Sunday, July 6, 2014

නෙතු අද්දර - 37


පසු දින උදේන්ම අවදි වූ කවුරු කවුරුත් ඉස්පිරිත්තාලෙට යන්නට සූදානම් වූහ. මේ වෙලාවේ මාත් විශේෂයෙන් අම්මාත් තනි නොකොට අයිය වගේම නැන්දලා මාමලාත් අපත් සමග සිටීම හිතට ශක්තියක් විය. නැන්දලාත් පුංචි අම්මාත් නිරතුරුවම අපව සනසවති. කඩා වැටෙන්න දඟලන අපේ සිත් කරුගසා කොහොම කොහොම හරි ඔසවා තබන්නට ඔවුහු වෙර දරති.
මාතර නැන්දත් රත්තොට නැන්දත් පුංචි අම්මත් අප සමග ඉස්පිරිත්තාලෙට යන්න එකතු වූහ. සුරංගගේ තත්ත්වය බරපතල නැති නිසා අපි නංගි බැලීමට මුලින් ගියෙමු. ඇය පෙර දින දුටු ආකාරයෙන්ම සිටියි. ඒත් අද ඇයට සිහිය තිබුණි. අම්මා ඇගේ අතක් අල්ලා ගත්තාය.
“මයෙ දුවේ.... අනේ රත්තරනේ දැන් කොහොමද?“
“අම්මේ....“ නංගි කෙඳිරි ගාන්නට වූවාය. ඈ දැකීමෙන් අපි කාගෙ කාගෙත් දෑස් තෙත්ව යන්නට විය.
“මේ... කාට හරි ඩොක්ටර් එන්න කිව්වා.“ යි අප අසලට පැමිණි හෙදියක් කියා සිටියාය. මාමාත් අයියාත් වාට්ටුවේ එහා කොනේ මේසයක් අසල ඉඳගෙන ඉන්න දොස්තර මහත්තයා හමුවට ගියහ. ඔවුන් මද වෙලාවක් ඔහු යමක් සාකච්ඡා කර නැවත අප දෙසට එනු පෙනෙයි. අප දෙසට එන මග නැවතුන මාමාත් අයියාත් යමක් කතාකරගෙන යළි අප දෙසට එන්නට වූහ.
“මොනවද දොස්තර මහත්තයා කිව්වෙ?“ යි අම්මා මාමා අසලට විත් ඇසීය.
“නංගි, ඒ ගැන අපි ගෙදර ගිහින් කතා කරමු. දුව මොනවද කියන්නෙ?“
“අනේ... මල්ලියේ....අම්මෙ කියනවා ඇර මොකුත්ම කියන්නෙ නෑ.“
“හරි, නංගි එහෙනම් මෙතන ඉන්න අපි සුරංග පුතාව බලලා එන්නම්.“
නැන්දලා කාටවත් සුරංග බැලීමට යාමට උවමනාවක් නැත. මාමාත් අයියාත් සුරංග බලන්නට යන්නට සැරසෙයි. මටද සුරංගව බලාගන්නට උවමනායි.
“මාමෙ, මාත් එනවා.“
“ම්, එහෙනම් යමු.“
උදේටත් දවල් වාගෙම වාට්ටුව ඇවිස්සුනු කඩි ගුලක් මෙනි. අපි වාට්ටුවෙන් එළියට එත්ම දොරටුව අසල දී සුරංගගේ අම්මත් නංගිත් තවත් ඥාතීන් කිහිප දෙනෙකුත් හමුවූහ.
“පුතේ කොහොමද දුවට?“
“නැන්දලා ගිහින් බලන්න කෝ.... අපි සුරංග බලන්න යනවා“ තව දුරටත් එතැන රැඳී සිටීම අපි දෙගොල්ලන්ටම නිශ්ඵල නිසා සීමා සහිත වචන හුවමාරුවකින් පසු වෙන් වුණෙමු.
සුරංග ඇඳ විට්ටමට හේත්තු වී වාඩි වී සිටියි. සුරංගගේ ලොකු අම්මා මොනවදෝ ඔහුට කවයි. අපි ඇඳ අසලට එනු දුටු සුරංග කලබල වූවාක් මෙන් විය.
“පුතා....“
“මාමෙ, කේෂිණිට මොකද?“
“කේෂිණී දුව ඉන්නවා අල්ලපු වාට්ටුවේ.“
“මට එයාව බලන්න යන්න ඕන.“
“අපි ඉන්නවනේ.. පුතාට බය වෙන්න දෙයක් නෑ.“
“දැන් ටිකකට කලින් පොලීසියෙනුත් ඇවිත් කට උත්තරයක් අරං ගිහින් තියෙනවා.“ යි සුරංගගේ ලොකු අම්මා අලුතෙන් යමක් එකතු කළාය. සුරංගගේ අතක් අල්ලාගෙන මොනවා හෝ කතා කිරීමට උවමනා වුවත් මගේ මුව ගොළුවී වචන හිරවී ඇත්තාසේ දැනේ. මොනවා කියන්නද මොනවා අහන්නද කියා හිතාගන්නට බැරිය.
“සුරංග... ඔයාට දැන් කොහොමද?“ මම ආයාසයෙන් වචන කිහිපයක් ගලපා ගත්තෙමි. ඔහු මා දෙස බැලුවා. ඒ දෑස්වල මහා අසරණ බවක් සටහන්ව තිබුණි.
**      **      **
අපි ගෙදර පැමිණියෙමු. ගෙදර එන අතරවාරෙදි අපි කවුරුත් පුන පුනා මාමාගෙනුත් අයියාගෙනුත් ඇහුවේ දොස්තර මහතා ඔවුන්ට පැවසූ දෑ කුමක්ද කියා ය.
“දැන් ඕක මෙතන කිව්ව කියලා වැඩක් වෙන්නෙ නැහැ. ගෙදර ගිහින් කරන්න තියෙන්නෙ මොකද්ද කියලා හෙමින් සීරුවේ කතා කරගම්මු.“ යි මාමා පැවසුවේය. ගමනේ ඉතිරිය නිහඬ බව රැඳි කාලයක් විය.
“දැන් මේ කතාව අහලා කලබල වෙන්න එපා. ළමයි දෙන්නගේ ජීවිත බේරලා දුන්නට දළදා හාමුදුරුවන්ට නමස්කාර කරන්න තියෙන්නෙ. දොස්තර මහත්තයා කිව්වේ, කේෂිණී දුවගේ....“
මට මාමාගේ වචන සිහිනයක් මෙන් විය. සිත මහා බයකින් වෙලීයන්නට විය. අම්මා විළාප දෙමින් හඬයි. අනෙක් නැන්දලාත් අහුමුළුවලට වී ඉකි ගසයි. දෙවියනේ අපි මොන පවක් කළාටද අපිට මෙහෙම දඬුවම් දෙන්නෙ. එක අනතුරකින් මගේ මුළු අනාගතයම අඳුරු උනා. දැන් නංගිගේ ජීවිතය අඳුරු වෙලා. මට ඇවිදින්න බැරි උනත් දෑස් පෙනෙන නිසා මගේ වැඩ දැන් මට තනිවම කරගත හැක. එත් දෑස් අන්ධ වෙනවා කියන්නේ මුළු ලෝකයෙන්ම වෙන්වෙනවා නොවේද? අඳුරු ගුහාවක ජීවත් වීමක් නොවේද? නංගි කෙසේ මීට මුහුණදේවිද? ජීවිතයේ බරක් පතලක් නොතේරෙන ඇයට මෙය දරාගැනීමට බැරිවෙයි. නංගිගේ තත්ත්වය එසේ වෙද්දී සුරංගට මොනවා වෙයිද? අබ්බගාත ගෑනියෙක් බඳිනවට අකමැති උන සුරංගගේ අම්මාත් අක්කාත් අන්ධ වූ මගේ නංගිව කෙසේ බාර ගනීවිද? මම කාමරයට ගොස් දොර වසාගත්තෙමි. හිස් කබල අස්සේ තෙරපෙන ගැටළුවලට තනිවම පිළිතුරු සොයන්නට වීමි.
තරු
මතුසම්බන්ධයි

වෙනදාසේම සිතට දැනුන අදහස තියලයන්න අමතක කරන්න එපා....

7 comments:

  1. හප්පේ කතාව එහෙම් පිටින්ම කේදවාචකයක් බවට පත් වෙන්නයි යන්නෙ

    ReplyDelete
  2. හෆොයි ....කතාව එහෙම පිටින්ම කඳුළු සයුරක් කරන්න යන්නේ

    ReplyDelete
  3. සෝ සයුරක ගිල්වන කතාවක්නේ තරු..

    ReplyDelete
  4. මේ පාට් පාට් දාන කතා කියවන්න දැං ඇල්මක් නැහැ. මොකද ඕවා මතක තියාගෙන ඉන්න අමරුයි.. දෙයියනේ කොයි තරං වැඩ රාජකාරි තියෙන මනුස්සයෙක්ද මං..

    ReplyDelete
  5. ආන්න මම කිව්වෙ මම කිව්වෙ කෙල්ල අන්ධ වුනා නේද?ඊළඟට අනික් ජෝඩුව ගැටගහනවද?

    ReplyDelete
  6. මොකක්ද බොලෙ මෙ පවුල කොරපු පව මෙහෙම වෙන්න

    ReplyDelete
  7. කාලෙකින් අද එන්න ලැබුනෙ. මේ ටික කියවලා බලන්නෙ අද.

    ReplyDelete