Sunday, August 4, 2013

නෙතු අද්දර - 10


 
ශ්‍රී දළදා මාලිගාවට යන අමාලි හා සුරංග දළදා සමිඳු වැඳ පුදාගෙන පිටතට පැමිණෙයි. ඉක්බිති අමාලිව මෝටර් බයිසිකලේ නග්ගා ගන්නා සුරංග කොහෝ දෝ යයි.   අද එතැන් සිට.....



මගේ දෑස් අදහාගත නොහැකි දසුනක් මා ඉදිරියේ පිහිටා තිබේ. ඒ අහස්කුස දක්වා විහිදී ගිය දැවැන්ත බුද්ධ ප්‍රතිමාවයි. මීට පෙර මා පාසැල් වියේදී රත්තොට සිරියාවතී නැන්දලා නුවර පෙරහැර බලන්න ආව වෙලාවේ ඔවුන් සමග මෙතනට පැමිණි බව සිහියට නැගෙන්නට විය.
 
බහිරව කන්ද නමින් ප්‍රසිද්ධ මෙහි පිහිටි විහාරස්ථානය නගරයෙන් හුදකලා වී තිබුණත් එහි ප්‍රතාපවත් පිළිම වහන්සේ වැව රවුමේ සිට වුවද බලාගත හැක.
‘‘මීට කළින් මෙතනට ඇවිල්ල තියෙනවද?‘‘ යි සුරංග ඇසුවේ මගේ අතකින් අල්ලාගනිමින්ය.
‘‘ඉස්කෝලෙ යන කාලෙ අපේ නැන්දලා කට්ටියක් එක ඇවිල්ලා තියෙනවා.“
‘‘අපි අතනින් මල් ටිකක් අරං උඩට යමු.“
බුද්ධ ප්‍රතිමා වහන්සේ ළඟට යෑමට පඩි ගණනාවක් තරණය කළයුතුය. පඩි පෙළ පාමුල දමිළ කාන්තාවක් මල් විකුණයි. අෑ අසලට ගිය අපි නෙළුම් කොළ මත අලංකාර ලෙස අසුරා තිබූ මල් ගොටු දෙකක් මිල දී ගත්තෙමු.
‘‘ආ.... අද මාතියා නෝනත් යෙක්කම එවිල්ලා වගේ....“
“කොහොමද කන්නම්මා මගේ නෝනා. හැඩද?“
‘‘අනෙ අප්පා.... ඇෂ් වා කට වා නේ.... හරිම ෂීදේවි තමා.... මාත්තියටම ගෙලපෙන නෝනා....“ යි කියමින් බුලත් කහට ගැසුන දසන් පෙල විදහා සිනා සුනා. මල් වෙළෙන්දි එසේ කියද්දී සුරංගට මෙතන හොඳට හුරු පුරුදු තැනක් බැව් පසක් විය. අපි පඩි පෙළ නගින්නට වීමු.
‘‘මෙතන හරි නිස්කලංක ශාන්ත තැනක් නේද සුරංග?“
‘‘ටවුමට එන හැමදාම මම මෙහාටත් නොවරදවාම එනවා. බලන්න නුවර ටවුම ඈතින් පේන ලස්සන.“

සත්තකින්ම හරිම චමත්කාර දසුනක්. එක් පසෙකින් දළදා මාලිගාවත් බෝගම්බර වැවත් දැකගත හැක. තවත් අන්තයකින් නුවර නගරයත් ඊට උඩහින් දිවයන කඳුපන්තියත් දැකගත හැක. ජනාකීර්ණ නගරයක හුදකලා වූ සුන්දර නිස්කලංක තැනක පිහිටි මෙම පූජනීය ස්ථානයට පැමිණීමෙන් මගේ සිතට ඇති වූයේ  අමුතුම ප්‍රබෝධයකි. මල් ගොටු දෙක අතැතිව අපි පඩි පෙළේ උඩට නගින්නට වීමු. බෝ මළුව ඉතා පිරිසිදුය. සුදුවන් වැලිතලාව පොල් අතු රටාවට අතුගා ඇත. හමනා මදනළට නැළවෙන බොපත්වල සිලි සිලිය, කෝවිලක සීනු නාදයක් මෙන් කන්කළු ය. අප රැගෙන ගිය මල් බුදුරුව අබියස වූ මල් ආසනය මත තැබුවෙමු. මල් ටික ආසනය මත තැබූ සුරංග මා දෙස බලා මුවගට සිහින් සිනහවක් නගා ගත්තා.
              ‘‘මාලිගාවෙදී ඔයා මගෙන් ඇහැව්ව නේද මොනවද ප්‍රාර්ථනා කළේ කියලා. අමා, මං ටවුමට එන හැම සැරේකම නොවරදවා මෙතනටත් එනවා. මම හරි කැමතියි මෙතෙන්ට. මෙතන හරිම නිස්කලංකයි. හරිම ශාන්තයි. කන්නම්මගෙන් මල් ටිකක් අරගෙන මේ බෝමළුව වටේ... ට ඇවිදලා, මෙතනින් මල් ටික පූජ කරද්දි, බුදුන් වහන්සෙගෙන් ඉල්ලන්නේ, මගේ ජීවිතයට ආලෝකයක් එකතු කරපු ඒ සුරංගනාවි මටම ලබා දෙන්න කියලා. අපි දෙන්නට කවද හරි සුන්දර ජීවිතයක් ගත කරන්න ආශිර්වාද කරන්න කියලා.“
           සුරංග මගේ දෑස් දෙස බලාගෙන එසේ කියද්දී මගේ දෑසට කඳුලක් නැගුනේ නොදැනීමය. දෙයියනේ මං හිතුවට වඩා සුරංග මං ගැන කොච්චර හිතනවද?
             ‘‘මං මෙච්චර මහන්සි වෙන්නෙ අපේ අනාගතේ ගැන හිතලා. මට ඕන ඔයාව සතුටෙන් තියන්න.“ සුරංග දෑත් මගේ උරහිම මත තබාගෙන පවසන්නට වෙයි.
              ‘‘මම තේරෙන්නෙ නෑ රත්තරං, මං මොනවද ඔයාට කියන්න ඕන කියලා.මෙතනට ආපු වෙලේ ඉඳන්, ඔයා අපේ අනාගතය ගැන හුඟක් දේවල් කිව්ව. ඒත් මට කියන්න දෙයක් නැහැ. මට කියනව නම් කියන්න තියෙන්නේ එකම එක දෙයයි. මේ මොහොතේ මේ බුද්ධ ප්‍රතිමාව ඉදිරියේ මගේ මුළු ජීවිතයම ඔයා වෙනුවෙන් කැපකරනව කියන එක විතරයි. ඔයාගෙ හැම වැඩකටම මං ඔයාට ධෛර්යක්  ශක්තියක් වෙන්න උත්සහ කරන්නම්.“
                  “ඔයාගෙ ඔය වචන ටික මට මහ මෙරකට වඩා වටිනවා අමා. මං අහල තියෙනවා, පිරිමියෙක් ජීවිතේ දෙපාරක් උපදිනවා කියලා. මුලින්ම තමුන්ගෙ අම්මගෙන්, ඊළඟට බිරිඳගෙන්.“
“ඉතිං මන් තාම බිරිඳ උනේ නැහැ නෙ?“
‘‘ඒ ඉතිං පොතේ ලියල බාර දෙන අයිතිය නේ. ඒ උනාට මගේ හිතේ ඔයා මගේ බිරිඳ වෙලා ඉවරයි. ඔයා දන්නවද, ඒ වෙනුවෙන් ඔයාට දෙන්න විශේෂ දෙයක් අද මං ගෙනාවා.“ යනුවෙන් පැවසූ සුරංග ඇඳ සිටින ජැකට්ටුව අස්සට අත දමා පෙට්ටියක් එළියට ගත්තා.
‘‘ඇරල බලන්න කෝ.“ යි පවසමින් පෙට්ටිය මා වෙත පෑවේය. තරමක් ලොකු රතු පැහැති පෙට්ටියකි. මම එය කුතුහලෙන් විවර කළෙමි. එහි වූ රත්තරං මාලය දැකීමෙන් මා විස්මයට පත් විය. එය සෑහෙව වටින එකකි.
            ‘‘සුරංග! මේ මොකද.?“
           ‘‘ලස්සන ද?“ සැබැවින්ම අතිශ්‍ය අලංකාර මාලයකි.
           ‘‘හරිම ලස්සනයි. ඒත් මෙච්චර වටින මාලයක්...“
           ‘‘මේක තමයි, ඔයාගෙ මංගල මාලෙ. මේක අද දෙන්න කියලා හිතුවේ ඇයිද දන්නවද?“ සුරංග එසේ කියද්දි කිසිදු සිතුවිල්ලකින් තොරව හිස දෙපසට වැනුවෙමි.
           ‘‘ඇයි ළමයො අද කවදද දිනේ.“ දිනෙන් දින ගෙවී ගියත් අද දවස ගැනවත් දිනේ ගැනවත් නිච්චියක් නොවීය. මම මදක් කල්පනා කරන්නට වීමි.
           ‘‘හරි ෂෝක්. අද හතර වෙනිදා. උපන් දිනේ දවසත් අමතක වෙනවනම් වෙඩින් එකේ දවසත් අමතක වෙයිද දන්නෙ නෑ.“
          ‘‘ආ...නේ..... ඇත්තමයි සුරංග. අද හතරවෙනිදා කියලා පොඩ්ඩක්වත් මතකෙ තිබුණ් නැහැ නෙ. එතකොට මංගල තෑග්ග උපන් දින තෑග්ගක් උනා.“
         “ඒක විතරක් නෙමෙයි අමා. මං හිතාගෙන ඉන්නේ ලබන අවුරුද්දේ අපේ වෙඩිං එක ගන්න. ඔයා මොකද කියන්නෙ?“
          “ලබන අවුරුද්දෙ නෙමෙයි හෙට උනත් මං ලෑස්තියි.“
         “හ්හ, කෙල්ලට හරි හදිස්සියි වගේ.“ යි කියමින් සුරංග මගේ නිකටින් අල්ලා සෙලෙව්වා.
අපි මද වෙලාවක් බෝමළුවේ සිට භාවනා කළෙමු. බෝමළුවේ සිසිල් සුළඟ ගත දැවටෙද්දී ගතට දැනෙන්නේ පුදුම සනීපයක් සහ සැහැල්ලුවකි. මගේ හදවත සුරංගගේ ආදරෙන් සෙනෙහසින් පිරී ඇති වා සේ. සුරංග වගේ කොල්ලෙකුගේ ආදරය ලබන්න මං කොච්චර වාසනාවන්ත ද. සුරංග ජීවිතෙ දෙස සැහැල්ලුවෙන් සිතන නමුත් ජීවිතේ පැවැත්ම ගැන ගැඹුරෙන් සිතයි. සිතිවිලි අතරේ සිටි මම දෑස් විවර කර බලන විට සුරංග මා අසල සිටියේ නැත. මම මදක් වට පිට බලන්නට වීමි. ඔහු නායක හාමුදුරුවන් සමග කතා බහකය.
තරු
මතු සම්බන්ධයි.
වෙනද වගේම අදහසක් තියල යන්න අමතක කරන්න එපා


10 comments:

  1. ටිකක් කල ගත්ත වැඩියි මෙකොටසට, තාම අවසානය හිතා ගන්න බෑ, එත් අවසානයත් මේ වගේම සුන්දර වෙනවනම් තමා මම කැමති, සුන්දර කතාවලට අසුන්දර අවසානයක් එකතු වෙනවට මං කොහෙත්ම කැමති නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්,Prageeth මේ දිනවල මගේ මුල්ම නවකතාවේ සන්ශෝධන වගයක් කරන නිසා කාලය ඒ සඳහා වැය කරනවා. ලබන අවුරැද්දේ විතර ගොඩගේ ප්රකාශනයක් විදිහට එළිදක්වන්නයි හිතාගෙන ඉන්නේ.

      Delete
    2. මරුනේ , අපිටත් කියන්න එදාට

      Delete
    3. අනිවාර්යෙන්ම ඔය හැමෝටම කියනවා. විශේෂ උත්සවයක් කරොත් ආරාධනා කරනවා.

      Delete
  2. අනෙ අප්පා.... ඇෂ් වා කට වා නේ.... කතාව ලෂ්ෂනට තමායි යෙනව නෝනා.. :D:D

    ඉවාන් කිව්ව වගෙ මාත් කැමතියි මේ කතාව සුන්දර විදිහටම අවසන් වෙනව නම්..

    ReplyDelete
    Replies
    1. මාතියාට ගොඩක් තමා ඉෂ්තූති! අවසානය දැනටමත් ලියල තියෙන්ෙන්. බලමු මොකක් වේවිද කියලා.

      Delete
  3. ලස්සනයි ලස්සනයි...ආදර ගඟ කොයි අතට ගලා යාද

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්දි. පීනලම තමයි බලන්න වෙන්නෙ.

      Delete
  4. කතාව අමතක වෙලත් තිබුනේ.. හොදයි.. හොදයි.. ඉදිරිය බලමු හැබැයි වෙලාව වැඩිය ගන්න එපා.. ලින්ක් එක කැඩෙයි..

    ReplyDelete
    Replies
    1. මම හිතුව දේශක තරහ වෙලාද කියලා.දේශකගේ ගොඩක් පෝස්ට් තිබුණා. අනේ මට ඒවා කියවන්නත් එන්න බැරි උනා. කොටින්ම මගේ කතාවටත් කල් ගන්නවා වැඩිවෙන්නේ මගේ මුල්ම නව කතාවේ සංශෝධන වගයකට හිරවෙලා නිසා. ලබන අවුරැද්දේ ගොඩගේ ප්රකාශනයක් විදිහට එළිදක්වන්න තමයි හිතාගෙන ඉන්නේ.

      Delete