Sunday, July 21, 2013

නෙතු අද්දර - 09




සුරංග ටික දිනකින් නොපැමිණීමත් දුරකථනයෙන් පවා හරි හැටි කතා නොකිරීමත් නිසා කැළඹීමෙන් සිටින අමාලි, ඔහුගේ කාර්යාල දුරකථනයට කතා කරයි. එවිට ඇමතුම ලබාගන්නේ හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය වන සුසැන් ය.  අද එතැන් සිට.....

"Who is speaking there please?"

"Amali is speaking"

ඈ ඉංග්‍රීසි බසින් ඇමතූ හෙයින් මට ද එම බසින්ම පිළිතුරු දීමට සිදුවිය. ඇය මට මදක් රැඳී සිටීමට පවසා එතැනින් ඉවතට ගියාය.

‘‘සර් මිස් අමාලි කියල කෙනෙක්.“

“ඕ කේ. සුසෑන් දැන් යන්න.“

රිසීවරය තුළින් මට ඔවුන්ගේ සංවාදය ඇසෙයි.

“අමා ඇයි මේ හදිස්සියේ?“

“හදිස්සියේ! දවස් ගානකින් කතා නොකරපු මිනිහට මොකද උනේ කියල බලන එක හදිස්සියක් නෙමෙයිද? හැබැයි දැන් නම් තේරෙනවා ඇයි කතා නොකලේ කියලා. වෙන අය ළඟ ඉන්නකොට අපිව මොකටද?“

“මේ දවස්වල ටිකක් අවිවේකියි. බිස්නස් ප්‍රමෝෂන්ස් ටිකක් ප්ලෑන් කරනවා. නැතිනම් කස්ටමස්ලා දන්නෙ නෑනෙ මෙහෙම හොටේල් එකක් තියෙන බව. ඉතිං ඔව්ව මෙව්ව කරල යනකොට රෑ වෙනවා.“

එය ඇසූවිට මගේ සිතේ ඇතිවූයේ දෙගිඩියාවකි. රෑ වෙනකම් මොන බිස්නස් ප්‍රමෝෂන්ද?

“සුසෑනුත් රෑ වෙනකම් ඉන්නවද?“

“ඔව් එයත් ඉන්නවා. මට තනියම වැඩ කරගන්න අමාරුයි නේ.“

“එතකොට ඔය දෙන්න විතරද රෑට ඉන්නේ?“

“ඔව් ඇයි?“

‘ඔව් ඇයි‘ අහපු ලස්සන විතරක්. මා එවැනි වදනක් කිසිවිටක සුරංගගෙන් අපේක්ෂා නොකළෙමි. සුසෑන් වගේ සුකොමාල දඟකාර කෙල්ලක් ලඟ ඉන්නකොට තාපසයින්ගෙ වුවත් සීලෙ බිඳෙන්නට පුළුවනි. මගේ හිතට දැනුනේ දරාගත නොහැකි වේදනාවකි.
 
හෘද ස්පන්දන වේගය වැඩිවී ගෙන එනවා සේ දැනෙන්නට විය. මගේ අත වෙව්ලන්නට විය. ඇස් දෙකට කඳුළු කැට උනන්නට විය. සුරංග ‘අමාලි‘ යයි මට අමතනු ඇසේ. මට කතා කරගත නොහැක. සුරංග පැවසුවේ සත්‍යක්ද? දෑසට නැගි කඳුළු කැට දියවී කම්මුල් දිගේ ගලා යන්නට විය. මම රිසීවරය තබා එතැනින් නික්ම ගියත්, යාමට හැකි වූයේ අඩි දෙකක් පමණි. දුරකථනය එසැනින් නැවත නාදවන්නට විය. ඒත් එයට ඇමතීමට හිතක් නැත. දිගින් දිගටම නාද වී නැවතුනි. ඒත් එය තාවකාලික නැවතීමකි. යළිත් අසුරු සැනින් නාදවන්නට විය. එවර රිසීවරය ගෙන සවනට තබා ගත්තෙමි.

“අමාලි.“

“ඇයි?“

“අම්මෝ කෙල්ලගෙ සැර. ඔච්චර කේන්ති ගන්න එපා. එතකොට මට වඩා නාකිපාටට පෙනේවි.“

“ඉතිං පෙනිච්චදෙන්. කවුරු බලන්නද.“

“මේ අමා...., මං කළේ විහිළුවක්. ඔයා ඕක ඔච්චර සීරියස් විදිහට ගනියි කියලා මං හිතුවේ නෑ.“

“සුරංග මං කැමති නෑ ඇස් රතුවෙන විහිළුවලට. ඔයා කැමතිද මං වෙන මිනිහෙක් එක්කලා රෑ වෙනකම් තනියම හිටියයි කියල අහන්න?“

‘‘මං එච්චර දුරට හිතුවෙ නෑ අමා. ඔයාට පොඩි විහිළුවක් කරන්න ඕන කියල හිතුනා. අයි ඈම් සොරි.

‘‘හරි දැන් ඉස්සෙල්ල කරපු විහිළුවේ ඇත්ත මොකද්ද?“ මා සැරෙන් ඇසුවා.

‘‘මං රෑ වෙනකම් වැඩ කරපු එක ඇත්ත. පියල් විතරයි හිටියේ. මිනිහ ඉතිං මෙහේම ඉන්න කෙනානෙ. ඔයා ඔය කියන කවුරුවත් හිටියේ නෑ. හරිද මැඩම්.?“

එවරනම් මගේ හිතට ඇති වූයේ කණගාටුවකි. සුරංග දිවා රෑ නොබලා වෙහෙසෙනවා. අලුතෙන් ව්‍යාපාරයක් පටන්ගත්තම ඒක දියුණු කරගන්න නම් දුක් විඳින්න වෙනවනෙ.

***    ***    ***    ***    ***    ***   
 
 ‍දළදා මාලිගාව ජනයාගෙන් පිරී පවතී. මෙම පූජනීය ස්ථානය සෑම දිනකම මේ ආකාරයෙනි. නුවරට පිට පළාත්වලින් පැමිණෙන ඕනෑම ජාතියක ඕනෑම ආගමක අයෙක් මෙම පූජනීය ස්ථානය දැකබලා ගැනීමට පැමිණෙති. එසේම විදේශිකයන්ගේ සංචාරක කාලසටහනේ අනිවාර්යයෙන්ම මෙම වන්දනීය ස්ථානය ද ඇතුලත් ය.

මාත් සුරංගත් මල් වට්ටි දෙකක් රැගෙන උඩ මළුවට නැග්ගෙමු. සෙනග අතරින් තෙරපි තෙරපි ගොස් දන්ත ධාතුන් වහන්සේට මල් වට්ටි දෙක පූජා කළෙමු. මගේ සිතේ බොහෝ ප්‍රාර්ථනාවන් තිබේ. මා බුදුන් ඉදිරියේ ඉල්ලා සිටියේ ඒ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කර දෙන්න කියාය. සුරංගත් නමස්කාර කරගෙන සිටිනු දැකීමෙන් ඔහු කළ ප්‍රාර්ථනාවන් මොනවද කියා දැන ගැනීමේ ආසාවක් මා සිතේ ඇති විණි.


‘‘ඔයා මොනවද මල් පූජ කරලා ප්‍රාර්ථනා කළේ. මම නම් හුඟක් දේවල් ප්‍රාර්ථනා කළා.“

අපි උඩ මළුවෙන් බැස එන ගමන් මම ඇසුවෙමි.

‘‘මගේ ව්‍යාපාරෙ දියුණු කරගන්න හැකිවේවා කියල තමයි ප්‍රාර්ථනා කළේ.“

“එච්චරම ද?“

“ඔව්, ඇයි ඔයා මොනවද ප්‍රාර්ථනා කළේ?.“

“දැන් බලනකොට අපේ ප්‍රාර්ථනාව මං විතරයි කරල තියෙන්නේ. ඔයා කරල නෑනෙ. එහෙම උනහම ඒවා ඉෂ්ට වෙන්නේ නැහැලු. ඒ හින්දා කියලා වැඩක් නෑ.“

සුරංග මට වඩා එයාගේ ව්‍යාපාරෙට ආදරෙයි වගේ. ඒකනේ මාව අමතක කළේ. අපි දෙන්නට කිසිම බාධාවක් ඇතිවෙන්නේ නැතුව ඉක්මනට එකතුවෙන්න හැකි වෙන්න කියලා මම බුදුහිමියන්ගෙන් ඉල්ලාසිටිය දී, එයා ව්‍යාපාරෙ දියුණු කරල දෙන්න කියල කියනවා. මගේ සිතේ සුරංග කෙරෙහි තරහක් මෙන්ම දුකක් ද ඇති විය. සුරංග මොන මොනවදෝ කියමින් පැමිණෙද්දී මා කිසිත් ගණනකට නොගෙන නිහඬව ගමන් කළෙමි. ඔහු මෝටර් බයිසිකලයට නැග එය පණගන්වන මොහොතේ දී වත් මගේ නිහඬ බව ගැන කිසිත් ඇසුවේ නැත. එහෙත් ඔහු විවිධ දෑ මා සමගින් කියයි. මගේ නිහඬ බව ඔහුට තේරුම් ගොස් නැතුවාවත් ද නැතහොත් ඒ බැව් දැන නොහඟනවාවද්ද කියා මට සිතා ගත නොහැක.

පූජා භූමියෙන් පිට වූ මෝටර් බයිසිකලය නිවස බලා පිටත්ව යනවා වෙනුවට කෙළින්ම ඉදිරියට ගමන් කරන්නට විය. මගේ සිතට එකවරම කුතුහලයක් ඇති වුවත් කිසිත් විමසා සිටියේ නැත. සුරංග මාව රැගෙන යන ඕනෑම තැනකට යන්නට මා සූදානම් ය. මගේ සිතට කිසිදු බියක් දැනුනේ නැත. ඒ මගේ මුළු ජීවිතයම ඔහු යයි කියල සිතන නිසාය. මෝටර් බයිසිකලය ප්‍රධාන පාරෙන් ගමන් කර පාළු පාරකට හැරෙව්වේය. එය කන්දු පාරකි. මා කුඩා කළ මෙවන් පාරක ගමන් කර ඇතත් ඒ මේ පාරෙම ද කියා නිනව්වක් නැත. කන්ද උඩට යන්න යන්න නුවර ටවුම අලංකාර ලෙස දිස්වෙයි. මා ඒ නෙතට ප්‍රිය දසුන ආසාවෙන් රසවින්දා විනා සුරංග මාව රැගෙන යන තැන පිළිබඳව දැන ගැනීමට උනන්දුවක් නොවීය. හදිසියේම මෝටර් බයිසිකලය නතර කෙරුණි. බයිසිකලෙන් බැසගත් මම වට පිට බලන්නට වීමි.

‘‘හා හා දැන් එහෙ මෙහේ බලන්න බෑ. අපි මෙතන ඉඳන් ඇවිදගෙන යමු.“ යි කියමින් සුරංග අමුතු තහංචියක් දැමීය.

‘‘අපි මේ කොහෙද යන්නෙ සුරංග.?“ දැන් දැන් හිතේ හටගන්නා කුතුහලය නිසාම මට තව දුරටත් නිහඬව සිටීමට නොහැකි විය.

‘‘අපි දෙන්නට තනි වෙන්න හොඳ තැනකට.“

ඒ වැකිය ඇසීමෙන් මගේ සිතට නුහුරු බවක් හා දෙගිඩියාවක් ඇති විණි. පසෙකින් කන්දත් එහි ඇති ර ෑස්ස ගස් නිසාත් ඈතින් ඇති කිසිවක් පෙනෙන්නේ නැත. සුරංග එකවරම මගේ දෑස් වැසුවේය.

‘‘බය නෑ නේද?“ සුරංග එසේ අසද්දී මගේ මුව මොහොතකට ගොළුවුවත් මා ඉක්මනින්ම පිළිතුරු දුන්නෙමි.

‘‘නැහැ“

‘‘එහෙනම් තව අඩි කීපයක් ඔහොම්ම ම ඉදිරියට යමු.“

සුරංග මගේ දෑස් වසාගෙන ඉදිරියටම කැඳවාගෙන යන්නට විය. එක් පසෙකින් ඉහළට ඇදෙන කන්දත් අනෙක් පසින් ප්‍රපාතයත් පිහිටා ඇත. මගේ සිතට විවිධ සිතුවිලි ගලාගෙන එන්නට විය. සුරංග කුමක් කරන්න හදනවාද කියා සිතාගත නොහැකි තැන,

“සුරංග ඔයා මේ මොනවද කරන්න හදන්නේ, මාව කන්දෙන් පහළට තල්ලු කරන්නද?“

“ඔයා කොහොමද හරියටම දැන ගත්තේ, මම ඒක කරන්න යනවා කියලා. කමක් නෑ ඊට කළින් ඇස් ඇරලා බලන්නකෝ.....“

එසේ කියමින් සුරංග දෑත් ඉවතට ගෙන මගේ හිස නිකටින් අල්ලා එසවූයේය. මා දෑස් අදහාගත නොහැකි දසුනක් මා ඉදිරියේ පිහිටා තිබෙන්නට විය.

රු
මතු සම්බන්ධයි.
වෙනද වගේම අදහසක් තියල යන්න අමතක කරන්න එපා


ප.ලි. වැඩ ටිකක් වැඩි නිසා ඉස්සර තරම් බ්ලොග් අතර සැරිසරන්න බැරිවේවි. ඒ නිසා යාළුවන්ගේ පෝස්ට් තිබෙන බව දැක දැකත් නොදැක්කා වගේ යන්න වෙලා තියෙනවා. එයට සමාවෙන්න.



(ඡායාරෑප සියල්ල අන්තර්ජාලයෙනි)

11 comments:

  1. දෙන්නාට මොකද උනේ කියලා බැලුවේ, අපිට හොරෙන් බැන්දා ද දන්නේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. දෙන්නට ජීවය දෙන එක්කෙනාට මේ දිනවල වැඩ ටිකක් වැඩි වෙලා.

      Delete
  2. කන්දෙන් පහල පෙනුනෙ සුරංගගෙ හොටෙල් එක...

    ReplyDelete
    Replies
    1. //කන්දෙන් පහල පෙනුනෙ සුරංගගෙ හොටෙල් එක...//චන්දන, නැවත වරක් අවසන් ජේදය කියවල බලන්න. එතකොට වෙනස් උත්තරයක් තියෙනවා කියල ඔයාට හිතේවි.

      Delete
    2. හ්ම්.. මට පස්සෙ ඒක තේරුණා මං හිතන්නෙ. නිකටෙන් අල්ලල පෙන්නුවා කිව්වම පහල තියන දෙයක් වෙන්න බෑ තමයි.

      Delete
  3. ලස්සනට ගලාගෙන යන කතාවක් බවයි පෙනෙන්නේ..මේ ලෝකේ සමහර වෘතීන් තියෙනවා තරු පැය 24 සේවයේ හිත යොදවන්න වෙන..එවැනි ජීවිතයක් ලැබුණහම පවුල් ජීවිතේ අඳුරු වෙනවා..පිට ඉඳන් බලන අයට තේරුම් ගන්න බැහැ ඇතුළාන්තය..

    හොඳ කතාවක් තරු..දිගටම ලියන්න අපි එනවා බලන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහන්! තම පවුල, සෞඛ්ය, විවේකය, විනෝදය අමතක කර මුදල්ම පමණක් හොයන්න දුවන අය හතිවැටිලා ගිමන් අරින්නට ඕනය කියලා හිතෙන විට තමාට හිමිව තිබූ මුදලින් මැනිය නොහැකි බොහෝ දේ ඔවුන්ට අහිමි වෙලා.

      Delete
  4. කතාව ලස්සනට ගලාගෙන යනවා, ඉවරවෙනකම් කොමෙන්ටු පල කිරීමට හදිසි නොවෙමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි prageeth!
      //ඉවරවෙනකම් කොමෙන්ටු පල කිරීමට හදිසි නොවෙමි.// සෑහෙන්න හොඳ ඉවසීමක් ඇති හැඩයි.

      Delete
  5. ආවා අද ඉස්සර වෙලාම හැමදාමත් එන්නම්

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිළිගන්නවා ප්රිය මිතුර තරැ අරණට.අද මෙන් සැමදාමත් ගොඩ වෙන්න. ස්තූතියි!

      Delete