මට හිතෙන හැටි

අපි සැබැවින්ම සදාචාර සම්පන්න ජාතියක් ද?



අපිට අවුරුදු දෙදහස් පන්සීයකටත් වැඩි ඉතිහාසයක් තිබුණත් තවම අපේ මිනිස්සුන්ගේ කල්කිරියාව සියවස් ගණනාවක් පස්සෙන් කියා හිතෙනවා සම(හරක්) ගේ වැඩ දැක්කම. මේක ජාතක කරපු දෙමව්පියන්ගේ වරද ද, ඉගෙන ගත්තු පාසලේ වරදද, එහෙමත් නැතිනම් සමාජයේ වරද ද මන්දා. අපි සුද්දන්ට ගරහන්න හරිම දස්සයි. ඒත් උන්ගාව තියෙන් හොඳ ගුණාංග දකින්න ඒව අගයන්න එහෙමත් නැතිනම් ඒවා අපේ ජීවිත වලට ආදේශ කරගන්න කැමැත්තක් දක්වන්නේ නෑ.

 

මං මෙච්චර වෙලා මොන අණ්ඩර දෙමළයක් කියනවාද කියා ඔබ සිතනවා ඇති. මං කියන්න උත්සහ ගත්තේ අපේ මිනිස්සුන්ගේ ආචාර ධර්ම ගැන. පොඩ්ඩකට සිතා බලන්න ඔබෙන් උදව්වක් ලබාගත් කී දෙනෙක් ඔබට ‘‘ස්තූතියි!“ එහෙමත් නැත්නම් අපිට හුරුපුරු thank you කියල තියේද කියලා. බස් එකේ යන මගීන්ගෙන් කීයෙන් කී දෙනෙක් කොන්දොස්තර මහතා දෙන ටිකට් පත බස් එකෙන් බහිද්දී සාක්කුවේ හෝ බෑග් එකේ දමා ගන්නේ කියා. ටිකට් පත, ටොෆි කොළේ, සිගරට් කොටේ පටන් යෝගට් කෝප්ප,කිරි බෑග්, අයිස් ක්‍රීම් කොළ, තැඹිලි කෝම්බ ඇතුළු මෙකී නොකී බොහෝ දෑ බොහොම පහසුවෙන් විසික්වෙන්නේ මහ පාරට. ඒ විතරක් ද නගර සභාවේ කුණු ලොරිය නොපැමිණෙන දවස්වලට ගෙදර එකතුවන කුණු බෑග් පාරක් අයිනේ එහෙමත් නැතිනම් ලයිට් කණුවක් යට දමා ගෙදර සුද්ද කරගැනීමේ මහා බුද්ධියක් අපේ ඇත්තන්ට තියෙනවා. මෙහෙම කර කර අපි පිටරටවල් වල පාරවල් වල ලස්සන වර්ණනා කරනවා. මම සුද්දන්ගේ ගුණ ගැන ඉහතින් සඳහන් කරන්නට හේතු වූ සිදුවීම් අතරින් එක් සිදුවීමක් මෙහි සඳහන් කරන්නෙමි. වරක් මා පවුලේ අය සමග දෙහිවල සත්තු වත්ත නැරඹීමට ගිය අවස්ථාවක අපේ ඉදිරියෙන් සුද්දෙක් යනවා සිගැරට්ටුවක් උරමින්. මිනිහගේ එක් උරහිසක කැමරාවක් එල්ලෙමින් තිබූ අතර, අනෙක් උරහිසෙන් හරහට දමාගත් කුඩා ප්‍රමාණයේ හම් බෑගයක් විය. සෙමෙන් සෙමෙන් සත්තු නරඹමින් යන නිසා මට අර සුද්දව නිරීක්ෂණය කිරීමට හැකි විය. ඔය අතරේ මිනිහගේ සිගරට්ටුවත් ඉවර උනා. දැන් මිනිහගේ අතේ තියෙන්නේ කොට කෑල්ල පමණි. ඔහු එම සිගරට් කොටේට කුමක් කරන්න ඇති ද කියා ඔබ සිතන්නේ? මං ඉස්සෙල්ලා කියන්නම් අපේ මිනිහෙක් නම් ඕකට කරන දේ. එහෙනම් ඒ කොට කෑල්ල කෙලින්ම යවන්නේ සතෙකුගේ කූඩුවක් ඇතුලට. නමුත් මේ සුද්දා කරේ එයාගේ කරේ එල්ලාගෙන සිටි හම්බෑගය ඇර පුංචි ෂොපිං බෑගයක් ගෙන ඊට සිගරට් කොටේ දමා යළිත් එය තම හම් බෑගයේ දමා ගැනීමයි.

 

ඔබ මහ පාරක ඇවිද ගෙන යන්න, අර දඩාවතේ යන බල්ලෝ පාර පුරා ජරා කරල තියෙනවා වගේ, අපේ මිනිස්සු පාර පුරා කෙළ ගහල තියෙන අප්‍රසන්න කම. ඒව දැක්කම වමනෙටත් යන්න එනවා.

 

රජයේ කාර්යාලයකට යන්න වැඩක් කරගන්න. අප්පෝ..... බලන්න එපැයි එයාලගෙ ගෑස්. කීයෙන් කී දෙනාද ලෙන්ගතුව තම සේවය ලබල දෙන්නේ. හරියට පැය අටම වැඩ කරන්නේ. මං ඊයේ පෙරේදා දවසක මගේ මව සමග කළුබෝවිල රෝහලට ගියා මවට ජල භීතිකා එන්නත ලබා දෙන්න (බළලෙක් සපාකෑමකට).මේ එන්නත ලබා ගැනීමට ඇති බාහිර රෝගීන් ලියාපදිංචිකරන ස්ථානය සොයා ගැනීමට නොහැකි වූ නිසා එහි කවුන්ටරයේ (ගුටිකන මූණක් තිබුණ), සේවකයෙකුගෙන් ඒ පිළිබඳව විමසුවෙමි. ඇඳේ වැරදි පැත්තෙන් නැගිටලා වගේ (තත්ත්වේ කොයි වගේද කියලා හිතාගන්න පුළුවන්නේ) මොන මොනවද කියවගෙන කියවගෙන ගියා.මට මෙලෝ හසරක් තේරුණේ නෑ. හැබැයි ඕක ආයිත් අහන්න ගියානම් ගුටි කන්න තමයි වෙන්නේ. කොහොම හරි අතපය දික්කරපු විදිහෙන් මගේ මොළේ යොදල යන්තම් කියපු දේ ගළපගත්ත. ප්‍රශ්නයක් කතා කරල බේරුම් කරගන්න බැරි, කැති පොලු අමෝරාගෙන එන තත්ත්වෙට අපේ මිනිස්සුන්ගේ මානසික තත්ත්වය පහතට වැටිලා. මට දවසක් ඇහුණා වයස අවුරුදු විසි ගනන්වල තරුණ පිරිමි ළමයි ටිකක් පාරේ යනවා. ඔවුන්ගේ බස් වහර ඇහුණ මට මහත් ලැජ්ජාවක් ඇති වුණා. මේ තත්ත්වය අපේ සුපිරි පිරිමි පාසල්වලට ද බෝවී තිබීම කණගාටුවට කරුණක්.

 

අපේ සමහරු විනෝද චාරිකාවක් ගියොත් ගහක් ගලක් පේන්න බැහැ. කැටයම් කපලා... කුරුටු ගී ලියලා...විනාස කරනවා. ඒ විතරක් නෙමෙයි ආහාර ඔතාගෙන එන පොලිතීන් බෑග්, කඩදාසි, ඉතුරු වෙච්ච ආහාර ඇතුලු හැම ජරාවක්ම ඉන්න තැන දමලා යනවා.

 

මහා මාර්ගයේ සංවරකම ද බිංදුවටම බැහැලා. වර්ණ සංඥාවලට වාහන නවත්තලා තියෙනවා... මේ ඇස් දෙකට පෙනෙද්දිත් පොට්ටයෝ වගේ වාහවල නළා ගහනවා. මාර්ගයේ ඉවසීම ඇත්තේම නැත. අවිනීත රියැදුරන් සිටින අපේ රටේ වාහනයක් ධාවනය කිරීම විනීත රියැදුරන්ගේ ද මානසික ආතතිය වැඩි කරයි. පදික මාරුවේ මිනිස්සු ඉන්නවා පෙනි පෙනිත් තමන්ගේ වාහනේ නවත්තලා ඔවුන්ට මාරුවෙන්නට ඉඩ ලබාදීමට තරම් කාරුණික රියැදුරන් බොහෝ අඩුයි. ඒකටත් එක්ක අපේ කට්ටිය පාර මාරුවෙන්නෙත් ගෝල් ෆේස් යනව වගේනෙ. බස් එකකට නගින් ගියත් ඉවසීමක් නැහැ. ඉස්සර නම් කාන්තාවක්,විශේෂයෙන් අම්මකෙනෙක්, ආච්චිකෙනෙක්, ගැබිනි කාන්තාවක් බස් එකට නගිනවිට ඔවුන්ට කලින් නැගීම සඳහා පිරිමි පක්ෂය ඉඩ දෙයි. දැන් සමහර ඉලන්දාරිත් ඉන්නවා ඒ බවලත් උදවිය පෙරලගෙන බසයට ගොඩවෙන.මේ ආකාරයෙන් තව බොහෝ අඩු පාඩු අපේ සමාජයේ තිබෙන අතර තව එකක් පමණක් පෙන්වා දී මෙම ලිපිය හමාර කරන්නම්.




‘ආහාර මේසේ දී හැසිරීම‘ අපි ඕකට ඉංග්‍රීසි බසින් table manners කියනවා. අපි කන්න ගියහමත් කෑම මේසේ එකම යුද්ධදයක් නේද?. කටවල්වල කෑම පුරෝගෙන චර බර - චර බර ගාලා කතාව. මෙයාගෙ කටේ තියෙන කෑම අනිකගෙ පිඟානෙට විසික් වෙනවා, මෙලෝ සිහියක් නැහැ. කෑම බෙදාගන්නේ තව සතියකට කන්න ලැබෙන්නේ නෑ වගේ, එහෙම නැතිනම් සතියකින් කාලා නෑ වගේ කොත ගහගෙන. ඔය අතරේ ප්‍රසිද්ධියේ ඇඟිලි ලෙවකය අයද නැතුවා නොවේ. එක් මහාචාර්යවරයෙක් එසේ කරනවා මගේ දෑහෙන් දුටු නිසයි මං ලිව්වේ. බලාගෙන යනකොට පොඩි මිනිගේ පටන් ආචාර්ය, මහාචාර්යවරුන්ට පවා මුල ඉඳන් ආචාර ධර්ම පාඨමාලාවක් කරන්න වෙනවා.




මෙය කියවන ඔබට හිතේවි ‘මෙයා පණ්ඩිතයා වගේ කියන්නේ එයා මේවයින් කීයක් රකිනව ඇති ද‘ කියලා. මම නිහතමානීව මේ දේවල් කියන්නේ මට මේ දේවල් රකින්න පුළුවන් වෙලා තියෙන නිසා.

 

ඔබත් ඔබේ හදවතට තට්ටු කර බලන්න මේ වැරදිවලින් කීයක් ඔබ කරනවද කියා. මින් එක වැරැද්දක් හෝ ඔබේ අතින් සිදුවේ නම් එය නිවැරදි කරගන්න කාරුණිකවන්න. එය ඔබේ දරුවන්ට මෙන්ම සමාජයට ද ආදර්ශයක් වනු ඇත.

 

 

 

ඔබේ අදහස් කොමෙන්ටුවකින් කියන්න.

 

4 comments:

  1. සදාචාරය කියන්නෙ බලෙන් ඇති කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි.බලෙන් ඇති කරගන්න සදාචාරය තාවකාලිකයි.ඒක හදවතින් එන්න ඕනේ දෙයක්...මේ සමගම තරු අරණට දිගු බ්ලොග් ගමනකට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. අනේ නංගියෝ ඔයාගේ කොමෙන්ටුව ඇහැගැටුනේ අදයි. ඔයා කියන කතාව ඇත්ත. වැඩේ කියන්නේ අපේ උන්ට කොහොම කරත් සදාචාරය උගන්වන්න බැරි හැටි. කොතනද මන්දා දෝසේ.... ස්තූතියි ඔයාගේ දීඝායු පැතුමට.

      Delete
  2. ඕවා නතර කරන්න නම් නීතිය සහ අවබෝධය කියන දෙකම ඕන වෙනවා කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  3. චන්දන කියන කතාව හරි. එත් අපේ මිනිස්සුන්ට ස්වයං අවබෝධය ලබාගන්න දක්ෂතාවය මදි කියලයි මට හිතෙන්නේ. බූවල්ලෙන් තලනවා වැනි දැඩි නීති තිබිය යුතුයි. දැන් බලන්න අපේ ළමයෙකුට යම් දෙයක් කරන්න හෝ එපා හෝ හොඳින් කියන්න, ඌ අපි කියන ‍දේ අහයිද? කෝටුවකින් හොඳ දෙකක් දුන්න නම් යසට වැඩේ කෙරෙයි.

    ReplyDelete