Showing posts with label නෙතු අද්දර - 39. Show all posts
Showing posts with label නෙතු අද්දර - 39. Show all posts

Sunday, July 20, 2014

නෙතු අද්දර - 39

ඉස්පිරිත්තාලෙට ගිය විට මම දොස්තර තේනබදු හමුවීමට ගියෙමි. පෙර දින තරමක් කාර්යබහුලව සිටි ඔහු අද තරමක විවේකයෙන් පසුවනු දැකීම මගේ සිතට අස්වැසිල්ලක් විය.
අම්මා ඇතුළු පැමිණි සිටි අය නංගී අසල සිටියදී මම ඩොක්ටර් හමුවිමට ගියෙමි.
“ඩොක්ටර්“
ෆයිල් එකක් කියවමින් සිටි ඔහු හිස ඔසවා මා දෙස බැලීය.
“ආ... මේ මිස් අමාලිනේ.“
“ඩොක්ටර්, මට ඩොක්ටර් එක්ක වැදගත් දෙයක් පුද්ගලිකව කතා කරගන්න ඕන. ඩොක්ටර්ට විවේක වෙලාවක් තියේ නම්..“
“කමක් නෑ දැන් කියන්න. දැන් එච්චර බිසී නෑ“
“ඩොක්ටර් අපේ නංගිට ආයි පෙනීම ලබා ගන්න බැරිද?“ යනුවෙන් ඇසූ විට ඔහුගේ මුවගින් සිහින් සිනහවක් මතු විය. පුටුවේ හරි බරි ගැසී මගේ පැනයට පිළිතුරු දෙන්නට සූදානම් වෙයි.
“ඇයි බැරි. ඊළඟට අමාලිගේ නංගිට කරන්න තියෙන්නේ ඒ ඔපරේෂන් එක තමයි.“
“ඩොක්ටර් මං කැමතියි මගේ ඇස් දෙක නංගි වෙනුවෙන් දෙන්න.“
“අමාලි, අපේ රටේ ඇස් බැංකුවක් තියෙනවා. ඒකෙන් නංගිට හරියන ඇස් දෙකක් ගන්න පුළුවන්.“
“මං දන්නවා ඩොක්ටර්. ඒත් මං කැමතියි මගේ ඇස් දෙක දෙන්න.“
ඔහු යළිත් සිනාවක් පෑවේය.
“අමාලි... සාමාන්‍යයෙන් ජීවත් වෙලා ඉන්න කෙනෙකුගෙන් ඇස් ලබාගන්නෙ නැහැ. ඒක සදාචාරයට පටහැනි ක්‍රියාවක්. අනික.... ඔයා ඉන්න තත්ත්වෙත් එක්ක ඇස් දෙකත් අහිමි වෙනවා කියන්නේ... කබලෙන් ලිපට වැටීමක්.“
“මට තවත් නැති වෙන්න දෙයක් නෑ ඩොක්ටර්. මගේ නංගිට පිහිට වෙන්නයි මට ඕන.“
“ඉතිං එක තමයි ළමයෝ... මං කිව්වෙ, අපිට ඇස් බැංකුවෙන් ඇස් දෙකක් අරං නංගිට බද්ධ කරන්න පුළුවන් කියලා.“
දොස්තර තේනබදු මගේ යෝජනාවට කිසිසේත්ම කැමත්තක් දක්වන්නේ නැත. ඇස් බැංකුවෙන් ඇස් දෙකක් නංගිට බද්ධ කරන්න පුළුවන් උනත්, එක බඩවැල කඩාගෙන ආපු මගේ නංගිට මගේම ඇස් දෙක දීමේ පුදුම උවමනාවක් මගේ හිතේ ඇත්තේ. මට දෑස් අහිමි වීමෙන් මා පත්වන ඉරණම දැන දැනත් දොස්තර තේනබදු කීවා සේ කබලෙන් ලිපට වැටීමක් බව දැන දැනත් මේ සඳහා මගේ හිත මෙතරම් මුරණ්ඩු මොකද කියා මටවත් නොතේරේ.
නංගිගේ දෑස් නොපෙනෙන බැව් දැනගත් පසු ඈ හඬා වැළපෙන්නට විය. නංගිගේ අසරණකම දැකීමෙන් අපි කාගේත් නෙතඅගට කඳුලක් නැගුනේ ඉබේටමය. ඇය හඬා වැළපෙමින් කියූ දේවල් ඔබට යළි කියන්නට මට ශක්තියක් නැත. මට ඇති දරාගැනීමේ ශක්තිය නංගීට නැති බව දැනුයි තේරුම් ගත හැක්කේ. මා කෙසේ හෝ නංගීට පිහිට විය යුතුබව යළි යළීත් පසක් කරන්නේ නංගිගේ මේ අසරණ බව නොවේද? සුරංග, නංගිව බැලීමට නොපැමිණීම ගැන ඇයට තම දෑස් නැතුවූවාට වඩා දුකක් ගෙන දෙයි. ඇය විටෙක් පිස්සියක් සේ දොඩවයි. විටෙක දඟලයි. මේ නිසාම ඇයව බලාගැනීමට සාත්තු සේවිකාවක් නැවැත්වීමට ද සිදුවිය.
“කාන්ති කරපු වැඩේ හරිම කැතයි පුතා. මොනවා උනත් පොඩි දූ එයාගෙ ලේලිවෙලා ඉවරයි.“ අම්මා කලකිරීමෙන් කතා කරයි.
“මම කාන්ති නැන්දට කතා කරන්නම්. අනික සුරංග පොඩි ළමයෙක් නෙවෙයිනෙ. එයාට ඇයි බැරි නංගිව බලන්න එන්න. නංගි එයාගෙ කසාද ගෑනි.“ අයියා කතා කරේ හිතේ උපන් තරහෙනි. අම්මා සුසුමක් හෙළුවා විනා අයියට පිළිතුරු බඳින්නට ගියේ නැත.
“සුරංග හිතනවා ඇති පොට්ට ගෑනියෙක් අරං මොනවා කරන්නද කියලා“ අම්මා වෙනුවට මමා අදහසක් ඉදිරිපත් කළේය.
“ඒක යකාගෙ කතාවක්නෙ. නංගිට පෙනීම ලබා දෙන්න පුළුවන් ද බැරිද කියල, ඒ මිනිස්සුන්ට නිකන්වත් හොයල බලන්න බැරිද? මං ඔය අම්මන්ඩිට කතා කරල බලන්නං කො. මොනව හරි හරහට කිව්වොත් කියනවා එයාගෙ උක්කුං බබාව ගෙදරම තියාගෙන නළවගන්න කියලා.“ යි අයියා වේගයෙන් කියාගෙන ගියේය.
ගෙදර පැමිණි පසු නංගිට පෙනීම ලබාදීමට මා විසින් ඊළඟට කළ යුතු දෑ සිතන්නට විය. මගේ අදහස අම්මටවත් වෙන කිසිම වැඩිහිටියෙකුටවත් කීමට නොහැක. එසේ නම් කිසියම් හිතුවක්කාර තීරණයක් ගත යුතුව ඇත.
තරු
මතුසම්බන්ධයි

වෙනදාසේම සිතට දැනුන අදහස තියලයන්න අමතක කරන්න එපා....