Sunday, June 29, 2014

නෙතු අද්දර - 36

ඇඳන් කිහිපයක් පහුකරගෙන යද්දී සුරංග සිටිනු දැකගත හැකිවිය. ඔහුගේ නළල වෙළුම් පටිවලින් වෙළා තිබුණු අතර වමතේ වැළමිටේ සිට පහළට ප්ලාස්ටර් ගසා තිබුණා.
සුරංග අරමුණකින් තොරව වහළයට නෙත් යොමාගෙන සිටියි. ඔහුගේ සුදු කමීසය ලෙයින් නැවී තිබුණි. මගේ හිතට මහත් දුකක් දැණුනි. මම ඇඳ මත් වැටී ඇති ඔහුගේ අත සෙමෙන් පිරිමදින්නට වීමි.
“සුරංග...“ කිසිදු ප්‍රතිචාරයක් නැත. වෙනදාට මා දකින විට විකසිත වන ඔහුගේ මුහුණ අද මලානික වී ගොසින්ය.
“මල්ලි ඉන්නෙ ෂොක් එකෙන්. ඒකයි කතා කරන්නෙ නැත්තෙ.“
මගේ දෑස් අගින් එළියට පැන්න කඳුළු බිඳු දෙකක් කාටත් නෙපෙනෙ පරිද්දෙන් පිසදාගතිමි.
 “මල්ලි අපි අලුත් කමිසයක් ඇඳ ගනිමු. කො ඉඳගන්න.“ මල්ලි අම්මගේ අතේ ඇති බෑගය ගෙන කමිසයක් හා සරමක් ඉන් පිටතට ගත්තා. සුරංගගේ දෑස් සෙමෙන් අප වෙතට යොමු විය.
“මල්ලි ටිකක් ඉඳගන්න, මේ කමීසෙ අන්දවන්න.“ යි අයියා දෙවෙනි වර පැවසූ විට, සුරංග ආයාසයෙන් ඇඳේ ඉඳගන්නට උත්සහ දැරීය. අයියාත් මාමාත් ඔහුට ඉඳගැනීමට උදව් කළහ. අනතුරුව අයියාගේ උදව්වෙන් කමීසය අඳින්නට විය. සුරංගගේ දෑස් මා වෙතට යොමු වූයේ නිරායාසයෙනි. ඒත් ඔහු මා දෙස බැලුවේ නාදුනන කෙනෙකු දිහා බලන පරිද්දෙනි.
අම්මා මාමාව පසෙකට කැඳවාගෙන ගොස් මොනවදෝ කතා කරනු පෙනේ. මෙහොතකින් මාමා අප වෙතට ආවා.
“පුතා මෙතන ඉන්න. අපි දුව බලලා එන්නම්.“ පැවසුවා.
“යමු දුව, අයියා සුරංග පුතාගාව ඉඳීවි. අපි නංගිව බලලා එමු.“ යි පවසමින් මාමා මගේ රෝද පුටුව තල්ලු කරගෙන වාට්ටුවෙන් පිටතට යන්නට විය.
“මල්ලිට තිබුණෙ ඉස්සෙල්ලා දුව බලන්න යන්න.“ යි අම්මා නොක්කඩු ස්වරයෙන් පැවසීය. ඒත් මාමාගෙන් නොව ඊට පිළිතුරක් ලැබුණේ.
“ඇයි දුව බලන්න නොගිහින් මෙහාට ආවෙ?“
මගේ හිතේ ද පැන නැගී තිබූ පැනයක් අම්මාගේ මුවෙන් පිට විය.
“මේ යන්නෙ ඒකටනේ.“
අපි කාගෙත් කටවල් වැහුණි. අපි කාන්තා වාට්ටුවට ඇතුල් වී, දොරටුව අසල නැවතුනෙමු. අපි තිදෙනගේම දෑස් වාට්ටුව පුරා දිවයන්නට විය.
“කෝ දරුවා?“
“පොඩ්ඩක් ඔහොම ඉන්න මං අහගෙන එන්නම්.“
නංගි පේන්න නැත. මගේ හෘද ස්පන්දන වේගය වැඩි වෙයි. අම්මාගේ ද එසේම විය යුතුය.
“නංගිට මොකුත් කරදරයක් ද දන්නෙ නෑ දුව.“ මවගේ හඬ වෙව්ලයි.
“එහෙම වෙන්න බැහැ අම්මෙ.“ යි කියමින් මම ඇගේ අතකින් අල්ලා ගතිමි. මගේ සිත භයන්කර සිතුවිලිවලින් පිරී යයි. ඒත් ඒ බවක් අම්මාට ඇඟෙව්වේ නැත. “අනේ දළදා හාමුදුරුවනේ මගේ රත්තරං නංගිට මොකුත් නපුරක් වෙන්න දෙන්න එපා...“ මම සිතෙන් යැද්දෙමි. වාට්ටුව තුළට ගිය මාමා ඉක්මන් ගමනින් අප වෙතට ආවා.
“අපි යමු අර පැත්තට.“ මාමා මගේ රෝද පුටුව හරවාගෙන ගොස් වෙනත් දොරටුවකින් ඇතුල් විය. එහි සිටින රෝගීන් පෙර වාට්ටුවේ රෝගීන්ට වඩා බරපතල තත්ත්වයේ අය බව පෙනේ. අපි ඇඳන් කීපයක් පසුකරගෙන ගොස් අංක අට සඳහන් ඇඳ අසල නැවතුනෙමු. ඒ ඇඳ මත සිටි තරුණියව එකවරම කෙනෙකුට අඳුනා ගත නොහැකි වුවත් අපි අඳුනා ගත්තෙමු. නංගිව දුටු සැනින් අම්මා අඬාගෙන ගොස් ඇයව බදාගත්තාය. නංගිගේ හිසත් නළලත් දෑස් දෙකත් වෙළුම් පටිවලින් වෙලා තිබුණි. එම වෙළුම් පටි අස්සෙන් මතු වූ ලේ පැල්ලම්වලින් සුදුපැහැති රෙදි කඩ රතු පැහැයට හැරී තිබුණි. වමතට සේලයින් බටයක් ගසා තිබුණි. ඇගේ මංගල සාරිය ගලවා යට සාය සහ හැට්ටයට උඩින් සුදු රෙද්දක් දමා තිබුණි. මගේ දෑසින් ගලන කඳුළුවලින් නංගිගේ දෙපා තෙත් විය.
“සර් මෙන්න ලෙඩාගෙ සාරිය.“ යි කියමින් එතැනට පැමිණි හෙදියක් මාමා අත බෑගයක් තැබීය.
“ලෙඩාට නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නේ.“ යි යළිත් වරක් පවසමින් ඈ එතනින් ඉවතට ගියාය.
**      **      **
එදින අප ගෙදර පැමිණියේ දැවෙන හදවත් වලිනි. අම්මා ගෙදර එනතුරුම අඬා වැළපුණි. සැම දෙනාම උන්නු උන්නු තැන්වල හූල්ලමින් බලාගත් අත බලා සිටින්නට වූහ. අම්මාගේ ඉකි බිඳුමත් දෙඩවිල්ලත් විටින් විට නිහඬතාවය බින්දාය. රාත්‍රි ආහාරය වෙනුවට තේ කහට එකකින් සැනසෙමින් කවුරු කවුරුත් නින්දට ගියහ. අම්මා මගේ කාමරයට නිදාගන්නට ආවා.
මැදියම් රැය පසුවන තුරු අපට නින්ද ගියේ නැත. අම්මා හූල්ලමින් කඳුළු සලන අයුරු මගේ හදවතට ද ගෙන ආවේ ඉමහත් සංවේගයකි. අපි දෙදෙනා දෙදෙනාට හොරා හඩා වැළපුණෙමු. මැදියම් රැය පසුවෙත්ම අම්මාට නින්ද ගොස් තිබුණි. ජනෙල් වීදුරුව අතරින් පෙරී එන පහන් එළියෙන් මම අම්මා දෙස බැලුවෙමි. ‘පව් අම්මා. ඇය කෙසේනම් මෙතරම් දුකක් දරාගන්නද‘ මීට අවුරුදු තුනකට පෙරත් අප මෙවැනිම දුකකට මුහුණ පෑවෙමු. එදා මට මගේ අප්පච්චි නැති වුනි. මා සදාකාලික අබ්බගාතයෙක් විය. ඒ මොහොතෙත් අම්මා දැඩිසේ දුකටත් කම්පාවටත් පත් වූවාය. දීර්ග සුසුමක් හෙළු මම අනෙක් පසට හැරී තදකර දෑස් පියාගත්තේ අයාසයෙන්වත් ටිකක් වෙලා නිදාගෙන හිතට නිදහසක් ලබා ගන්නටය.  
“ලොකු දූ....“ මම බැලුවෙමි. පුදුමයකි.
“අප්පච්චි!“ කාමරයට ඇතුලු වූ අප්පච්චි මගේ ඇඳ ළගට ආවේය.
“ලොකු දූ... නංගිව බේරගන්න පුළුවන් ඔයාටයි. ඒක කරන්න.“
“අප්පච්චි“ මගේ සිත විස්මයෙන් මෙන්ම සතුටින් පිරී ගොසින්.
“ඔව්. මම හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා.“
මම දෑස් විවර කළෙමි. අප්පච්චී මා ළඟ නැත.

තරු
මතුසම්බන්ධයි

වෙනදාසේම සිතට දැනුන අදහස තියලයන්න අමතක කරන්න එපා....


10 comments:

  1. හප්පේ...
    මං හිතුව නංගි බබා මෝචරියෙ තමා කියල..
    හප්පේ ඔයින් ගියා මදැයි

    ReplyDelete
    Replies
    1. මහේෂ්ට සතුටුයි වගේ

      Delete
  2. හොද නිශ්චිත කාල පරතරයකින් දාන්නකෝ අනේ.. මේ දාන කොටස්..

    ReplyDelete
    Replies
    1. විශේෂ බාධාවක් නැතිනම් හැම සඳුදම එනවා.

      Delete
  3. මම හිතාගෙනම හිටියෙ නංගි ඉවරයි කියලයි.එයත් අක්ක වගේ පුටුවකට සීමා වේවිද නැත්නං අන්ධ වේවිද කියලයි දැන් හොයන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බලමු ඊළඟ කොටසින් මොකක් හරි වෙන්න එපැයි.

      Delete
  4. හරිම සංවේදියි තරු. ඉක්මනට අනෙක් කොටස් ටිකත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. චාන්දි දිගටම බැලුවද මන්දා..

      Delete
  5. අප්පච්චි....? තේරුම් ගන්න උත්සාහ නොකර අනික් කොටස එනකම් බලන් ඉන්නම්

    ReplyDelete
    Replies
    1. හහ්.... මොකද මලයා මෙදා පාර පරක්කු වෙලා

      Delete