Friday, September 27, 2013

නෙතු අද්දර - 15



සුරංග රැගත් වාහනය අපේ වත්තේ නතර කරන විට උදේ පහට ආසන්න වී තිබුණි. මා ඇඳෙන් පැන දිව ගියේ සති ගණනාවක් පුරාවට නොදැක්ක ඒ සුදු මුහුණ දැක ගන්නටය. සුරංග දෑත් දිගුකර මාව වැළඳගත්තා. සතුට වැඩිකමට මගේ දෑසෙන් කඳුළු ගලාඑන්නට විය. සුරංග මගේ නිකටින් උස්සා ආදරෙන් බැලුවේය.

“මං නැතුව ගොඩක් පාලුවෙන්ද හිටියේ?“


මුවෙන් පිළිතුරු දී ගතනොහැකිව හිස සැලුවෙමි. අප්පච්චීත් අම්මාත් එනු දැකීමෙන් මම සුරංගගෙන් ඉවත් වුනෙමි. නිවසට ගොඩ වූ සුරංග අප සමග දොඩමළුවන අතරේ රැගෙනවිත් තිබූ තෑගි බෝග බෙදන්නට විය.

“මේ සාරිය අපේ හෝම් කමින් එකට ඔයාට අඳින්න.“

තෑගි බෝග අතරින් තෝරාගත් වැඩදාපු අලංකාර සාරියක් ඔහු මා අත තැබුවේ රහසින් එසේ පවසමින්ය. සුරංග බොහෝ දුර සිතා තිබේ. ඔය අතරේ අපි දෙන්නාට කතා කරන්නට ඉඩ දී අම්මාත් අප්පච්චීත් ගෙතුළට ගියා.

“ඔයා හිතල තියෙන දුර.“ යි මම සාරිය දිග හරිමින් කීවා.

“කොහොමද සාරිය ලස්සන ද?“

සාරිය මම ඇඟට තබා බැලුවෙමි.

“හරි ලස්සනයි සුරංග. මට දැන් ඇඳල බලන්න හිතෙනවා. කොහොමද ලස්සනද?“ මම සාරිය ඇඟට තබා සුරංගගෙන් ඇසීය. ඔහු කිසිදු වදනක් නොදොඩා අහිංසක ලෙස මා දෙස බලාසිටියි.

කාලෙකින් මගේ සිතට සතුටක් සැහැල්ලුවක් දැනෙන්ට විය. අම්මා උණු උණුවෙන්ම තේ කෝප්පයක් සාදාගෙනවිත් සුරංගට පිළිගැන්වූවා.

“පුතා මොනව හරි කනවද?“

ගුවන් තොටුපොළේ සිට පැමිණෙන අතරමගදී ආහාර ගෙන තිබූ බැවින් ඔහු තේ කෝප්පයෙන් පමණක් සෑහීමකට පත් විය. සුරංග වැඩි වෙලා ගත නොකර යන්නට සුදානම් විය. අපි දෙදෙනා සෙමෙන් සෙමෙන් වෑන් රථය වෙතට ගමන් කළෙමු.

“ඔයාට හොඳටම මහන්සි ඇති.“

“රෑ පුරාවට නින්දක් නැති එක තමයි අමාරුව.“

“ඉතිං ඔයාට මෙහේ නිදාගෙන යන්න පුළුවන්නෙ.“

“බෑ අමා... අම්මයි නංගියිත් බලාගෙන ඉන්නවනේ. ගිහිල්ල වොෂ් එකක් දාලා ඇඳට පැනගත්ත නම් හොඳ නින්දක් දාන්න පුළුවන්. දවල්ට හොටේල් එක පැත්තෙත් යන්න ඕන. එහේ මොනවා වෙලාද දන්නෙ නෑ. ආ.... ඔයාත් ගියා නේද?“

“ඔව්.“

එතැනින් එහාට හෝටලේ ගැන කතාකිරීමට නොහැකි වූයේ වාහනයේ දොර ඇරීමට රියැදුරා එතනට පැමිණි නිසා ය.

වෑන්එක මද අඳුරේ නොපෙනී යන තුරු මම බලාසිටියෙමි. සිතේ තිබූ විශාල බරකින් මා නිදහස් වූවායැයි සිතේ. මම ඇඳට ගියේ තව ටිකක් ඇලවී සිටීමට සිතුන නිසා. සුරංගගේ පැමිණීමත් සමග මා ලද සතුට පසු දින දුකකට පෙරළේවි නියා මට සිහිනෙකින්වත් සිතුනේ නැත.

මගේ ජීවිතේ මගේ ආදරේ මා ලද සුභදායී අත්දැකීම් මෙන්ම දුක්ඛදායී අත්දැකීම් ද විය.එක දිගටම කියා ගෙන ගිය කතාව නවතා සුදු නංගී දෙස බැලුවෙමි. ඇය මුව අයාගෙන නෙතුපිය නොසලා මා දෙස බලා සිටියි.

“සුද නංගී.... සුදු නංගි.“

ඈ පියවි ලෝකයට පැමිණියේ මා කිහිප විටක් කතා කළ පසුවය.

“සුදු නංගි, මං හෙට ඉතුරු ටික කියන්නම්.“


“අයියෝ....! අමාලි අක්කේ, හොඳ තැනකට ඇවිල්ලා කතාව නවත්තන්න එපා. සුරංග අයිය රට ගිහින් ආවට පස්සෙ එකපාරටම මොකද උනේ.?“

සුදු නංගී දැඩි උනන්දුවකින් ඇසුවා. ආදරය කරන හදවත් දෙකක් අතරේ වුවද ඉඳ හිට මතභේද ඇතිවන එක ස්වාභාවිකයි. එවන් අවස්ථාවලදී දෙසිතේ ආදරය තවත් වැඩිවෙයි. ඒත් එදා එම සිදුවීමෙන් මම ජීවිතේ පළමු වතාවට සුරංග නිසා දැඩිසේ කම්පාවට පත්වූයෙමි. අප අතර ඇති  වූ ප්‍රශ්නයට මුල්වූයේ සුසෑන් ය. සුරංග පසු දින හෝටලයට එන විට මම කවුන්ටරයේ සිටිනු දැකීමෙන් මවිතයට පත්විය.

“කෝ සුසෑන්. අද නිවාඩුද?“

ඔහු එසේ ඇසුවේ නොඉවසිල්ලෙනි. එහිදී කිසිවක් නොපැවසූ මම ඔහු සමග කාර්යාල කාමරයට ගියෙමි. එහිදී සිදුවූ සියල්ල කිසිත් වසන් නොකර සුරංගට පැවසුවෙමි. ඉන් ඔහු නාගයෙක් සේ කිපුනේ ය. අසුනෙන් නැගී සිටි ඔහු මට බැනගෙන බැනගෙන යන්නට විය.


“ඒ ළමයා මයිකල් කියලා මගේ හොඳ යාළුවෙක්ගේ නංගි කෙනෙක්. මයිකල් මට හුඟක් උදව් කරලා තියෙනවා.ඒ උදව්වට මට සලකන්න පුළුවන් දෙයක් විදිහටයි මං එයාගෙ නංගිව මෙතන වැඩට ගත්තේ. මේ කොහේද යන මනස්ගාත හිතේ මවාගෙන පිස්සු කෙළලා. මං තමුසෙට කිව්වේ මෙතන බලාගන්න මිසක් පාලනය කරන්න නෙමෙයි. මං දැන් කොහොමද මයිකල්ගේ මූණ බලන්නේ.“

“මං ඒ ළමයට මෙතනින් යන්න කිව්වේ නෑ සුරංග.“

“නිකං ඉන්නවා, මට හිතාගන්න පුළුවන් තමුසෙ කියපු දේවල්. මම දන්නවනේ ගෑණුන්ගේ හැටි.“

සුරංග වියරුවෙන් කෑගසන්නට විය. ඔහුගේ සෑම වචනයක්ම මගේ පපුවට පිහියෙන් අනිනවා වැනි වේදනාවක් මට දැනෙන්ට විය. අඬන්න හදන මගේ දෑස් මම දැඩිකර නවතා ගැනීමට උත්සහ දැරුවෙමි.

“තවත් බලන් ඉන්නේ නැතුව මෙතනින් යනවා.!“ සුරංග දත්මිටි කමින් ගුගුලයි.

මම සුරංග වෙතින් ඉවත් වූයේ දැඩි කම්පනයකිනි. කොතරම් සත්පුරුෂයන් ළඟවුවත්  නපුරු ගති සැඟව තිබෙන බව එදා මට පසක්විය. ජීවිතේ කවරදාකවත් මගේ අම්මගෙන්වත් අප්පච්චිගෙන්වත් මේසා බැනුමක් අසා තිබුණේ නැත. මගේ හිස පැලෙන්නට තරම් රිදුම් දෙන්නට විය. මට ඉක්මනින් නිවසට යන්නට උවමනා විය. හිතේ තෙරපෙමින් තිබෙන  දුක වේදනා මුදා හැරීමේ අවශ්‍යතාවය තිබුණි. බස් නැවතුමේ යාමට සූදානම්ව තිබූ බසයට දුවගොස් ගොඩ උනෙමි. පිටුපස හිස්ව තිබූ කොනේ ආසනයක හිඳ ගත්තෙමි. ඊට විනාඩි කිහිපයකට පෙර මා මුහුණ දුන් අමිහිරි අත්දැකීම නැවත නැවතත් ආවර්ජනය වෙත්ම මටද හොරා මගේ දෑස් අගින් කඳුළු කැට දෙකම්මුල් දිගේ ගලා යන්නට විය. කවුරුන් හෝ දකීවී යන සැකය නිසා ලේන්සුවෙන් මුහුණ සෙමෙන් පිසදාගත්තෙමි. බසයෙන් බැසගත් මා පාර මාරුවූයේ අසිහියෙනි. ඒ බැව් මට තේරුම් ගියේ මෝටර් රථයක තිරිංග හඬ සවනට ඇසීමෙනි.

“මොකද... මැරෙන්න හිතිලද උඩ බලාගෙන මෝඩයෙක් වගේ පාර පනින්නේ...“

එහි රියදුරා රථයෙන් හිස එළියට දමා මා දෙසට අතක් දිගු කරමින් බැන වදින්නට විය. මම නිවසට දිවගියෙමි. කාමරයට ගොස් දොර වසාගෙන ඇඳට වැටුනෙමි. එතෙක් වෙලා හිතේ තෙරපි තෙරපි තිබූ වේදනාව සිත්සේ දියකර හැරියෙමි. මා වැරැද්දක් කර තිබුණානම් මේ සා බැනුම් ඇසුවාට කමක් නැත. එහෙත් වරදක් නොකර බැනුම් ඇසීමට සිදුවීම කෙසේ නම් ඉවසන්නද. එක මොහොතකට මට මගේ ජීවිතේ ගැන කලකිරීමක් ඇති වුණි. ඒත් මිනිස්සුන්ට මීට වඩා ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. එසේ සිතමින් මම හිත හදාගැනීමට උත්සහ දැරුවෙමි. පසුවන විට සුරංගගේ හිතේ කෝපය නිවී යාවි යයි මම සිතුවෙමි. එහෙත් ඔහු දවස් දෙකක් යනතුරුත් මට කතා කළේ නැත. මගේ හිත චංචල විය. ඔහු ඇත්තටම මා සමග තරහා වී ඇතුවාවත්ද? මගේ සිතට විවිධ සිතුවිලි නැගෙන්නට විය. ආදරයක් මෙතරම් ඉක්මනට නිමා කළ හැකිද? එසේනම් සුරංග අවංකවම මට ආදරය කර නැත. එහෙත් ඔහු මා ඇසුරු කළ ආකාරට එවැන්නක් කෙසේ සිතන්නද? එවැන්නක් සිතා කෙසේ සිත හදාගන්නද? සිතේ තෙරපෙන සිතුවිලිවලින් මිදීමට ගෙදර කවුරුත් නැති මොහොතක මම ඔහුට දුරකථන ඇමතුමක් දුනිමි. මා ආදරය කළ ඒ හඬ මට ඇසෙන්නට විය. මම කිසිත් නෙදොඩා ඒ හඬට ඇහුම්කන් දී ගෙන සිටියෙමි. කිහිපවරක් “හලෝ හලෝ“ කියූ පසු දුරකථනය විසන්ධි කිරීමට පෙර මම කතා කළෙමි.

“සුරංග මේ මම.“

“ආ.... ඇත්තද?“

“ඔයා මාත් එක්ක තරහද?“

 ඊට ඔහුගෙන් කිසිදු පිළිතුරක් ලැබුණේ නැත. මම එම පැනය නැවතත් ඇසුවෙමි.

“ඔව්. මට ඔයා ගැන කේන්තියි. මම අර යාළුවට කතාකරහම මිනිහා මට හොඳටම දොස් කිව්වා. මේ ප්‍රශ්නෙ නිසා මිනිහ මාත් එක්ක තරහ වෙන්න ඇති.“

“සුරංග මං වැරැද්දක් කළා කියලා හිතනවනම් මට ඇති තරම් බනින්න. ඒත් මෙහෙම කතානොකර ඉඳලා මාව රිද්දන්න එපා.“

“මමත් ඉන්නෙ හරි අප්සෙට් එකෙන්. මං කොහොමද ආයිත් මයිකල්ට කතා කරන්නේ.“

“මම එයාට පැහැදිලි කරලා දෙන්නද?“

“නෑ නෑ නෑ ආයිත් වැඩේ අවුල් නොකර ඉන්නවා.“

සුරංග තම මිතුරා අහිමිවීම සම්බන්ධව දැඩිසේ කම්පාවට පත්වී ඇත. මට වඩා ඔහුට තම මිතුරාව වටිනවා යැයි මට සිතේ. මම ක්ෂණිකවම තීරණයකට එළැඹුනි. සුරංගගේ යහපත සතුට වෙනුවෙන් මට ඕනෑම දෙයක් කැපකළ හැකිය.

“කමක් නෑ සුරංග, ඔයාට මට වඩා ඔයාගෙ යාලුවව වටිනවනම්, මාව අමතක කරල නැති උන යාලුකම ආයිත් ගොඩනගා ගන්න.“

මම ආයාසයෙන් හිත තද කරගෙන එම වදන් ඔහු ඉදිරියේ ගොනු කර රිසීවරය තැබුවෙමි. මට ඇතේ ඉතාමත් සංවේදී දුර්වල හිතකි. අඬන්නේ නැතුව එක වචන පහක් කියාගන්න බැරි හැටි. අම්මාත් අප්පච්චීත් නැති නිසා දැඩි හුදකලා බවක් දැනෙන්නට විය. කාමරයට ගිය මම දින පොත ගෙන ඇඳට ගොඩ උනේ පහුගිය දින දෙකේ සිදුවූ සිදුවීම පොතේ සටහන් කිරීම සඳහායි. පොතේ පිටු පෙරළගෙන යන විට ඒ අතර සුරංගගේ සහ අපි දෙන්නා එකට ඉඳලා ගත්ත ඡායාර ෑප දෙකක් විය. මම ඔහුගේ ර ෑපය දෙස බලාසිටින්නට වීමි.


කතා කරන දෑස, සිත් වශීකරන සිනාව. මොහොතකට මා හද ඒ රුව ඉදිරියේ නැවතුනි. “දෙවියනේ ඔයාට පුළුවන්ද මෙච්චර නපුරු වෙන්න. මම ඔයාගේ ආදරය ඉදිරියේ බොහෝ හීන මැව්වෙමි. බොහෝ බලාපොරොත්තු පොදා බැඳගත්තෙමි. ඒත් ඒ හැම දෙයක්ම බොඳ වෙලා යාවිද සුරංග?“ මම ඡායාරෑපය සමග දොඩමළු වූයෙමි. ඇත්තටම සුරංග මාව අමතක කළොත්....? දෙවියනේ එවැන්නක් මට කිසිසේත් දරාගන්නට නොහැකි වේවි. මගේ හිතට බියක් ඇති වෙයි. මට ඔහුගෙන් තොර ජීවිතයක් නැති තරමට ඔහු කෙරෙහි බැඳී ඇත්තෙමි. මම දැන් තියාම හිත හදාගත නොගතහොත්, මට මගේ ජීවිතය පාලනය කරගත නොහැකිවනු ඇත. මම දැඩි ලෙස සිතුවිලි අතරේ සිටින විට සීනුව නාදවනු ඇසුණි.  


 

මතුසම්බන්ධයි

තරු

 

වෙනද වගේම අදහසක් තියල යන්න අමතක කරන්න එපා



8 comments:

  1. අප්පේ , මදැයි ......දැන් නම් අනික් කොටස කියවනකම් ඉන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. කතාව භයානක වෙයිද?

      Delete
    2. ඉවාන්ගේ අනාවැකිය හරිගියා නේද?

      Delete
  2. මොට්ට කෙල්ලො ඔහොමමයි

    ReplyDelete
    Replies
    1. කියලා.... වැඩක් නෑ.

      Delete
  3. ගඟක් වුනත් ලස්සන ටිකක් ගල්පර එක්කහු වුනහම

    ReplyDelete
  4. ඒක නම් අැත්ත බින්දි.

    ReplyDelete
  5. දැන්නෙ මතක් වුනේ. මේක මේ අමාලි වෙන කෙනෙකුට කියන, සිද්ධ වෙලා ඉවර වුනු කතාවක් නෙ.. කොහොම වුනත් තරු...,කියවන්න ආස හිතෙන විදිහට ලියනවා.

    ReplyDelete