Sunday, May 10, 2015

අම්මාගේ මරණය



(වසරක පමණ නිහැඬියාවකින් පසු යළිත් එන්නට හිතුනා. බ්ලොග් කෙරුවාව අමතක වෙලාදත් හිතුනා. ඒත් අවුලක් නැහැ වගේ.)



පාළු මාවත, ඒ පාළුව බිඳිමින් ඉඳ හිට වාහනයක් දෙකක් විදුලි වේගයෙන් යයි. පාර අයිනේ බෝක්කුව මත කිලිටි වී ගිය දිග කලිසමක් හා කමීසයක් ඇඳගත් මැදිවියේ මිනිසෙක් වාඩි වී සිටියි.ඔහුව ප්‍රින්ස් යනුවෙන් හඳුන්වන්නම්. ඔහුට වයස අවුරුදු පනස් පහක් පමණ ඇති. ඔහු අසලම බල්ලෙකි. ඌට නමක් නැත. ඒ නිසා මා ඌව බල්ලා ලෙසින් හඳුන්වන්නම්. බෝක්කුව උඩ වාසිවි සිටින ප්‍රින්ස් අරමුණකින් තොරව බලා හිඳියි. ඔහු බෝක්කුව මත ඉඳගත්තේ හවස 4.34 ටය. හරියටම පැය භාගයක් ඉඳගෙන සිටි ප්‍රින්ස් එතැනින් නැගිට්ටේ,


“යමු, අපි දැන් මෙතනට වෙලා පැය භාගයක් බලා හිටියා. ඒත් කවුරුත් ආවේ නැහැ.“  යි තම සගයාට කියමිනි.
 ප්‍රින්ස් හරියට පැය භාගය යනුවෙන් පැවසුවේ අත බැඳි ඔරලෝසුවක් තියා පේන මානයක ඇති ඔරලෝසුවක් දෙස බලමින් නම් නොවේ. තම ස්වාමියාගේ අණට කීකරු වූ බල්ලා ද හිඳ උන්තැනින් නැගිට්ටේය. ප්‍රින්ස් පාර දිගේ ඇවිදගෙන ඉදිරියට යයි. බල්ලා ඔහුගේ සෙවනැල්ල මෙනි. ප්‍රින්ස් කඩයක් ඉදිරි පිට නැවතුනි. මුදලාලි පෙනෙන්නට නැත. කඩයට ගොඩ වූ හෙතෙම ලෑලි බංකුව මත ඉඳ ගත්තේය. බල්ලා ද පිලට ගොඩවී ඒ අසලින්ම ඉඳ ගත්තේය. ප්‍රින්ස් ගේ දෑස් අනන්තයට යොමු වී ඇතුවා සේ ඔහේ බලා ගෙන සිටියි.
“ආ... මේ මොකද? බඩගිනිද? කෙසෙල් ගෙඩියක් ඕන ද?“ කඩේ ඇතුළේ සිට පැමිණි මුදලාලි ප්‍රින්ස්ව දැක ඇසීය.
ප්‍රින්ස් හිස දෙපසට සැලුවේය.
“එහෙනම් යනවා යන්න මෙතනින්.“ මුදලාලි සැරෙන් කීය. ප්‍රින්ස් බිහිරෙකු සේ සිටියි.
“මේ ඕයි. තමුසෙට කන ඇහෙන්නේ නැද්ද? තමුසෙ මෙතන ඉඳගෙන හිටියාම කඩේට වගතුවක් නෑ ඕයි. යනවා යනවා මෙතනින්, පව්දෙන්නේ නැතුව.“  මුදලාලිගේ ගෙරවුමෙන් බියට පත්වූ ප්‍රින්ස් මුදලාලි දෙස බයාදු බැල්මක් හෙළා පාරට පිවිසියේය.
“හ්ම්, අතේ සතේ නැහැ. ඒ උනාට මහලොකුකම නම් තියෙනවා.“ මුදලාලි පාර දිගේ ගමන් කරන ප්‍රින්ස් දෙස බලා හිඳිමින් තමාටම කියා ගත්තේය.
“අර යකාගෙ අම්මා මැරිලා කියන්නෙ.“
කඩේට ගොඩ වූ වීරසේන පැවසුවේ ඈත යන ප්‍රින්ස් දැකීමෙනි. එය අසා මුදලාලි සිනා සෙන්නට විය. ඒ සිනහව කෙතරම් තීව්රද කියතොත් ඔහුගේ කළගෙඩියක් මෙන් වූ බඩ ගෙඩිය ඉහළටත් පහළටත් ගැස්සෙන්නට විය.
“හහ් හහ් හා... කී වෙනි සැරේටද? මෙදා සැරෙත් හෙන කෙප්පයක් වෙන්නැති. මම නම් ආයි ඕවට අහුවෙන්නේ නෑ. මට නම් හිතෙන්නෙ.... උගේ පිස්සුවත් රඟපෑමක් කියලා.“
පිළේ ඇති බංකුව මත ඉඳ උන්  වීරසේන කටේ දමාගත් ආනමාලු කෑල්ල හපමින් හිස සැලීය.
හිස බිමට නැඹුරු කරගත්වනම ප්‍රින්ස් පාර දිගේ ගමන් කරයි. ඔහු පසුකරගෙන යන්නේ කවුද ඔහු ඉදිරියෙන් එන්නේ කවුද කියාවත් බලන්නට උවමනාවක් නැත. නොන්ඩි ගසමින් යන ඔහුගේ දකුණු පාදයේ සෙරෙප්පුව ගෙවී විලුඹ බිම ඇතිල්ලෙන තත්ත්වයට පත්ව ඇත.
“ ආ.... කුමාරයා.... මොකද අද පයින්. කෝ හෙලිකොප්ටරේ?“
ත්‍රී රෝද රථ ගාල පසු කරගෙන යන ප්‍රින්ස්ට කටකාර කොල්ලෙක්  ඔච්චමක් කළේය. වෙනදාට නම් ඔවැනි මොහොතක දී කුණු හරුප දෙක තුනකුත් සමග ලුණු ඇඹුල් ඇතුව ප්‍රින්ස්ගෙන් බැනුම් අහගන්න ලැබෙන බව දන්නා ඉලන්දාරියා අද ඔහුගේ ප්‍රතිචාරය ගැන පුදුමයට පත්විය. ප්‍රින්ස් කිසිත් නොඇසුණ ගානට ඉදිරියටම ඇවිදගෙන යන්නට විය.
“ඒයි මචං අදත් මිනිහගේ අම්ම මැරිලද දන්නෙ නැහැ.“ ප්‍රින්ස්ට ඔච්චම් කළ ඉලන්දාරියා තවත් සගයෙක් සමග පැවසීය.
*        *        *        *        *        *
ප්‍රින්ස් ඉංග්‍රීසි උගත් මිනිසෙකි. ඔහු පවුලේ එකම දරුවා විය. ඔහුට කුඩා කාලේ සිට ගුවන් යානාවක් පැදවීමේ ආශාවක් තිබුණි. ඔවුන්ගේ නිවසට ඉහළින් ගුවන් මාර්ගයක් පිහිටා ඇත. ඒ නිසා ඔහුට නිතර අහස් යානා බැලීමේ අවස්ථාව උදා විය. ගුවන් යානාවක් යන වාරයක් වාරයක් පාසා කොහේ හිටියත් දුවගෙන එන පුංචි ප්‍රින්ස් උඩ පැන පැන එයට අතවනයි. මහා යකඩ කුරුල්ලෙක් මෙතරම් ඉහළින් කෙසේ පියාඹන්නේද කියන එක ප්‍රින්සගේ හිතේ ඇති කළේ මහම මහ ගැටළුවකි.
“අම්මේ...අම්මේ... අර අර ලොකූ.... කුරුල්ලෙක්.“
ඒ පුංචි ප්‍රින්ස් මුලින්ම අහස් යානාවක් දැක්ක දා ඇසූ මුල්ම ප්‍රශ්නයයි. ගෙවත්තේ මල් ගස්වලට සාත්තු කරමින් සිටි මල්කාන්ති සිනහවක් මුව රඳවාගෙන පුතා ළඟට ආවාය.
“නෑ, මයෙ පුතේ... ඒ කුරුල්ලෙක් නෙමෙයි. ඕකට කියන්නේ අහස් යාත්‍රාව කියලා. මයෙ පුතා දන්නවද, ඕක ඇතුළෙ මාමලා, නැන්දලා, බබාලා ඉන්නවා“
එය ඇසුවා පමණි පුංචි ප්‍රින්සගේ පුංචි ඇස් ලොකු විය. එතැන් පටන් ඔහුගේ නොනවතින ප්‍රශ්න වැලට උත්තර බඳින්න මල්කාන්තිට තම වැඩේ නතර කර එන්නට සිදුවුණි. එදා සිට අහස් යානයක් යන සෑම වාරයකම කොහේ හිටියත් එය බැලීමට ඔහු දුවගෙන අවේය. ප්‍රින්ස්ගේ ප්‍රශ්නවලට වැඩියෙන්ම උත්තර දෙන්නට සිද්ධ උනේ  පියා වූ ජයදේවටය. තම පුතා පුන පුනා අහන ප්‍රශ්න ජයදේව කිසිම මොහොතක කරදරයක් කොට සැලකුවේ නැත. ඔහු ඒ හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නේ ප්‍රින්ස්ගෙ හිතේ අහස් යානා ගැන උනන්දුවත්, ආශාවත් තව තවත් වැඩි කරවන පරිද්දෙනි. වයසෙන් වැඩෙත්ම ප්‍රින්ස් අහස් යානා තාක්ෂණය ගැන සොයන්නට වූයේය. ඒත් සමගම ගුවන් නියමුවෙක් වීමේ ආශාව ඔහු සිත් තුළ දළුලන්නට විය. දිනක් ප්‍රින්ස් තම ආශාව පියාට පැවසුවේය.
“පුතා හොඳට ඉගෙන ගන්නකෝ.... ඊට පස්සෙ බැරියැයි.“
පියාගේ මේ කතාවෙන් ප්‍රින්ස්ගේ සිතේ කොණක කැකුළු බලාපොරොත්තුවක් තැම්පත් විය. ඔහු වඩාත් ඉගෙනීමේ කටයුතුවලට උනන්දු වූයේය. ඒ නිසා දිනෙන් දින අධ්‍යාපනයේ සෑම ඉසව්වකින්ම හොඳ ප්‍රගතියක් පෙන්නුම් කළේය. සාමාන්‍ය පෙළ හොඳින් සමත් විය. උසස් පෙළින් ගණිත විෂය හදාරන්නට පටන් ගත්තේය.
මේ අතර පාසැලේ දී කෑම ගන්න දෙන මුදල් ඉතුරු කරමින් ඒවායෙන් ගුවන් යානාවල පිංතූර මිල දී ගත්තේය. ඒවා අලවා ලස්සන පොතක් සෑදුවේය. සාමාන්‍යයෙන් ඉලන්දාරියෙකුගේ නිදන කාමරයේ බිත්ති සැරසෙන්නේ පොප් ගායක ගායිකාවන්ගේ පිංතූරවලිනි. ඒත් ප්‍රින්ස්ගේ කාමරයේ බිත්ති පිරී තිබුණේ එක එක මාදිලියේ එක එක ප්‍රමාණයේ අහස් යානාවල පිංතූරවලිනි. එසේම පුස්තකාලයට ගොස් අහස් යානා ගැන තොරතුරු සොයා ගනිමින් කියවන්නට විය. උසස් පෙළ විභාගය ලියන විට ඔහු ගුවන් යානා පිළිබඳ හොඳ දැනුමක් ලබා තිබුණි.  ප්‍රින්ස් නිතරම ගුවන් නියමුවෙකු වීම ගැන සිහින මැව්වා.
ඒත්, එක් උදෑසනක ප්‍රින්ස්ගේ සියලු බලාපොරොත්තු සුන්වී ගියේය. ඒ සිදුවීම උනේ මීට අවුරුදු විසිපහකට ඉහතදී ය. එදත් ප්‍රින්ස්ගේ මව මල්කාන්ති උදෑසන කට්ටියටම තේ සාදා සුපුරුදු ලෙස ජයදේවගේ කාමරයට ගියේ ඔහුව අවදි කරවීමයට. එහෙත් වෙනදා මෙන් ජයදේව අවදි වූයේ නැත. 
පියාගේ අභාවයත් සමග ප්‍රින්ස් සම්පූර්ණ වෙනස් මිනිසෙක් විය. ඉබිකටුවට රිංගාගත් ඉදිබුවෙකු සේ ඔහු නිතරම කාමරය තුළට වී කල්ගෙවන්නට වූයේය. ඉඳහිට පාරට ගියද කිසිකෙනෙකු සමග වෙනදා මෙන් කතා බහ කළේ නැත. සතුටින් සිනහවෙන් පිරී තිබුණ නිවස දවසින් දවස අභාවයට පත්විය. ප්‍රින්ස් තම සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් කිසිදාක මල්කාන්තිට කරදර කළේ නැත. ඒ වෙනුවට බටපතුරු බැඳ කොළ අලවා තම නිදන ඇඳ ගුවන් යානයක්සේ සකස් කර ගත්තේය. ප්‍රින්ස්ට සිදුවුණ මේ අභග්ගය මුළු ගමේම අප්‍රකට රහසක් විය. ඒ නිසා කවුරුත් ඔහුට අනුකම්පා කළ අතර ගමේ සිටින නොසන්ඩාල කොල්ලන් ඉඳහිට ඔහුට ඔච්චම් කළේය.
*        *        *        *        *        *
කිලෝ මීටරයක් පමණ දුර ඇවිද ගිය ප්‍රින්ස් වත්තකට ඇතුල් විය. එහි පරණ පන්නයේ ගෙයකි. ප්‍රින්ස් වසා ඇති දොරට තට්ටු කළේය. මැදිවියේ මිනිසෙක් දොර ඇරියේය.
“අම්මා මැරිලා...“
ප්‍රින්ස් පැවසුවේ එපමණයි. ඒත් ඒ පුවත අසා මහලු මිනිසා සැලුණේ නැත. ගෙතුළට ගොස් රුපියල් පන්සීයක් ගෙනැවුත් ප්‍රින්ස් අත තැබීය.
“ම්.., මරණෙ වැඩ කටයුතුවලට මේක තියාගන්නවකෝ...“
කිසිවක් කොකියා පාරට බැස්ස ප්‍රින්ස් ආමග දිගේ ඇවිදගෙන එන්නට වූයේය. අවටින් අඳුර ගලාගෙන එයි. ආපසු පැමිණෙන ප්‍රින්ස් වෑන් එකක් අසල නතර විය.
“බත් පැකට් එකයි, ඉඳි ආප්ප පාර්සල් දෙකයි.“ වෑන් එකේ සිටි කොලුවා සිලි සිලි බෑග් එකකට දමා දුන් පැකට් තුන රැගෙන ප්‍රින්ස් ගෙදර පැමිණියේය.
“මාත් එක්කම ඇවිත් උඹටත් බඩගිනි ඇතිනේ. දවල්ටත් කන්න අමතක උනානේ. මං අම්මට කෑම දීලා එනකම් උඹ ඔතනට වෙලා ඉන්න ඕන හරිද?“
බල්ලාගේ ඔළුව අතගා  ප්‍රින්ස් ගෙතුළට ගියේය. සුවච කීකරු බල්ලා ගේ දොරකොඩ පාපිස්නාව මත හරි බරි ගැහී ඉඳ ගත්තේය.
අම්මගේ පිඟාන ගෙන එයට ඉඳි ආප්ප දමා හොදි පාර්සලයද දිග හැර ඊටම හැළීය. අම්මා අසලට පුටුවක් ඇද ඉඳගත් ප්‍රින්ස් ඉඳි ආප්ප කටක් අනන්නට වූයේ අම්මා සමග කතා කරමිනි.
“අම්මෙ... අම්මට මං ඉඳි ආප්ප ගෙනාවා. අම්ම ආසයි නේද ඉඳි ආප්ප කන්න. දැන් ඇති නිදා ගත්ත. නැගිටලා කන්නකෝ....“
ප්‍රින්ස්ගේ ආදරණීය ඇමතුම අම්මාට ඇසුනේ නැත. ඔහු ඉඳි ආප්ප කටක් සුරතින් ගුලිකර මවගේ මුවේ තැබීය. හොදි සමග ඉඳ ආප්ප කැබලි ඇගේ මුව දෙපැත්තෙන් බේරී යන්නට විය. ඒ දෙස බලා සිටි ප්‍රින්ස්ගේ හිතට නැගුණේ කෝපයකි. ඔහු වේගයෙන් තවත් ඉඳි ආප්ප ගුලියක් සාදා ඇගේ මුවේ තැබීය. පෙර ප්‍රතිඵලයමයි.
“ඇයි උඹට මං කවන කෑම කන්න බැරි. උඹ මුරණ්ඩුකමට ඉන්නවා. කාපන් මේ කටත්“ යි කෝපයෙන් කෑ ගසමින් තව තවත් කෑම ඇගේ පූට්ටු වී ඇති දෙතොල් අතරින් ඔබන්නට උත්සහ දැරුවත් ඵලක් නොවීය.
“මං මහන්සිවෙලා හොයාගෙන ආපු කෑම උඹට කන්න බැහැ එහෙනම්. උඹට එපා නම් මටත් ඕන නෑ.“ යි කෑ ගසමින් අත රැඳි පිඟාන පොළොවෙ ගැසීය.  බිඳී ගිය පිඟානෙ කටුත් ඉඳි ආප්පත් කාමරය පුරා සී සී කඩ විසිර ගියේය. පුටුවෙන් නැගිට කාමරෙන් පිටතට ගිය ප්‍රින්ස් විලාප දී අඬන්නට විය.
“අනෙ අම්මේ... උඹ එහෙනම් ඇත්තටම මළා නේද .... මං දැන් කාට කියන්නද....“
අසල් වැසියන්ට ප්‍රින්ස්ගේ මේ අඳෝනාව අරුමයක් නොවේ. මීට පෙරද මෙවන් අඳෝනා ඇසී ඔවුහු කිහිපවරක් දිව ආහ. ඒත් ඔවුන්ට ආපසු යන්නට සිදුවූයේ අම්මා යහතින් සිටිනු දැකීමෙනි. ඒ නිසා මෙවර කිසිවෙකුත් ප්‍රින්ස්ගේ නිවසට එන්නට උනන්දු වූයේ නැත.
තම ස්වාමියාගේ විලාපය ඇසුන බල්ලා කන් දෙපසට කරමින් බලා සිටින්නට විය. මද වෙලාවක් එසේ සිටි ඌ කෙඳිරියක් ගාමින් නැගීට අඩවන්ව ඇති ගේට්ටුවෙන් පිටතට ගියේය. ඒ පැත්ත මේ පැත්ත බැලූ බල්ලා අල්ලපු ගෙදර සිටින අමරසේකරගේ ගේට්ටුව ළඟට ගොස් බුරමින් ද කූ කූං ගාමින් ද ගේට්ටුව පහුරුගාන්නට විය. අමරසේකර පැමිණ බල්ලව එළවා දැමීය. ඌ තවත් ගෙදරකට ගියේය. එහෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැත. පරාජිත බල්ලා ගාට ගාට නිවසට පැමිණියේය.
සඳ මුදුන්වන යාමය. හිවලුන් එළි බහින මොහොත, බස්සන් උලමන් මෙන්ම වවුලන්ගේ දින චර්යාව ඇරඹෙන හෝරාව. මනු සතුන් නිදි දෙව්දුව තුරුළේ සැතපෙන රාත්‍රිය. මුළු පරිසරයම මීයට බිම්බාක් මෙන් නිහඬ මොහොතේ ප්‍රින්ස්ගේ නිවස දෙසින් බල්ලාගේ නොනවතින උඩුබිරුම ඇරඹෙයි. බියකරු රාත්‍රියට මූසලකමත් එකතු කරමින් නැගෙන උඩුබිරුම නිහඬ බව විනිවිද යමින් ගෙවල් තුළට ද රිංගා ගනියි. නිවාස කිහිපයක විදුලි බල්බ එක දෙක දැල්විණ. අවදි වූ ගෙයි හිමියන් එක්කෙනා දෙන්නා බැන බැන නිදි ගැට කඩමින් ගේට්ටු ඇරගෙන  ආහ. 
“මොකද අර කාලකණ්ණි බල්ලා උඩු බුරන්නේ...“
“අපිට නිදා ගන්නත් නෑ.“
“සෑහෙන වෙලාවක ඉඳන් බුරන්නෙ. මං හිතුවා දැන් නවතී දැන් නවතී කියලා.“
“නමයට විතර ඇවිත් අපේ ගේට්ටුව පහුරු ගාන්න ගත්ත. මං එළවලා දැම්මා.“
“කවුරුත් ගෙදර නැතුවද දන්නෙ නෑ.“
“වෙන්න බෑ. ඔය ලයිට් පත්තු වෙන්නෙ. අපි කෝකටත් ගිහින් බලමු.“
කාගෙ කාගේත් එකඟතාවය මත සියලු දෙනාම ප්‍රින්ස්ගේ ගේ දෙසට පිය නැගූහ. නිවසේ දොර වසා ඇත. අමරසේකර පෙරමුණ ගෙන දොරට තට්ටු කළේය. දොර අඩක් ඇරුණි. ප්‍රින්ස් ඒ අතරින් එබී බැලීය. දොර හිඩැසින් හමා ආ කුයිලයෙන් කවුරු කවුරුත් නහයවල් හකුලා ගත්තේ එකිනෙකාගේ මුහුණු බලාගනිමින් ය.
“ආ.... මොකද මේ මහ රෑ. අම්මව හම්බවෙන්න නම් හෙට උදේට එන්න.“ යි කියූ ප්‍රින්ස් ‘දඩස්‘ ගා දොර වසා දැමුවේය.
“මට නම් පේන්නෙ අර ගෑනු මනුස්සයා මෙදා පාර නම් ඇත්තටම මැරිලා.“
“පේන්නෙ නෙමෙයි මිස්ටර් අමරසේකර. ඒ ගෑනි මැරිලා. ඇයි දැනුනෙ නැද්ද ආපු කුයිලේ.“
 “ඕක තව දවසක් දෙකක් ඔහොම තිබුණොත්, මේ අහළ පහළ අපිට ඉන්නත් බැරි වෙනවා. ඒ නිසා මොනවා හරි කරන්න වෙනවා.“   
“මිනිහා පිස්සා නිසා... අපි ඕකට අතගහන්න නරකයි. අපි හෙට උදේට පොලීසියට කියමු.“
හැමෝම එම අදහසට එකඟ වෙමින් විසිර ගියහ. දැන් බල්ලාගේ උඩුබිරුම නතර වී ඇත.
පසු දිය පහන් විය. පොලීසිය ප්‍රින්ස්ගේ නිවසට පැමිණෙන විට උදේ නවයට පමණ ඇති. ගේට්ටුව ඉදිරිපස නැවැත්වූ මෝටර් බයිසිකලෙන් බැසගත් පොලිස් නිලධාරින් දෙදෙනා වසා ඇති දොරට තට්ටු කළහ. අසල නිවැසියන් එක්කෙනා දෙන්නා ද ප්‍රින්ස්ගේ ගේ ළඟට කිට්ටු කළහ. කිහිප සැරයක් තට්ටු කළද දොර ඇරුණේ නැත.
“සාජන්ට් බලා ඉඳලා බැහැ. දොර කඩන්න.“
“ඕකේ සර්.“ යි පැවසු හෙතෙම දොරේ අගුල අල්ලා තදින් සොලවන්නට විය. ඒ සමගම දොර අරී ගියේය. දොර ජනෙල් වසා ඇති නිවසේ හිරවී තිබූ කුණු ගඳ ඇරුණ දොරින් එළයට පැන්නේය. පොලිස් නිලධාරීන් දෙදෙනාගේ දෑත් ඔවුන්ගේ නාස් පුඩු මත රැඳුණි. නිවසට ගොඩ වූ පොලිස් නිලධාරින් දෙදෙනා, හොරෙක් අල්ලන්නට යනවා සේ රහසේ අඩි තබමින් එහා මෙහා අවිද ගියමුත් පණ ඇති හෝ පණ නැති කිසිවෙකුත් සොයා ගැනීමට හැකි වූයේ නැත. කාමරයක් තුළට ගිය නිලධාරියෙකුට සොයාගත හැකි වූ විශේෂ දෙයක් වූයේ, ඇර දමා තිබූ අල්මාරියකි. ඒ තුළ වූ රෙදි අවුස්සා බිමට ඇද දමා තිබුණි. 

නිමි

12 comments:

  1. ජය වේවා.. එන්න ආයිත් ලියමු... කතාව කියවමි පසුව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශ්. ඉ-සංකලනිය කියවන්න. එහි මැයි කලාපයේ ද මේ කතාව පලවෙනවා.

      Delete
  2. අායෙම ලියන්න අාපු ඒක ගැන සතුටුයි... දිගට ම ලියමු... ඔබේ ලියැවිල්ලත් නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු! ඔයාලගේ නිර්මාණත් ඉ-සංකලනි නම් ඩිජිටල් සඟරාවටත් යොමුකරන්න. පොතෙන් ඩිජිටල් ලෝකයට....

      Delete
  3. බියකරු එත් ඇත්ත වෙන්න පුළුවන් කතාවක්.
    ලෝකේ හැම මිනිහටම හීන තියෙනවා.. ඒ හැම දෙයක්ම සැබෑ කරගන්න බැහැ..

    ReplyDelete
  4. මේ කතාව පිටුපස සත්‍ය කතාවකුත් තියෙනවා

    ReplyDelete
  5. අපූරුයි ආපු ගමන්ම අපූරු කතාවක්...
    ආයෙත් පෙර සේම ලියමු
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්. ඔයා නම් ඉ-සංකලණියට ලියනවා නේද?

      Delete
  6. හම්මේ පොතේ වැඩෙන් පස්සේ අපි මෙයාව මේ දැක්කමයි.. වෙල්කම් බැක්.. ආයෙම ලියමු..

    ReplyDelete
    Replies
    1. පොත් ගැහැව්ව වගේ නෙමෙයි දිනේෂ් ඒවට පබ්ලිසිටි දෙන්න ඕන. පුස්තකාලවලට දෙන්න ඕන. ඔව්ව මෙව්ව නිසා මේකට ලියන්න කාලයක් නැති උනා. දැන්වත් පුළු පුළුවන් වෙලාවට ලියනවා. ස්තූතියි පිළිගැනීමට. මේ කතාව කියවලා අදහසක් කියන්න. මොකද ඉදිරියේදී කෙටි කතා පොතක් කරන්න හිතාගෙන ඉන්නවා. මේකට දාන කතාත් ඇතුලුව. මෙහි තව අඩුපාඩු තියෙනවා. දිනේෂ්ගෙ අදහස කියන්න.

      Delete
  7. කතාව රසවත්

    මගේ අයියා පොලිස් නිළධාරියෙක්. ඔහු බදුල්ල අපාරාධ පරීක්ෂණ ඒකකයේ ස්ථානාධිපතිව සිටි කාලයේදී මේ වගේ සිද්ධීන් දෙකකට මුහුණ දීලා තිබුනා. එක ගෙදරක එයාලා යනකොට සිහි මද ගතියකින් හිටිය තරුණයෙකු මියගොස් ඕජස් ගලන මවගේ සිරුරට පවන් සලමින් හිටි බවක් ඔහු කී බව මතකයි.

    මේ කතාව ඒ පරණ මතක ඇවිස්සුවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳමාලි! අපේ ගෙවල් ලඟ සිදු වූ සිදුවීමක් අරන් තමයි කතාව නිර්මාණය කළේ.

      Delete