Sunday, March 23, 2014

නෙතු අද්දර - 28

සුරංගගේ අම්මා ඉස්සර මට කොච්චර ආදරේ ද? ඒත් දැන්.... මිනිස්සුන්ගේ හිත් මෙතරම් කුරිරුද? එකඅතකින් සුරංගගේ අම්ම කියූ කතාව සත්‍යකි. මට මොනවද සුරංග වෙනුවෙන් කරන්න පුළුවන්. හරි හැටි තේ එකක්වත් හදල දෙන්න පුළුවන්ද? මට ඒ අය වෙනුවෙන් මුණුබුරෙක් හරි මිනිපිරියෙක් හරි ලබල දෙන්න පුළුවන්ද? ඒ මොනව උනත් නංගි ගැන කියූ පමණින් සුරංගට මේ තරම් තරහ ගියේ ඇයි. සමහරවිට මංගලිකා නැන්දත් සුරංගට දොස් කියනවා ඇති, මාව අත්අරින්න කියලා. පව් එයා දෙපැත්තෙන්ම අසරණ උනාද?
“අක්කෙ, සුරංග අයිය දැන් දවස් දෙක තුනකින් ආවෙ නැහැ නේද?“ මගේ සිත අවුල් වී තිබෙන මොහොතේ කේෂිණීටද යමක් ඉවවැටී ඇතුවා සේ ඇවිත් ඇසීය. මම මුනිවත් රැක්කෙමි.
“අක්කේ....“ ඈ පහත් වී මගේ මුහුණට එබී බැලුවා ය.
“අක්කෙ, මොකද අප්සෙට් එකෙන් වගේ. දෙන්නා මං නිසා රණ්ඩු උනාවත් ද?“ මම එකවරම ඇගේ මූණ බැලුවෙමි. ඈ මේ ගැන යමක් දන්නවාවත්ද? නෑ වෙන්න බැහැ. එය නංගිගේ අනුමානයක් විය හැක. මගේ හි‍තේ නංගි ගැන සියුම් තරහක් ඇති විය.
“ඔව්. ඔයා ගැන කියන්න ගිහින් සුරංග මාත් එක්කලා තරහා වෙලා ගියා. දැන් කිසිම ආරංචියක් නෑ. ඔයා නිසා තමයි මේ ඔක්කොම.“
“ඒක හරි වැඩක්නෙ. මං මොනවද සුරංග අයියට කළේ...?“
“ඔයා මොකුත් කළේ නෑ. මම තමයි මේ හැම දෙයක්ම කළේ.... මමයි වැරදිකාරි.“
“අක්කට ඕන...“
“මේ නංගි, කරුණාකරලා මෙතනින් දැන් යනව ද?“
නංගි තරහෙන් ගස්සාගෙන යන්න ගියා. මගේ හිතට නොසන්සුන්ය. නංගි ඇවිත් ඒ නොසන්සුන්කම තවත් වැඩි කළාය. හෙට දිනය තුළ කෙසේ හෝ සුරංග ගැන තොරතුරක් සොයාගත යුතුය.  රාත්‍රිය මට කල්පයක් මෙන් විය. නංගී හිසේ සිට පොරවගෙන නිදයි. ඈ මාත් සමග හවස ඉඳන් එකදු වචවයක්වත් කතා කළේ නැත. මගේ හිත තුළට කළු ගලක් ඔබ්බවා ඇතිවා වගේ මහා බරක් වේදනාවක් දැනේ. වවුල් රෑනක් මේ දිනවල ගේ ඉස්සරහ ඇති රූස්ස ගහක ඇති ගෙඩිවගයක් කන්නට පැමිණෙති. උන් ඒ ගෙඩි කන්නට පොරකති. පැයකට පමණ පසු උන්ගේ ගෝසාව නැතිව යයි. එවිට මුළු පරිසරය පුරාම දැඩි නිහඬබවක් ගෙනදෙයි.
***              ***              ***
පසු දින නංගී වැඩ ගියේ මාත් එක්ක හිතේ අමනාපෙනි. ඇයට මගේ හිතේ ඇති ගින්දර වැටහෙන්නේ නැත.
අම්මා, රමණි නංගිගේ අම්මත් එක්කලා මාවිල්මඩ ගියා. ඔවුන් ගෙදරින් පිටවෙනකම් මා පසු වූයේ නොඉවසිල්ලෙනි. කාමරයට ගිය මා මේස ලාච්චුවේ දමා තිබූ දිනපොත ගත්තෙමි. එහි සුරංගගේ මිතුරන් කිහිප දෙනෙකුගේ දුරකථන අංක ලියාගෙන තිබුණි. මම ඒ එක් එක් අංකයට කතා කළෙමි. ඒ සෑම තැනකින්ම ලැබුණේ එකම පිළිතුරයි. ඒ කිසිම තැනකට සුරංග ගොස් තිබුණේ නැති. එසේනම් සුරංග කොහේ යන්න ඇද්ද? මගේ හිතට බියක් දැනෙන්නට විය. මගේ සිත විවිධ සිතුවිලිවල අතරමං වන්නට විය. මා දස අතේ කල්පනා කරන්නට විය. ඒ සමගම දුරකථනය නාදවීමෙන් මා තිගැස්සුණී. රිසීවරය අතටගත් මට ඇසුණේ පියල්ගේ හඬයි.
“නෝනා මට නෝනට යමක් කියන්න තියෙනවා...“
“යමක් කියන්න තියෙනවා...! මොකද්ද පියල්?“
“මට සමාවෙන්න නෝනා... පෙරේදා මං නෝනට කිව්වේ බොරුවක්. එදා මහත්තයා හෝටලේට ආවා. ඇවිත් මේසෙ ඔළුව තියාගෙන සෑහෙන වෙලාවක් හිටියා. මොකුත් අසනීපයක්වත්ද කියලා හිතලා මං ගිහින් මහත්තයගෙන්  ඇහැව්වා. නෝනත් එක්ක ප්‍රශ්නයක් ඇති උනා පියල්, කියලා කිව්වා. එහෙම කියලා ටික වෙලාවකින් මට කතා කරලා කිව්වා, හෝටලේ බලාගන්න, මට හිත හදාගෙන වැඩ කරන්න බෑ මං යනවා කියල, ගියා. නෝන ඇහැව්වොත් මොකුත් කියන්න එපා කියලත් කිව්වා. ඒත් මට පස්සෙ හිතුනා නෝනට කිව්ව නම් හොඳයි කියලා.“
“යන තැනක් කිව්වෙ නැද්ද පියල්?“
“නැහැ නෝනා.“
මට මොනවද වේගෙන එනවා සේ දැනුණෙන් විගසින් රිසීවරය තැබුවෙමි. මගේ සිත මහා බියකින් හා දුකකින් වෙලාගන්නට විය. දෙයියනේ..... ඔයා කොහෙද ගියේ? ඇයි ඉන්න තැනක ඉඳන් මට කතා කරන්නෙ නැත්තෙ? ජීවිතයට නපුරක් කරගෙනද? නෑ නෑ සුරංග එච්චර මෝඩ නැහැ. මගේ හිත හොඳටම අවුල් වී ඇත. මගේ හිතේ වද දෙන මේ ප්‍රශ්නෙ කාට හෝ කියා ගත යුතුය. අවස්ථාවේ හැටියට නංගී සමගද මේවා කතා කළනොහැක. අම්මගේ හිතටද මගේ බර බැටවීමට බැරිය. මම දුරකථන ඇමතුමක් දී රමණි නංගිට කතා කළෙමි.
 මගේ නැගනියගේ වයසේ සිටින ඈ මගේ යම් යම් ප්‍රශ්න නිරාකරණය කරගැනීමට පෙරදී ද උදව්කර තිබුණි. ඇය සිතුවටත් වඩා ඉක්මනින් මා හමුවට පැමිණියා ය.
“මට සමාවෙන්න නංගි ඔයාට කරදර කළාට. මට ලොකු ප්‍රශ්නයක්. මට මේක කියන්න වෙන කවුරුත් නෑ. මට ඔයාගෙ උදව් ඕන.“
මගේ ප්‍රශ්නෙ අකුරක් නෑර මා ඈ හා පැවසුවා. ඈ මදක් කල්පනා කරන්නට විය.
“අක්ක සුරංග අයියගේ යාළුවන්ට කතා කරල බැලුවද?“
“මං දන්න කීප දෙනෙකුට නම් කතා කළා. ඒත් ඒ කොහේවත් ගිහින් නෑ.“
“එහෙම කරලා මදිනෙ.“
“අනේ මන්දා නංගි, මට ‍තේරෙන්නෙ නෑ මොනවා කරන්නද කියලා“

“අපිට අයියගේ පර්සනල් ඩයරි එක හොයාගන්න පුළුවන් නම්, මොකක් හරි තොරතුරක් දැනගන්න බැරිවෙන එකක් නැහැ.“
තරු
මතුසම්බන්ධයි

වෙනදාසේම සිතට දැනුන අදහස කියල යන්න අමතක කරන්න එපා....

6 comments:

  1. හුහ්.. යන තැනක් කියල යන්න එපායැ. එක්කෝ ඩයරිය අරන් ගියාද දන්නෑ. ඒම උනොත් ගොඩ..

    ReplyDelete
    Replies
    1. ඩයරිය අරං ගිහින් නම් ගොඩ නෙමෙයි ලෙඩ තමා වැටෙනවා...

      Delete
  2. ඩයරිය මං ගාවෝ..... හුහු... ගිය දිහා ඒකෙ නැතෝ...
    එළ එළ... ඉතුරු ටිකත් දැම්ම නං

    ReplyDelete
    Replies
    1. කොහොමද ඩයරිය ඔයාට ලැබුණේ.?

      Delete
  3. සුරංග ඉන්නෙ අර රට හිටපු යාළුවගෙ ගෙදර..

    ReplyDelete
  4. රට හිටපු යාළුවා තරහ උනානෙ. ඒයාගෙ නංගිගෙ හුටපටයක් නිසා.

    ReplyDelete