Sunday, June 7, 2015

අට වෙනි හෝරාව



            මහ පොළව මත වැතිර සිටි මා නැගී සිටියා. වෙනදා නැති මහා සීතලක මගේ ගත ගිලී ඇත. මම වටපිට බැලීමි. දසත පැතිරි අඳුර සමග ඝන වනාන්තරයකි. බස්සන්ගේ රැහැයියන්ගේ හඬවල් එකට මිශ්‍රව මහා විලාපයක් සේ ඇසෙයි. අද හඳ ඇති රාත්‍රියක් වුවත් මේ මහා ඝන වනාන්තරයට හඳේ එක් රැස්කදම්බයක්වත් පහළ නොවේ. මම බිම අතගාමින් මගේ බෑගය සොයන්නට වීමි. ඒත් අසුවන මානයක නැතුවාසේ ය. එසේ නම් එය පාරේ විය හැකියි. මම අනුමානෙට පාර සොයාගෙන යන්නට වූයේ, මා වනාන්තරය අස්සට පිවිසි ආකාරය සිහිගන්වන්නට උත්සහ දරමින් ය. ඔව්, මට ටිකෙන් ටික දැන් මතක් වෙයි. රෙදි පොට්ටනියකුත් කිහිල්ලේ ගහගෙන හොර රහසෙම ගෙදරින් එළියට ආවේ නිශ්ශංක හමුවීමට යන්නයි.
          “අපිට කවදාවත් ඔයාලගෙ ගෙදරින් කැමැත්ත ලැබෙන්නෙ නෑ උදාරි. ඒ නිසා ඔයා තීරණය කරන්න මාවද අම්මලව ද තෝරගන්නෙ කියලා.....“
          ඒ මීට දින දෙකකට පෙර නිශ්ශංක කීවා මතකයි. ඔව්, එදා මා නිශ්ශංක ළඟට යන්න තීරණය කළා.
          “මම ඔයත් එක්ක එනවා නිශ්ශංක.“
          ඒ නිශ්ශංක මාව ආදරෙන් බලාගනීවි යන විශ්වාසය මා තුළ ඇති වූ නිසායි ඔහු සමග යන්න තීරණය කළේ.
          “හරි, එහෙනම් අනිද්දා හරියටම රෑ අටට, මං ඔයාලගෙ ගෙවල් ගාවට එනවා. ඔයා අවශ්‍යම කරන බඩු ටික විතරක් අරගෙන එන්න.“
          “එපා නිශ්ශංක ඔයා අපේ ගේ ගාවට එන්න. දන්නවනේ අයියගෙ හැටි. ඔයා හන්දියට ඇවිත් ඉන්න. මං එතනට එන්නම්.“
          පෙර දින කතා කරගත් පරිදි ඇඳුම් බෑගයත් අරගෙන හරියටම අට වෙද්දී පාරට පැමිණියෙමි. කවුරුවත් නොමැති අන්ධකාරේ පාර දිගේ ඇවිදගෙන ගිය මා වනාන්තරයකින් මතු වූයේ කෙසේද? කෑලි කපන අඳුරේ කිසිවක් පැහැදිලිව නොපෙනේ. මම අඳුරේම එහා මෙහා සක්මන් කළේ රෙදි පොට්ටනිය සොයා ගන්නටය.
          “අහ්.., මේ තියෙන්නෙ.“ පොට්ටනියේ ගැටීමෙන් වැටෙන්නට ගිය මා සමබරතාව රැක යන්තම් නොවැටී බේරුණි. පොට්ටනිය යන්තම් කිහිල්ලේ ගහගත් මම ඉක්මන් ගමනින් හන්දිය  දෙසට පිය නගන්නට වීමි.
          “දැන් නිශ්ශංක ඇවිත් බලාගෙන ඉන්නවා ඇති.“ මටම මුමුණා ගතිමි.

          වනාන්තර පෙදෙස අවසන කුඹුරු යායක් ආරම්භ වෙයි. දැන් සඳේ රැසින් පාරට ආලෝකයක් ලැබෙයි. මම අඩිය ඉක්මන් කළෙමි. අටේ බස් එක ඈතින් එයි. අද දවසට එන අවසන් ගමන් වාරයයි ඒ එන්නේ. කලක් මම ද සේවය කළ ටවුමේ ගාමන්ට් එකේ වැඩ කර කාන්ති, චාපා, සුගත්, අනුරාධ එන්නෙත් මේ බස් එකේ. ඒ අය ඉදිරියෙන් ඇති  නැවතුම් පොළෙන් බහින නිසා මම ඒ ආසන්නයේ වූ පඳුරකට මුවාවුණිමි.  බසය නවත්තනු ලැබූ අතර ඔවුහු ඉන් බිමට බැස පාර මාරු වී මා සිටින දෙසට එන්නට වූහ. බසය නැවත පිටත් වන්නට වූයෙන් ඔවුහු ඊට ඉඩ දීමට මා සිටින තැන නැවතුන අතර මා දෙස බැලූ කාන්ති නන්නාදුනන්නියක සේ ඉවත බලා ගත්තාය. බසය එතැන පසුකරගෙන ගිය පසු යළි පාරට පිවිසි ඔවුහු මා දෙස නොබලාම යන්නට වූහ. සමහර විට මා ඇඳ සිටින තදපැහැ ඇඳුම නිසාත් ඔවුන් මාව ‍නොදුටුවා විය හැක. එක අතකට එහෙම උන එකත් හොඳය. ඔවුන් මාව දැකල අහන ප්‍රශ්නවලට මං මොනවද දෙන උත්තර. අනික මං ගැන ආරංචිය ගෙදරට යන්නත් තිබුණා. එහෙම උනානම් අයියා අපිව ලුහුබැඳගෙන ඒවි. ඇවිත් නිශ්ශංකව අල්ලාගෙන හොඳ හැටි තඩිබාවි. කොහොමත් අයියා නිශ්ශංකත් එක්ක ඉන්නේ තරහින්.
          “උඹ ඌත් එක්ක තියෙන සම්බන්ධෙ නතර නොකළොත් මං ඕකට මේ ගමේ බත් කන්න ඉඩ තියන්නෙ නෑ.“

          අයියත් නිශ්ශංකත් අතර දිනක් මා සම්බන්ධව ඇති වූ බහින් බස්වීමෙන් අනතුරුව මා අසලට පැමිණි අයියා වියරුවෙන් පැවසූ අයුරු සිහියට නැගෙන විටත් ඇතිවන්නේ බියකි. බස් එක පිටව ගිය පසු පාරට පිවිසි මා අඩිය ඉක්මන් කළා. අනේ... පව් නිශ්ශංක බලාගෙන ඉන්නවා. මම ඔහු අසලට දිව ගියෙමි.
          “නිශ්ශංක ඔයා ඇවිත් ගොඩක් වෙලා ද? මට සමාවෙන්න මං ටිකක් පරක්කු උනා.“

          නිශ්ශංක තරහෙන් වගේ කිසිවක් නොකියා ඉවත බලාගත්තා. මං පරක්කු උන නිසා ඔහු උරණ වී සිටියි. මා ගෙදරින් වෙලාවට පිටත් වු බව කිවත්, මගදි මට සිදුවූ මංවත් හරිහැටි නොදන්න දෙය කියන්න පුළුවන්ද?  නිශ්ශංක එවැනි දෙයක් පිළිනොගන්නා බව විශ්වාසය. ඔහු පමණක් නොව කිසිවෙකුත් එවැන්නක් පිළිනොගනු ඇත. ඒ නිසා මම සත්‍ය යටපත් කරගත්තෙමි.
          “නිශ්ශංක දැන් මම ආවනේ. දැනටමත් අපේ ගෙදරින් හොයනවා ඇති. අපි ඉක්මනට මෙතනින් යමු.“

          නිශ්ශංක නෙමෙයි ගණනකට ගත්තේ. ඔහු මා කියන දේ නෑසුනා සේ හිඳියි. මගේ සුළු ප්‍රමාදයට ඔහු මෙතරම් නපුරු විදිහට හැසිරෙන්නේ ඇයි.? කොහොමටත් නිශ්ශංක කුකුල් කේන්ති කාරයනේ. මා ඒ අසල වූ ගල් බැම්ම මත ඉඳගත්තේ ඔහුගේ කේන්තිය නිවෙන තුරුය.  ටික වෙලාවක් එසේ සිටි නිශ්ශංක අත් ඔරලෝසුව දෙස බැලීය. ඒ සමගම බයිසිකලයට නැගී පිටව ගියේ මා දෙසවත් නොබලාය. මට කෑගසන්නට හිතුන ද අහල පහළට ඇසේවීය යක බියෙන් නිහඬ වූයෙමි. මගේ හිතට නිශ්ශංක ගැන තරහක් මෙන්ම දුකක් ඇති විය. මම හිස ඔක්කෙ තියාගෙන ඇඬුවෙමි. ජීවිතේ කිසිම දවසක මෙතරම් අසරණ බවක් දැනී නැත. අම්මා අයියා නංගි ඒ හැමෝම අත්ඇරලා නිශ්ශංක ළඟට ගිය මාව ඔහු පිළිගත් ආකාරය කෙතරම් අසාධාරණ ද? දෙවියනේ....! මම ආපහු ගෙදර යන්නේ කොහොමද? ගෙදර ගියොත් කාගෙන් බේරුනත් අයියගෙන් නම් බේරෙන්න බැරි වේවි. එයා මාව මරා දමාවි. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී කිව්වලු. මාත් පත්ව ඇත්තේ එවන් තත්වයකට නොවේද?
          “දුව බය වෙන්න එපා. ඔයා ගෙදර යන්න. ඔයාට කිසිම කරදරයක් වෙන්නෙ නෑ.“
          කවුදෝ මගේ කනට කොඳුරා පැවසීය. මම හිස ඔසවා බැලුවෙමි. සුදුවතින් සැරසීගත් පිරිමි රුවක් ඇවිදගෙන යනු පෙනුණී.
          “තාත්තේ....“ මට ඉබේටම කියැවුණි. ඒ සමගම ඔහු නොපෙනී ගියේය. තාත්තා කියූ දෑ සිහියට නගිමින් නැවත ගෙදර යන්නට හිතහදා ගතිමි.  

          ගේට්ටුව ඇරදාලා තිබුණි. “දෙවියනේ....! අයියා“ මට ඉබේටම කියැවුණි. අයියා අල්ලපු ගෙදර නන්දන මාමා එක්ක කතා කරමින් සිටියි. ගෙයි දොර ද ඇර තිබෙන අතර නිවස විදුලි බුබුළුවලින් ඒකාලෝක වී තිබේ. කීප දෙනෙකුගේ කතා බහ ගේ ඇතුළෙන් ඇසේ. ඒ අතරින් අම්මාගේ කට හඬ ද විටින් විට ඉස්මතුවී ඇසෙයි. ඒ හඬ හැඬුම් බරය. මම හෙමින් සීරුවේ අයියට නොපෙනෙන සේ ගොස් ගෙට ඇතුල් වූයෙමි.
          “අහ්, තාත්තා..“ තාත්තා මා දෙස බලා සිනා සුණා. ඒ දෑස් මට අඬගසනවා වගෙයි දැනෙන්නේ. කවදත් අපි තුන්දෙනා ගෙන් තාත්තා වැඩියෙන්ම ආදරය කළේ මටයි. ඒකයි මට එහෙම දැනෙනවා ඇත්තේ. ඒත් තාත්තා දැන් අපි අතර නැත. සුරදූතයෝ එයාව අපෙන් උදුරගෙන සුරවිමනට එක්කගෙන ගිහින් ගොඩක් කල්. කාගෙ කාගෙත් කතා බහ සිදු වෙන්නේ මුළුතැන් ගේ තුළ දීය. මම අඩි ඉක්මන් කර එහාට ගියෙමි. අම්මයි අල්ලපු ගෙදර සුනීතා නැන්දයි (ඒ කිව්වේ නන්දන මාමාගේ නෝනා)  එයාලගේ දුව ඉරේෂා අක්කයි, මගේ නංගියි කුස්සියේ ඉඳගෙන හරි හරියට කතාව. අම්මා විටෙක නහය උඩට අදිමින් කඳුළු පිස දමමින් ද කතා කරන අයුරු මට දොර පළුව අතරින් පෙනේ. මට ඈ ඉදිරියට ගොස් කතා කරන්නට තරම් ධෛර්යක් නැත. මා දොර අසලට වී තැවෙන්නට වීමි. එවිට තාත්තා මා ළඟට පැමිණියා.
          “දුව යන්න, ගිහින් අම්මගේ දෙපා වැඳලා සමාව ගන්න.“
          
           මගේ හිත මහා දුකකින් පිරී යන්නට විය. මම අඬාගෙන ගොස් අම්මගේ දෙපා මුල වැඳ වැටුණෙමි. මුළු මුළුතැන්ගේ පුරා පැවතියේ නිශ්ශබ්දතාවකි. අම්මගේ හිතේ තියෙන වේදනාව තරහක් සේ මවා ගනිමින් මා මතින් පිටකරනවා ඇති. කමක් නැහැ, අම්මා මට සමාව දෙනතුරු මම මෙහෙම්මම ඉන්නවා යි සිතා ගත්තෙමි. මද වෙලාවකින් මගේ දෙවුර අල්ලා ඔසවන්නට විය. මම හිස එසෙව්වෙමි. මුළුතැන්ගෙයි පෙර සිටි කවුරුත් දැන් නැත. මා අසල සිටියේ තාත්තා පමණයි. තාත්තා මා දෙස ආදරෙන් බලාගෙන සිටියි. මම ඔහුව බදා වැළඳගෙන අඬන්නට වීමි. ඔහු මාව ඔහුගේ සිරුරට හේත්තු කරගෙනම ඉදිරියට ඇවිදගෙන ගියේය. ගෙදරින් පිටතට පැමිණි තාත්තා මාවත් එක්කගෙන පාර දිගේ යන්නට විය. නිශ්ශංකත් අම්මාත් මාව නොසළකා හරිද්දී, තාත්තාවත් මා ළඟ නොසිටියේ නම්, මට මොනවා වේද කියා මටවත් සිතාගත නොහැකි වනු ඇත. මගේ සිරුර අප්‍රාණික වී ඇතුවා සේ දැනේ. මගේ දෙපා මට අවනත නැතුවා සේ. ඇවිදිනවා නොව පාවී යනවා සේ දැනෙයි.  තාත්තා මාව එක්කගෙන මීට හෝරා කිහිපයකට පෙර මා ගමන් ගත් පාර දිගේ ගමන් කරන්නය විය. පාරේ ටික දුරක් යන කොට කැලෑව හමුවිය. ඒ කැලෑවේ අතුරු පාරකි. එය අවසන්වෙන්නේ ආරණ්‍යයකිනි. ආරණ්‍යයට යන ගුරු පාරට හැරුණ තාත්තා රූස්ස ගහක් යට නතර වී බිම වූ යමක් දෙසට ඇඟිල්ල දිගු කළා. ගස යට වැටී ඇති කාන්තා මළ සිරුර දෙසට මගේ දෑස් යොමු විය.
          “දෙවියනේ.....! මේ ඉන්නේ මම නේද? සියල්ල එකවර නැවතුනා සේ විය. හිස මුදුනේ දියසුළියක් සේ  රූප රාමු පෙළක් භ්‍රමණය වන්නට විය. අනතුරුව ඒ එක් එක් රූප රාමුව මා දෙනෙත් අබියස දිග හැරෙන්නට විය. ඔව්, හරියටම අපේ ගෙදර බිත්ති ඔරලෝසුවේ අට වදිද්දී රෙදි පොට්ටනියකුත් අරගෙන මා එළියට බහින අයුරු, මාර්ගය දිගේ ඉක්මන් ගමනින් ඇවිදගෙන යන අයුරු පෙනෙන්නට වෙයි.  සඳ එළියෙන් ආලෝකමත් ව ඇති පාර එකපාරටම පත්තුවෙමින් තිබූ පහනක් නිවා දැමුවාසේ අඳුරු වෙයි. ඒ වනාන්තරයේ ආරම්භයයි. මා පය ඉක්මන් කරන්නෙ අඳුරෙන් හැකි ඉක්මනට එළියට යන්න හිතාගෙනය. ටික දුරක යද්දී මගේ කකුලට පෑගෙන නයා කකුලට දෂ්ඨ කරයි. රෙදි පොට්ටනිය බිමට වැටෙයි. වේදනාව ඉවසාගත නොහැකිව සිහිවිකල් වූවෙකු සේ  පාර පුරා ඇවිදගෙන යන මම සිහිමුර්ජා වී මේ ගස මුල ඇදගෙන වැටෙයි. නයි විස මා සිරුර පුරා දිවයයි. ඉන් මා මරණයට පත්වෙයි.

(හිතුට දැනුන අදහසක් ලියල යන්න අමතක කරන්න එපා....)


2 comments:

  1. නියමයි, ඇත්තටම නියමයි.. වෙන මොනවා කියන්නද මන්දා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්

      Delete