Showing posts with label ආදර කතා. Show all posts
Showing posts with label ආදර කතා. Show all posts

Saturday, June 8, 2013

නෙතු අද්දර - 07






සුරංග උත්සහවන්තයි. එහි ප්‍රතිඵලයකි ඔහුගේ හෝටලය. මහවැලි ගඟ ඉහත්තාවේ තරමක කඳුගැට්ටක් මත හෝටලය පිහිටා තිබේ. හෝටලයේ සිට මහවැලි ගඟට අඩිපාරකි. එයට අලංකාර සිමෙන්ති ගඩොල් අල්ලා ඇත. තවත් පසෙක තැනිතලා තණ බිමකි. ඒ කොටස කන්ද කපා සෑදුවක් සේ පෙනේ. එතැනට යාමට පඩි පෙළකි. හෝටලය විවෘත කිරීමට තව වෙලා ඇති නිසා මම ගඟ අසලට පිය නැගුවෙමි. මගේ අඩි සද්දෙන් බියට පත්  දියකාවෙක් කෑ ගහගෙන ඉගිල ගියේ ය. ගං දිය ශාන්ත ලෙසින් ගළාබසියි. වතුර ඉතා පිරිසිදුය. ඒත් වැහි කාලෙට මේ රමණීය බව මැකී යයි. ගඟ ප්‍රචන්ඩ වෙයි. මඩ පැහැගැන්වූ ගං දිය මුළු මහත් පරිසරයටම ගෙන දෙන්නනේ අප්‍රසන්න පෙනුමකි. මහවැලි ගඟට ඔබ්බෙන් පිහිටි කඳුපන්තිය බැසගෙන එන හිරැ තව මොහොතකින් මේ වත්තටත් ගොඩවෙනු ඇත. නැකතට වෙලාවත් ළංව ඇති නිසා මම හෝටලය දෙසට පිය මැන්නෙමි.
            සක් ගෙඩි මංගල බෙර වැයුම් මැද්දේ සුරංගගේ හෝටලය විවෘත විය. එය ඉතාමත් චාම් උත්සවයක් විය. හෝටලය විවෘත කිරීම සිදුවූයේ සුරංගගේ මවගෙ අතින්ය. නිල් පාට පීත්ත පටිය කැපූ ඇය දකුණු පාදය පෙරට තබා හෝටලයට ඇතුල් වුණි. පොල් තෙල් පහන දැල්වීමේ අවස්ථාවට අප්පච්චීටත් ආරාධා ලැබී තිබුණි.  ඉක්බිති සුරංගගේ බාප්පා කෙනෙක් කතාවක් පවත්වන්නට විය. එක දිගට කතාව පවත්වාගෙන ගිය ඔහු,
“සුරාංග පුතා කවද හරි දියුණුවන බව මම හොදාකාරවම දැනගෙන හිටියා. තාත්තගේ අභාවයෙන් පස්සෙ සුරංග පුතා මේ තත්ත්වෙට එන්න දැඩි කැපවීමක් කරා. එහි ප්‍රතිඵලයි අද ඔහු භුක්ති විඳින්නේ. ඉතිං සුරංග පුතාගේ අනාගතය තවත් සාර්ථක කරගන්න නම් ඉක්මනින්ම සහකාරියක් කැන්දාගෙන එන්න සිද්ද වෙනවා. ආයෙ ඉතිං හෝටල් ගාස්තු ආහාර පාන නවාතැන්වලට කියල අමතර මුදලක් යන එකක් යැ. ඒ සියලුම දේ මේ වහලයටින්ම සපයා ගන්න පුළුවන් කොට. ඉතිං මම නම් ප්‍රාර්ථනා කරන්නේ මේ හොටලේ මුල්ම මංගල උත්සවය සිදුවිය යුත්තේ අපේ සුරංග පුතාගේ කියලා.”
            ඔහුගේ කතාවට සවන්දීගෙන සිටි සියලු දෙනා සිනා සෙමින් අත්පොළොසන් දෙන්නට වූහ. ඔහුගේ කතාවේ එසේ කියවෙද්දී මගේ දෑස් සුරංග වෙතට යොමු වූයේ ඉබේටමය. මා සිටි ස්ථානයට මදක් දුරින් ඉඳ සිටියත් ඔහුට මාව හොඳින් පෙනේ.  මගේ දෑස් ඒ වෙත යොමුවෙනවාත් සමගම මා ‍දෙස බලා සිටි සුරංග ඇසක් ගසා ඉඟියක් මැරුවේ මාව ලැජ්ජාවට පත් කරමින් ය. කතාවෙන් පසු කැවිලි පෙවිළිවලින් සැදි භෝජන සංග්‍රහයට සහභාගි වුණෙමු.
“හොඳට ඉඩකඩ තියෙනවා.” යි අම්මා පැවසුවේ භෝජන සංග්‍රයෙන් පසු වත්තට ඇවිදින්නට ගියවිටදිය.
“සුරංග දක්ෂයා.” යි අප්පච්චී ඊට උත්තර බැන්දේය.
“මාමලා කෑවද?” යි හදිසියේම අප අතරට පැමිණි සුරංග ඇසීය.
“දවල්ටත් කන්න බඩේ ඉඩ නැති තරම් පුතා.”
“මම මාමාටයි නැන්දටයි පොඩි ආරාධනාවක් කරන්න කියලා.”
සුරංග එසේ කියද්දි මගේ සිතට උපන් කුතුහලෙන් මම ඔහු දෙස බැලුවෙමි. 
“ඉස් ඉස්සෙල්ලම මගේ හොටලේ උයන කෑමට බැහැයි නොකියා ඔයාලා ඉන්න ඕන.”
“අපි වෙන දවසක එන්නම්කෝ පුතා...”
“අනේ මාමේ, ප්ලීස්... එක බත් කටක් කාල යන්න.”
“පුතා ඔච්චරටම බල කරද්දී බෑ කියන්න හොඳ නැහැනේ. නේද සීතා....?”  අප්පච්චී මවගේ ප්‍රතිචාර අපේක්ෂාවෙන් එසේ කියමින් ඈ දෙස බැලිය. මව එය අනුමත කරන්නා සේ හිස සැලිය.
            තවත් වෙලා මෙහි රැදී සිටීමට හැකිවීම ගැන මගේ සිතේ ඇති වූයේ සතුටකි. මා එසේ සිටියදි අම්මාත්, අප්පච්චීත් ඈතට විහිදෙන තණ බිස්ස දිගේ අවට සිරිනරඹමින් ඇවිද යන්නට වුහ. ගඟ දෙසින් ගත සීතල කරන සුළං පොදක් විත් ගතේ දැවටෙන්න වූවා. මම දැත් බැඳගෙන සීතල නිවාගන්නට උත්සහ දැරැවෙමි.

“කුමාරිහාමි මොකද තනියම?”
“පරිසරයේ සුන්දරත්වය රසවින්දා...”
“අපි ඉතිං දෙයක් තේරැවොත් සුන්දරම තමයි.”
“ඇත්තට... තව මොනවද ඒ වගේ තෝරලා තියෙන්නේ....?”
“තියෙනවා තියෙනවා.... ඒවා පුද්ගලිකයි රහසිගතයි. ඒක නෙමෙයි මගේ අදහසක් තියෙනවා බෝට්ටු සවාරියක් දාන්න.”
“හරි ෂෝක් නේ.”
අම්මත් අප්පච්චිත් හෝටලය තුළට ගොස් සුරංගගේ අම්මාත් අක්කාත් සමග කතා කරමින් සිටින අයුරැ දැක ගත හැක. අපි දෙදෙනා ඉදිරියට පියමනින්නට විමු. හදිසියේ මට යමක් මතක් වූවාසේ,
“ඒක නෙමෙයි ඔයාගෙ බාප්පා කිව්ව වගේ, කවදද ඔයාගෙ වෙඩිං එක ගන්නේ?”
“හෙට උනත් වෙඩිං එක ගන්න ලැස්තියි. ඒති පොඩි ප්‍රශ්නයක් තියෙනවා.”
“ඒ මොකද්ද?”
“තාම බඳින්න ගෑනු ළමයෙක් හොයාගන්න බැරි උනානෙ.”
“අයියෝ.... ඕකත් දෙයක්ද? ඔය ඕන හැටියේ හොඳ ගෑනු ළමයි ඉන්නේ.”
“හිටියට මගේ හිතට හරියන්න ඕනෙ නේ....”
එසේ කියමින් සුරංග කල්පනා කරන්නට විය.   
“මොනවද ඔය හැටි කල්පනා කරන්නනේ?”
හෝටලයේ පසෙක රත්මල් ගහකි. ඒ යට තනන ලද බංකුවකි. අපි ඒ ගස දෙසට පිය නැගුවෙමු.
“මං මේ කල්පනා කළේ.... මගේ හිතට අල්ලන ගෑනු ළමයෙක් නම් ඉන්නවා.”
ඒ වදන් පෙළින් මගේ සිත නොසන්සුන් විය.
“කවුද අප්පේ..... ඒ වාසනාවන්ත කෙල්ල?”
“කියන්න නම් පුළුවන්, ඒත් එයා කැමති වෙයිද දන්නෙ නෑ.”
“ඔයා වගේ දක්ෂ, අවංක, ‍ඒ විතරක්ද ලස්සන කොල්ලෙකුට අකමැති වෙන්නේ මොන මෝඩ කෙල්ලද?”
‘ඒ කියන්නේ.... මගේ හිතේ ඉන්නේ ඒ ඔයයි කියල කිව්වොත්, එතකොට කියන්නෙත් ඉස්සෙල්ල කියපු දේමද?”
            සුරංග කියූ දෙයින් මගේ උගුර කට වේලෙන්නට විය. ගොඩදාපු මැළුවෙකු සේ ගැහෙන්නට මෙන් විය. මම රත්මල් ගහ යට ඇති බංකුව මත හිඳගත්තෙමි. සුරංග මා දෙස නෙතුපිය නොසලා බලා සිටින අයුරැ මගේ නෙත අගට අසුවෙයි. ඔහු ද මා අසලින් හිඳගත්තේය. මට බංකුවෙන් ඉබේටම නැගිට්ටුණි.
“වාඩිවෙන්න ළමයෝ. මං ඔයාව ගිලින්නේ නෑ.”
මම බංකුවේ කොනක යන්තමින් හිඳගත්තෙමි.
“මේ මොකද? හරියට බස් එකේ ෆුඩ් බෝර්ඩ් එ‍කේ යනව වගේ. බය නැතුව වාඩිවෙන්න.”
සුරංගගේ විහිළුවලට මට ඇතිවූයේ ලැජ්ජාවකි. ඒ නිසා බංකුවේ හොඳ හැටි සුව පහසු ලෙස හිඳගත්තෙමි. අප දෙදෙනා අතර මදවෙලාවක් යනකම් පැවතියේ නැහිඬියාවකි. එහෙත් ඔහුට තව දුරටත් එසේ සිටිමට නොහැකි විය.
“මං අවුරැදු පහක් ලංකාවේ හිටියේ නෑ. සමහර විට ඔයාව බඳින්න කෙනෙක් ඉන්නවද දන්නෙත් නෑ. එහෙම නම් මගේ ඉල්ලීම ඉල්ලා අස්කරගන්නවා.”
සුරංග එසේ කියමින් මා දෙස බලා සිටින්නට වූයෙන්, මට කිසිත් කියාගත නොහැකිව මගේ මුව ගොළු විය.
“මහත්තයා, ලොකු නෝනා කතා කරනවා.”
“පියල් යන්න අපි එන්නම්.”
කර කියා ගතහැකි කිසිවක් සිතා ගැනීමට නොහැකිව අතරමංව සිටි මොහොතේ, හෝටල් සේවකයාගේ පැමිණිම දේව දූතයෙකු පැමිණියා සේ දැනෙන්නට විය. සුරංගත් මාත් රත්මල් ගහ යටින් නික්ම හෝටලය තුළට පැමිණෙන තෙක්ම කිසිත් කතා කළේ නැත.
            සුදු සඳ කාළ වර්ණ අහස් කුස ආලෝකමත් කරගෙන සෙමෙන් සෙමෙන් නැග එයි. ඇඳ මතට වී, වීවෘත කර ඇති ජනෙල් පළුව අතරින් ඒ දෙස බලා සිටි මගේ සිත දහවල් සිදුවූ සිදුවිම් වෙත ඇදී යන්නට විය. සුරංගගේ හඬ මා දෙසවනේ දෝංකාර දෙන්නා සේ මට දැනේ. ඔහු ගැන සිතත්දී මා හද අමුතුම ප්‍රබෝධයකින් විකසිත වන්නට වෙයි. එකල සුරංගත් මාත් ඉතා සමීප මිතුරන් සේ හැසිරෙද්දීවත් මෙවන් හැගීමක් මා සිතේ ජනිත වි නැත. ආලය කෙතරම් පුදුමසහගත ද. තරැණවියත් සමග අපේ සිතුවිලි වෙනස් වෙන අයුරැ. මම දෑස් පියාගෙන දහවල් සිදුවිම් එකිනෙක ආවර්ජනය කරන්නට වීමි.

****                ****                ****                ****

“අම්මා මම පුස්තකාලෙට යනවා.....”
            නිවසින් පිටවිමට ඇති ‍හොඳම හේතුව මවට පවසා පැමිණියේ සුරංගගේ හෝටලයටයි. දුර සිට බලද්දී හෝටලය කුඩා වුවත් අලංකාර ලෙස දිස්වෙයි. මා එහාට යන විට කිහිප දෙනෙකු හැර එතරම් සෙනගක් නොවීය. හෝටලයට ගොඩ වූ මට අලුත් අලුත් වෙනස්කම් කිහිපයක්ම දැකගත හැකිවුණි. ඉන් මගේ දෑස් දැඩිව යොමු උනේ පිළිගැනිම් කවුන්ටරයක් අලුතෙන් එක්කර තිබිමත්, හැඩකාර යුවතියක් පිළිගැනීමේ නිලධාරිනිය ලෙස එහි සිටිමත්ය. මම ඇය අසලට ගියෙමි.
yes madam can I help you?”
“මට මිස්ටර් සුරංගව හමුවෙන්න පුළුවන්ද?”
“සර් තවම ඇවිත් නෑනෙ. තව ටික වෙලාවකින් එවි. මැඩම් එතකන් වාඩිවෙලා ඉන්න.”
            මම තණ බිස්ස දිගේ ඇවිදගෙන ගඟ දෙසට පිය නැගුවෙමි. තවත් අලුතෙන් බංකු කිහිපයක්ම තැනින් තැන පිහිටුව තිබුණි. මධුසමය ගත කිරීමට පැමිණි ජෝඩු කිහිපයක් ඒ මත හිඳ ආදර බස් දොඩති. මෝටර් බයිසිකලයක් එන හඬින් මම හැරී බැලුවෙමි. සුරංග පැමිණි හෝටලයට ඇතුල් විය. පිළිගැනීමේ නිලධාරිනිය ඔහුට යමක් පවසනු මට පෙනේ. සුරංග ඈ සමග කතා කරන විට මගේ සිතේ ඊර්ෂ්‍යාවක් උපදී. සුරංග මොන එහෙකට මෙච්චර ලස්සන කෙල්ලෙක් ගත්තද මන්ද. මම මගේ සිතත් සමග ප්‍රශ්න කරන්නට වීමි. ඇය මා වෙත ඇඟිල්ල දිගුකර සුරංගට මාව පෙන්වයි. සුරංග මා දෙස බලද්දි ඔහුගෙන් මගහැරීම සඳහා ගඟ දෙසට හැරැණෙමි. ඈත කඳුවළල්ල දෙස බලා සිටින මගේ සිතට දැන් දැන් ඔහු පැමිණේවි යැයි සිතේ. හද ගැස්ම වැඩිවෙනවා සේ දැනෙයි. නුපුරැදු මොහොතක නුපුරැදු ගමනක් පැමිණි මට විඳින්නට සිදුවි ඇත්තේ නුපුරැදු අත්දැකීමකි. මට එකවරම මෙතනින් පළා යන්නට සිතුණි.
“දැන්ද ආවෙ?”
            මම තිගැස්සී හැරී බැලුවෙමි. ඒ සුන්දර තරැණයා මා අසලය.  මම ඔහු දෙස බලා සිටින්නට වීමි.

“දැන්ද ආවෙ?” ඔහු නැවතත් ඇසීය. මම,
“ටිකක් වෙලා” යයි පැවසුවෙමි.
“හදිස්සියෙම් මෙහේ එන්න හිතුනේ....?”
මම පිළිතුරැ සොයන්නට වීමි.
“මේ.... ළඟට ආපු නිසා එන්න හිතුණා. ලස්සන තැනනෙ.”
“ආ.... තැන විතරද ලස්සන? ඉන්න කට්ටිය ලස්සන නැද්ද?”
“නැත්තෙ මොකද. හෝටලේට ඇතුල්වෙනකොටම ලස්සන ලස්සන අය ඉන්නේ...”
            මා එසේ පැවසූ විට සුරංග හඬනගා සිනාසෙන්නට විය.
“ඇයි ඔයාට ඉරිසියා හිතුණ ද?”
“නෑ. මං කවුද එහෙම හිතන්න.”
“මේ මේ උගුරට හොරා බේත් කන්න හදන්න එපා කුමාරිහාමි.”
            මම කිසිත් නොකියා බිම බලාගත්තෙමි.
“මුකුත් බිව්වෙත් නෑ නෙ. යමු මගේ ඔෆිස් රෑම් එකට.”
            අලංකාර ලෙස සැලසුම් කරඇති කාර්යාල කාමරයේ වූ සුව පහසු අසුනක හිඳ ගත්තෙමි. සුරංග සේවකයෙකුලවා උණුසුම් තේ කෝප්පයක් ගෙනැවිත් දුන්නේය. සුරංගගේ මේසය අසලට කෙලින්ම හෝටලයට ඇතුල්වන දොරටුවත් පිළිගැනීමේ නිලධාරිනියත් පෙනේ. මම තේ එක අතැතිව ජනේලය අසලට ගියෙමි. ඈත පරිසරය ඉතා චමත්කාර ලෙස එහි සිට බලාගත හැක. සුරංග සෙමෙන් මා අසලට පැමිණ මගේ උරහිසට අතක් තැබීය. ඉන් මට නුහුරු  නුපුරුදු හැඟීමක් ඇතිවිය.
“ලස්සන ද?”
            සැබැවින්ම ඉතා මනරම් පරිසරයක පිහිටි අලංකාර හෝටලයකි. මම හිස සලා ඒ බැව් ඔහුට දැනුම් දුනිමි. ඒත් හෝටලයට ඇතුළු වු මොහොතේ සිට මොකද්දෝ නොසන්සුන් බවකින් මගේ හිත වෙලාගෙන තිබේ. ඒ සියල්ලටම මුල අර රිසෙප්ෂන් එකේ ඉන්න යුවතියයි. මට ඇගේ වතගොත අහන්න සිතුනත් ඒ සිතුවිලි යටපත් කරගන්න නිරර්තක උත්සහක යෙදුණෙමි.
“අමා, ඔයා මෙතන හිටියට හිත වෙන කොහේද?”
“න්, නැ නැ එහෙම මොකුත් නෑ.”
“නැති වෙන්න බෑ. මොනව හරි ප්‍රශ්නයක් තියේනම් අහන්න.”
            මම හිස් වූ තේ කෝප්පය මේසය මත වූ බන්දේසිය මත තබා යළි පුටුවේ ඉඳගත්තෙමි.
“අර.... රිසෙප්ෂනිස්ට් කොහේ එක්කෙනෙක්ද?”
“මාතලේ ළමයෙක්.”
“බැඳල ද?”
“නෑ”
“ඔයාගෙ මේසෙ ගාවට එයාව හොඳට පේනවා නේද? උදේ ඉඳන් හැන්දැ වෙනකම් බල බලා ඉන්න පුළුවන් නේද?”
“ඔව් ඔව් ඇයි නරකද?”
            සුරංග කිසිදු පැකිලිමකින් තොරව එසේ කියද්දී මගේ පපුව හරහා විදුලි සැරයක් ඇදි ගියාසේ දැනුණි. මගේ සිතට දුකක් ඇති වුණි. 
“උදේන්ම හොටලේට ගොඩවෙනකොටම මුව පුරා සිනාසෙන සුන්දර කෙල්ලෙක් දොරගාවම ඉන්නකොට, කාට උනත් ආපහු සැරයක් මෙහාට එන්න හිතෙනවා.” 

             සුරංග දිගින් දිගටම ඇයව වර්ණනාකරන්නට වීම මට තවත් අසා සිටිමට නොහැකි තැන එකවරම එතැනින් පිටවීමි. 

සුරංගව  දැකබලාගැනීමේ සිතේ කැටිකරගත් ආශාවෙන් හෝටලේට ගිය මට, ඉන් පිටවිමට සිදුවූයේ සිත් වේදනා‍වෙනි. මම විගසින් බස් නැවතුම්පොළ වෙතට පිය මනින්නට වීමි. හදිසියේම පැමිණි සුරංගගේ මෝටර් බයිසිකලය මගේ ගමන අවහිර කොට නැවැත්තුවේ ය.


තරු

මතු සම්බන්ධයි.

ඔයාලගෙ හිතට දැනුනයමක් තියේනම් ලියල යන්න අමතක කරන්න එපා.






Wednesday, May 29, 2013

නෙතු අද්දර - 06







එතෙක් කතාව.... අමාලි සහ සුරංග අසල්වැසියන් ය. කුඩා කළ මොවුන් එකතුව සෙල්ලම් කළහ. සුරංගගේ පියාගේ අභාවයත් සමග ඔවුන් සිටි නිවස විකුණා යන අතර සුරංග රට යයි. යළි අමාලිට සුරංගව මුණගැසෙන්නේ වසර 5 කට පමණ පසුවය. දැන් සුරංග කඩවසම් තරැණයෙකි. අමාලිගේ සිත සුරංග කෙරෙහි ඇදීයයි. අමාලිට සුරංගව අවස්ථා කිහිපයකදී හමුවූවත් ඔහු ඈ ගැන එතරම් තැකීමක් නොකරපු නිසා අමාලී කණස්සල්ලෙන් පසුවෙයි.
අද එතැන් සිට...

පසු ගිය දින කිහිපය මගේ අසනීප තත්ත්වයත් සමග ගෙවී ගිය අතර දැන් නම් ගතත් සිතත් ප්‍රකෘති තත්ත්වයට පැමිණ තිබේ. මාසෙකින් පමණ පුස්තකාලයට යාමට නොහැකි වූ නිසා ලබාගත් පොත් දෙක දඩත් සමග ගෙවීමට සිදුව ඇත. මේ නිසා මම පුස්තකාලය යාමට සිතුවෙමි. නිවසින් පිටත්ව මාර්ගයට පැමිණි සැනින් බසයකට නැග ගැනීමට හැකි විණි. විනාඩි දහයක් වැනි කෙටි කාලයකින් පුස්තකාලය අසලින් බැහැගන්නට හැකිවූයේ බසයේ රියැදුරැ ධාවන ශූරයෙක් වූ නිසා ය. අලසකමින් තිබූ මගේ සිත පොත් ගුලට ඇතුළුවීමත් සමග ප්‍රබෝධයට පත් විය. පොත් ලබාගන්නා ස්ථානය පිහිටා ඇත්තේ ඉහළ මාලයේය. පහත මාලය කියවීම් කටයුතු සඳහා වෙන්කර ඇත. මා තරප්පු පෙළ දිගේ ඉහළට නගින්න විය. 
“අමාලි!.”



හුරැපුරැදු කටහඬක්. මා ගමන නවතා හැරී බැලුවෙමි. සුරංග පුවත්පත් අංශයේ සිට මා දෙසට එනු පෙනේ.
“ඔයා වැඩ කරන්නෙ ලයිබ්‍රරි එකේ ද?”
මගේ මුවින් එකවරම පිට  වූයේ ඔලොක්කුවට මෙනි. ඉන් සුරංගගේ මුවගට නැගුණේ සිනහවකි.
“මං බැංකුවට ආවා යාළුවෙක් හම්බවෙන්න. මිනිහ එන්න ටිකක් පරක්කුවෙනවලු. ඉතිං මෙහාට ආවා පත්තරේ ටිකක් බලන්න කියලා. අමාලි පොත් ගන්නද ආවෙ?”
“නෑ, පොත් පෙරලන්න.”
“ඉස්සර වගේමයි තවමත්.”
“ඔව් අපිනම් හැමදාම එකවගේ. ඔය සමහර අය වගේ වෙනස් වෙලා නෑ...”
“අමාලි මට ඇනුම්පද කියනව වගේ.”
“‍තොප්පිය හරි නම් දාගත්තට වරදක් නෑ.”
සුරංග ගැන මගේ හිතේ ඇතිව ඇති අප්‍රසාදාත්මක හැඟීම ඔහු ඉදිරියේ මුදාහරිමින් ලැබුවේ අපමණම වින්දනයකි. මගේ ඇනුම්පද වලින් ඔහුගේ මුහුණ අඳුරැ වළාවකින් වැසී යන්නට විය.
“පහුගිය දවස්වල මං හරි අවිවේකයෙන් හිටියේ ඒකයි හරියට කතා කරන්නත් බැරි උනේ.”
“කතා කරනවනම් ඕන තරම් අවස්ථා තිබුණ.”
“ඒ ඔයා දකින හැටි. මට ඕන උනේ හිතේ සැනසීමකින් ඇවිල්ල කතා කරන්න. ඔයා දන්නව ඇති මං ‍පොඩි බිස්නස් එකක් පටන්ගන්න යන බව. හොටේල් එකක්. මහවැලි ගඟ අයිනේ හොඳ ගොඩනැගිල්ලක් තියෙනවා. ඒක ගන්නයි මගේ කල්පනාව. ඒකට පොඩි ණයක් ඉල්ලලා තියෙන්නේ තවම ඒක ගන්න බැරි උනා. ගොඩනැගිල්ලේ අයිතිකාරයත් හදිස්සි කරනවා.”
“ඇයි ඔයා රට ඉද්දි හම්බකරපුව.”
“හැම සතේම යටකරන්න බැහැනෙ අමා. මං ඒකෙන් අයිතිකාරයට ඇඩ්වාන්ස් එකක් දුන්න. මිනිහ දැන් දන්නවා මට ඒක ඕනෙමයි කියලා... ඒක නිසා ගනන් උස්සනවා.”
සුරංග තම හිතේ ‍පොදිකරගෙන සිටි දහසක් බලාපොරොත්තු මා ඉදිරියේ දිගහරින්නට විය. මා ඔහු ගැන සිතාගෙන සිටි හැටි කෙතරම් වැරදිද. මම හිතෙන් මටම දොස් නගා ගත්තෙමි. ඔහු තම අත බැඳි ඔරලෝසුව බැලුවේය.
“දැන් නම් යාළුවා ඇවිල්ල ඇති. මං යන්නම් අමා...” යි පවසමින් ඔහු මා අසලින් ඉවතට ගමන් කරන්නට විය. එසේ අඩි කිහිපයක් ගිය ඔහු නැවතත් හැරී මා වෙතට පැමි‍ණෙන්නට විය.
“ඔයා හිතුව විදිහට මං කවදාවත් වෙනස්වෙලත් නැහැ, වෙනස් වෙන්නෙත් නැහැ.” යි පවසන්නට වූයේ මා දෑස් තුළට එබී බලමින්ය. ඒ දෑස් දෙස බලාසීටීමට නොහැකි වූ මම බිම බලාගත්තෙමි. මා නැවත හිස එසවීමට පෙර ඔහු මා වෙතින් නික්ම ගොස් සිටියේ ය.
තරප්පු පෙළ නැගගිය මම පොත් බැහැර දෙන අංශයට ඇතුල් වුනෙමි. මා අත තිබූ පොත් දෙක කවුන්ටරයට ලබා දි දඩය ද ගෙවා දැමුවෙමි. ඉක්බිති නව කතා පොත් රාක්ක අතරේ ඔබ මොබ යමින් හොඳ පොතක් තෝරන්නට විමි. සෑහෙන වේලාවක් ගත කර ජ‍යසේන ජයකොඩිගේ ‘උපේකා’ නව කතාව තෝරාගත්තෙමි. පොත් තේරීමත් හරියට භාවනාවක් වගෙයි. ඒ කොහොම වෙතත් එකවර පොත් දෙකක් ලබා ගතහැකි බැවින් තවත් පොතක් තෝරාගන්න ඒ ඒ පොත්වල සඳහන් කතුවරැන්ගේ නම් කියවමින් යන අතරේ කවුදෝ කෙනෙක් රාක්කයේ එහා පැත්තේ සිට මා දෙස බලාගෙන හැංගිමුත්තන් අල්ලන්නාසේ ගමන් කරන අයුරැ යාන්තමට මෙන් පෙනෙන්ට වූයෙන්, මා සිතේ උපන්නේ කෝපයකි. උන්මත්තකයෙක් යැයි සිතූ මා ස්ථානයේ විනය ගැනද නොසිතා ඔහුට බැන වැදීමට රාක්කයේ ඔහු සිටි පැත්තට ගියෙමි.
“දෙයියනේ....! සුරංග. මොනව කරනවද මන්ද, තවපොඩ්ඩෙන් මගෙන් හොඳ බැනුමක් අහගන්නවා.”  
මගේ මුවෙන් ඒ වදන් පිටවූයේ තරමක් වේගයෙනි. අහළ පහළ සිටි කිහිප දෙනෙක්ද මා දෙස බලන්නට වූහ. එසැනින්ම සුරංග මගේ කන මිරිකුවේය.
“හරි ෂෝක් තැනකට ගියහම හැසිරෙන්නවත් දන්නෙ නෑ.”
ඔහුගේ ඇඟිලි දෙකට සිර වු මගේ කන රිදුම් දෙන්නට විය. මට ඉබේටම “ඌයි” කියැවුණි.
“අනෙ අනෙ මගෙ කන..”
මම වේදනාවෙන් ඇඹරෙන්නට විය. එවිට ඔහු කන අතහැරියේ ය. මගේ සුරත ‍ඒ දෙසට ගියේ ඉබේටමය. වේදනාවට දැස් අගට පැන්න කඳුළු කැට දෙකක් දෑස් අගින් ගිලිහී දෙකම්මුල් දිගේ ගලා යන්නට වීමෙන්, හොරාට එය පිහිදා ගතිමි. සුරංග මා අසල ගැවසෙමින් රාක්කයේ ඇති පොත් ඕනෑවට එපාවට මෙන් බලයි.
“ඔයා කොහොමද දන්නේ මං තවමත් මෙහේ ඇති කියලා.”
“අතීත අත්දැකිම්.”
සුරංගගේ එම ප්‍රකාශය ගැන මම මදක් කල්පනා කිරන්නට වීමි. කුමක්ද මේ අතීත අත් දැකීම?
“එක සැරයක් ජී.බී. සේනානායකගේ පොතක් හොයන්න ඇවිත් පැයක් විතර මෙතන හිටිය මතකද? අන්තිමට කකුල් රිදෙනව කියල මං පුටුවකුත් ගෙනැල්ල දුන්නෙ.”
“ඒ කොයි කාලෙද, ඔයාට ඒක තාමත් මතකද?”
“ඒකනේ මං කිව්වේ මං වෙනස් වෙලා නැ කියලා.” යි මද සිනහවක් පාමින් සුරංග මා දෙසවනට සෙමින් කෙඳිරැවා. ඒ සමගම මට හදිස්සියේ යමක් මතක් වූ වා මෙන්,
“ඒක නෙමෙයි. මොකද උනේ ලෝන් එකේ වැඩේට? යාළුවා ඇවිත් හිටියද”
“ඔව්, තව සුමානෙකින් විතර වැඩේ හරි යයි.”
සුරංග මා වතට ස්පර්ශ වෙමින් පොත් තෝරයි. ඔහු මෙතරම් ළඟින් මා අසල රැ‍‍ඳෙන විට මගේ සිතේ මොකද්දෝ නොසන්සුන් බවක් ඇති‍ වෙයි. හෘද ස්පන්දනය වැඩි වී නාඩි වේගයෙන් ක්‍රියා කරනවා සේ දැනෙයි.
“ආ.... ඔයාට හොඳ පොතක් තියෙනවා කියවන්න.”
සුරංග පොත් දෙකක් අතැතිව එකක් මා වෙත පෑවේය. මම එහි නම කියෙව්වෙමි. “අර්ශස් රෝගය නිට්ටාවටම සුවකරන දිව්‍ය ඖෂධ” යනුවෙන් සටහන් වී තිබුණි.
“කොහොමද පොත?”
මගේ මුවගට නැගුනේ සිනහවකි. ඒත් මම එය සඟවාගනිමින් බොරැ තරහවක් මවා ගනිමින් “අපිට එහෙම තදවෙන්නේ නෑ හරිද.” යි පැවසුවේ අත ඇති පොතෙන් සුරංගට පහරක් දෙමින් ය.
“හරි එහෙම නම් මේක කියවලා බලන්නකෝ....”
‘සෙනෙහස පුදන්න අවසරයි’ යනුවෙන් පොතේ කවරෙ සඳහන් වි තිබුණි.
“මං ඕක තුන් වතාවක් කියවලා තියෙනවා. හරිම ලස්සන පොතක්. ඔයාට යමක් අලුතෙන් හිතන්න පුළුවන් වේවි ඕක කියෙව්වහම.”
පොත් තෝරා ගැනීමෙන් අනතුරැව අපි පුස්තකාලෙන් පිටතට පැමිණියෙමු.
“අපි මොනව හරි බොන්න යමුද?”



තිබහක් නොතිබුණද සුරංගගේ ඉල්ලීම ඉවත දැමිමට නොහැකි නිසා මම එකඟ වූයෙමි. අපි ඒ අසල ඇති අවන්හලකට ගොඩ වුණෙමු. සුරංග අපි දෙදෙනාටම දොඩම් යුෂ වීදුරැ දෙකක් ඇනවුම් කළේ ය.
“මගේ හෝටලේ විවෘත කරනදාට අමාලිත් එනවද?”
“ආරාධනා කළොත් එන්නම්. මං ආවේ නැතත් අප්පච්චි හරි ඒවි.”
“ඔයා එන්නම ඕනෙ. මං බලාගෙන ඉන්නවා.”
“එච්චරටම මගේ තියෙන විශේෂත්වය මොකද්ද?”
“ඒක මං පස්සෙ කියන්නම්.”
දොඩම් යුෂ පානය කිරීමෙන් අනතුරැව අපි අවන්හලෙන් පිටතට පැමිණියෙමු. සුරංග පැමිණ සිටියේ මෝටර් බයිසිකලෙනි. ඔහු මාව ඇරලවීමට ඉදිරිපත් වී නමුත් මම ඒ යෝජනාව ප්‍රතික්ෂේප කර බසයකට ගොඩ වුණෙමි. සුරංග මා බසයට ගොඩ වනතුරැම මා සමග රැඳී සිටියේය. බසයේ ගමන් කරන අතර වාරයේ මගේ සිහියට නැගුණේම සුරංග මාත් සමග පසුව පවසනවා යයි කියූ කතාවය. මම සිතෙන් එයට පිළිතුරැ සොයන්නට වීමි. ආදර යොජනාවක්ද? නෑ නෑ වෙන්න බැහැ. එයාලට දැන් අපිට වඩා සරැයි. හොඳ පො‍හොසත් කෙල්ලෙක් බැඳගන්න පුළුවන්. මේ ආකාරයෙන් සිතුවිලි සමුදායක මගේ සිත පැටලෙන්නට විය.

...තරු...


මතු සම්බන්ධයි...

හිතට දැනුන යමක් වේ නම් ලියල යන්න අමතක කරන්න එපා.