Showing posts with label නෙතු අද්දර - 22. Show all posts
Showing posts with label නෙතු අද්දර - 22. Show all posts

Thursday, January 2, 2014

නව අවුරුදු සුබ පැතුම් සමග නෙතු අද්දර - 22

මුලින්ම ලැබුවාවු නව වසර සාමය සතුට රැඳි නිදුක් නිරෝගී සම්පත් ලැබි වසරක් වේවායි පතන්නේ තරු සමග නෙතු අද්දර පවුලේ උදවිය.




සුරංගගේ ආධාරයෙන් නංගිට රැකියාවක් ලැබුණි. ඉන් අපේ සිත්වලට යම් අස්වැසිල්ලක් ඇති විය. සුරංගත් හැම මාසයකම අම්මාගේ අතට යම් මුදලක් දීමට පුරුදුව සිටියා. අම්මාගේ හිතේ නම් ඊට වැඩි මනාපයක් තිබුණේ නැහැ. එත් කළ යුත්තක්ද නොවීය.

නංගීට රස්සාවෙන් ලැබුණ මුල්ම වේතනයෙන් අම්මටත්, මටත්, සුරංගටත් තෑගි ගෙනැවිත් තිබුණා. එදින බොහෝ කාලෙකට පස්සේ අපේ සිත්වලට යම් සතුටක් ඇති උන  දවසක් විය. එදා කේෂණි ගෙනාපු තෑගි පාර්සලය ද අතැතිව මගේ කාමරේට ආවා.

“මොකද්ද මේ?“

“අක්කම ඇරලා බලන්න.“

මම ඔතා තිබූ බ්‍රවුන් පේපර් කොළය ගලවා බැලුවෙමි. එහි නව කතා පොත් පහක් විය.

“අපරාදෙ ඇයි මෙච්චර වියදම් කළේ?“

“අද පඩිනේ. ඉතිං මුල්ම පඩියෙන් මොනව හරි ගේන්න ඕන කියලා හිතුනා. අම්මට හවුස්කෝට් එකකුයි සුරංග අයියට කමීසෙකුයි ගෙනාවා.

“ඔයා කොහොමද සුරංගගේ කොලර් සයිස් එක දන්නෙ?“

“මං දවසක් ෂේප් එකේ අයියගෙන් අහගත්තා.“

ඇය සාලෙට දුවගොස් සුරංගට ගත්ත තෑග්ග ගෙනැවිත් මට පෙන්නුවා. ඇත්තෙන්ම සුරංගට ගැලපෙන පාටින්ම වගේම එයා කැමතිම පාටින් කමීසයක් තොරාගෙන තිබූම හරිම අපූරු සිදුවීමක්.

“ෂා.... අයියා කැමතිම පාට. ඔයා ඒකත් එයාගෙන් අහගත්තද?“

“නැහැ. මට නිකං හිතුනා.“

එසේ කියමින් ඇය ජනේලය අසලට ගොස් කල්පනා කරන්නට විය.

“ඇයි නංගි, මොනවද කල්පනා කරන්නෙ.?“

“අක්කෙ, මට ඔයාගෙන් කාරණාවක් අහන්න තියෙනවා. මේක අහලා මං ගැන වැරදියට හිතන්න එපා.“

ඇය මගේ දෑත් අල්ලා එසේ කියද්දී මගේ හිතේ කුතුහලයක් හට ගැණුනා.

“මං ඔයා ගැන එහෙම හිතන්නෙ නෑ නංගි. ඕන දෙයක් අහන්න.“

“මං දන්නවා අක්කා කොච්චර සුරංග අයියට ආදරේද කියලා. අයියත් අදටත් අක්කට පණවගේ ආදරෙයි.  ඒත්.... එත්... එක්කො ඕන නෑ...“

ඇය කියන්නට පැමිණි දේ ගිලගනිමින් ඉවතට යන්න උත්සහ දැරුවා. මා එකවරම ඇගේ අතකින් අල්ලා ඇයව නැවැත්තුවා.

“කියන්න නංගි, මගේ හිතට ප්‍රශ්නයක් ඉතිරි කරලා යන්න හදන්න එපා.“

“අනේ මන්දා, අක්කගේ හිතට දුකක් ඇති වෙයි කියලා මට බයයි.“

“දුක දැන් මට හොඳට පුරුදුයි. ඔයා කියන්න ආපුදේ කියන්න.“

කේෂිණී මගේ දෑත් එකතු කර තරයේ අල්ලා ගත්තා.

            “අක්කේ.... මං සුරංග අයියට ආදරෙයි අක්කේ.“

            ඈ සෙමෙන් මිමිනුවා. මගේ හදවත මොහොතකට නතරවූවාසේ දැනුනා. නංගි මගේ අත අතහැර ඉවතට ගියා. මගේ මුව ගොළු විය. මම බලාගත් අත බලාසිටින්නට විමි. මුළු ලෝකයම නැවතී ඇතිවාසේ දැනෙයි.

            “හිතේ හිරකරගෙන ඉන්න බැරිම තැනයි මං අක්කට මේක කිව්වේ. ඔයා දන්නවා ඔයාට සුරංග අයියව දැන් බඳින්න බැරි බව. ඔයාට මෙහෙම දෙයක් උනේ නැත්නම්, මං කවදාවත් අක්කගෙන අහන්නේ නෑ. සුරංග අයියා හුඟක් හොඳයි ලස්සනයි උත්සහවන්තයි. ඕනම කෙල්ලෙකුගේ හිත සුරංග අයියා වගේ කෙනෙකුට ඇදිලා යනවා. ඒකාලෙ ඉඳන් සුරංග අයියා ගැන කැමැත්තක් මගේ හිතේ තිබුණා. ඒත් එයා ආදරය කලේ ඔයාට. ඒත් දැන් ඔයාට සුරංග අයියව බඳින්න බැහැ. ඒක තේරුම් ගන්න. සුරංග අයියගේ හිතට බලාපොරොත්තු දීලා එයාව රවට්ටන්න එපා.“

            “නංගි..! ඇති. හොඳටම ඇති.

නංගිගේ මුවෙන් මෙතරම් සැර වචන මම කවදාවත් බලාපොරොත්තු උනේ නෑ. නංගිට මේතරම් සැහැසි විදිහට කතා කරන්නට හැකි උනේ කෙසේද?

“මට සමාවෙන්න.“

කේෂිණි එසේ කියා කාමරෙන් පිටව ගියා. මගේ හිතට මහ බරක් දැනෙන්නට වුණි. මා අබ්බගාත උනා කියලා සුරංගගේ ආදරේ අඩුවක් මට දැනුනේ නෑ. ඒත් මා මෙතෙක් කල් ඔහුට කර ඇත්තේ මහා අසාධාරණයකි. කිසිම දිනක මාව විවාහකරගත නොහැක් තත්වයක ඉඳගෙනත් ඔහු මට දක්වන ආදරය ඔහුගේ අනාගතයට බාධාවක් නොවේද?

            කේෂිණී කවදත් දඩබ්බරයි ඒවගේම එඩිතරයි. නැත්නම් අක්කාගේ පෙම්වතාට තමනුත් ආදරය කරන බැව් නංගි කෙනෙකුට ප්‍රකාශ කළ හැකිද?

            මම කාමරෙන් පිටතට ගියෙමි. නංගී අලිගැට පේර ගහයට බංකුවේ ඉඳගෙන හිඳියි. දොර අසලට ගිය මම නංගිට කතා කළෙමි. ඇය පැමිණ රෝද පුටුව පඩිවලින් පහළට ගැනීමට මට උදව් වූවා. ඇය කිසිදු කතා බහකින් තොරව රෝද පුටුව තල්ලුකරගෙන අලිගැට පේර ගහ අසලට ගියා.

            “නංගි මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන.“

            එසේ කියු මම ලෑලි බංකුව මත හිඳගන්නා ලෙසට අතින් සන්කර සිටියෙමි.

            “නංගි.... සැබෑ ආදරය කියන එක කඩෙන් බඩුවක් ගන්නවා වගේ සල්ලි දිලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒවගේම තමයි ඇඳුම් මාරුකරනවා වගේ හිතූ හිතූ වෙලාවට මාරු කරන එකකුත් නෙවෙයි. “

            “ඔයා කියන්න හදන්නේ මම සුරංග අයියට ආදරය කරන්නේ ජොලියට කියලද?“

            “කොහෙත්ම නෑ. ඒත් ඔයා කොළඹ පරිසරයට හුරු උන කෙනෙක්. සුරංග එහෙම නෙමෙයි. එයා ගමට ආදරය කරන කොල්ලෙක්.“

            “මම කාලයක් කොළඹ හිටියට ගමේ ඉපදිලා ඒ පරිසරයේ හැදුල කෙල්ලෙක්. අක්ක ඒක අමතක කරේ ඇයි. මං කොළඹ ගියඑකෙන් උනේ මට කලින් අක්කා ඉස්සර උන එක. ඒත් දැන් අක්කගෙ වාරෙ මට උදාකරගන්න පුළුවන්. ඒකට ඔයාගෙ උදව් ඕන. අක්ක මට උදව් කරනවා නේද?“

            මම ඊට පිළිතුරක් නොදුන්නෙමි. මම සුරංග සමග විවාහ නොවන අධිෂ්ඨානය ඇති කරගත්තේ රෝහලේදිමයි. එසේ නම් ඇයි මම තවත් ඔහුට බලාපොරොත්තු දෙන්නේ. එක අතකින් සුරංගව වෙන ගෑනියෙකුට අයිති වෙනවට වඩා නංගිට අයිතිවීම වඩාත් සුදුසු යැයි මට සිතේ.

 
 
මතුසම්බන්ධයි

තරු

 වෙනද වගේම අදහසක් තියල යන්න අමතක කරන්න එපා

(පිංතූර අන්තර්ජාලයෙන්)