Sunday, June 1, 2014

නෙතු අද්දර - 33


කේෂිණී ඉන්නේ වෙනදට වඩා ප්‍රබෝධයකිනි. සුරංග එන දිනවල විශේෂයෙන්ම සූදානම් වෙයි. කැඩපත ඉදිරියේ සිට ඇඳ සිටින ඇඳුමේ හැඩ බලයි. ඇඳුමට ගැළපෙන කොණ්ඩ මෝස්තරයක් දමයි. මුහුණේ පවුඩර් දමා ගනියි. එවිට ජපන් බෝනික්කෙක් මෙන් දිස්වෙයි. ඇඟ තවරා ගන්නා සුවඳ විලවුන් විටෙක නාස් පුඩුවලට දරාගත නොහැකි තරමට සැරය.
“අපෝ.... ඇති ඇති ඔය හැඩ උනා. බලන්න මූණෙ පවුඩර් වැඩියි. ටිකක් පිහදා ගන්න නැත්නම් සුරංග හිතයි මේ වෙන කෙල්ලෙක් කියලා.“
“ඔව් අක්කෙ මටත් තේරුණා. පරණ පවුඩර් එක ඉවර වෙලා අලුත් එකක් ගත්තා ඒක තමයි මේ.“
“ඕක නොගා ඉන්න. ඒක ඔයිට වඩා හොඳයි.“
මා එසේ කියූ පසු ඇය මූණ හෝදගන්න නාන කාමරයට ගියා.

අවසානයේ හැම දෙයක්ම මා හිතූ විදිහටම සිද්ධ වෙච්චි එක ගැන මගේ හිතේ ඇත්තේ සැනසීමක් සේම සතුටකි. මෙයින් අපේ ගෙදර අය මෙන්ම සුරංගගේ ගෙදර අයගේද සිත්වල ඇත්තේ සතුටකි. දැන් පෙර මෙන් සුරංගගෙ අම්මගෙ හිතේ තිබුණ අමනාපෙත් පහවගොසින්ය. සුරංග නංගිව බඳින්න කැමතියි කියූ දවසට දින දෙකකට පසු අපේ ගෙදර පැමිණි සුරංගගේ අම්මා කියූ දෙයක් මගේ සිතට නැගේ.
“අමාලි දුව දාහකින්වත් හොයාගන්න බැරි ගෑනු දරුවෙක් බව අපි නොදන්නවා නෙවෙයි. ඒත් දුව, අපි ඇත්තට මූණ දෙන්න ඕනනේ. අපි දෙගොල්ලො අඳුරන්නෙ අද ඊයෙක ඉඳල නෙවෙයිනෙ. කොයි විදිහකින් හරි මේ පවුලට මගේ පුතා සම්බන්ධ වෙනවට මං විරුද්ධ නොවුනෙ ඒකයි.“ යි එදා ඈ පැවසුවේ මුව පුරෝගත් සිනහවකින් ය.
අපි කවුරු සතුටින් හිටියත් සුරංග ඒ සතුට මුළුමනින්ම අත්විඳිනවාද කියා මට හිතාගන්නට බැරිය. සුරංග අපේ ගෙදර එන විට කටුව අස්සට රංගන ඉබ්බෙක් වගේ මා මගේ කාමරයට
රිංගා ගනියි. කේෂිණී සුරංගගේ සිරුරේ දැවටි දැවටී පෙම් කරන අයුරු දකින විට මගේ හිතට දුකක් ඇති නොවෙනවා නොවේ. මේ නිසාම මම ඔවුන්ගෙන් ඈත්ව සිටීමට නිරතුරුවම උත්සහ දැරුවෙමි. ඒත් හැම දාකම ඔහු ආපසු යන්නට පෙර මා සමග වචන කිපයක් කතා කරන්නට ද අමතක කළේ නැත. ඒ හැම විටම කේෂිණී ඔහුගේ ආරක්ෂකයා ලෙස පිටුපසින් පැමිණෙයි.
දිනක් රෝගියෙක් බැලීමට අම්මාත් නංගීත් නුවර ගොස් සිටියහ. සුරංග ආවේ ඔය අතරතුරේදී ය. මෝටර් බයිසිකලේ හඬ හඳුනාගත්තද මම කාමරයට වී නිහඬව සිටියෙමි. මද වෙලාවකින් සීනුව නාදකරන්නට වීම නිසා කාමරෙන් පිටතට පැමිණි මම ජනේලය අසලට ගොස් සුරංගට කතා කළෙමි.
“සුරංග නංගි ගෙදර නෑනෙ.“
“කොහේ ගිහින්ද?“ යි ඔහු ඇසුවේ ජනේලය අසලට එමින් ගමනය.
“ලෙඩෙක් බලන්න අම්මත් එක්කලා නුවර ගියා. නංගි ඔයාට මේබවක් කිව්වෙ නැද්ද?“
ඔහු හිස සැලුවේය.
“එහෙනම් අමතක වෙන්න ඇති.“
මම ජනේලය අසල සිටම කතා කරයි. සුරංග නිහඬය. ඉවතට හැරුන දෑස් අනන්තය සොයන්නාක් මෙනි. ඒ නිහඬ බව මගේ හිතේ ඇති කළේ කුතුහලයකි.
“ඇයි සුරංග?“ මා එසේ ඇසූ විට ඔහු සෙමෙන් හිස හරවා මා දෙස බැලීය. ඒ දෑසේ මොකද්දෝ දුකක් ලියැවී ඇති බවක් මට පෙනෙන්ට විය.
“ඇයි මට ඇතුලට එන්න කියලවත් කියන්නෙ නැත්තෙ. මෙච්චර ඉක්මනට ඔයාගෙ හිත ගලක් උනේ කොහොමද?“
“මට සමාවෙන්න. කතා කර කර හිටියට මට ඒක අමකත වෙලා ගියා. අනික මං හිතුවෙ නංගි නැති නිසා ඔයා යයි කියලා. ඉන්න මං දොර අරින්න“ සුරංග පැවසූ දෙයින් මගේ පපුව දැවී ගියාසේ දැනෙන්නට විය. මා විගසින් ගොස් දොරේ අගුල කරකවා දොර ඇරියෙමි. සුරංග පැමින සාලයේ වූ පුටුවක ඉඳ ගත්තේය. ඔහු එක එල්ලේ මා දෙස බලා සිටින්නට විය. මම ඒ දෑස්වලින් සැඟවෙන්නට උත්සහ දැරුවෙමි.
“අමා, ඇයි හැම තිස්සේම ඔයා මාව මගහරින්න හදන්නෙ?“

මම රෝද පුටුව හරවාගෙන මදක් ඉවතට ගියෙමි.
“ඉස්සර වගේ මට ඔයාට ළංවෙලා ඉන්න බෑ.“
“ළං නොවුනට, ඈත් වෙන්න හදන්න එපා... මං කේෂිණීට කැමති උනේ ඔයා නිසා. මට තවමත් කේෂිණී මගේ සහෝදරියක් කියලා හිතෙන්නෙ. ඔයා ළඟට එනකොට තියෙන හැඟීම මට නංගි ගාවදී නැහැ “ යි කියූ සුරංග දිගු සුසුමක් හෙළීය.
“මට තේරෙනවා සුරංග. කාලයත් එක්ක ඒ හැමදෙයක්ම හරි යයි.“
“මං තේ එකක් හදාගෙන එන්නම්.“
“එපා එපා මං දැන් යන්න ඕන. පුළුවන් උනොත් හවසට එන්නම්.“
කාලෙකින් සුරංග එක්ක නිදහසේ කතා කරන්න උදා වූ ඒ මොහොත මගේ සිතට ගෙනාවේ අමුතුම ප්‍රබෝධයකි.
ජයනාත් අයියට ඔස්ට්‍රේලියාවෙන් ශිෂ්‍යත්වයක් ලැබීම නිසා ලොකු අක්කත් පොඩි එවුන් දෙන්නා එක්ක  ඔස්ට්‍රේලියාව බලා ගියාය. ඔවුන්ගේ නික්ම යෑම අපි කාගේත් සිත්වලට එකතු කළේ ශෝකයකි.
සුරංගගේත් කේෂීණීගේත් සම්බන්ධෙට දෙපාර්ශවේම ආශිර්වාද ලැබී තිබුණ නිසා සුරංගගේ අම්මට මංගල්ලෙ ඉක්මන් කිරීමට අවශ්‍යව තිබුණි.
තරු
මතුසම්බන්ධයි

වෙනදාසේම සිතට දැනුන අදහස තියලයන්න අමතක කරන්න එපා....
(ඡායරූප අන්තර්ජාලෙයනි)

2 comments:

  1. හප්පේ හයි ස්පීඩ් ගිහින් වගේ ඒ ගමන .. කතාව දැන්නම් කට වහගෙන බලන් ඉන්න තැනට ඇවිත් තියෙන්නේ

    ReplyDelete
  2. හරිම අවුලක්නෙ

    ReplyDelete