මම හෝටලයට යනවිට දිනය ගත කිරීම සඳහා කුඩා ළමුන් සමග
පවුල් කිහිපයක් පැමිණ තිබුණි. සුසෑන් සේවාදායකයෙක් සමග කතා කරමින් සිටියි. මම එයට
බාධා නොකර පසෙකින් හිඳ ගතිමි. සේවාදායකයා ගිය පසු ඈ වෙතට ගියෙමි.
“මාව මතක ද?“
“ඔව්, මිස් කලිනුත් ඇවිල්ලා තියෙනවා නේද?“
“ඔව්.“
“හැබැයි අද නම් සර් නෑ.“
“හ්ම් මං දන්නවා. සර් රට යන වෙලාවේ මට කිව්වා මේ පැත්ත
පොඩ්ඩක් බලන්න කියලා.“
මගේ මුවෙන් එම වැකිය පිටවනවාත් සමග ඇගේ මුහුණේ ඉරියව්
වෙනස් විය.
“ඔයා සර්ගෙ කවුද?“
“මං කවුද කියන එක නෙමෙයි මෙතන වැදගත්, සර් මට කියපුදේ
හරියට ඉටු කිරීමයි. කරුණාකරලා මට කෑෂ් බුක් එක බලන්න පුළුවන් ද?“
“සර් මට එහෙම දෙයක් කියලා නෑ. සර්ගේ පර්මිෂන්
නැතුව කාටවත් කෑෂ් බුක් එක දෙන්න බෑ.“
ඇය කියූ කතාවේ ද සත්‍යක් ඇත. සුරංග මාව සුසෑන්ට හඳුන්වා
දී නැති නිසා ඇ පොත දීම ප්‍රතික්ෂේප කිරීම පුදුමයක් නෙමෙයි. ඒහෙත් ඒ සියලු සත්්‍යන්
අභිබවා සියුම් කෝපයක් සිතේ ඇවිලෙන්නට විය. එහෙත් හිතේ මෝදුවන ආවේගවලට ඉඩහැරීමට
සුදුසු තැනක් නොවන නිසා මා ඉවසන්නට සිතාගත්තෙමි. ඊළඟ කළයුත්ත ගැන සිතන්නට වීමි.
සුරංගට ඇමතුමක් දීමට ද මෙය වෙලාවක් නොවේ. ඔන්න අහම්බෙන් පියල් එතැනට පැමිණියේ ඔය
අතරේ දීය.
“ආ... නෝනා ඇයි මේ හදිස්සියෙන්“
“මහත්තයා මට කිව්වා මේ පැත්ත පොඩ්ඩක් බලන්න කියලා. ඒකයි
පියල් ආවේ. මේ... මම කෑෂ් බුක් එක සුසෑන් මිස්ගෙන් ඉල්ලුවා එයා ඒක දෙන්න බැහැ කියනවා.“
“ඒ කොහොමද. එයාට එහෙම බැහැ කියන්න බැහැනෙ නෝනා.“
“ඒකෙ වැරැද්දක් නෑ පියල්. සුසෑන් මිස් තවම දන්නෙ නැහැ මං
කවුද කියලා.“
“නෝනා එන්න. මං නෝනව සුසෑන් මිස්ට හඳුන්වලා දෙන්නම්.“
මම පියල් සමග ඔහුගේ පිටුපසින් පිය නැගුවෙමි. කවුන්ටරය
අසල නැවතුන පියල්,
“මිස්. මේ නෝනා ඉල්ලන පොත දෙන්න.“
“මං කොහොමද පියල් ඒක කරන්නෙ. මං මේ නෝන කවුද කියල
දන්නෙත් නෑ.“ ඒ සමගම දුරකථනය නාද වන්නට විය. “එක්ස්කියුස්“ යැයි පවසමින් සුසෑන්
දුරකථනයට අමතන්න විය. පියල්ගේ කතාව ඒ සමගම නැවතිණි. දුරකථන සංවාදය දිගටම
පැවැත්වෙයි. පියල්ට මෙය තවදුරටත් ඉවසා සිටීමට නොහැකි විය.
“මිස්, මේ ඇවිල්ල ඉන්නේ අපේ සුරංග මහත්තයා බඳින්න ඉන්න
නෝනා.“ යයි පැවසීය. ඒ වදන් ඇසුන සැනින් සුසැන්ගේ දෑස් විශාල වී නළල රැළි වැටුණි.
ඇගේ කතාව ඉබේටම නැවතිණ. රිසීවරය දුරකථනය මත ඉබේම තැම්පත් විය. මම නිහඬව ඈ දෙස බලා
උනිමි. මා දෙනෙත් මහහරිණු වස් බිමබලාගත් ඈ මේස ලාච්චුවෙන් මුදල් පොත ගෙන මා අත
තැබීය. එය අතට ගත් මා සුරංගගේ කාර්යාල කාමරය විවෘත කර ඊට ඇතුල් වූයෙමි. සුරංගගේ
අසුනේ ඉඳගත් මම මුදල් පොත පරික්ෂා කරන්නට වීමි. මද වෙලාවකින් පියල් තේ කෝප්පයක්
රැගෙන කාමරයට පැමිණියේය.
“නෝනා එන්න කලින් මටවත් කෝල කරානම්, මම සුසෑන් මිස්ට
කියල තියනවා.“
“මං එච්චර දුරට හිතුවෙ නෑ පියල්.“
“අපේ මහත්තයා කතා කළේ නැද්ද නෝනා.?“
“ඇයි නැත්තෙ. හෝටලේ ගැන පියල් ගැන එහෙමත් අහනවා.“ යි මා
පැවසූ විට පියල් මුව ඇල කර ලෙන්ගතු සිනහවක් පෑවේය. ඒ ඔහුගේ හැටිය.
“එකඅතකින් නෝන මේ පැත්තේ ආපු එක හොඳයි.“
“ඇයි පියල්.“
“මට පොඩි කාරණාවක් නෝනට කියන්න තියෙනවා.“ යි කියූ පියල්
තව ටිකක් මේසය අසලට ළං විය.
“මං මේ කියන දේ අහල නෝන කලබල වෙන්න එපා. මං ගැන වරදවා
හිතන්නත් එපා. මං මෙතන සුළු සේවකයෙක් බව හැබෑව. ඒ උනත් මට හිතනවා මේක මගේ යුතුකමක්
කියලා.“
“මං දන්නවා පියල් අපිට හිතවත් කියලා“
“ඒක තමයි නෝනා. ආපේ මහත්තයා මට ගොඩක් උදව් කරල තියෙනවා.
අපේ මහත්තයට තියෙන්නේ කරැණාවන්ත හදවතක්. නෝනත් ඒ වගේමයි.“ පියල් කාරණාව නොකියා
අනවශ්‍ය වැල්වටාරම් කීමෙන් මා සිතේ හට ගැනුනේ තරහකි.
“පියල් දැන් ඇති ඔය වැල් වටාරම් කියෙව්වා. කියන්න ආපු
කාරණාව කියන්න.“
“අපේ මහත්තයා ඇහැට කනට පේන ලස්සන කෙනෙක්. ඉතිං ඕනම ගෑනු
ළමයෙකුගේ හිත මහත්තයට ඇදිල යනවා.“
පියල් කියාගෙන ආපු දෑ අතර මගදී ගිල ගත්තා. එහෙත් ඔහු
කියූ දේ අනුව ඉතිරිය දැන ගන්නා තුරු මට ඉවසුම් නැති විය. ඉතිරියද කියන ලෙස මම ඔහුට
ඇවිටිලි කළෙමි.
“අපේ මහත්තය නම් මේ මොකුත් දන්නේ නෑ. ඒත් සුසෑන් නෝනා
නම් මහත්තයට පිස්සු වැටිලා කියලා මට තේරුණා.“
පියල් කියූ දේ අසා මගේ ඉහමොළ රත්වන්නට විය. මේ මොන
ගින්නක්ද පත්තුවෙන්න යන්නෙ. සුසෑන් දුටු මුල් දිනයේදීම මට ඈ කෙරෙහි කිසිදු
පැහැදීමක් ඇති නොවුණාය. ඈ සුරංගව රවටාගනීවි යන බිය මගේ හිතේ දළුලන්නට විය. කෙසේ හෝ
ඇගේ සිහිනයට අදම නැවතීමේ තිත තැබිය යුතු යයි මම සිතා ගත්තෙමි. මම මුදල් පොත ගෙන
සුසෑන් වෙත ගියෙමි. ඇය මා දුටුවත් මා ගැන තැකීමක් නොකර කුඩා කණ්ණාඩියකින් මුහුණ
බලමින් තොල් ආලේප ගල්වන්නට වූවාය. අවට කිසිවෙක් නොසිටින බැවින් මම ඇගේ කාර්යය
අවසන් වන තුරු නිහඬව සිටියෙමි. ඇය අනවශ්‍ය ලෙස කාලය ගනිමින් සිතාමතාම ප්‍රමාද
කරනවා යැයි මට සිතුණි.
“ලස්සන පාට හොඳට ගැලපෙනවා.“
මා එසේ පැවසුවද ඈ ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූවාය.
දැන් නම් මගේ ද ඉවසීමේ සීමාව ඉක්මවා යන්න ආසන්න වී තිබුණි.
“සුසෑන් මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන.“
ඇය තම කාර්යය නැවැත්තුවේ නුරුස්සනා ස්වභාවයෙනි. ඇය සියලු
ආම්බන්න කවුන්ටර් ලාච්චුවේ දමා එය තරමක් සද්දෙන් වැසුවේ මාගේ පැමිණීමට අකමැත්ත
පලකිරීම සඳහාය. මම මුදල් පොත පෙරළුවෙමි.
“සුසෑන් ඔයා ගනු දෙනු ලියද්දී මීට වඩා අකුරු පැහැදිලිව
ලියන්න ඕන. විශේෂයෙන්ම ඉලක්කම්.“
“ඕව මිස්ටර් බණ්ඩාරතිලකට කියවන්න පුළුවන් විදිහටයි මං
ලියලා තියෙන්නේ, නැතුව මේ වෙන අයට කියවන්න නෙමෙයි.“
සුසෑන් මා දෙස බලා ගස්සාගෙන ඉවත බලාගත්තාය. මගේ සිතේ ඈ
කෙරෙහි කෝපයක් ඇති විය.
“ඔයාට අමතක උනාද මිස්ටර් බණ්ඩාරතිලකට වගේ මටත් මේවයේ
අයිතියක් තියෙනවා කියලා. පියල් කියල දුන්නනේ ඒ කොහොමද කියලා!“
එසේ සැරවෙමින් අත වූ මුදල් පොත වේගයෙන් කවුන්ටරය මත තබා
එතැනින් පිට වීමි. ඇය තව දුරටත් හෝටලයේ තබාගැනීම අනවශ්‍ය කරදරයකට අතවැනීමක් කියා
මට සිතුණි. ඒ නිසා සුරංග පැමිණි විගස ඔහුට සියල්ල පහදා දී වෙනත් කෙනෙකු සේවයට බඳවා
ගතයුතු බැව් සිතා ගත්තෙමි.
එදින රාත්‍රියේ සුරංග මට කතා කළේය. ඒ වන විට මගේ හිතේ
නලියමින් තිබුණ සතුටුදායක ආරංචිය මම සුරංගට පැවසුයෙමි. ඉන් ඔහු මහත් අමන්දානන්දයට පත්
වූ වා සේම ඒ සුභ ආරංචිය ලංකාවෙ සිටිය දී දැන ගන්නට නොහැකි වීම නිසා පසුතැවීමට
පත්විය.
උදෑසන පියල්ගෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණි. සුසෑන් සේවයට
වාර්තා කර නැති බව ඔහු කියා සිටියේය. මම කඩිනමින් සූදානම් වි හෝටලයට ගියෙමි.
කවුන්ටරය හිස් ය. වෙනදා කවුන්ටරවේ වූ ප්‍රියමනාප රුව එහි දක්නට නොලැබුණි.
සුසෑන් ඉන්පසු කිසිම දිනක හෝටලයට පැමිණියේ නැත. මා ඈයට
යාමට නොකියුවත් ඇය පැමිණියේ නැත. නොපැමිණීමට හේතු දන්වා සිටියේ ද නැත. ඇගේ හිතේ
සුරංග ගැන අදහසක් තිබුණානම් මා ගැන දැනගත්
පසු එය ඇයට දරාගැනීමට නොහැකි වූවා විය හැක.කෙසේ නමුදු සුරංග පැමිණ කිසියම් ක්‍රියා
මාර්ගයක් ගන්නා තුරු මම සුසෑන්ගේ රාජකාරිය භාර ගතිමි. සුසෑන් කතා කළ විට මේ ප්‍රශ්නය
සුරංගට දන්වා නොසිටීමට වග බලාගත්තෙමි. කෙසේ නමුදු දිනපතා හෝටලයට යෑම, සුරංග නැති
පාළුව මකාගැනීමට තරමක අස්වැසිල්ලක් විය.
මාස එකහමාරක කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යමින් ඔහු පැමිණෙන
දිනය ළංවත්ම මගේ සිත නෙඉවසිලිමත් විය. අර අල බහිනකම් ඉන්න පුළුවන් උනාට අල
තැම්බෙනකම් ඉන්න බැහැ කියන්නා සේ විය මගේ සිතත්.
සුරංග පැමිණෙන ගුවන් යානය කටුනායකට පැමිණීමට නියමිතව
තිබුණේ රාත්‍රී දහයයි දහයට. මගේ දෑස් නිරතුරුවම බිත්තියේ එල්ලා ඇති ඔරලෝසුව දෙසට
යොමු විය. දැන් වෙලාව රෑ අටයි. “සුරංග
ප්ලේන් එකේ එනවා ඇති“ යි මගේ සිත දොඩමළු විය. කිසිවක් කරන්න දැන් නම් හිත එකඟ
කරගැනීමට බැරිය. ඒ නිසා මම ඇඳට ගියෙමි. විදුලි බල්බය දල්වා ඇඳට ගොඩ වූයේ නව කතා
පොතක් අතැතිවය. ඇඳ විට්ටමට කොට්ටය හේත්තු කර මා ද ඊට හේත්තු විය. පොතේ අවසානයට
කියවා ඇති තැනේ සිට යළිත් කියවීම ආරම්භ කළෙමි. ඒත් ඊට ද විනාඩි පහළොවකට වඩා හිත
යොමු කළ නොහැකි විය. හිත ඒ මේ අත දුවයි. මට බන්දුල විජේවීරගේ ගීතයක් මෙනෙහි විය.
“හිත හීලෑ නෑ - හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා....“ මගේ හිතද එසේ මැයි. මම පොත
වසා දමා ඇඳේ ඇල වී දෑස් පියා ගත්තෙමි. රුපවාහිනී වැඩ සටහනක හඬ පමණක් පරිසරයෙන්
ඇසේ. අප්පච්චී හෝ අම්මා කිසියම් වැඩසටහනක් නරඹනවා විය හැක. නින්ද මා අසලකටවත්
නොපැමිණෙන නිසා මම ඇඳේ ඒ අතට මේ අතට
පෙරළෙන්නට වීමි.
“දුව..., සුරංග පුතා කීයටද එන්න තියෙන්නේ?“ යි අම්මා දොර
රෙද්ද මෑත් කර ඇසීය.
“දහයයි දහයට තමයි එන්න තියෙන්නෙ.“
“මහ රෑ නෙ. හෙට එළිවෙනකම් එයාපෝර්ට් එකේ ඉන්න වෙයි.“
“කොහොම කරයිද කියන්න බැහැ. බොහෝ දුරට එහෙන් කුලී වාහනයක්
අරගෙන එන්න ඉඩ තියෙනවා.“
මගේ පිළිතුරෙන් සෑහීමකට පත් වූ නිසා දෝ අම්මා ඉවතට
ගියාය. මද වෙලාවකින් අප්පච්චී සමග කතා කරනවා ඇසෙන්නට විය. අම්මා මගෙන් ලද තොරතුරු
අප්පච්චීට කියනවා විය හැක.........
දුරකථනය නාද වන හඬ ඇසෙන්නට වූයේ හීනයක් දකිනවා
පරිද්දෙනි. හොඳටම නින්ද ගොස් සිටි නිසා අඬ සිහියෙන් ඇඳෙන් නැගිට්ට මා දුරකථනය අසලට
ගියේ කෙසේද කියාවත් සිහියක් නොතිබුණි.
“හලෝ.... සුරංග ඔයා දැන්ද ගොඩබැස්සේ.“ මා දුරකථනය ගත්
සැනින් ඇස්වේ ඔහුගේ හඬ ඇසීමට ප්‍රථමය.
“ඔයා හිටගෙනත් නිදිනේද?“ යි සුරංග අනෙක් අන්තයේ සිට
ඇසුවේ මහ හඬින් සිනාසෙමින්ය. එකවරම පියවි සිහිය ලද්දක් මෙන් දෑස් පිසදමා ජනෙල්
වීදුරු අතරින් මම වට පිට බැලුවෙමි. අඳුර පලවාහරිමින් හතරවටින් ඉරු නැගිටින්නට
සූදානම් වන අයුරු මට පසක්වූයේ එවිටය. මම විදුලි බල්බය දල්වා වෙලාව බැලුවෙමි.
“4.20“ සටහන්වී තිබුණි. “දෙයියෝ සාක්කි“ මගෙ සිත කීවේය.
“සුරංග...! ඔයා දැන් කොහෙද ඉන්නෙ?“
“නුවර“
“නුවරටත් ඇවිල්ලද.“
“මම ගෙදර යන්න කලින් ඔහේ ආවට කමක් නැද්ද?“
“ඇයි දෙයියනේ එහෙම කියන්නේ. මම නිදිමරාගෙන බලාගෙන හිටියේ
ඔයාව දකින්න. ඒත්, ඔයාට මහන්සි ඇතිනෙ, කමක් නැහැ සුරංග, ඔයා ගෙදර ගිහින් විවේක
අරගෙන එන්න. මෙච්චර දවසක් හිටිය වගේ තව පැය කිහිපයක් ඉවසන්න පුළුවන්.“
“මහන්සිනම් තමයි. ඒත් ඉතිං මගෙ කෙල්ලව නොදැක කොහොමද මම
ගෙදර යන්නෙ. එහෙනම්, ආවහම කතා කරමු.“
මතුසම්බන්ධයි
තරු
වෙනද
වගේම අදහසක් තියල යන්න අමතක කරන්න එපා
මේ දවස් ටිකට ගොඩක් දේවල් වෙලා වගේ. හුනා කිව්වා වගේ කියන්නම් මෙදා පොටේ සුරංගගෙන් අහගන්නවා අරයව එලෙව්වට
ReplyDeleteසම්ප්රමදායට අනුව එහෙම වෙන්න එපැයි.
Deleteඅයියෝ සුසෑන්, දැන් ඉතින් සුසෑන්ටවත් පිහිට වෙන්න ඕන,
ReplyDeleteඅනේ වාසනාවන් එහෙමවත් පිනක් කරගන්නවනම්.
Deleteහෙමින් ලියමු හෙමින් ලියමු.. එතකොටයි හැඩ...
ReplyDeleteදේශකගේ කතාව ඇත්ත. හතරවටේට කරකවලා ලියන්න පුළුවන්. එතකොට මෙගා ටෙලි වගේ නීරස වෙනවා.
Delete