Wednesday, June 4, 2014

මාධ්‍ය - ආගම - අපරාධ

පසුගිය මාස හයක පමණ කාලයක් පුරාවට මා ප්‍රධාන පෙළේ සිංහල සහ ඉංග්‍රීසි පුවත් පත්වල පලකෙරුණ පුවත් පිළිබඳ අධ්‍යයනයක යෙදුනා. එහි දී  පෙනී ගිය කරුණත් තමයි, සිංහල බසින් පළකෙරෙන ලංකාදීප, දිවයින, රාවය, මව්බිම වැනි පත්තරවල ඇති පුවත් ඉතාමත් බාල පහත් මට්ටමක පවතින බව.
එසේම සිරස, ස්වරණවාහිනී, හිරු යනාදී රූපවාහිනී මාධ්‍යගත් කළ ඒවායේ ප්‍රවෘත්තිවලට රටේ කොහේ හෝ මිනී මැරුමක් සිදුවූ විට ඒවෙනුවෙන් කාලය වෙන් කරන්නේ නරඹන ප්‍රේක්ෂකයන්ට ටෙලි නාට්‍යක් බලනවාය යන හැඟීමක් ඇතිවන පරිද්දෙනි.
රට තුළ මිනී මැරීමක්, සිය දිවිනසා ගැනීමක්, ස්ත්‍රී දූෂණයක් හෝ මංකොල්ලයක් සිදුවූ විට එම පුවත, පුවත් පත්වල ඉතාමත් ඡුගුප්සාජනක අයුරින් මුල් පිටුවේම පළකරනු ලබයි. මෙය ඉතාමත් කණගාටුදායක කරුණකි.  මීට අමතරව හොල්මන්-ආත්ම වැහෙන කතා, දේවාරූඩ කතා වැනි නොදියුණු යුගයේ කතා පලකිරීමෙන් පෙනෙන්නේ අප රටේ පුවත්පත් කලාව ඉතාමත් පහත් බාල මට්ටමකට වැටී ඇති බවයි. මෙය එම පුවත් පත් ආයතනවල අලුත්ම ප්‍රවණතාවයද එසේ නැති නම් මාධ්‍යවේදීන්ගේ නූගත්කමද?
යුද්ධය තිබෙන සමයේ යුද්ධය මත යැපුන මාධ්‍යායතන දැන් ඉහත කරුණු මත යැපෙන බවක් පෙනේ. මෙවන් පුවත් කියවන විට අපට සිතෙන්නේ එය ලියූ මාධ්‍යවේදියා එම සිදුවීම බලාගෙන හිටියා හෝ එසේත් නැතිනම් එම සිදුවීමේ හවුල්කරුවෙකුව සිටිවගයි. එසේම එම පුවත් ප්‍රනීත ආහාරයක් ලෙස පෙන්නුම් කෙරෙන්නේ සිංහල පුවත්පත්වලය. එසේනම් ඔවුන් ඉලක්ක කරගන්නේ නගරයේ ජනතාවට වඩා ගමේ ජනතාව නොවේද? අප ඉන්එහාටත් විමසා බැලුවහොත් මෙවන් පහත් වූත් නීති විරෝධී කටයුතු වැඩියෙන් සිදුවන්නේද ගම්බද ජනතාව අතින් බව දැකගැනීමට හැකිය. හන්දියේ කඩේට යන මිනිස්සුන්ට, ගමේ බෝක්කුව උඩට වී කල්මරණ ඉලන්දාරීන්ට, නාන තොටට යන ගෑනුන්ට මේවා තරම් රස පුවත් ඉතිං තව කොයින්ද.

ඉංග්‍රීසි පුවත් පත්වල මෙවන් පුවත්වලට පුළුල් ප්‍රචාරයක් ලබානොදෙන්නේ එම පුවත් නගරයේ වෙසෙන උගත් බුද්ධිමත් ජනතාවක් අතට යන නිසාද?
දැන් අපට හිතන්නට සිදුව ඇත්තේ තව දුරටත් මේ තුට්ටු දෙකේ පුවත්පත් කලාව පිළිගන්නවාද? නැතහොත් වර්ජනය කරනවාද? යන්නය.
මේනයින් බලන කළ රට තුළ අපරාධ වැඩිවීමට මුද්‍රිතසේම විද්්‍යුත් මාධ්‍ය ද වගකිව යුතුවේ. සෑම දිනකම උදේට ගුවන්විදුලි නාලිකා අරඹන්නේ ධර්ම දේශනාවලිනි. රටේ වැඩි හරියක් ඇත්තේ බෞද්ධ විහාරස්ථාන වන අතර මේවායෙහි නිරන්තරෙන් ධර්ම දේශනා ආදිය පැවැත් වෙයි. කවුද ඒවා ශ්‍රවනය කරන්නේ. වයසක අම්මලා, තාත්තලා. දැන් බොහෝ පන්සල්වල භාවනා වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒවාට වැඩිහරියක් සහභාගිවෙන්නේ වයෝවෘද්ධ මව්-පියන්ය. එසේ නම් මෙම දේශනාවන්ද සුදුසු පුද්ගලයන් වෙත නොයන බව පෙනේ. පොහොයට දිනයට දරුවන් සමග බොහෝ විට පන්සලට යන්නෙ මවයි. මසකට වරක්වත් පියා ඒ වෙනුවෙන් කැපනොවීමෙන්ම දරුවන්ට නරක ආදර්ශයක් ලබාදෙයි.
මා හිතන පරිදි බොහෝ නිවාසවල බුදුන් වැඳිමක්වත් වර්තමානේ සිදුවෙන්නේ නැහැ. එසේ සිදුකරත් එය මව විසින් සිදුකරයි. දරුවන් සිටීනම් ඔවුන් අතුරින් ද දියණියට එම කටයුත්ත පැවරෙයි. එහෙත් ඒ සඳහා අනිවාර්යයෙන් පුතුන් ද සම්බන්ධ කරගත යුතුයි.
තව උදාහරණයක් ගතහොත්, ධර්ම දේශනාවක් පැවැත්වෙන නිවසක බණ අහන්න නිවෙස තුළට යන්නේ කාන්තා පාර්ශවය වන අතර පිරිමි නිවසින් පිටට ගොස් ඉඳින්නේ ඔවුනට එය අකැප දෙයක් මෙනි. එහෙත් අපේ සමාජයේ අපරාධ දෙස බැලුවහොත් 99% ක්ම සිදුකරන්නේ පිරිමින් විසින්ය. එසේ නම් කොතැනද වරද ඇත්තේ? ඒ අතින් බලන කළ ඉස්ලාම් ධර්මයේ ක්‍රමවේදය විශිෂ්ට යැයි කිවහැක. අනිවාර්යයෙන්  පල්ලියට ගොස් එම ආගම ඇදහීමේ ප්‍රමුඛතාවය පිරිමියාට පවරා ඇත.
(බුද්ධිමත් සංවාදයකට විවෘතයි)

6 comments:

  1. පැහැදිලිවම ඔබ සමග එකගයි.

    ReplyDelete
  2. සරලවම මට දෙන්න පුලුවන් උත්තරය තමා අද වෙද්දි මාකටින් හොදටම තියෙන්නෙ ඔබ සදහන් කරල තියෙන දේවලට.
    යුද්ධය තියෙන කාලෙ හැකි තාක් ඔවුන් යුදධය වික්ක... දැං එහෙම නැති නිසා ප්‍රවෘත්ති වටිනාකමක් නැකි මේ වගේ නිර්ලජ්ජිත පුවත් පළ කරනව

    ReplyDelete
  3. මිනිස්සු හරි ආසයි ඕපදූප , අද්භූත වගේම තමන්ගේ බුද්ධිය අවඥාවට ලක් කරන දේ ඇසීමට දැකීමට , නමුත් එයින් තම බුද්ධිය අවඥාවට ලක්වෙනවා යයි සිතීමට ඔවුන් මැලිවෙයි. පසුගිය කාල වකවානුව පුරා රාවණා ගැන , ඡායාරූප වල සටහන් වූ අද්භූත සෙවනැලි ගැන , යන්ත්‍ර මන්ත්‍ර ගැන කතාවෙමින් කලෙත් මේ කියන කාරණයේ දිගුවක්ම තමා

    ReplyDelete
  4. මාධ්‍ය සතු වගකීම නිවැරදිව වටහාගැනීමට නම්, මාධ්‍ය නිදහස මාධ්‍යකරුවා අතට පත්විය යුතුයි කියා මම හිතනවා. මාධ්‍යකරුවා යනු මාධ්‍ය මුදලාලිගේ සුරතලා වීමත්,මුදලාලි යනු පාලකයින්ගේ සුරතලා වීම තුලින්වත් අපි බලාපොරොත්තුවෙනදේ ලැබෙන්නේ නැහැ. ඔන්න ඔය තත්වය යටතේ තමයි සැබෑ කරුණු යට ගිහින් ගොබ්බ නිව්ස්වලට මුල් තැන එන්නේ. ඇත්ත ලියන්න බැහැ. ඒ නිසාම මාකට් එක අල්ලගන්න ජෝගි ලියනවා. මතක තියාගන්න...මේ වගේ වකවානුවකට තමයි සැබෑ විකල්ප පුවත්පත් අවශ්‍යවන්නේ. එක් එක් කාලවලදී එහෙම පුවත්පත් ආවා. නමුත් අද එහෙම මතුවෙන්න තියෙන තැන් අහුරලා තියෙන්නේ. මාධ්‍යකරුවා තවත් කුලී කාරයෙක් වෙන්නේ එහෙමයි. නැතනම් ඇඩ්වර්ටීස්මන්ට් කම්පැනි එකකට ගිහිල්ලා ජිංගල්ස් ලිය ලිය ඉන්න වෙනවා. හැබැයි ඒක හොඳයි මෙහෙම පත්තර ලියනවාට වඩා.

    ReplyDelete