Showing posts with label නෙතු අද්දර - 29. Show all posts
Showing posts with label නෙතු අද්දර - 29. Show all posts

Monday, March 31, 2014

නෙතු අද්දර - 29

“අපිට අයියගේ පර්සනල් ඩයරි එක හොයාගන්න පුළුවන් නම්, මොකක් හරි තොරතුරක් දැනගන්න බැරිවෙන එකක් නැහැ.“
________________________________________________________________
රමණි නංගි කියූ දෑ ගැන මම මදක් කල්පනා කරන්නට වුණෙමි. ඒ අනුව යළිත් පියල්ට කතාකර මට අවශ්‍ය තොරතුරු ලබාගත හැකි පොතක් තිබේ ද කියා සොයා බලන ලෙසට පැවසුවෙමි. ඔහු කතාකරන තුරු මගේ සිත නොඉවසිලිමත් විය. මේ අවස්ථාවවත් සාර්ථක වුවහොත්, මම දෑත් එක් කර බුදුහිමියන්ගේ පිළිමයට නමස්කාර කරන්නට වීමි. මගේ දෑස් නිරන්තරෙන් යොමුවූයේ සාලෙ බිත්තියේ එල්ලා ඇති ඔරලෝසුව දෙසටය. විනාඩි කිහිපයකින් දුරකථන නද දෙන්නට විය.
“නෝනා.... සර්ගේ මේස ලාච්චුවේ ටෙලිෆෝන් නම්බර් තියෙන පොතක් තියෙනවා.“
“ඇත්තද? අනේ පියල්, පුළුවන් ඉක්මනින් ඒක ගෙනත් දෙනවද?“
“හරි නෝනා. මං දැන්මම එන්නම්.“
පියල් පැය භාගයක් ඇතුලත අපේ නිවසට පැමිණියා.
“නෝනා, තව කොළ කෑලි දෙකක් තිබ්බ ටෙලිෆෝන් නොම්බර ලියපු. ඒ දෙකත් මේ පොත ඇතුලට දැම්මා.“
“හරි පියල්. ඔයාට ගොඩක් ස්තූතියි!
පියල් ගියපසු, පොතේ ඇති දුරකථන අංක අනුපිළිවෙලින් එක් එක් අය අමතා සුරංග ගැන සොයා බැලුවත් ඒ එකදු ස්ථානයකට ඔහු ගොස් සිටියේ නැත.

“අනේ මංදා නංගි, අයිය මේ කිසිම තැනකට ගිහින් නැහැනෙ. මට නම් දැන් බයත් හිතෙනවා“
“තව කට්ටිය ඉන්නවනේ ඒ අයටත් කතා කරලා බලමු. නම්බර් තිබුණ කොළ කෑලි ‍දෙකක් දැම්ම කිව්ව නේද? අක්කා ඒ දෙකට කතා කරලා බැලුවද?“
මම එම අංක දෙකට කතා කළෙමි. එයින් ද ලැබුණේ එකම ප්‍රතිචාරයයි. පොතේ තව ඉතිරිව ඇත්තේ ඉංග්‍රීසි හෝඩියට අනුව U ඉඳන් Z  දක්වා වූ අකුරු කිහිපය පමණි. ඒ අතර තිබෙන්නේ නම් තුනකි. පළමුවෙන් විජේරත්න, “එම අංකය භාවිතයේ නොමැත.“ දෙවනුව වික්‍රම, දුරකථනය නාදවෙයි.
“හලෝ.... මට මිස්ටර් වික්‍රමට කතා කරන්න පුළුවන්ද?“
“ඔව් කතා කරනවා.“
අවශ්‍ය පුද්ගලයා ඇමතීමෙන් මම සුරංග ගැන විමසුවෙමි.
“මේ අමාලි නෝනද?“
“ඔව්“
“නෝනා, සුරංග මහත්තයා මෙහේ ඉන්නවා. නෝන පුළුවන් තරම් ඉක්මනට එන්න.“
“ඇයි මොකුත් ප්‍රශ්නයක්ද?“
“නෝනා එන්නකෝ.“

සුරංග සිටින ආරංචිය මගේ සිතට එක්කලේ කිව නොහැකි සතුටකි. ඇඟට ලේ ටිකක් ඉනුවේ දැනුයි. මට සැනසුම් සුසුමක් හෙළුනි. ඒත් ඒ සමගම හිතේ ඇතිවූයේ කුතුහලයකි. ඇයි ඔහු මට පුළුවන් තරම් ඉක්මනින් එන්න කිව්වේ? ඒ මොහොතෙම රමණී නංගි සමග වික්‍රම ලබා දුන් ලිපිනය සොයාගෙන ත්‍රී වීලරයකින් ගියෙමු. අපි නුවර ටවුමට පැමිණියෙමු. ගුඩ්ෂෙඩ් බස් නැවතුමෙන් වමට ඇති පාරට හැරවූ ත්‍රීවීලරය මද දුරක් ගොස් කඩයක් අසල නැවැත්තීය. එය තොග බඩු කඩයකි. ත්‍රීවීලරයේ නළාහඬට කඩය තුළින්, තරමක් තරබාරු තරුණ විය ඉක්මවා යමින් සිටි පුද්ගලයෙක් පැමිණියේය. ඔහු හිස පහත් කර අප දෙස බැලීය.

“මේ අමාලි නෝන වෙන්නැති?“
“ඔව්“
“මමයි වික්‍රම. බහින්න නෝනා.“
රමණි නංගි රෝද පුටුව ගෙනැවිත් මා සිටි පැත්තෙන් දිගහැර තැබුවා. මා ඇගේ ආධාරයෙන් ඊට ගොඩ වූවා. වික්‍රම මා දෙස මද වේලාවක් බලා සිටින්නට විය. ඔහුගේ දෑස්වල කිසියම් පැනයක් පැන නැගී ඇතුවාසේ මට හැඟිණි. ඒ මගේ තත්ත්වය දැකීමෙන් විය යුතුයි. සුරංග දකිනතුරු මගේ සිත නොඉවසිලිමත්ය.
“අපි යමු නේද සුරංග ඉන්න තැනට?“
“ආ...ඔව්, නෝනා ආව එක හොඳයි. පෙරේදා මහත්තයා මෙහාට ඇවිත් නවතින්න ඕන කිව්ව. මං ඉතිං මගේ කාමරේ අස්පරස් කරලා දුන්නා. මහත්තයා හිටියේ මාර හිතේ අමාරුවකින්. හිතේ අමාරුව නිසාමද කොහෙද බොන්න ඕන කියලා, මට කියලා බෝතල් දෙකක් ගෙන්න ගත්තා. මහත්තයට බීල පුරුදුත් නෑනෙ. අයියෝ.... වමනේ දානවා දානවා මහරෑත් දානවා. වෙන කෙනෙක් නම් මං එළියට ඇදල දානවා. ඒත් සුරංග මහත්තයා අපේ හොඳ කස්ටමර් කෙනෙක් නිසා ඉවසුවා....“
මේ මිනිහා මාව සුරංග ළඟට එක්කගෙන යන්නේ නැතුව වැල්වටාරම් කියවයි. මගේ හිත නොඉවසිලිමත් සේම තරහක් ද ඇති වෙයි.
“දැන් කෝ සුරංග?“
“ආ, හරි නෝනා අපි යමු. එන්න මෙහෙන්“
මිනිසා කඩය තුළට පියනගන්නට වීමෙන් අපිද ඒ පසු පසින් ගියෙමු. රමණි නංගි රෝද පුටුව තල්ලු කරන්නට වූවාය. ඉදිරිපස සිල්ලර බඩු විකිණීමට තිබුණද කඩේ පිටුපස්සට වෙන්න විවිධ වර්ග වල හාල් ගෝනි අට්ටි ගසා තිබෙන අයුරු දැකගත හැක. අපි එවාද පසුකරගෙන කඩය තුළට ගියෙමු. කොරිඩෝවක්  දිගේ මද දුරක් ගියපසු වික්‍රම දොර වසා ඇති කාමරයක් ඉදිරිපිට නැවතුණි.
“මහත්තයා මේකෙ තමයි ඉන්නේ.“ යි කියමින් වික්‍රම දොරට තට්ටු කරන්නට විය.
“මහත්තයා.. දොර චුට්ටකට අරින්න.“
කිසිදු ප්‍රතිචාරයක් නැත.
තරු
මතුසම්බන්ධයි

වෙනදාසේම සිතට දැනුන අදහස කියල යන්න අමතක කරන්න එපා....