Sunday, July 13, 2014

නෙතු අද්දර - 38



නින්ද යන විට මධ්‍යම රාත්‍රිය ද පසු වී තිබුණ නිසාදෝ උදේ අවදිවෙන විට ඉර මුදුන් වී තිබුණි. අම්මා එහෙම නංගිව බලන්න ගොස් ඇතුවා විය හැක. මට ඒ ගමනට එකතුවීමට නොහැකි වීම ගැන හිතේ ඇති වූයේ කණගාටුවකි. හෙමින් සීරුවේ රෝද පුටුවට ගොඩ වූ මම මුළුතැන් ගෙට ගියෙමි. රත්තොට නැන්දාත් පුංචි අම්මාත් මුළුතැන්ගෙයි බංකුව උඩට වී දිගු සාකච්ඡාවකය. එකවරම මා දුටු නැන්දාත් පුංචි අම්මාත් තරඟෙට කතා කරන්නට වූහ.
“දුවට හොඳටම නින්ද ගිහින් තිබුණ නිසා අපි කීද්දුවේ නෑ.“
“අම්මලනම් ඉස්පිරිත්තාලෙට ගියා.“ යි පුංචි අම්මා පැවසීය.
“ඒක තමයි. අපරාදෙ මට යන්න බැරි උනේ...“
“දුවට දවල්ට යන්න බැරියැයි. අපිත් යනවනේ දවාලෙට. හා දැන් මූණකට හෝදලා තේ එක බිව්වනම්.“ රත්තොට නැන්දා පැවසීය.
“දැන් දවල් වෙච්චි එකේ උදේට කාලම තේ එක බිව්වනම් නේද හොඳ?“
“නැන්දෙ, නංගිට ආයි පෙනීම ලබාගන්න බැරි වෙයිද?“
“ම්... පුළුවනි දුවේ. ඔය මැරුණහම ඇස් දන්දෙන අය ඉන්නෙ. ඒ අයගෙන් ගන්න ඇස්වලින් පොඩි දුවට පෙනීම ලබාදෙන්න බැරිවෙන එකක් නැහැ. මාත් හරියටම දන්නෙ නෑ දුව. දොස්තර මහත්තයගෙන් තමයි දැන ගන්න පුළුවන් වෙන්නෙ.“
**      **      **
දවල් අම්මලා ගෙදර පැමිණි පසුයි දැන ගත්තේ සුරංගගේ ටිකට් කපා ඇති අතර කාන්ති
නැන්දා සුරංගව ගෙදර එක්කගෙන ගොස් ඇති බව. දෙවියනේ.... නංගිට පෙනීම ලබාගන්න බැරි උනොත් ඒ මගුලත් අවසානවේද කියන සැකය හා බිය මගේ සිත පෙළන්නට විය. අනේ.. එහෙම උනොත් සුරංග පව්. එයා කොහොම මේව විඳ දරාගනීවිද? අනික් අතට කාන්ති නැන්දගේ ප්‍රතිචාරය කෙබඳු වේද? මට ආයෙ ජීවිතෙට සුරංගව දැකගන්න බැරි වේවද? ඔය ආදී දහසකුත් එකක් ප්‍රශ්නවලින් මගේ හිස අවුල් වී ඇත. නැන්දා කියපු දේ ගැන පැහැදිලි කරගැනීමට දොස්තර තේනබදුව දවල්ට ගියවිට මුණ ගැසීමට සිතාගත්තෙමි. දොස්තර තේනබදු අඳුනගන්න ලැබුණේ මගේ ඇක්සිඩන්ට් එකෙන් පසුය. අප්පච්චිගේ මරණය ගැනත් මට දිගින් දිගටම බෙහෙත් කිරීමත් නිසා අපේ පවුලත් තේනබදු දොස්තර මහත්තයත් අතර මිත්‍රකමක් ගොඩ නැගුණි. ඒකට තවත් හේතුවක් විය. ඒ ඔහුත් අපේ අයියාත් එකම පාසැලේ එනම් නුගවෙල සෙන්ට්‍රල් එකේ වීමය. එකම ගමේ වීම එකම පාසැලේ වීම සිතුම් පැතුම් සමානවීම දේශපාලනික අදහස් සමානවීම වැනි හේතු පුද්ගල සම්බන්ධතාවල සමීපබවක් ඇති කරයි.

කාන්ති නැන්දා සුරංගව එක්කගෙන ගිහින් ඇත්තේ හිත හොඳන් නොවන බැව් අයියාගේත් අම්මාගෙත් කතාවලින් මම තේරුම් ගතිමි.
“අම්මෙ පොඩි නංගිව අපිට බරක් නෙවෙයි. එයාව මෙහේ තියාගන්න බැරි නම් මම එක්කගෙන යන්නම්. කාන්ති නැන්දලාගේ ඇනුම්පද අහන්න නංගිව එහාට යවන්න ඕන නෑ.“
“ගහේ ගෙඩි ගහට බර නෑ පුතේ. ඒත් කාන්තිට වටින්නෙ නෑ ඒ වගේ කතාවක් කියන්න.“
“මොකද්ද අයියෙ කාන්ති නැන්දා කිව්වෙ.“
“ඔව් කතා කරලා වැඩක් නෑ නංගි.“ යි කියාගෙන අයියා කාමරයට රිංගා ගත්තේය. මම අම්මා ළඟට කිට්ටු උනෙමි. හිසින් ‘මොකද්ද‘ කියා ඇසුවෙමි.
“දන්නැද්ද දුවේ කාන්ති නැන්දගේ කට. ඉස්සර දුවට කොච්චර දේවල් කිව්වද? ඒත් අපේ පවුල මූසල පවුලක් නෙමෙයි මයෙ දුවේ....“ යි කියූ අම්මා අඬන්නට විය. මට සුසුමක් හෙළුනි. මම අම්මාගේ ඔළුව අතගාන්නට වීමි.
“අඬන්න එපා අම්මෙ. කාන්ති නැන්දා එහෙම කියන්න ඇත්තේ එයාගෙ පැත්තෙන් හිතෙන විදිහටනේ. එක අතකින් ඒ කියූ කතාවෙත් වැරැද්දක් නෑ. තමන්ගෙ පුතා විවාහවෙන්න ගිය ගෑනු දෙන්නම ඇක්සිඩන්ට් වෙලා අසරණ වෙන එක අවාසනාවක් තමයි“
“නැහැ නංගි, ඕකෙ අනික් පැත්ත වෙන්න බැරිද? සුරංගගේ මූසලකමට වන්දිගෙවන්නට උනේ ඔය දෙන්නට කියලා.“ යි අයියා පැවසුවේ ඇඳුම් මාරුකරගෙන කාමරෙන් පිටතට එමින්ය. මේ ඔස්සේ තම තමන්ගේ අදහස් දැක්වීමට කවුරු කවුරුත් හවුල් වූහ.   
**      **      **
මගේ ඒකායන අරමුණ වූයේ නංගිට කෙසේ හෝ පෙනීම ලබාදී සුරංගවත් නංගිවත් එකතු කරන්නය. එතකොට කිසිවෙකුටත් අනවශ්‍ය විදිහට වාද කරගන්න අපහාස කරගන්න අවශ්‍ය නොවේ. දවල් ඉස්පිරිත්තාලෙට යනතුරු මා කල්පනා කළේ කුමක් කළ යුතුද යන්නය. මගේ හිතට නැගි අදහසක් ගැන වැඩි විස්තර දැන ගැනීම පිණිස දවල් ඉස්පිරිත්තාලෙට ගිය විට මම දොස්තර තේනබදු හමුවීමට ගියෙමි. පෙර දින තරමක් කාර්යබහුලව සිටි ඔහු අද තරමක විවේකයෙන් පසුවනු දැකීම මගේ සිතට අස්වැසිල්ලක් විය.
 
තරු
මතුසම්බන්ධයි

වෙනදාසේම සිතට දැනුන අදහස තියලයන්න අමතක කරන්න එපා....

9 comments:

  1. කියෙව්වා..

    ReplyDelete
  2. අර උඩ දාල ඉන්නෙ තේනබදු අය්යද...
    මාත් බුවා හම්බු වෙන්න බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඇයි ඇස් දන් දෙන්නද?

      Delete
  3. සිද්දවෙන්න තියෙන ඔක්කොම අභාග්‍යයන් දැන් සිද්දවෙලා අහවරද?

    ReplyDelete
    Replies
    1. අනාගතය ගැන කාටනම් කිව හැකිද හැලප අයියේ

      Delete
  4. අයිය කිව්ව කතාව හරි වෙන්න් බැරිද?

    ReplyDelete
    Replies
    1. බලමු තව ටික දුරක් ගිහින්

      Delete
  5. ඔයා ලොකු පරිත්‍යාගයක් කරන්ට හදනවා වාගෙ.

    ReplyDelete