Wednesday, September 17, 2014

කැරලිකාරයා



 කුරුන්දෙනුත් රබර් වත්තෙනුත් වට වූ ගරාවැටෙන්නට ආසන්න නිවසකි. නිවසේ සිට මීටර් පනහක් පමණ දුරකින්  ගුරු පාර පිහිටා ඇත. බල්ලන්ගේ බිරුම් හඬින් අවදි වූ යසෝහාමි පැදුරේ ඒ අත මේ අත පෙරලෙන්නට වුණි. රැහැයියන්ගේ විලාපයත්, බස්සන්ගේ ‘බුග්‘ හඬත් ඇරුණ විට ඉඳහිට හිවලෙකුගේ හූ වක් ඇසෙයි, නැතිනම් බල්ලෙකුගේ උඩු බිරුමක් හෝ උන්ගේ පොර කෑමක් ඇසෙයි. ඒත් බල්ලන් බුරන්නට ගන්නේ ආගන්තුකයෙකුගේ පැමිණීමක් ඉව වැටුන විට ය.


බල්ලන්ගේ බිරුම නින්දට බාධාවන නිසා යසෝ හාමි පොරවාගෙන උන්නු චීත්තය ඇද ඉහේ සිට පොරවාගෙන ගුලිවුවා ය. ඒත් වැඩි වෙලාවක් එසේ සිටීමට ඇයට බැරි වුණි. නිරාවරණය වී ඇති දෙපා මදුරු සේනාවේ ප්‍රහාරයට ගොදුරු වීම නිසා යසෝහාමිගේ නින්දට දිගින් දිගටම බාධා ඇති විය.පැදුරේ ඉඳගත්  ඈ බල්ලන්ගේ බිරුමට කන්දීගෙන ඉන්නට වුවා ය.  රැහැයියන්ගේ හඬ පරයාගෙන ඇසෙන බල්ලන්ගේ හඬ පෙරට වඩා නිවසට ආසන්නයෙන් ඇසෙන්නට විය. මෑතක සිට ආගන්තුක මුහුණු කිහිපයක් ගමපුරා සැරිසරන බව යසෝහාමිගේ මුහුණටම මුණගැසී තිබුණි. මේ ආගන්තුකයන් ගැන ගමපුරා කාගෙ කාගෙත් මුවග නිතරම පැවතියේ කසු කුසුවකි.


“ටක් ටක්“


එකවරම ඇසුණ හඬින් තිගැස්සුණු යසෝහාමි, තම දෙසවන් දොර දෙසට යොමා සිටින්නට වූවා ය. දොරේ ලෑලි පලු අතරි කවුදෝ හනි හනිකට හූස්ම ගන්නා අයුරු ඇයට ඇසෙන්නට විය.


“අම්මේ....“ යි සිහින් හඬින් ඇසුන ඒ හඬ යසෝහාමි හැඳිනගත්තා ය. ඇඟේ දැවටී තිබූ චීත්තය පසෙකට විසි කළ ඈ වීර්යය ගෙන පැදුරෙන් නැගී සිටියේ ‘අම්මෝ‘ යයි කියමින් ය. දැන් මාස ගණනක සිට දණහිස් අමාරුවකින් පෙළෙන යසෝහාමිට නැගිට්ට සැනින් අඩිය තියා ඇවිදීමට නොහැක. ඈ නොන්ඩි ගසමින් දොර දෙසට ගියේ “පොඩි පුතේ.... උඹ ද?“ යයි අසමින් ය.


“ඔව් අම්මෙ, මං තිස්ස, ඉක්මනට දොර අරින්න.“


යසෝහාමි දෙපළු දොර හරස් කර ඇති පොල්ල ගලවා පසෙකින් තැබුවා ය. එසැනින් ඇරී ගිය දොරෙන් ඇතුලට රිංගා ගත් තිස්ස,


“ඉක්මනට දොර වහලා පොල්ල දාන්න.“ යි පැවසුවේ ය.


“මේ අන්ධකාරේ මක්කවත් පේන්නෙ නැහැනෙ.  හිටිං මං ලාම්පුව පත්තු කරනකම්“  යි පැවසූ යසෝහාමි පුරුද්දෙන් කුප්පි ලාම්පුවත් ගිනි පෙට්ටියත් ගෙන ගිනි කූරක් ගසා තිරයට තැබුවා ය. සැනෙන් මුළු නිවසම ඒකාලෝක විය.


“ඔය දැල්ල අඩු කරන්න“ යි පැවසූ තිස්ස අඩියක් ඉස්සරහට තබත්ම “අම්මෝ...“ යි කියා කොණ්ද අල්ලා ගනිමින් වේදනාවෙන් ඇඹරෙන්නට විය.  


යසෝහාමි පහන ගෙන තම පුතුගේ රුවට ඇල්ලුවා ය. වේදනාබරිත මුහුණ  ඉදිමී ලේ පැහැ ගැන්වී ඇති තැන් දහඩියට දිලිසෙයි. තිස්ස ගේ මුහුණ වෙස් මුහුණුක් සේ යසෝහාමිට පෙනෙන්නට විය. ඇයට ‘අහ්‘ යැයි කියැවුණි. ඈ විවර වූ මුවෙන් ගල් පිළිමයක් සේ තිස්ස දෙස මද වෙලාවක් බලා සිටින්නට වූවාය.  ඇගේ දෑස් කඳුලෙන් පිරීයන්නට වුණි.


“ මොනවදෑ.... මයෙ පුතේ... උඹට මේ උනේ....?


“අම්ම මෙතන මොර දෙන්න එපා. ආමිකාරයෝ මේ ළඟ ඇති.“ යි පවසමින් සෙමෙන් සෙමෙන් අඩිය තියමින් පැමිණ  පුටුවකට වාරු විය.


“මට හරි තිබහයි අම්මෙ. ඔක්කෝටම කලියෙන් වතුර ටිකක් දෙන්න.“


යසෝහාමිට තිස්සගෙන් බොහෝ දේ අසන්නටත් ඔහුට බොහෝ දේ කියන්නටත් උවමනා වි තිබුණි. ඒත් මේ ඊට වෙලාව නොවන බැව් තේරුම් ගත් ඈ නිහඩවම වතුර වීදුරුවක් රැගෙන ආවේ තිස්සගේ තැලුම්වලට කළ යුතු දෑ සිතමින් ය.


“ඉඳා“


තිස්ස වතුර වීදුරුව බීගෙන යන අයුරු දුටු යසෝහාමිගේ හදවත දැවී යන්නට විය. ඔහුගේ ඉරී ඇති කමීසය දෙස බැලූ යසෝහාමිට, කමීසයෙන් වැසී ඇති සිරුරේ ස්වභාවය කෙසේවී ද යන්න දැනගන්නා තුරු ඉස්පාසුවක් නොවීය.


“ගලවපන් ඔය කමීසෙ බලන්න.“


තිස්ස, කමීසයේ නොගැලවී ඇති බොත්තමකට දෑත් යැව්වේ තම මව දෙස බලමින් උදසීනව ය. මුළු සිරුරම රිදුම් දෙන්නට වූවත් ඔහු එය ආයාසයෙන් මැඩ ගනිමින් කමීසය ගැලෙව්වේ ය. පිට, ඉල පෙදෙස හා ළැම නිල් පැහැ ගැන්වී තිබුණි.


“හත් දෙයියනේ උන් උඹට හොඳටෝම තඩි බාලා නේද? හිටින් මං මොනවා හරි ගාන්න.“


දරු පස් දෙනෙකුගෙන් යුත් පවුලක බඩපිස්සා වූයේ තිස්ස යි. එසේම විශ්ව විද්‍යාල වරම් ලැබුණේ ද ඔහුට පමණි. සමාජවාදී අරගලය උත්සන්න වි ආණ්ඩු බලය අතට ගන්න උත්සහ කරන විප්ලවවාදීන් හා ආණ්ඩුව අතර ගැටුම් උත්සන්ව ඇති සමය විය. විශ්ව විද්‍යාලයට ඇතුල්වන සෑම සිසුවෙකුම තම ව්‍යාපාරයට බඳවා ගන්නට විප්ලවවාදීහු විවිධ උපක්‍රම යොදාගත්හ. ගස් ගල් යට පවත්වන දේශනවලට නවකයන්ට සහභාගිවීම අනිවාර්ය විය.


“සහෝදරවරුනි සහෝදරියනී, ලංකාව වගේ කුඩා රටකට, මේ තියෙන ආර්ථික ප්‍රතිපත්තිය කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. මේක ඇති එකා රජකරවන නැති එකා බංගවෙලා යන හදපු ප්‍රතිපත්තියක්. අපි මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. රටේ සම්පත් තුලනයක් ඇති කළ යුතුයි. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට සමාජවාදී ආර්ථික ක්‍රමය හඳුන්වාදිය යුතුයි. ඒ සඳහා අපි හැමෝම එකතු විය යුතුයි සහෝදර සහෝදරියනී!.“


තරුණයාගේ වාග් විලාශයට වශී වූ තරුණ සිසු සිසුවියෝ විප්ලවකාරයන්ට එකතු වූහ. තිස්ස ද ඒ අතරට එකතු වූයේ ශාස්ත්‍ර පීඨයේ පළමු වසරේ ඉගෙන ගන්නා අතරෙදී ය.


යසෝහාමි රෙදි කැබලි කිහිපයකින් පොට්ටනියක් සාදන්නට විණි. ලිප් ගල් තුන මත තබා ඇති කාළ වර්ණ කේතලය ‘සූ...‘ හඬ දෙයි. ලිපෙන් ඉවතට ගත් කේතලය ඇලකර බඳුනකට වතුර ස්වල්පයක්  වත්කරගත් යසෝහාමි තිස්ස අසලට පැමිණියා ය.


 “අනෙ අප්පොච්චියේ.... බලපන් මූණෙ හැටි. මුන්ට වස් වදින්න එපැයි මේ කරපු අපරාදෙට.“ යයි වතුරෙ ඔබා රත්කරගත් පොට්ටනියෙන් තම පුතාගේ මුහුණේ තඩිස්සි වෙච්චි තැන් සෙමෙන් තවමින් පැවසුවා ය.


විශ්ව විද්‍යාල දේශනයෙන් පසු තවත් මිතුරන් දෙදෙනෙකු සමග පාරට පිවිසි තිස්ස අසල කඩයකට පියනගන්නට වූයේ ප්ලේන් ටී එකක් බීමේ අදහස ඇතිව ය. එකවරම ඔවුන්ගේ ගමන හරස් කරමින් ජීප් රියක් නැවැත්වීය. ඉන් බැසගත් හමුදා සෙබළු ඔවුන් ඉදිරියේ හිටගත්තේ අතැති තුවක්කු තරුණයන් දෙසය මනමින් ය.


“උඹලා ආණ්ඩුව පෙරලන්න කුමන්ත්‍රණ කරනවා නේද? යි සෙබළෙක් තරුණයන්ගෙන් අසද්දී ඔවුන් ගොළුවතින් එකිනෙකාගේ මුහුණු බලාගත්හ.


“කතා කරපන්, උඹල නේද හන්දියෙ කඩ පේළියේ ඊයෙ රෑ පෝස්ටර් ගැහැව්වේ.?“


“අපි නෙමෙයි.“ යි ආයාසයෙන් වචන එකතු කරගනිමින් තිස්ස පැවසුවේ ය.


“තොපි නෙමෙයි, එහෙනම් අපි ද යකෝ පෝස්ටර් ගැහැව්වේ?“ යි කියමින් ඉදිරියට පැමිණි සෙබළා අතමිට මොළවා තිස්සගේ මුහුණට පහරක් එල්ල කළේ ය. එසැනින් පැන දුවන්නට හැදූ තිස්සගේ කමීස කොළරයෙන් අල්ලා ගත් සෙබළා දිගට හරහට ඔහුට තලන්නට විය. ඉක්බිති තරුණයන් තිදෙනාව දමාගත් ජීප් රිය වේගයෙන් ධාවනය කරවන්නට විය. ප්‍රධාන මාර්ගයෙන් ගල් බොරළු පාරකට හැරවූ ජීප් රිය මද දුරක් ගොස් පැමිණි වේගයෙන්ම තේ වත්තකට හැරවීය. ඒ සමගම සමබරතාවය ගිලිහී ගිය රිය  ගසක හැපි තේ පඳුරු අස්සේ පෙරලෙන්නට මෙන් ඇලවි නතර විය. ගසේ වැදුණ වේගයට රථයේ පිටුපස දෙපළු දොර ඇරී සෙබළු දෙදෙනා සමග තිස්ස හා තවත් තරුණයෙක් ජීප් රියෙන් එළියට විසිවුණහ.


“පූරුවේ පිනකට උඹව බේරිලා තියෙන්නෙ.“ යි තිස්සගේ බියකරු අත්දැකීම අසා යසෝහාමි පැවසුවේ තම පුතුගේ හිස අතගාමින් ය.


කවදාවත් නොවූ ධෛර්යයක් හිතට අරගත් යසෝහාමි කෑලි කපන අන්ධකාරයේම තිස්ස ද කැටුව එළියට බැස්සාය . සතා සර්පයා ගැවසෙන බිමේ ඉදිරියට පය තබන්නට තිබූ එකම ආරක්ෂකයා දර කෑල්ලක් පමණි. නිවස පිටුපසින් ටික දුරක් ගිය විට ගල්තලාවක් හමුවෙයි.ඒ ගල්තලාව පිටුපසින් මිනිසෙකුට යන්තම්  සැඟවී සිටීමට ප්‍රමාණවත් කුහරයක් ඇත. හුළු අත්තක් නොමැතිව සඳ එළියෙන් පාර සොයාගත් යසෝහාමි ගල්තලාව අසල නතර වූවා ය.


“පොඩි පුතේ... මේ රාත්තිරියේ ඔය ගුහාව අස්සට රිංගන්න එපා. මොන සතා ඉන්නවද කියන්න බැහැනේ. ඒ හන්දා අපි දෙන්නම ගල්තලාවට ගොඩවෙලා රාත්තිරිය ගෙවමු. මං උදේට එතන සුද්ද කරලා දෙන්නම්.“ යි යසෝහාමි තිස්සගේ කනට කොඳුරන්නට වූවා ය.


රාත්‍රී අන්ධකාරය දියකරමින් හිරු කිරණ ගස් කොළන් අතරින් ගල්තලාවට වැටෙමින් තිබුණි. නොදැනීම ගල්තලාව මත නින්දගොස් සිටි යසෝහාමි අවදි වූවා ය. ඇගේ පසෙකින් තිස්ස නිදාගෙන සිටියි. ලාම්පු එළියෙන් දුටුවාට වඩා පැහැදිලි ලෙස තම පොඩි පුතාගේ මුහුණ දුටු යසෝහිමිගේ හදවත දැවී යන්නාක් සේ දැනෙන්නට විණි. ඇගේ දෙනෙතට කඳුලක් නැගුණි. වේදනාව සමනය වී ඇති නිසාදෝ තිස්ස පසුවූයේ තද නින්දකය. ඈ සෙමෙන් ඔහුගේ හිසකෙස් අතර ඇඟිලි තුඩු යවා හිස පිරිමදින්නට වූවා ය. පෙර දින රාත්‍රියේ තිස්සට නින්ද යන තුරු තම දෙපා මත තබාගත් ඔහුගේ හිස සෙමෙන් අතගාන්නට වූවා ය. නින්ද යන මොහෙත දක්වා ඔහු විටින් විට කෙඳිරිගෑ අයුරු යසෝහාමිට මතක් විය.


ගල්තලාවෙන් බිමට බට යසෝහාමි ගල් කුහරය තුළට එබී බැලුවා ය. ඉහළට වැවී ඇති තණ කොළවලින් එය වැසී තිබුණි. යසෝහාමි තම දෑස් සුපරික්ෂාකාරී ලෙස වනය පුරා යැවී ය. විහඟුන් කිසි කලබලයකින් තොරව නිදහසේ පිහාඹති. තරඟයට ඇසෙන කිචි බිචිය විලාපයක් නොව සුහද සංවාදයකි.  තවමත් නින්දේ පසුවන තිස්සගේ පාදයකට තට්ටු කළ යසෝහාමි,


“පුතේ.... පොඩි පුතේ....“ යයි කතා කළා ය.


“ම්.....“


“පුතේ.... මං හනිකට ගිහින් මොනා හරි ගේන්නම් මෙතන සුද්ද කරලා දාන්න. උඹ ප්‍රවේසමෙන් හිටපං“


          යන්තමින් ඇහැක් ඇර “හ්ම්“ යැයි කියූ තිස්ස කෙඳිරිගාමින් අනෙක් පස හැරුණේ ය. පය ඉක්මන් කර නිවසට ගිය යසෝහාමි පෙර දින උගුල්ලා  තිබූ මයියොක්කා අලයක් තම්බන්නට විය. කඩිමුඩියේ රතු ළුෑනු ගෙඩි කිහිපයක් ගෙන සුද්ද කර ගලේ දමා වේලිච්ච මිරිස් කරල් කිහිපයක් හා ලුණූ ද සමග පෙර කිසි දිනක නොවූවිරූ වේගයකින් අඔරන්නට වූණි. ඈට ඒ සඳහා ශක්තිය කෙසේ ලැබුණා දැයි කිව නොහේ. තැම්බී තිබූ අලත් ලුණු මිරිසුත් දමාගත් බාජනය එක් අතකටත් උදලු කෙටියක් ආනෙක් අතටත් ගෙන ඈ මිදුලට බැස්සේ අවට පරිසරය පිළිබඳ පැහැදිලි නිරික්ෂණයකට පැමිණීමෙන් අනතුරුව ය.


ගල්තලාව මත ඉඳගත් තිස්ස තම මුහුණෙ හා ඇඟේ ඇති තැලුම් පහරවල් සෙමින් පිරිමදින්නට වූයේ ය. තුවාල මතින් ඇගිල් යද්දී ඉඳිකටුවකින් අඳිනවා වැනි වේදනාවක් දැනෙන්ට විය. තිස්ස හිස ඔසවා බැලීය. එකිනෙකට සමීපව ඇති මහා රූස්ස ගස්වලින් විහිදී ඇති අතු එකිනෙක අත්වැල් බැඳගත් මහා ශාක සාගරයක් සේය. ඔහු අවට පරිසරයට දෑස් යොමු කළේ ය. එහි ද ඉමක් කොනක් නොපෙනෙන හරිත වනය. තමා මහා දැව පෙට්ටියක් තුළ කොටුවී ඇතුවා සේ දැනෙන්නට විය.


          “පුතේ උඹට දැන් කොහොමෙයි? තාමත් ඇඟපත ඇදුම් දෙනවයි.?“


          “දැන්නම් ටිකක් සුවයි“


          “දැන්මේ කෑම ටික කාපං. එතකම් මම දෙබුක්කාව සුද්ද කරන්නම්.“ යි පවසමින් කෑම භාජනය තිස්ස අතට ලබා දුන් යසෝහාමි දෙකට තුනට නැවි ගල්තලාව අස්සට නොපෙනී ගියාය. කෙනෙකුට යන්තම් එරමිණියා ගොතාගෙන සැඟවි සිටින්නට එය කදිම තැනකි. කුහරයේ උසටම වැවී තිබූ තණකොළ උඳුරා දැමූ යසෝහාමි තමා ගෙනැවිත් තිබූ ඉටි උරය එලුවා ය.


          “පුතේ... මළ මුත්‍ර කරන්න එළියට යනවා හැර උඹ මේක ඇතුලටම වෙලා ඉන්ට ඕනි.“


          “අයියෝ... අම්මෙ, කොච්චර දවසක් කියලා මේක අස්සෙ ඉන්නද? මේ තැලුම් ටික සුව උනහම මං එළියට යන්න ඕන.“


          නිශ්චිත දිනයක් නොමැතිව ගල් කුහරයක් අස්සට වී සිටීම තරම් තවත් අසීරු කාර්යයක් තිස්සට නොවී ය.


          “උඹට පිස්සු ද? උඹව ගොදුරු කරගන්න අරුන් දත් විලිස්සගෙන ඇති.“


          යසෝ හාමි එසේ කිව්වත් තිස්සට හැමදාම එසේ සිටිය නොහැකි බව ඈ දනී. එසේ නම් කළ යුත්තේ කුමක් ද? පැදුරට වැටුණු යසෝ හාමි දෑස් පියාගන්නවා වෙනුවට දෑස් ඇරගෙන ඉන්නට උත්සහ දැරුවා ය. ඇයට තිස්සව ගල් දෙබුක්කාවක තනිකර දමා ඒම හිතේ මහා තැවුළක් ඇති කළාසේම ගෙවෙන සෑම තත්පරයකම සිතට ගෙන ආවේ බියකි. තිස්සව එළියට යැව්වොත් දඩයම් බල්ලන්ට අසුවුණ මුවෙකුගේ ඉරණම කෙසේ වේද එම ඉරණම තිස්සට ද අත්වන බව යසෝහාමි දනියි.


          හමුදාවට හසුවන විට අත රැඳි සටහන් පොත් බෑගය කුහරයේ පසෙකින් තබා ඇත. ඉන් පොතක් අතට ගත් තිස්ස, ගල් තලාවට නැග කියවන්නට උත්සහ දැරීය. ඒත් ඔහුට හිත එකඟ කරගත නොහේ. තමා කළේ මෝඩ ක්‍රියාවකැයි තිස්සට කිසිවිටෙකත් නොසිතේ. දුප්පත්කමේ පතුලට වැටී සිටි තරුණයෙකු ලෙස විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න වරම් ලැබුව ද, අධ්‍යාපන කටයුතු කරගෙන යන්නට ප්‍රමාණවත් ආධාරයක් රජයෙන් නොලැබීම නිසා අධ්‍යාපනය ඇණ හිටීමේ අවදානමකට හසුවී තිබුණි. ඒ නිසා කවදාවත් දුප්පත් එකෙකුට ඉහළට එන්නට මේ සමාජ ක්‍රමය තුළ ඉඩක් නැතිබව තේරුම්ගත් තිස්ස තමාට අහිමිවීමට යන වරප්‍රසාද තම පන්තියේ අනාගත පරපුර උදේසා සුරක්ෂිත කරගැනීමේ සටනට එළැඹීයේ ය. ඒ ගැන මේ මොහොතේ පවා තිස්සගේ සිතේ ඇත්තේ සියුම් ආඩම්බරයකි.


          “මයෙ පුතේ, ඊයෙ රෑ පුරාවට මං කල්පනා කළේ උඹට මොනවද කරන්නෙ කියලා. මට අදහසක් ආවා. මං හිතනවා උඹේ ජීවිතේ බේරගන්න තියෙන හොඳම කෙරමෙ ඒක කියලා. උඹ පිටරට ඉන්න පාලිත පුතාට ලියුමක් ලියපන් උඔවත් එහාට ගෙන්න ගන්න කියලා. ඔය පාලිතටත් රට යන්න උනේ උඹ වගේ පලහිලව්වකට අහුවෙන්න ගිහිල්ලලු නේ?“


“මම කැමති නැහැ අම්මෙ බයගුල්ලෙක් වගේ පැනලා යන්න.“


“පුතේ මං මළපොතේ අකුරක් දන්නෙ නැති නූගත් ගෑනියෙක් බව ඇත්ත. ඒ උනත් උඹලා ඔය ආණ්ඩු පෙරළන්න හදන වැඩේනම් මගේ පුංචි මොළේට වැටහෙන හැටියට නම් හොඳ වැඩක් නෙවෙයි. දැන් බලපන් උඹේ පස්සෙ අරුං පිස්සු බල්ලො වගේ පන්නන හැටි.“


“අම්මලට මේවා තේරෙණ්නේ නෑ. අපි ලොකු සැලැස්මක් හදාගෙන යන්නේ ආණ්ඩු බලය අතට ගන්න. අන්න එදාට රටේ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් වේවි. අපි කාට කාටත් සතුටෙන් ජීවත් වෙන්න ඇහැක් වෙයි.“


තිස්සගේ මොළය සම්පූර්ණයෙන්ම සෝදාපාළු වී ඇති බව යසෝහිමි ට දැනුණි. මේ අදහස් කෙසේ වෙනස් කරන්න ද කියා ඈ සිතන්නට වූවා ය.


“මේ අහපන් මයෙ පුතේ.... උඹලා හිතන පතන රටක් හදන්න නම් ජීවත් වෙලා ඉන්ඩ එපැයි. දැන් අරුන් දකින දකින කොල්ලව උස්සගෙන යනවා. මේක මහ පොළව උහුලන්නේ නැති අපරාධයක්. මයෙ පුතේ, උඹේ අම්ම ගැන හිතල ටික කාලෙකට හරි පාලිත ගාවට ගිහින් හිටපං. උඹට මක්කවත් උනොත් මගේ පපුව පැලේවි.“ යි පැවසූ යසෝහාමි චීත්ත පොටින් දෑස් පිසදා ගනිමින් ගල්තලාව පාමුලට ගෑටුවා ය.


තිස්සට වැඩිමහල් හතර දෙනාම ගෑනු ළමයි වූහ. ඔවුන් සාමාන්‍ය පෙළින් එහාට ඉගෙන ගත්තේ නැත. ඒත් තිස්සට හොඳින් ඉගැන්විය යුතු යැයි යසෝහාමිත් ඇගේ සැමියා වූ සාදිරිසුත් අදිටන් කරගත්තේ කොල්ලා ඉගෙනගැනීමට දැක් වූ දක්ෂකම් නිසා ය.


“පුතණ්ඩියා කවදා හරි හොඳ තැනකට ඒවි. අපේ කුසට නැති උනත් ඌට හොඳට කන්න දීපල්ලා.“ යනුවෙන් වරක් තම සැමියා කියා සිටි අයුරු යසෝහාමිගේ සිතට ආවර්ජණය විය. ඒත් එදා ඔහු කියූ අනාවැකිය හරියන අයුරු දැක ගන්නට තම සැමියට ජීවත් වීමේ වාසනාව නැති විය. තිස්ස විශ්ව විද්‍යාලයට තේරුණ ලිපිය එන්නට හරියටම සතියකට කලින් සාදිරිස් පොළගෙකු සපා කෑමෙන් මිය පරලොව ගියේ ය.


මව ගල්තලාව පල්ලේ වාඩි වෙලා කඳුළු සලමින් සිටින අයුරු දුටු තිස්සගේ සිතට ඇති වූයේ සංවේගයකි. තිස්ස තම මව් පැවසූ දෑ ගැන යළි යළිත් මෙනෙහි කරන්නට වූයේ ය. පාලකයන් තම බලය යොදමින් සංවිධානෙ කොල්ලෝ දුටු දුටු තැන අල්ලාගෙන යන්නට විය. ඒ අතර මේ ගැන හය හතර නොදත් කොල්ලන් ද මොවුන්ගේ ගොදුරු බවට පත් විය. එසේ අල්ලාගෙන ගිය කිසිවෙකු පණ පිටින් ආ බවට ආරංචියක් ද නැත.


ගල්තලාවේ දිගා වූ තිස්ස, තම දෑස්වලට ඉහළින් ඇති රූස්ස ගස් වියනෙන් එහා ඇති නිල් අඹර සොයන්නට විය.  ඒත් ඒ දර්ශනයට බාධා කරමින් දඟකාර ඉර තම කිරණ විදිමින් තිස්සගේ දෑස් නිලංකාර කරවන්නට විය. ඔහු විගසින් දෑස් වසාගත්තේ ය. මද වෙලාවක් දෑස් පියාගෙන හුන් තිස්ස ගල් තලාව මත හිඳගත්තේ ය. බෑගයේ වූ ලියන පොතෙන් කොළයක් කඩා ගත්තේ ය. පෑන ද අතට ගත් හෙතෙම, හිතාදර පාලිත අයියා වෙතට....යනුවෙන් අරඹා සිදුව ඇති දෑ හැකිතාක් කෙටියෙන් කඩදාසිය මත අකුරු කරන්නට විය.


අවසානයේ කෙසේ හෝ තිස්ස තම ඉල්ලීමට එකඟවීම ගැන යසෝ හාමිගේ සිතේ ඇතිවූයේ අසීමිත සතුටකි.


“මම අදම මේක තැපෑලට දානවා. උඹ කිව්වද හැකි ඉක්මනින් උත්තර එවන්න කියලා...“


“එහෙම කිව්වෙ නෑ. ලියලා තියෙන විස්තරේ දැක්කහම එයා තේරුම් ගනීවි.“


ලියමනත් අරගෙන ආ පයින්ම ගෙදර ගිය යසෝහාමි අලුත් චීත්තයකට මාරු වූවාය. ඉක්බිති මල් පැල ළඟට ගොස් මොන මොනවදෝ මුමුණන්නට විණි. අනතුරුව තැපැල් කන්තෝරුවට යන්නට පිටත් වූවා ය.


තිස්සගෙ මුහුණේ වූ ඉදිමුම් බැස ගොස් තිබුණි. එහෙත් සිරුරේ එහෙන් මෙහෙන් ශේෂ වී ඇති වේදනාවන් විටින් විට දැනෙන්ට විය. ඒවා අමතක කර දමමින් ගල්තලාවේ හිටගත් තිස්ස දෑත් දෙපසටත් ඉහළටත් ඔසවන්නට වූයේ ය. පා ඇඟිලි ඇල්ලීමට නැවුණේ ය. ඒ සමගම පිට හරහා විදුලියක් ඇදී යනවා සේ වේදනාවක් දැනුනෙන් ඉබේටම “ඌයි!“ යයි කියැවුණි. ඔහු හෙමින් සීරුවේ කඳ කෙළින් කරගත්තේ ය. තිස්සගේ සිතට මහත් අලසකමක් දැනෙන්ට විය. තව කෙතරම් කාලයක් මෙසේ සැඟවි සිටින්නට වේදැයි ඔහු සිතන්නට වූයේ ය.


යසෝහාමිනේ පැදුරේ ඇලවුණේ සැහැල්ලු සිතෙනි. තිස්ස පිටරට යන්න කැමතිවීම ඇගේ හිසේ වූ බරකින් සැහැල්ලුවීමක් වැනි හැඟීමක් ඇති කළාය. එහෙත් එසැනින් ඒ සතුට බිඳගෙන විදුලියක් සේ ඇදී ගිය සිතුවිල්ල ඇගේ සිත කළඹන්නට විය. ඒ ඈ තැපැල් කන්තෝරුවට ගිය විට එහි පැමිණි එකෙකු කියූ කතාවක් නිසායි.


“ආ... යසෝහාමි, මොකද පුතණ්ඩියා රට පටවන්නද හදන්නේ...? ඕකුන් තමයි රට කන්නෙ“ යි කියාගෙන තම අත රැඳි ලියමන පෙට්ටියට දමා යන්ට ගියේ “තුහ් නොදකින්“ යයි කියමින් කෙළ පිඩක් ද බිමට ගසාය. ඔහුට සාප කරමින් යසෝහාමි පැදුරේ අනෙක් අතට ඇලවුණි.


  කුරුළු කොබෙයියන්ගේ කිචි බිචිය ට අවදි වූ යසෝහාමි වතුර කේතලය රත්කොට තේ කහට සාදන්නට වූවා ය. තිස්සගේ කෝප්පයට තේ වතුර වත්කර, හකුරු කෑල්ලකුත් අතට ගත් යසෝහාමි පය ඉක්මන් කර යන්නට වූයේ වෙනදාට වඩා පමා වී තිබූ නිසා ය. වෙනදාට තේ අරගෙන යද්දී ගල්තලාවට නැග පෙර මග බලා උන් තිස්ස අද පෙනෙන්ට නැත. ගල් තලාව මත තේ කෝප්පය තැබූ යසෝහාමි තිස්සට කතා කළාය. නැත කිසිම පිළිතුරක්. ඇය ගල්තලාව අස්සෙන් ගොස් ගල් කුහරය තුළට හිස පොවා බැලුවා ය. ඉරා දමා තිබූ පොත් සීසීකඩ විසිරී ඇති අයුරු යසෝහාමිට දැක ගත හැකි විය.
හිතට නැගෙන අදහස කොමෙන්ට් කරල යන්න අමතක කරන්න එපා.


(ඡායාරූප අන්තර්ජාලයෙන්)

8 comments:

  1. ඌත් ඉවරයි එහෙනම්...
    බුද්ධිමතුන්ට වඩා උගතුන්ට තැන ලැබීමත් නිහීන මුග්ධයන් උන්ගේ අතකොළු වීමේති වාපාක ඕව...

    ReplyDelete
    Replies
    1. නූගතුන් ඉහළ පුටුවලට සිටිය යුගයක සිදු වූ සමාජ ව්‍යසනයේ එක් අවස්ථාවක් මහේෂ්.

      Delete
  2. ඉවරයි , මෙහෙම කාලයක් තිබ්බා නේද , ආපහු ඒ කලයක්නම් එපා, මිනිස්සු බුද්ධියෙන් වැඩ කරන ලෝකයක් ගොඩ නැගෙනකම් මේ ඉතිහාසය නැවත සිදුවේවි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්. ඒ යුගයේ අපේ පරම්පරාවේ අය තමයි සා. පෙළ විභාගෙ ජනවාරි මාසෙ ලිව්වෙ. අන්ත දෙකක සටන නිසා අහිංසක පාසැල් ළමයින් පවා දුක් වින්දා. ඉවාන්ලා ඉපදිලාත් නැතුව ඇති. හිටියත් පුංචි බට්ටො වෙන්ඩ ඕන.

      Delete
  3. කතාව හොඳයි. අවසන් කරල තියන විදිහ වඩාත් හොඳයි.. ඔය කාලය අලලා ලියවුනු නව කතාවක් කියෙව්ව කාලෙකට කලින්. නම මතක නෑ. ඒකෙ කොල්ල අතුරුදහන් වෙනව. පස්සෙ කෙල්ල ඒ ගැන හොයන්න ගිහින් එක එකාගෙ තිරිසන් උගුල් වලට අහු වෙලා පස්සෙ කාවද මරල හිරේ යනව වගෙ තමයි මතක. තරු කියවල නැද්ද එහෙම කතාවක්. කැම්පස් පරිසරයක් එක්ක යන කතාවක්.

    ReplyDelete
    Replies
    1. මුලින්ම කාලෙකින් ගොඩ වීම ගැන ස්තූතිවන්ත වෙනවා. කොහෙද ගිහින් උන්නෙ?. නැහැ චන්දන එහෙම පොතක් කියෙව්වෙ නැහැ. හැබැයි මේ වගේ කතාවකට මගේ හිත නැවුනේ “එළිය කන්ද වධකාගාරය“ නමින් රෝහිත මුණසිංහ නම් අයගේ අත්දැකීම ඇසුරෙන් ලියපු පොත කියවලා. ඒක කියවනකොට නම් ඇඟ හිරි වැටෙනවා... මේ මිනිස්සු මෙච්චරටම ම්ලේච්ඡ ද කියලා හිතාගන්නත් බෑ.

      Delete
  4. පරණ සිදුවීමක්, ඔය තරම්ම නොවුනැහැ අදත් ඕක ඔහොමම වෙනවා..

    ReplyDelete
    Replies
    1. අතීතය ඉද හිටවත් මතක් කරන්න ඔ්න නිසා ලිව්වා.

      Delete