Tuesday, September 8, 2015

පශ්චාත් යථාර්ථවාදී නවකතාවේ ශිල්ප විධි භාවිතය



(රාජ්ය සාහිත්ය අනුමණඩලය විසින් ජූලි මස පවත්වනු ලැබූ “සාහිත්ය සංකථන“ සඳහා සහභාගි වූ පේරාදෙණිය විශ්ව විද්යාලයේ සිංහල අධ්යයන අංශයේ, ජ්යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද රත්නායකගේ දේශනය ඇසුරෙන්) 

          ලාංකීය නවකතා රචක රචිකාවියන් බොහෝ දෙනෙකු තම නිර්මාණයන් ඔස්සේ නව අත්හදා බැලීම් කරන්නට බියක් දක්වනවා. ඊට හේතුව විය හැක්කේ, එවන් පොතක් ප්‍රකාශයට පත්කරගැනීමේදී ගැටළු ඇතිවේය යන හේතුව හෝ යථාර්ථවාදී කතාකලාවෙන් පිටතට ඒමට ඇති මැළිකම යි. මෙම ලිපියෙන් කියැවෙන්නනේ ලාංකීය නවකතා රචනා කලාව යථාර්ථවාදී නැතහොත් ගතානුගතික බවෙන් මිදී අලුත් මානයන් හොයා යායුතු බව සඳහන් කිරීමටයි. 

1. යථාර්ථවාදී කතාව තුළ කතාව හා කතා වින්යාසය ගොඩ නැගී ඇත්තේ හේතුඵල සම්බන්ධය මතයි. එහෙත් මෙම ක්‍රමය තුළින් පාඨකයාට හිතන්න දෙයක් ඉතිරි නොකරයි. මන්ද බොහෝ කතා කියවාගෙන යද්දී අවසානය මෙය යයි පාඨකයා තේරුම් ගනියි. නැතිනම් රචකයා ලබාදෙන අවසානය පිළිගැනීමට සිදුවීමයි. එහෙත් හේතු ඵල නොපෙන්වන කතාව පාඨකයා අපූරු සිතුමකට ඇරලවයි. ආශ්චර්යාත්මක සිදුවීම් කෙසේ සිදුවීදැයි සිතන්නට පොළඹවා පාඨකයා දෙගිඩියාවට පත්කරයි. තීරණ ගණනාවක් තුළ සිත දෝලනය වෙයි. කිසිත් සිතාගත නොහැකිවූ විටක “හිතා ගන්න බෑ, මාරයි“ වැනි වදන් පාඨක මුවින් පිටවන්නේ එවිටය. උදාහරණ,
       a. ගුන්තර් ග්‍රාස් ගේ - තහඩු බෙරය නව කතාවේ ඔස්කා කෑ ගසන විට වීදුරු බිදෙයි. එයට හේතු නැත. යථාර්ථවාදී නවකතාකරුවා නම් මෙය භූත දෝෂයක් හෝ සිහිනයක් කියා හීලෑ කරයි. එවිට එතැනින් එහාට සිතීම නවතා ලේඛකයා දෙන තීරණය භාර ගනී. එසේම ඔස්කා වසර හයේදි වැඩීම නතර කරයි. ඒ තමන්ට පිය මනින්ට සිදුවන අනාගත ලෝකය ම්ලේච්ඡ, යුධ අපරාධ, දූෂණ වංචා වලින් පිරුණු කුහක ලෝකයක් වන නිසා. එසේ නොවැඩී සිටින්නේ කෙසෙද යන්න කතාවේ සඳහන් නොවේ.
       b. සල්මාන් රුෂ්ඩි ගේ - රෑ මැදියමේ දරුවෝ නවකතාවේ, සලීම් සිනායිගේ කිරිඅම්මා ඇගේ දියණිවරුන්ගේ සිහිනවලට එබී බලයි.
       c. ඉසබෙලා අය්යන්දෙ ගේ - මායාවාස නවකතාවේ ක්ලේරා අනාගතයේ වීමට ඇති දෑ දකියි.


2. නූතන ප්‍රබන්ධ කතා කලාවේ ප්‍රධාන ලක්ෂණයකි ‘අහම්බය‘. මිනිසාගේ එදිනෙදා ජීවිතවල ගැටළු දකින පාඨකයා එයම නැවත කතාවකින් කියවන්න මැලිකමක් දක්වයි. එමනිසා අත්හදාබැලීම් කරන ලේඛකයාට අහම්බය නැතහොත් අභව්‍ය යැයි සම්මත කලාපය හොඳ තෝතැන්නකි. ඒ තුළින් කතාවකට බහුමානීය ප්‍රවේශයන් සාදා දෙයි. එනම් පශ්චාත් යථාර්ථවාදී නවකතා කරුවා ලබාදෙන්නේ ඉවර නොවූ කෘතියකි. මෙය අපූරු අත්හදා බැලීමකි. තල කිහිපයක දිවයන කතාවකි. ඒ නිසා කෙනෙකු විසින් තවත් කෙනෙකුට කියා දිය නොහැකි, තමා විසින්ම කියවා තේරුම්ගත යුතු කතාවකි. උදාහරණ,
        a. සුනේත්‍රා රාජකරුණායකගේ පොදු පුරුෂයා නවකතාවේ, යථාර්ථවාදී නවකතාවේ තෝරාගන්නා එක් සිද්ධීයක අවසානයට වඩා සිද්ධි ගණනාවක අවසානයක් පෙන්නුම් කරයි.
        b. උම්බෙර්තෝ ඉකෝගේ - රෝස මලේ නම
        c. ඉතලෝ කැල්විනෝගේ - සිසිරයේ රැයක මගියෙකු


3. නවකතාවේ වචන මුද්‍රණය වී ඇති ආකාරය පවා යම් කුතුහලයක් ඇති කරවිය හැක. උදා,
        a. මායාවාස නවකතාවේ ‘බරබාස් අප වෙත අවේ මහමුහුදෙනි' ළදරු ක්ලේරා ඇගේ ලස්සන අත් අකුරෙන් ලියා තිබුණි. බරබාස් යනු බල්ලෙකි. එම වගන්තිය තද කළු පැහැති, ඉරි ඇඳි, ඇල අකුරෙන් ලියා තීබීම. මේ තුළින් ලොකු පණිවිඩයක් පාඨකයාට ලබාදෙනවා. එනම් කතාව කියවාගෙන යද්දී අරුම පුදුම බොහෝ දේ සිදුවිය හැකි බවත් පාඨකයා විසින් එවා බාරගැනීමට සූදානමින් සිටිය යුතුබවත් ය.


4. යථාර්ථවාදී නවකතා වින්‍යාසය මුල සිටම හේතු යුක්තීන් සහිතව විකාශනය වෙමින් ඇදහිය හැක යන සීමාවේදී කතාව මෙන්ම කතා වින්යාාසයද නතර වෙයි. එහෙත් පශ්චාත් යථාරථවාදය තුළ එවැනි සිමා නැත. එය යථාර්ථයේ සිට අද්භූතයට ගොස් නැවත යථාර්ථයට පැමිණෙනුයේ කිසිදු බාධාවකින් තොරවය. එසේම විශ්වීය නීති රීතිවලට පටහැනිව නවකතාවේ ආකෘතිය සූදානම්ව තිබේ. එහි කුරුල්ලෝ පීනති, මාළුවෝ ඉගිලෙති, මාළු වැසි වසිති. මියගිය අය ජීවත් කරවයි. ජීවත්වන්නෝ මියගියවුන් කරවයි. විය නොහැකි දේවල් සිදුවෙයි. උදා,
         a. මඩවලගේ - මාගම් සෝලියේ සේදරා සුළඟට ගසාගෙන යයි.
         b. හොසේ සරමාගෝ ගේ - අන්ධභාවය නවකතාවේ අන්ධභාවය බෝවෙයි.
         c. සියවසක හුදකලාවේ - අමතකවීම හා අනිද්‍රාව වසංගතය බෝවෙයි. 


       එසේම පශ්චාත් නවකතාවේ ආකෘතිය තවත් අවස්ථාවක විශේෂත්වයක් පෙන්වයි. එනම්, අප කියවමින් සිටින නවකතාව අපගේ සාමාන්‍ය ලෝකයම මිස අනෙකක් නොවන බව ප්‍රකට කිරීම තුළිනි. ඒ යථාර්ථවාදී ලෝකේ සිදුවීමකින් කතාව ඇරඹීමෙන්ය. එවිට පශ්චාත් නූතන නවකතාව සහ සැබෑ ලෝකය අතර වෙනසක් නොවී, දෙකම එකම අවකාශ භාවිතයන් බව අපට තහවුරු කරයි.

3 comments:

  1. ස්තුතියි

    ReplyDelete
  2. වටිනා ලිපියක්

    ReplyDelete
  3. ස්තූතියි මේ වටිනා අදහස් අප හා බෙදාහදා ගත්තාට

    ReplyDelete