් ඇරී ගිය දොරෙන් ඇතුලට රිංගා ගත් තිස්ස,


“ඉක්මනට දොර වහලා පොල්ල දාන්න.“ යි පැවසුවේ ය.


“මේ අන්ධකාරේ මක්කවත් පේන්නෙ නැහැනෙ.  හිටිං මං ලාම්පුව පත්තු කරනකම්“  යි පැවසූ යසෝහාමි පුරුද්දෙන් කුප්පි ලාම්පුවත් ගිනි පෙට්ටියත් ගෙන ගිනි කූරක් ගසා තිරයට තැබුවා ය. සැනෙන් මුළු නිවසම ඒකාලෝක විය.


“ඔය දැල්ල අඩු කරන්න“ යි පැවසූ තිස්ස අඩියක් ඉස්සරහට තබත්ම “අම්මෝ...“ යි කියා කොණ්ද අල්ලා ගනිමින් වේදනාවෙන් ඇඹරෙන්නට විය.  


යසෝහාමි පහන ගෙන තම පුතුගේ රුවට ඇල්ලුවා ය. වේදනාබරිත මුහුණ  ඉදිමී ලේ පැහැ ගැන්වී ඇති තැන් දහඩියට දිලිසෙයි. තිස්ස ගේ මුහුණ වෙස් මුහුණුක් සේ යසෝහාමිට පෙනෙන්නට විය. ඇයට ‘අහ්‘ යැයි කියැවුණි. ඈ විවර වූ මුවෙන් ගල් පිළිමයක් සේ තිස්ස දෙස මද වෙලාවක් බලා සිටින්නට වූවාය.  ඇගේ දෑස් කඳුලෙන් පිරීයන්නට වුණි.


“ මොනවදෑ.... මයෙ පුතේ... උඹට මේ උනේ....?


“අම්ම මෙතන මොර දෙන්න එපා. ආමිකාරයෝ මේ ළඟ ඇති.“ යි පවසමින් සෙමෙන් සෙමෙන් අඩිය තියමින් පැමිණ  පුටුවකට වාරු විය.


“මට හරි තිබහයි අම්මෙ. ඔක්කෝටම කලියෙන් වතුර ටිකක් දෙන්න.“


යසෝහාමිට තිස්සගෙන් බොහෝ දේ අසන්නටත් ඔහුට බොහෝ දේ කියන්නටත් උවමනා වි තිබුණි. ඒත් මේ ඊට වෙලාව නොවන බැව් තේරුම් ගත් ඈ නිහඩවම වතුර වීදුරුවක් රැගෙන ආවේ තිස්සගේ තැලුම්වලට කළ යුතු දෑ සිතමින් ය.


“ඉඳා“


තිස්ස වතුර වීදුරුව බීගෙන යන අයුරු දුටු යසෝහාමිගේ හදවත දැවී යන්නට විය. ඔහුගේ ඉරී ඇති කමීසය දෙස බැලූ යසෝහාමිට, කමීසයෙන් වැසී ඇති සිරුරේ ස්වභාවය කෙසේවී ද යන්න දැනගන්නා තුරු ඉස්පාසුවක් නොවීය.


“ගලවපන් ඔය කමීසෙ බලන්න.“


තිස්ස, කමීසයේ නොගැලවී ඇති බොත්තමකට දෑත් යැව්වේ තම මව දෙස බලමින් උදසීනව ය. මුළු සිරුරම රිදුම් දෙන්නට වූවත් ඔහු එය ආයාසයෙන් මැඩ ගනිමින් කමීසය ගැලෙව්වේ ය. පිට, ඉල පෙදෙස හා ළැම නිල් පැහැ ගැන්වී තිබුණි.


“හත් දෙයියනේ උන් උඹට හොඳටෝම තඩි බාලා නේද? හිටින් මං මොනවා හරි ගාන්න.“


දරු පස් දෙනෙකුගෙන් යුත් පවුලක බඩපිස්සා වූයේ තිස්ස යි. එසේම විශ්ව විද්‍යාල වරම් ලැබුණේ ද ඔහුට පමණි. සමාජවාදී අරගලය උත්සන්න වි ආණ්ඩු බලය අතට ගන්න උත්සහ කරන විප්ලවවාදීන් හා ආණ්ඩුව අතර ගැටුම් උත්සන්ව ඇති සමය විය. විශ්ව විද්‍යාලයට ඇතුල්වන සෑම සිසුවෙකුම තම ව්‍යාපාරයට බඳවා ගන්නට විප්ලවවාදීහු විවිධ උපක්‍රම යොදාගත්හ. ගස් ගල් යට පවත්වන දේශනවලට නවකයන්ට සහභාගිවීම අනිවාර්ය විය.


“සහෝදරවරුනි සහෝදරියනී, ලංකාව වගේ කුඩා රටකට, මේ තියෙන ආර්ථික ප්‍රතිපත්තිය කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. මේක ඇති එකා රජකරවන නැති එකා බංගවෙලා යන හදපු ප්‍රතිපත්තියක්. අපි මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. රටේ සම්පත් තුලනයක් ඇති කළ යුතුයි. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට සමාජවාදී ආර්ථික ක්‍රමය හඳුන්වාදිය යුතුයි. ඒ සඳහා අපි හැමෝම එකතු විය යුතුයි සහෝදර සහෝදරියනී!.“


තරුණයාගේ වාග් විලාශයට වශී වූ තරුණ සිසු සිසුවියෝ විප්ලවකාරයන්ට එකතු වූහ. තිස්ස ද ඒ අතරට එකතු වූයේ ශාස්ත්‍ර පීඨයේ පළමු වසරේ ඉගෙන ගන්නා අතරෙදී ය.


යසෝහාමි රෙදි කැබලි කිහිපයකින් පොට්ටනියක් සාදන්නට විණි. ලිප් ගල් තුන මත තබා ඇති කාළ වර්ණ කේතලය ‘සූ...‘ හඬ දෙයි. ලිපෙන් ඉවතට ගත් කේතලය ඇලකර බඳුනකට වතුර ස්වල්පයක්  වත්කරගත් යසෝහාමි තිස්ස අසලට පැමිණියා ය.


 “අනෙ අප්පොච්චියේ.... බලපන් මූණෙ හැටි. මුන්ට වස් වදින්න එපැයි මේ කරපු අපරාදෙට.“ යයි වතුරෙ ඔබා රත්කරගත් පොට්ටනියෙන් තම පුතාගේ මුහුණේ තඩිස්සි වෙච්චි තැන් සෙමෙන් තවමින් පැවසුවා ය.


විශ්ව විද්‍යාල දේශනයෙන් පසු තවත් මිතුරන් දෙදෙනෙකු සමග පාරට පිවිසි තිස්ස අසල කඩයකට පියනගන්නට වූයේ ප්ලේන් ටී එකක් බීමේ අදහස ඇතිව ය. එකවරම ඔවුන්ගේ ගමන හරස් කරමින් ජීප් රියක් නැවැත්වීය. ඉන් බැසගත් හමුදා සෙබළු ඔවුන් ඉදිරියේ හිටගත්තේ අතැති තුවක්කු තරුණයන් දෙසය මනමින් ය.


“උඹලා ආණ්ඩුව පෙරලන්න කුමන්ත්‍රණ කරනවා නේද? යි සෙබළෙක් තරුණයන්ගෙන් අසද්දී ඔවුන් ගොළුවතින් එකිනෙකාගේ මුහුණු බලාගත්හ.


“කතා කරපන්, උඹල නේද හන්දියෙ කඩ පේළියේ ඊයෙ රෑ පෝස්ටර් ගැහැව්වේ.?“


“අපි නෙමෙයි.“ යි ආයාසයෙන් වචන එකතු කරගනිමින් තිස්ස පැවසුවේ ය.


“තොපි නෙමෙයි, එහෙනම් අපි ද යකෝ පෝස්ටර් ගැහැව්වේ?“ යි කියමින් ඉදිරියට පැමිණි සෙබළා අතමිට මොළවා තිස්සගේ මුහුණට පහරක් එල්ල කළේ ය. එසැනින් පැන දුවන්නට හැදූ තිස්සගේ කමීස කොළරයෙන් අල්ලා ගත් සෙබළා දිගට හරහට ඔහුට තලන්නට විය. ඉක්බිති තරුණයන් තිදෙනාව දමාගත් ජීප් රිය වේගයෙන් ධාවනය කරවන්නට විය. ප්‍රධාන මාර්ගයෙන් ගල් බොරළු පාරකට හැරවූ ජීප් රිය මද දුරක් ගොස් පැමිණි වේගයෙන්ම තේ වත්තකට හැරවීය. ඒ සමගම සමබරතාවය ගිලිහී ගිය රිය  ගසක හැපි තේ පඳුරු අස්සේ පෙරලෙන්නට මෙන් ඇලවි නතර විය. ගසේ වැදුණ වේගයට රථයේ පිටුපස දෙපළු දොර ඇරී සෙබළු දෙදෙනා සමග තිස්ස හා තවත් තරුණයෙක් ජීප් රියෙන් එළියට විසිවුණහ.


“පූරුවේ පිනකට උඹව බේරිලා තියෙන්නෙ.“ යි තිස්සගේ බියකරු අත්දැකීම අසා යසෝහාමි පැවසුවේ තම පුතුගේ හිස අතගාමින් ය.


කවදාවත් නොවූ ධෛර්යයක් හිතට අරගත් යසෝහාමි කෑලි කපන අන්ධකාරයේම තිස්ස ද කැටුව එළියට බැස්සාය . සතා සර්පයා ගැවසෙන බිමේ ඉදිරියට පය තබන්නට තිබූ එකම ආරක්ෂකයා දර කෑල්ලක් පමණි. නිවස පිටුපසින් ටික දුරක් ගිය විට ගල්තලාවක් හමුවෙයි.ඒ ගල්තලාව පිටුපසින් මිනිසෙකුට යන්තම්  සැඟවී සිටීමට ප්‍රමාණවත් කුහරයක් ඇත. හුළු අත්තක් නොමැතිව සඳ එළියෙන් පාර සොයාගත් යසෝහාමි ගල්තලාව අසල නතර වූවා ය.


“පොඩි පුතේ... මේ රාත්තිරියේ ඔය ගුහාව අස්සට රිංගන්න එපා. මොන සතා ඉන්නවද කියන්න බැහැනේ. ඒ හන්දා අපි දෙන්නම ගල්තලාවට ගොඩවෙලා රාත්තිරිය ගෙවමු. මං උදේට එතන සුද්ද කරලා දෙන්නම්.“ යි යසෝහාමි තිස්සගේ කනට කොඳුරන්නට වූවා ය.


රාත්‍රී අන්ධකාරය දියකරමින් හිරු කිරණ ගස් කොළන් අතරින් ගල්තලාවට වැටෙමින් තිබුණි. නොදැනීම ගල්තලාව මත නින්දගොස් සිටි යසෝහාමි අවදි වූවා ය. ඇගේ පසෙකින් තිස්ස නිදාගෙන සිටියි. ලාම්පු එළියෙන් දුටුවාට වඩා පැහැදිලි ලෙස තම පොඩි පුතාගේ මුහුණ දුටු යසෝහිමිගේ හදවත දැවී යන්නාක් සේ දැනෙන්නට විණි. ඇගේ දෙනෙතට කඳුලක් නැගුණි. වේදනාව සමනය වී ඇති නිසාදෝ තිස්ස පසුවූයේ තද නින්දකය. ඈ සෙමෙන් ඔහුගේ හිසකෙස් අතර ඇඟිලි තුඩු යවා හිස පිරිමදින්නට වූවා ය. පෙර දින රාත්‍රියේ තිස්සට නින්ද යන තුරු තම දෙපා මත තබාගත් ඔහුගේ හිස සෙමෙන් අතගාන්නට වූවා ය. නින්ද යන මොහෙත දක්වා ඔහු විටින් විට කෙඳිරිගෑ අයුරු යසෝහාමිට මතක් විය.


ගල්තලාවෙන් බිමට බට යසෝහාමි ගල් කුහරය තුළට එබී බැලුවා ය. ඉහළට වැවී ඇති තණ කොළවලින් එය වැසී තිබුණි. යසෝහාමි තම දෑස් සුපරික්ෂාකාරී ලෙස වනය පුරා යැවී ය. විහඟුන් කිසි කලබලයකින් තොරව නිදහසේ පිහාඹති. තරඟයට ඇසෙන කිචි බිචිය විලාපයක් නොව සුහද සංවාදයකි.  තවමත් නින්දේ පසුවන තිස්සගේ පාදයකට තට්ටු කළ යසෝහාමි,


“පුතේ.... පොඩි පුතේ....“ යයි කතා කළා ය.


“ම්.....“


“පුතේ.... මං හනිකට ගිහින් මොනා හරි ගේන්නම් මෙතන සුද්ද කරලා දාන්න. උඹ ප්‍රවේසමෙන් හිටපං“


          යන්තමින් ඇහැක් ඇර “හ්ම්“ යැයි කියූ තිස්ස කෙඳිරිගාමින් අනෙක් පස හැරුණේ ය. පය ඉක්මන් කර නිවසට ගිය යසෝහාමි පෙර දින උගුල්ලා  තිබූ මයියොක්කා අලයක් තම්බන්නට විය. කඩිමුඩියේ රතු ළුෑනු ගෙඩි කිහිපයක් ගෙන සුද්ද කර ගලේ දමා වේලිච්ච මිරිස් කරල් කිහිපයක් හා ලුණූ ද සමග පෙර කිසි දිනක නොවූවිරූ වේගයකින් අඔරන්නට වූණි. ඈට ඒ සඳහා ශක්තිය කෙසේ ලැබුණා දැයි කිව නොහේ. තැම්බී තිබූ අලත් ලුණු මිරිසුත් දමාගත් බාජනය එක් අතකටත් උදලු කෙටියක් ආනෙක් අතටත් ගෙන ඈ මිදුලට බැස්සේ අවට පරිසරය පිළිබඳ පැහැදිලි නිරික්ෂණයකට පැමිණීමෙන් අනතුරුව ය.


ගල්තලාව මත ඉඳගත් තිස්ස තම මුහුණෙ හා ඇඟේ ඇති තැලුම් පහරවල් සෙමින් පිරිමදින්නට වූයේ ය. තුවාල මතින් ඇගිල් යද්දී ඉඳිකටුවකින් අඳිනවා වැනි වේදනාවක් දැනෙන්ට විය. තිස්ස හිස ඔසවා බැලීය. එකිනෙකට සමීපව ඇති මහා රූස්ස ගස්වලින් විහිදී ඇති අතු එකිනෙක අත්වැල් බැඳගත් මහා ශාක සාගරයක් සේය. ඔහු අවට පරිසරයට දෑස් යොමු කළේ ය. එහි ද ඉමක් කොනක් නොපෙනෙන හරිත වනය. තමා මහා දැව පෙට්ටියක් තුළ කොටුවී ඇතුවා සේ දැනෙන්නට විය.


          “පුතේ උඹට දැන් කොහොමෙයි? තාමත් ඇඟපත ඇදුම් දෙනවයි.?“


          “දැන්නම් ටිකක් සුවයි“


          “දැන්මේ කෑම ටික කාපං. එතකම් මම දෙබුක්කාව සුද්ද කරන්නම්.“ යි පවසමින් කෑම භාජනය තිස්ස අතට ලබා දුන් යසෝහාමි දෙකට තුනට නැවි ගල්තලාව අස්සට නොපෙනී ගියාය. කෙනෙකුට යන්තම් එරමිණියා ගොතාගෙන සැඟවි සිටින්නට එය කදිම තැනකි. කුහරයේ උසටම වැවී තිබූ තණකොළ උඳුරා දැමූ යසෝහාමි තමා ගෙනැවිත් තිබූ ඉටි උරය එලුවා ය.


          “පුතේ... මළ මුත්‍ර කරන්න එළියට යනවා හැර උඹ මේක ඇතුලටම වෙලා ඉන්ට ඕනි.“


          “අයියෝ... අම්මෙ, කොච්චර දවසක් කියලා මේක අස්සෙ ඉන්නද? මේ තැලුම් ටික සුව උනහම මං එළියට යන්න ඕන.“


          නිශ්චිත දිනයක් නොමැතිව ගල් කුහරයක් අස්සට වී සිටීම තරම් තවත් අසීරු කාර්යයක් තිස්සට නොවී ය.


          “උඹට පිස්සු ද? උඹව ගොදුරු කරගන්න අරුන් දත් විලිස්සගෙන ඇති.“


          යසෝ හාමි එසේ කිව්වත් තිස්සට හැමදාම එසේ සිටිය නොහැකි බව ඈ දනී. එසේ නම් කළ යුත්තේ කුමක් ද? පැදුරට වැටුණු යසෝ හාමි දෑස් පියාගන්නවා වෙනුවට දෑස් ඇරගෙන ඉන්නට උත්සහ දැරුවා ය. ඇයට තිස්සව ගල් දෙබුක්කාවක තනිකර දමා ඒම හිතේ මහා තැවුළක් ඇති කළාසේම ගෙවෙන සෑම තත්පරයකම සිතට ගෙන ආවේ බියකි. තිස්සව එළියට යැව්වොත් දඩයම් බල්ලන්ට අසුවුණ මුවෙකුගේ ඉරණම කෙසේ වේද එම ඉරණම තිස්සට ද අත්වන බව යසෝහාමි දනියි.


          හමුදාවට හසුවන විට අත රැඳි සටහන් පොත් බෑගය කුහරයේ පසෙකින් තබා ඇත. ඉන් පොතක් අතට ගත් තිස්ස, ගල් තලාවට නැග කියවන්නට උත්සහ දැරීය. ඒත් ඔහුට හිත එකඟ කරගත නොහේ. තමා කළේ මෝඩ ක්‍රියාවකැයි තිස්සට කිසිවිටෙකත් නොසිතේ. දුප්පත්කමේ පතුලට වැටී සිටි තරුණයෙකු ලෙස විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න වරම් ලැබුව ද, අධ්‍යාපන කටයුතු කරගෙන යන්නට ප්‍රමාණවත් ආධාරයක් රජයෙන් නොලැබීම නිසා අධ්‍යාපනය ඇණ හිටීමේ අවදානමකට හසුවී තිබුණි. ඒ නිසා කවදාවත් දුප්පත් එකෙකුට ඉහළට එන්නට මේ සමාජ ක්‍රමය තුළ ඉඩක් නැතිබව තේරුම්ගත් තිස්ස තමාට අහිමිවීමට යන වරප්‍රසාද තම පන්තියේ අනාගත පරපුර උදේසා සුරක්ෂිත කරගැනීමේ සටනට එළැඹීයේ ය. ඒ ගැන මේ මොහොතේ පවා තිස්සගේ සිතේ ඇත්තේ සියුම් ආඩම්බරයකි.


          “මයෙ පුතේ, ඊයෙ රෑ පුරාවට මං කල්පනා කළේ උඹට මොනවද කරන්නෙ කියලා. මට අදහසක් ආවා. මං හිතනවා උඹේ ජීවිතේ බේරගන්න තියෙන හොඳම කෙරමෙ ඒක කියලා. උඹ පිටරට ඉන්න පාලිත පුතාට ලියුමක් ලියපන් උඔවත් එහාට ගෙන්න ගන්න කියලා. ඔය පාලිතටත් රට යන්න උනේ උඹ වගේ පලහිලව්වකට අහුවෙන්න ගිහිල්ලලු නේ?“


“මම කැමති නැහැ අම්මෙ බයගුල්ලෙක් වගේ පැනලා යන්න.“


“පුතේ මං මළපොතේ අකුරක් දන්නෙ නැති නූගත් ගෑනියෙක් බව ඇත්ත. ඒ උනත් උඹලා ඔය ආණ්ඩු පෙරළන්න හදන වැඩේනම් මගේ පුංචි මොළේට වැටහෙන හැටියට නම් හොඳ වැඩක් නෙවෙයි. දැන් බලපන් උඹේ පස්සෙ අරුං පිස්සු බල්ලො වගේ පන්නන හැටි.“


“අම්මලට මේවා තේරෙණ්නේ නෑ. අපි ලොකු සැලැස්මක් හදාගෙන යන්නේ ආණ්ඩු බලය අතට ගන්න. අන්න එදාට රටේ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් වේවි. අපි කාට කාටත් සතුටෙන් ජීවත් වෙන්න ඇහැක් වෙයි.“


තිස්සගේ මොළය සම්පූර්ණයෙන්ම සෝදාපාළු වී ඇති බව යසෝහිමි ට දැනුණි. මේ අදහස් කෙසේ වෙනස් කරන්න ද කියා ඈ සිතන්නට වූවා ය.


“මේ අහපන් මයෙ පුතේ.... උඹලා හිතන පතන රටක් හදන්න නම් ජීවත් වෙලා ඉන්ඩ එපැයි. දැන් අරුන් දකින දකින කොල්ලව උස්සගෙන යනවා. මේක මහ පොළව උහුලන්නේ නැති අපරාධයක්. මයෙ පුතේ, උඹේ අම්ම ගැන හිතල ටික කාලෙකට හරි පාලිත ගාවට ගිහින් හිටපං. උඹට මක්කවත් උනොත් මගේ පපුව පැලේවි.“ යි පැවසූ යසෝහාමි චීත්ත පොටින් දෑස් පිසදා ගනිමින් ගල්තලාව පාමුලට ගෑටුවා ය.


තිස්සට වැඩිමහල් හතර දෙනාම ගෑනු ළමයි වූහ. ඔවුන් සාමාන්‍ය පෙළින් එහාට ඉගෙන ගත්තේ නැත. ඒත් තිස්සට හොඳින් ඉගැන්විය යුතු යැයි යසෝහාමිත් ඇගේ සැමියා වූ සාදිරිසුත් අදිටන් කරගත්තේ කොල්ලා ඉගෙනගැනීමට දැක් වූ දක්ෂකම් නිසා ය.


“පුතණ්ඩියා කවදා හරි හොඳ තැනකට ඒවි. අපේ කුසට නැති උනත් ඌට හොඳට කන්න දීපල්ලා.“ යනුවෙන් වරක් තම සැමියා කියා සිටි අයුරු යසෝහාමිගේ සිතට ආවර්ජණය විය. ඒත් එදා ඔහු කියූ අනාවැකිය හරියන අයුරු දැක ගන්නට තම සැමියට ජීවත් වීමේ වාසනාව නැති විය. තිස්ස විශ්ව විද්‍යාලයට තේරුණ ලිපිය එන්නට හරියටම සතියකට කලින් සාදිරිස් පොළගෙකු සපා කෑමෙන් මිය පරලොව ගියේ ය.


මව ගල්තලාව පල්ලේ වාඩි වෙලා කඳුළු සලමින් සිටින අයුරු දුටු තිස්සගේ සිතට ඇති වූයේ සංවේගයකි. තිස්ස තම මව් පැවසූ දෑ ගැන යළි යළිත් මෙනෙහි කරන්නට වූයේ ය. පාලකයන් තම බලය යොදමින් සංවිධානෙ කොල්ලෝ දුටු දුටු තැන අල්ලාගෙන යන්නට විය. ඒ අතර මේ ගැන හය හතර නොදත් කොල්ලන් ද මොවුන්ගේ ගොදුරු බවට පත් විය. එසේ අල්ලාගෙන ගිය කිසිවෙකු පණ පිටින් ආ බවට ආරංචියක් ද නැත.


ගල්තලාවේ දිගා වූ තිස්ස, තම දෑස්වලට ඉහළින් ඇති රූස්ස ගස් වියනෙන් එහා ඇති නිල් අඹර සොයන්නට විය.  ඒත් ඒ දර්ශනයට බාධා කරමින් දඟකාර ඉර තම කිරණ විදිමින් තිස්සගේ දෑස් නිලංකාර කරවන්නට විය. ඔහු විගසින් දෑස් වසාගත්තේ ය. මද වෙලාවක් දෑස් පියාගෙන හුන් තිස්ස ගල් තලාව මත හිඳගත්තේ ය. බෑගයේ වූ ලියන පොතෙන් කොළයක් කඩා ගත්තේ ය. පෑන ද අතට ගත් හෙතෙම, හිතාදර පාලිත අයියා වෙතට....යනුවෙන් අරඹා සිදුව ඇති දෑ හැකිතාක් කෙටියෙන් කඩදාසිය මත අකුරු කරන්නට විය.


අවසානයේ කෙසේ හෝ තිස්ස තම ඉල්ලීමට එකඟවීම ගැන යසෝ හාමිගේ සිතේ ඇතිවූයේ අසීමිත සතුටකි.


“මම අදම මේක තැපෑලට දානවා. උඹ කිව්වද හැකි ඉක්මනින් උත්තර එවන්න කියලා...“


“එහෙම කිව්වෙ නෑ. ලියලා තියෙන විස්තරේ දැක්කහම එයා තේරුම් ගනීවි.“


ලියමනත් අරගෙන ආ පයින්ම ගෙදර ගිය යසෝහාමි අලුත් චීත්තයකට මාරු වූවාය. ඉක්බිති මල් පැල ළඟට ගොස් මොන මොනවදෝ මුමුණන්නට විණි. අනතුරුව තැපැල් කන්තෝරුවට යන්නට පිටත් වූවා ය.


තිස්සගෙ මුහුණේ වූ ඉදිමුම් බැස ගොස් තිබුණි. එහෙත් සිරුරේ එහෙන් මෙහෙන් ශේෂ වී ඇති වේදනාවන් විටින් විට දැනෙන්ට විය. ඒවා අමතක කර දමමින් ගල්තලාවේ හිටගත් තිස්ස දෑත් දෙපසටත් ඉහළටත් ඔසවන්නට වූයේ ය. පා ඇඟිලි ඇල්ලීමට නැවුණේ ය. ඒ සමගම පිට හරහා විදුලියක් ඇදී යනවා සේ වේදනාවක් දැනුනෙන් ඉබේටම “ඌයි!“ යයි කියැවුණි. ඔහු හෙමින් සීරුවේ කඳ කෙළින් කරගත්තේ ය. තිස්සගේ සිතට මහත් අලසකමක් දැනෙන්ට විය. තව කෙතරම් කාලයක් මෙසේ සැඟවි සිටින්නට වේදැයි ඔහු සිතන්නට වූයේ ය.


යසෝහාමිනේ පැදුරේ ඇලවුණේ සැහැල්ලු සිතෙනි. තිස්ස පිටරට යන්න කැමතිවීම ඇගේ හිසේ වූ බරකින් සැහැල්ලුවීමක් වැනි හැඟීමක් ඇති කළාය. එහෙත් එසැනින් ඒ සතුට බිඳගෙන විදුලියක් සේ ඇදී ගිය සිතුවිල්ල ඇගේ සිත කළඹන්නට විය. ඒ ඈ තැපැල් කන්තෝරුවට ගිය විට එහි පැමිණි එකෙකු කියූ කතාවක් නිසායි.


“ආ... යසෝහාමි, මොකද පුතණ්ඩියා රට පටවන්නද හදන්නේ...? ඕකුන් තමයි රට කන්නෙ“ යි කියාගෙන තම අත රැඳි ලියමන පෙට්ටියට දමා යන්ට ගියේ “තුහ් නොදකින්“ යයි කියමින් කෙළ පිඩක් ද බිමට ගසාය. ඔහුට සාප කරමින් යසෝහාමි පැදුරේ අනෙක් අතට ඇලවුණි.


  කුරුළු කොබෙයියන්ගේ කිචි බිචිය ට අවදි වූ යසෝහාමි වතුර කේතලය රත්කොට තේ කහට සාදන්නට වූවා ය. තිස්සගේ කෝප්පයට තේ වතුර වත්කර, හකුරු කෑල්ලකුත් අතට ගත් යසෝහාමි පය ඉක්මන් කර යන්නට වූයේ වෙනදාට වඩා පමා වී තිබූ නිසා ය. වෙනදාට තේ අරගෙන යද්දී ගල්තලාවට නැග පෙර මග බලා උන් තිස්ස අද පෙනෙන්ට නැත. ගල් තලාව මත තේ කෝප්පය තැබූ යසෝහාමි තිස්සට කතා කළාය. නැත කිසිම පිළිතුරක්. ඇය ගල්තලාව අස්සෙන් ගොස් ගල් කුහරය තුළට හිස පොවා බැලුවා ය. ඉරා දමා තිබූ පොත් සීසීකඩ විසිරී ඇති අයුරු යසෝහාමිට දැක ගත හැකි විය.
හිතට නැගෙන අදහස කොමෙන්ට් කරල යන්න අමතක කරන්න එපා.


(ඡායාරූප අන්තර්ජාලයෙන්)