Sunday, August 3, 2014

නෙතු අද්දර - 41

වෛද්‍යවරයා මා දෙස බලා සිටින්නට විය. ඒත් ඔහුගේ හිත තිබුණේ මට එපිටින් වූ සිතුවිල්ලකය.
“හොඳයි මං වැඩේ බාරගන්නම්. මිස්ගේ බාරකාරයාට අමතරව, මිස්ගෙ අතින්ම ලියලා දෙන්න ඕන මේ ශල්‍යකර්මය කරන්නේ මිස්ගෙ පූර්ණ අනුමැතිය ඇතුව කියන එකත් කියලා.“ මම ඊට මගේ පූර්ණ කැමැත්ත ලබා දුණිමි.
“ඩොක්ටර් ඔපරේෂන් එක අදම කරනවද?“
“බලමු“ යැයි පැවසූ ඔහු දුරකථන අංකයක් කරකවන්නට විය.
“මේ... තියටර් එක අද බුක්කරලද තියෙන්නෙ.“
කෙටි සංවාදයකින් පසු රිසීවරය තැබූ දොස්තර රංජන්,
“ඕ.කෙ. අද පුළුවන්. මිස් සූදානම්වෙලාද ආවෙ.?“
“ඔව් ඩොක්ටර්.“
“හරි, එහෙනම් මිස්ගෙ බාරකාරයාලව්වා අර ෆෝම් එක පුරවලා, මිස්ගෙ ලියුමත් ලියල කවුන්ටර් එකට දෙන්න. ඊට පස්සෙ කරන්න ඕන දේ එතනින් කියාවි.“
මම එළියට පැමිණියෙමි. දැන් නම් හිතේ තිගැස්මක් ඇති වී ගෙන එයි. මා මේ ලෝකය දකින අවසාන විනාඩි කිහිපය නොවේද කියා හිතෙන විට දුකක් ඇතිවෙයි. මම කොරිඩෝව දිගේ යන්නට වීමි. කොරිඩෝව දෙපස ඇති දේ දැඩිව ග්‍රහණය කරගන්නට උත්සහා දැරුවෙමි.
ත්‍රි වීල් මල්ලි රථය තුළට වී සිටියි. මම ඔහු අසලට ගොස් කතා කෙරුවෙමි. දෑස් පියාගෙන සිටි ඔහු කලබල වී දෑස් ඇර මා දෙස බැලුවේ ය.
“මල්ලි මට ඔයාගෙන ලොකු උපකාරයක් අවශ්‍යයි.“
“මොකද්ද මිස්. කියන්න මං කරලා දෙන්නම්.“
“අද මගේ ඔපරේෂන් එකක් කරනවා. මල්ලි දන්නවනේ අපේ ගෙදර තත්වෙ? හැමෝම නංගිගාව. ඉතිං මට ඔයාගෙන් ලොකු උදව්වක් ඕන.“ මම කාරණාව ඔහුට පැහැදිලි කළෙමි. මා එය පැහැදිලි කර දුන් අකාරය අනුව එහි බරපතලකමක් නොතේරුණ නිසා අපහසුවකින් තොරව ඔහුගේ අත්සන ලබාගැනීමට හැකිවිය.
“මල්ලි දැන් යන්න. මගදි ගෙදෙට් කෝල් එකක් දීලා විස්තරෙයි ඉස්පිරිත්තාලෙ එඩ්‍රස් එකයි දෙන්න.“
ඔහු හිස සැලුවේ ය. ගමන් ගාස්තුවට අමතරව ඔහු කළ උදව්වට සරිලන අමතර මුදලක්ද ලබා දුනිමි.
“මිස් මෙච්චර මුදලක්!“
“කමක් නැහැ. තියාගන්න. මේ වෙලාවෙ හැටියට මල්ලි මට කරේ ලොකු උදව්වක්.“ ඔහු අචාරශීලීව මා දුන් මුදල පිළිගත්තේ ය.
අවශ්‍ය සියලු ලිපි ලේඛන සකසා අවසන් වූ පසු මට කාමරයක් ලැබුණී. එහි උස ඇඳක් සහ කුඩා ලොකර් එකක් විය. මා රැගෙන ගිය බෑග් එක ලොකර් එක මත තැබුවෙමි. ඔපරේෂන් එකට සූදානමින්ම යන්න ඕන නිසා උදේ තේ එකට අමතරව කිසිදු ආහාරයක් නොගැනීමට වගබලා ගත්තෙමි. එය වෛද්‍යවරයාට කාලය ඉතිරිකර දීමක් හා පහසුවක් විය.
“මිස් මේ සුදු ඇඳුම ඇඳගන්න.“ මා වෙත පැමිණි හෙදියක් දිගු කබායක් මට පාමින් පැවසුවා ය.
කාලය තත්පරෙන් තත්පරේ විනාඩියෙන් විනාඩිය ගෙවී යයි. මගේ ලෝකය අඳුරුවන මෙහොත කෙමෙන් කෙමෙන් ළංවෙමින් පවතියි. හෙටින් ඇරඹෙන දිනය මා සදාකාලික අඳුරු ලෝවකට ගෙනයනු ඇත.
හෙදියක් පැමිණි මාව අඬගහගෙන යන්නට වූවා ය. මගේ හිතට මහා භයක් දැනෙන්නට විය. මම ආයාසයෙන් හිත හදාගන්නට උත්සහා දැරීය. මට නැවතීමට සලස්වා තිබූ කාමරේ සිට කාමර තුනක් පමණ පසුකරගෙන ගිය පසු ශල්‍යාගාරය හමුවෙයි. මම පැලඳ සිටි සෙරෙප්පු පිටත ගලවා ශල්‍යාගාරයට ඇතුල් උනෙමි. එහි වූ ඇඳක් මතට ගොඩ වන ලෙස හෙදිය කියා සිටියාය. මද වෙලාවකින් වෛද්‍ය රංජන් එතැනට පැමිණියේ ය.
“මිස්ට දැන් උනත් අදහස අත්ඇර ගන්න පුළුවන්.“ යි පවසා මගේ ප්‍රතිචාරය ලැබෙනතුරු මා දෙස බලා සිටින්නට වූයේ ය.
“නැහැ ඩොක්ටර්. මගේ තීරණේ වෙනසක් නැහැ.“
“ඕ.කේ. අපි සූදානම් වෙමු.“ 
වෛද්‍යවරයා හෙදියන් දෙදෙනෙකු සමග සටනට සූදානම් වෙති. ඔක්සිජන් මාස්ක් එක මූහුණට සවිකළාය. අතට කටුවක් ගැසීය..... මගේ දෑස් පියවී යන්නට විය.

තරු
මතුසම්බන්ධයි

වෙනදාසේම සිතට දැනුන අදහස තියලයන්න අමතක කරන්න එපා....

8 comments:

  1. අපේ බ්ලොග් දර්ශකයටත් බ්ලොග් එක ඇතුල් කරන්න අපට ලින්ක් එක එවන්න. පහත ලින්ක් එකෙන් අපේ බ්ලොග් දර්ශකයට පිවිසිය හැකියි.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආරාධනාවට. මම මෙහි ලින්ක් එක එවන්නම්. ඔබගේ සේවය අගයමි. දිගු සේවයකට සුභ පැතුම්!

      Delete
  2. හිත හරියට තිගැස්සුනා තරු. කොපමණ වටිනා දානයක්ද මේ දෙන්න හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු මේ තරමට පරිත්‍යාගශීලී වෙනවනම් ලෝකය කොච්චර සුන්දර වේවිද?

      Delete
  3. සෙල්ලම් නැ

    ReplyDelete
    Replies
    1. මොකද්ද කිව්වේ... ?

      Delete