Sunday, August 10, 2014

නෙතු අද්දර - 42

වෛද්‍යවරයා හෙදියන් දෙදෙනෙකු සමග සටනට සූදානම් වෙති. ඔක්සිජන් මාස්ක් එක මූහුණට සවිකළාය. අතට කටුවක් ගැසීය..... මගේ දෑස් පියවී යන්නට විය.
 “දුවේ... දුවේ... අයියෝ... මොකද්ද ඔයා මේ කළේ....“ මගේ සවනට අම්මාගේ විලාපය සිහිනෙන් මෙන් ඇසෙයි. මම දෑස් ඇරීමට උත්සහ දැරීය. ඒත් දෑස වෙළුම් පටිවලින් වෙලා තිබුණි. අම්මා එක් අතකින් මගේ අතක් අල්ලාගෙන අනෙක් අතින් හිස අතගාමින් හඬා වැළපෙයි. මට අම්මා එක්ක කතා කරන්නට උවමනා වී තිබුණ ද ඊට ධෛර්යයක් නොවීය.
“අමා...“ මගේ මුළු සිරුරම විදුලි සැරයකට අසුවුණා සේ දැනෙන්ට විය. හෘද ස්පන්දනය වේගවත් විය. අනේ දැන් මට ඒ මුහුණ බලාගන්න බැහැ නේද කියා සිතෙයි. එවිට නැගෙන දුක හදවත හාරගෙන ඇතුළට කිඳා බසිනවා සේ දැනෙයි.
“ඇයි ළමයො ඔයා මේ වගේ මෝඩ වැඩක් කළේ“ සුරංගගේ දයාබර වදන් යළිත් මගේ සවන් පත් තුළට රිංගා ගත්තේ ය.
“මෝඩ වැඩක් නෙමෙයි මල්ලි, මෙයා කරලා තියෙන්නේ හිතුවක්කාර වැඩක්. හ්ම්, උඹට කවද හරි තේරෙයි කරපු හපන්කමේ රඟේ“ අයියා පුපුරා හැලෙන කෝපයෙන් අවලාද නගයි.
මගේ නංගී වෙනුවෙන් යුතුකමක් කළය කියා සිතන විට සෑම දුකක්ම අවලාදයක්ම මැඩ ගැනීමේ මහා ශක්තියක් හිතට දැනෙයි.
**      **     **
දිනෙන් දින ගෙවී යන මේ අන්ධකාර ලෝකයට මම හුරු වුනෙමි. අම්මා, නංගි, සුරංග මාව ආදරෙන් රැකබලා ගනිති. නංගිගේ කුසට දරුවෙක් ආවේ ඔය අතරෙදී ය.
“අක්කා, ඔන්න ඔයා ලොකු අම්ම කෙනෙක් වෙන්නයි යන්නේ.“ යි නංගි ඒ සුභ ආරංචිය මට කියා සිටියේ දොරෙ ගලා යන සතුටකින් බව මට දැනුනි. බුදුන්ට පසු බුද්ධත්වයට සුදුසුකම් කියන මව් පදවිය ගැහැනියකට තම ජීවිතයේ ලැබෙන උතුම් අවස්ථාවකි. ඇය ඒ වෙනුවෙන් පේවෙන්නේ මහා පූජාවකට සූදානම් වන අයුරෙනි. මගේ සිතුවිලි හදිසියේම අතීතය සොයා ගියේ ය.
“ඔන්න අපි බැන්ද ගමන් මට තාත්තෙක් වෙන්න ඕන. ඔයා වගේ ලස්සන රෝස කැකුලියක් ඉස්ඉස්සෙල්ලාම ඕන. දුවක් ගෙදරට සිරියාවයි. ඊට පස්සෙ කොල්ලො තුන්දෙනෙක් ඕන. මගේ හොටේල් එක උන් ලොකු උනහම බාර දෙන්න පුළුවන්“ යි සුරංග ඈතට නෙතු යොමාගෙන ගිරවෙක් වගේ කියාගෙන යයි. මම ඒ වදන් සමග විකසිත වී ඇති ඔහුගේ වත දෙස බලා සිටියෙමි.
“කොහොම ද මගේ පවුල් සැලසුම නරක නැහැනෙ?“ යි කියමින් මා දෙස බැලීය. මම සිනා සුනෙමි.
“ඇයි, මදි ද වැඩි ද?“
“අනේ මන්දා, ඔයාල නම් කියයි. ඒ උනාට කියන තරම් ලේසි නැහැ විඳවන්න ගියහම.“
“ඔයා කිසි වැඩක් කරන්න එපා. හොඳට කාලා හිතේ සතුටෙන් ඉන්න එකයි කරන්න තියෙන්නෙ.“
දිගින් දිගටම එදා ඇදී ගිය අපේ සංවාදය මතකයට නැගෙද්දී ජීවිතය කෙතරම් අස්ථීර ද කියා සිතේ.
ගෙදර කවුරුත් අලුත් අමුත්තා පිළිගන්නට සූදානම් වෙති. නංගිට අවශ්‍ය කෑම සාදා දෙමින් ඇයව වෛද්‍යවරයා වෙතට ගෙන යාමේ සිට ඇගේ ඇඳුම් පැළඳුම් සොදා දීම, මූණකට සෝදාගන්නට වතුර රත්කර දීම ඇතුළු රාජකාරි බොහොමයක් අම්මාත් සුරංගත් බෙදාගෙන කරන්නට වූහ. මේ නිසාම මා ගැන සොයා බැලීමට පෙර මෙන් ඔවුනට කාලයක් නොවීය. මා තව තවත් හුදකලා වූවාසේ දැනෙන්නට විය. මේ නිසා දවසේ වැඩි කාලයක් ඇඳට වී සිටින්නට හුරු වුණෙමි.
තරු
මතුසම්බන්ධයි

වෙනදාසේම සිතට දැනුන අදහස තියලයන්න අමතක කරන්න එපා....

4 comments:

  1. මේ වගේ වැඩක් කරගත්තම වෙන්නෙ කබලෙන් ලිපට වැටෙව එක නේද..
    කොරේ පිටට මරේ කියල අනික් අයටත් ඒක කරදරයක්...
    නවකතාවක් නිසාහොදයි නැත්තං මේක සැබෑ ජීවිතේට ගලපන්න ගියෝත සෑහෙන්න අවුල්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මහේෂ්. මට උවමනා උනේ පරිත්‍යාගය සහ සහෝදර ප්‍රේමය අසාමාන්‍ය සිදූවීමක් ඔස්සේ පෙන්වන්න.

      Delete
  2. නවකතාවක් නිසා හොඳයි.මම හිතුව මෙතනින් ඉවර කරයි කියල.

    ReplyDelete
    Replies
    1. අයියෝ කොහොම ඉවර කරන්නද මේක මෙගා නව කතාවක්. මෙගා ටෙලි තියෙන රටේ මේව මොනවද?

      Delete