Monday, September 1, 2014

නෙතු අද්දර - 45

                එක් අවාසනාවන්ත රාත්‍රියක් උදාකරමින් අම්මා සදහටම දෙනෙත් පියාගත්තා. මා ගැන සොයා බලමින් හැකි හැම විටම මගේ තනියට මගේ ළඟින් හිටිය මගේ අම්මා මට නැති උනාට පස්සේ මා සදහටම තනි උනා යැයි දැනෙන්නට විය. නංගි ගෙදර හිටියත් කන්න බොන්න කියනවා ඇරෙන්න වෙනත් කතාවක් මා සමග නොවීය. මම මගේ වැඩටික පුළු පුළුවන් විදිහට කරගන්න පුරුදු උනෙමි. මල්කි මොන්ටිසෝරි ගිහින් ආවට පස්සෙ මාව සොයාගෙන ආවත් මා සමග ඕනෑවට වඩා එකතු වෙනවට කේෂිණීගේ කැමැත්තක් නොවීය. ඒ නිසා ඈ ඉක්මනින්ම මල්කි මගෙන් ඉවත් කරගත්තා. ඒ හැරුණ කොට සුරංග හෝටලේ ඉඳන් ආවට පස්සේ මාත් එක්ක වචන කිහිපයක් කතා කළා. නංගිගේ වෙනස්කම් එන්න එන්නම වැඩි වුණි. ඇගේ ඇනුම්පදවලින් දැන් මාව ඇයට බරක් වී ඇති බව හැඟෙන්නට විය. මා නිසා සුරංගට නංගිගෙන් දොස් අහන්නට වූ අවස්ථා ද විය. ඒත් සුරංග ඇගේ දෝසාරෝපණ කනකට ගත්තේ නැත. ඇත්තටම සුරංග කොච්චර බුද්ධිමත්ද. එක්කෙනෙකුට කේන්ති ගිය වෙලාවට අනිත් කෙනා ඉවසන්න ඕන. එතකොට සාමය අැතිවෙනවා. දෙන්නම පිස්සු බල්ලො වගේ පොර කන්න ගියොත් මේ පොඩි එකීට ඒක හොඳ නැහැ.
“නංගි ඉස්සරත් ඔය වගේ තමයි. පොඩ්ඩ බැරිවෙන කොට තදවෙනවා. කෑ ගහනවා. මට මතකයි ඒ වෙලාවට අයිය හිනාවෙවී කියනවා, අන්න පොඩ්ඩිට මල පැනලා... මොකද දන්නෙ නැහැ කියලා. සුරංගත් දන්නවනේ.“
“දන්න නිසා තමයි මං ගනන් ගන්නෙ නැත්තේ. අනික අපි රණ්ඩු වෙන්න ගත්තොත් මල්කිට හොඳ නැහැ.“
සුරංග කොච්චර දුරට හිතනවද? ඇත්තටම පියෙකුට සැමියෙකුට තිබිය යුතු ශ්‍රේෂ්ඨ ගුණාංග ඔහුට තියෙන්නේ. අපායක් බඳු මේ ගෙදර මොහොතක හෝ සැනසීමක් ලබන්නේ සුරංග නිසා නොවේද?
හෝටල් පරිපාලනය සම්බන්ධව වැඩිදුර හැදෑරීමට සුරංගට එංගලන්තයේ ශිෂ්‍යත්වයක් ලැබුණි.
“අමා... මට හෝටල් සංගමෙන් එංගලන්තෙට ශිෂ්‍යත්වයක් ලැබිලා.“
මගේ පපුව දාලා පිච්චිලා ගියා සේ දැනුණී.
“කොච්චර කාලෙකට ද?
“මාස හයකට“ සුරංග සෙමින් මිමිණුවේ ය.
‘දෙවියනේ... මගේ ජීවිතයට හිටිය එකම රැකවලාත් ඈත් වෙන්නයි යනනෙ. සුරංගත් නැති උනොත් මට පිස්සු හැදේවි. ඒත් ඔහුට යන්න එපා කියන්න මට අයිතියක් නැහැ.‘ යනුවෙන් සිතුවිලි කන්දරාවක් හිතේ හොල්මන් කරන්නට විය.
“සුරංග මාත් කොහේ හරි යනවා.“
“ඔයා කොහේ යන්නද අමා? මේක ඔයාගෙ ගෙදර. අනික මාස හය ඒ පැත්ත මේ පැත්ත බලනකොට ගෙවිල යාවි.“
“බැහැ රත්තරං. මං මෙච්චර දවසක් හරි හිටියේ ඔයා නිසා. කේෂිණී මගේ නංගි වෙලත්....“ මගේ හඬ ගොළු විය. දෑසට නැගුණු කඳුළක් ගලා යන්නට විය.
“මට ඔයාගෙ වේදනාව තේරෙනව අමා. මම අතීතය හාර අවුස්සන් කැමති නැහැ. ඒත් දැන්වත් ඔයාට තේරෙණවද මං කේෂිණී බඳින්න අකමැති උනේ ඇයි කියලා.“
මට සුසුමක් හෙළුණි. මම හැම දෙයක්ම කළේ හොඳ හිතිනි. ඒත්...
“අමා ඔයා ඉන්න කැමති නැතිනම් මම තැනක් බලන්නම්. මං නැති මාස හය ඔයාට එහේ ඉන්න පුළුවනි.“
               සුරංග එංගලන්තෙ යන්න දින දෙකකට කලින් මාව වජිර නිවාසයට එක්කගෙන ආවේය. ඒ ගමනට නංගි එකතු නොවීමට තරම් ඇගේ හිත දැඩි වූවාද? එහි සිටි බොහෝ අය ජීවිතයේ සැඳෑ සමය ගෙවන අම්මලා වූහ. ඔවුන් මාව වට කරගෙන තොරතුරු අසන්නට විය. ඔවුන් අතර සිටියේ එකම එක තරුණියක් පමණි. ඇයව කවුරුත් ඇමතුවේ සුදු දුව යනුවෙනි. මගේ පැමිණීම ඇය වඩාත් සතුටට පත් වූ බවකි දැනුනේ.
“අක්ක ආව එක හරි ෂෝක්. මට දැන් පාළු නැහැ. ඔයා එන්න මගේ කාමරේට.“ ඔය ආදී වශයෙන් ගිරවියක් වගේ ඈ කියන්නට විය. සුරංග කාර්යාලයට ගොස් අවශ්‍ය ලියකියවිලි අත්සන් කොට මා වෙතය පැමිණියේය.
“ඔක්කෝම හරි. අමා, ඔයාට මේ මාස කිහිපය කරදරයක් නැතුව මෙහේ ඉන්න පුළුවන්. ඔයාට ඕන දෙයක් තියේනම් මිසිස් සිරිවර්ධනට කියන්න. එයාගෙ මල්ලි මගේ යාළුවෙක්. මම ආපු ගමන් ඔයාව ගෙදර එක්කගෙන යන්න එනවා. එහෙනම්, මං ගිහින් එන්නම්.“ යි ඔහු අවසාන වරට පැවසුවේ මගේ අත දෑතින් අල්ලා ගනිමින්ය.
“ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි. පරිස්සමෙන් ගිහින් එන්න.“ මගෙන් ඒ දෑත් සෙමෙන් ගිලිහී ගියේය.
**      **      **
            කාලය ගෙවි යන අතරේ මට අලුත් නවාතැනට හුරුවීමට අසීරු නොවීය. මෙතන සිට අය අතුරින් අසරණ තත්ත්වයට පත් වී සිටියේ මා පමණි. ඒ නිසා හැමෝගේම නොමද ආදරයට මා පත් විය. හැම සති අන්තයකම දස සිල් මෑණි කෙනෙක් ඇවිත් ධර්ම දේශනාවක් කළාය. දුප්පත්කම නිසාත්, දරුවන් පිටරටවල ගොස් සිටින නිසාත්, දරුවන්ගේ නොසැලකීම නිසාත් මෙතනට ඇවිත් සිටින  මව්වරුන්ට දැන් මේ ජීවිතය හොඳින් පුරුදුවී තිබුණි. ආයතනයේ පාලිකාවගේ කරුණාව නිසා මෙහි හැමෝම ගෙදරට වඩා සතුටින් සිටින්නට වූහ. කේෂීණී ද දෙතුන් වතාවක් මා බලන්නට පැමිණීම ගැන මට ඇති වූයේ සතුටකි.
දවසක් සුදු නංගී මා වෙතට දුවගෙන ආවාය.
“අමාලි අක්කේ.... සුරංග අයියා ඇවිල්ලා.“
හහ්... මාස හය මෙච්චර ඉක්මනින් ගෙවිල ගියාද? මට අදහන්නටත් බැරි විය. මම කලබල විමී. සිත අමුතුම  ප්‍රබෝධයකින් ඉපිළී යන්නට විය.
“මම දැක්කා ඔෆිස් එකේ මැඩම් එක්ක කතා කර කර ඉන්නවා. දැන් ඒවි.“
මගේ හිත නොඉවසිලිමත්ය. මම දෑතින් කොණ්ඩය සකසා ගත්තෙමි.
“බලන්න නංගි කොණ්ඩෙ එහෙම අවුල් වෙලාද කියලා.“ නංගි මට විහිළු කරමින් පනාව ගෙනැවිත් කොණ්ඩය පීරුවාය. සුරංග මා සොයාගෙන ආවා. ඒ හඬ ඇසෙත්ම මගේ දෑස් තෙත්විය. ඒ දුකට නෙවෙයි සතුටට.
“මං ආවෙ ඔයාව ගෙදර එක්කගෙන යන්න.“
        සුරංග නැති හුදකලාව මට දැනුනද, මෙහි සිටීමෙන් මා ලැබුවේ මානසික සැනසීමකි. දැන් මට වජිර නිවාසය ගෙදර මෙන් හුරුපුරුදු තැනකි. ආපසු ගෙදර ගියෝතින් යළිත් අපාගතවනවා නොවේද? යම් තරමකට හෝ ඉතිරි වී ඇති කේෂිණීගේ හිතවත්කමත් නැත්තටම නැතිවී යාහැක. මේ සියලුම කරුණු සලකා දිගටම මෙහි ඉන්නට මගේ ඇති කැමැත්ත මම සුරංගට පහදා දෙන්නට වුණිමි.
“අමාට මෙහේ ඉන්න එක සතුටක් නම් මම ඒ සතුටට බාධා කරන්නෙ නැහැ. ඔයා එහේ හිටියට වඩා සතුටෙන් මෙහේ ඉන්න බව මටත් පේනවා.“
“ඒ කොහොමද?“
“පහුගිය කාලෙට වඩා මේ මාසෙට ඔයා මහත්වෙලා හැඩවෙලා.“ යි සුරංග සිනහා සෙමින් පැවසීය. ඒ සිනහ හඩ එදා වගේම අව්‍යාජයි. සුරංගට පෙරට වඩා හොඳින් පවුල් ජීවිතය ගත කරන්නට ලැබීම මට සතුටක්.
“මට පුළුවන් ගෙදර යමින් ගමන මෙහාට ගොඩවෙලා ඔයාව බලලා යන්න.“ යි පැවසූ සුරංග ටික වෙලාවක් කතාකරමින් හිඳ පිටව ගියේය.
මේ අනුව මගේ සදාතනික නවා තැන වූයේ වජිර නිවාසයයි. මගේ ජීවිතය දිනෙන් දින වජිර නිවාසයට සින්න වෙද්දී සුරංග හැමදාම මා බලන්නට ආවේය. ඔහු ගෙදරදී මා සමග කතා කරනවට වඩා සතුටෙන් හා සැහැල්ලුවෙන් කතා කරන බව මට පසක් විය.
“අමා... කේෂිණීට ඔයාව බලන්න එන්න අමාරුයි.“ යි දවසක් අනපේක්ෂිත ලෙස සුරංග පැවසීය.
“ඒ මොකෝ...!“
“බබෙක් හම්බවෙන්න ඉන්නවා.“
“අනේ.... කොච්චර දෙයක්ද. එහෙනම් ඔයා ආයෙ පිය පදවිය ලබන්නයි යන්නෙ. දැන් මාස කීයද?“ මගේ හිතට ඇති වූයේද සතුටකි.
“දෙකයි. මේ සැරේ හරි අමාරුයි. වමනෙ දානවා ඉවරයක් නැහැ“
“එහෙනම් ගෙදර වැඩපොළ කරන්න කවුරු හරි ගන්න වෙයි නේද?“
“ඔව්, අපේ අම්මව එක්කගෙන ඉන්න හිතාගෙන ඉන්නෙ. අම්මටත් ඉතිං ඉස්සර වගේ බැහැ. ආතරයිටිස් තියෙනවනේ...“
සුරංග එසේ කියද්දී මට අපේ අම්මව මතක් විය. අම්මා නැති උනේ කේෂිණීගේ වද දීම නිසා නොවන්න අදටත් ඇය ජීවතුන් අතර නේද? එහෙම නම් ඇය කේෂිණීගෙ බර කරට ගන්නේ මොන තරම් කැමැත්තකින්ද? මගේ දෑසට ඉබේම කඳුළක් නැගුණි.
**      **      **
         කාලය මාස කිහිපයක් කිසිදු ප්‍රශ්නයකින් තොරව ගෙවී ගියේය. සුරංග ද හැමදාම මාව බලන්නට ඇවිත් ටිකක් වෙලා කතා කරමින් සිට යන්නට පුරුද ව සිටියේය. සමහර දිනවල ඔහු හොටේල් එකෙන් රෑ කෑම අරගෙන එන්නට පුරුදුව සිටියා. නිවාසෙ ඉන්න අම්මලාටත් ඉඳ හිට මොනවා හරි ගෙනැවිත් බෙදා දුන්නා. දිනෙන් දින මෝරා වැඩෙ කේෂිණීගේ කුසතුළ සිටින දරුවා ගැනද සුරංග කතා කළේ හදේ උපන් පීතෘ සෙනෙහසිනි. මාස කිහිපයකට පසු කේෂිණී දවසක් හදිසියේම මා බලන්නට පැමිණියා. මට ඇගෙන් අසන්නට බොහෝ කරුණු තිබුණි. ඈ මා සිටි තැනට පැමිණියා.
“නංගි. ඔයා ආපු එක කොච්චර දෙයක් ද? මටත් හරි සතුටුයි. මම දෙවෙනි පාරටත් ලොකු අම්ම කෙනෙක් වෙන්නයි යන්නෙ. මේ සැරේ පුතෙක්ලු නේද?“
“ඔයා කොහොමද මෙච්චර ඉක්මනට ඒක දැන ගත්තෙ?“
“ඇයි ඊයෙ සුරංග ආපු වෙලාවෙ කිව්වා. ස්කෑන් එකෙන් පුතෙක් කියලා අඳුනගත්තා කියලා...“
“ආ... සුරංග නිතරම මෙහේ එනව ද?“
“ඇයි නංගි ඔයා එහෙම අහන්නෙ.“
“මං අහන්නෙ සුරංග මගේ මිනිහ නිසා.“ යි නංගි පැවසුවේ තරහිනි. මෙහි මොකක් හරි ප්‍රශ්නයක් තිබේ. කුමක් කියන්නද කියා මට සිතා ගැනීමට නොහැකි විය. මම ඇත්ත කියන්නට සිතුවෙමි.
“සුරංග හැමදාම වගේ මහේ එනවා.“
“ආ... ඔය තියෙන්නෙ හොරේ. මං මුළු දවසෙම මේ බඩත් උස්සගෙන නැහෙනවා. හොටේල් එකේ වැඩ ඉවරවෙලා ගෙදර එන්නේ නැතුව මෙතන ඇවිල්ලා මගුල් නටනවා. ඔයාටත් ලැජ්ජ නැහැ මගෙ මිනිහව හැමදාම මෙහේ ගෙන්න ගන්න. මං හිතුවා ගෙදරින් ගියහම හැමදේම හරි යයි කියලා.....“
කේෂිණී දිගින් දිගටම කෑගසන්නට විය.
“නංගී... මෙතන කෑ ගහන තැනක් නෙමෙයි. මම හිතල වැරැද්දක් කළේ නැහැ. හරි ඔයාට ඕනෙ සුරංග මෙහේ එන එක නතර කරගන්න නේ. මං එයාට කියන්නම්. ඔයා දැන් යන්න.“
“හ්ම්...“ යි කියූ නංගි මොකුත් නොකියා යන්න ගියා.
ඇස් නොපෙනෙ නිසා ළඟපාත කවුරු බලා සිටියාද කියා නොදනිමි. ඇස් නොපෙනීම මේ මොහොතේ ආශීර්වාදයක් විය. මට එදින රාත්‍රියේ නින්ද ගියේ නැත. මාස කිහිපයක් පුරාවට බුක්ති විඳි සතුට එක මොහොතින් සුනුවිසුණු වී ගියේය. සුරංගගේ පැමිණීම මගේ ජීවිතයට ප්‍රබෝධයක් ගෙන දුන්නේය.  හැමදාම සවස් වෙද්දී පුරුද්දට මෙන් මා කාමරෙන් එළියට ආවේ ඔහුගේ පැමිණීම අපේක්ෂාවෙනි. සුරංගද මා මුණගැසීමෙන් සතුටට පත්වන බව මට දැනී තිබුණි. ඒත් අප එසේ සතුටෙන් සිටියදී නංගී දුක්විඳිනවා යැයි මට නිකමටවත් සිතුනේ නැත.
වෙනදා මෙන් සුරංග එන වෙලාවට මට එළියට යන්න හිත දුන්නේ නැත. මම කාමරයට වී සිටියෙමි. සුරංග පැමිණි විට කුමක් කියම්දෝ කියා මම කල්පනා කරන්නට වීමි. මම කොහොමද එකපාරටම සුරංගට එන්න එපා කියන්නේ. එකපාරට කවුද දොරට තට්ටු කළේය.
“අමා....“
“එන්න සුරංග“
“මොකද කාමරේට වෙලා.... ඇයි සනීප නැද්ද?“ යි අසමින් මගේ නළලට අත තබා බැලීය.
මම ඇඳ විට්ටමට හේත්තු වුණෙමි. මගේ හදවත ගොඩ දාපු මාළුවෙකුසේ ගැහෙන්නට විය.
“නැහැ මොකුත් නැහැ.“
“එහෙනම් යමු එළියට. කෝ ඔයාව පුටුවෙන් තියන්න“
“එපා එපා... අද මට ඔයත් එක්ක වැදගත් දෙයක් කියන්න තියෙනවා.“
“මොකද්ද අමා.“ යි පවසමින් ඔහු එහි වූ පුටුවක් මා අසලට ඇද ඉඳගත්තේය.
මෙතෙක් වෙලා කියන්නට පෙරුම් පුරාගෙන සිටි වදන් පෙළ උගුරේ හිර වී ඇතුවා සේ දැනෙන්නට විය. මම හිස බිමට නැඹුරු කරගත්තෙමි.
“අමා... අද ඔයා අමුතුයි. මොකුත් ප්‍රශ්නයක්ද?“
“සුරංග දැන් ඔයා මෙහේ එන එක නතර කරන්න. මෙහේ එනවට වඩා ගෙදර යන එකනේද හොඳ? නංගිට උනත් ඔයාගෙ උදව් ඔයාගෙ ආදරය සැලකිල්ල වැඩි වැඩියෙන් දැන් උවමනා ඇතිනෙ“ යි මම දැඩි කරගත් සිතෙන් පැවසුවෙමි.
“ඔයාව බලලා ගියා කියලා මගේ වගකීම් පැහැර හැරලා නැහැ අමා.“
“ඒ උනාට..“
“ඒ උනාට මොකද්ද?“
“කේෂිණී ඔයාට පණවගේ ආදරෙයි. එයාගෙ හිතේ අපි ගැන සැකයක් තියෙනවා. මම අබ්බගාත ගෑනියෙක් වෙලත් ඔයා මට තවම ආදරෙයි කියලා.“
“කේෂිණීට පිස්සු. ගෙදර ගියත් ඔය ගැන කියවනවා.“
“සුරංග මේ වෙලාවෙ ප්‍රශ්න ඇති කරගන්න එපා. ඔහොම තමයි ආදරේ වැඩි උනහම සැකය ඇති වෙන්න පුළුවන්. නංගි තවම පොඩි ළමයෙක් වගේ.“
“ඒ උනාට අමා. ඔයා වෙනුවෙන් මගේ හිතේ ඇතිඋන ආදරේ මරාදාන්න මට බැහැ. “
“මට තේරෙනවා රත්තරං. මටත් ඒ වගේ තමයි. ඒත් ඔයා මුල් තැන දෙන්න ඕනෙ මට නෙවෙයි. මං මගේ නංගිගේ සතුට වෙනුවෙන්, ඔයාගෙ අනාගතය වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරා. ඒත් ඔයාලා අතරේ ප්‍රශ්න ඇති උනොත් මට සැනසීමක් නැති වේවි. ඒ නිසා මගෙ දෙයියෝ ආයෙත් එන්න එපා මාව බලන්න.“
ඔහු එගේ සුරත තරයේ අල්ලා ගත්තේය.
“එතකොට ඔයා තවත් තනිවෙනවා නේද?“
 “ආයි අමුතුවෙන් තනිවෙන්න දෙයක් නෑ සුරංග.“
“ඔයා ඔහොම ඉඳිද්දී මට හිතෙනවා මං ලොකු වැරැද්දක් කළා කියලා.“
“කවදාවත්ම නෑ. කොහොම හරි ඔයා දැන් මගේම කෙනෙක්. හැබැයි ඔයා වෙන කෙල්ලෙක් කසාද බැන්ද නම් සදාකාලිකවම අපි දුරස් වෙනවා. ඒක මගේ ආත්මාර්ථකාමි සිකුවිල්ලක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා වෙන කෙල්ලෙක් කසාද බැන්ද නම් මේ ප්‍රශ්න ඇති වෙන්නෙ නැහැ. ඒ නිසා මමයි ඔයාගෙන් සමාව ගන්න ඕන.“
සුරංගගේ සිහින් දෙතොල් මගේ නළල මත ස්පර්ශවනු දැනුණි.
“කේෂිණීව නොබැන්දනම් මගේ මුළු ජීවිතේම ඔයා වෙනුවෙන් කැප කරනවා.“ යි ඔහු සෙමෙන් මගේ සවනට කෙඳිරුවේය. මම දෑතින ඔහුගේ මුහුණ ස්පර්ශ කළෙමි.
“ඔයා දැන් යන්න රත්තරං. මේ මුහුණ මේ හඬ ආයෙ කවදාකවත් මා ඉදිරියේ දකින්න ලැබෙන එකක් නෑ.. ඒකට මට දුක නැහැ.“ යි මා පැවසුවේ එ් කටහඬ ඇසෙන විට ඒ රුව මට මැවීපෙනෙන නිසාය.
.“ඒත් එක ඉල්ලීමක්. මං මැරුණදාට අමතක කරන්න එපා. මාව බලන්න එන්න.“
ඔහු මගේ මුව අතින් වැසුවේය. මගේ නළලත් දෑතත් සිපගත් මගේම සුරංග සඳහටම මගෙන සමුගෙන ගියේය. එතෙක් වෙලා දෑසට එකදු කඳුලක්වත් නොනැගුණු මගේ දෙනෙත් තවත් එසේ සිටීමට බැරිකමටදෝ හඬා වැටෙන්නට විය. මම මුහුණ කොට්ටෙ ඔබාගත්තෙමි.
කතාව අවසන් කළ මම දිගු සුසුමක් හෙළුවෙමි.
“ඔන්න ඕකයි සුදු නංගියේ මගේ අවාසනාවන්ත ජීවිත කතාව“ යි මා පැවසුවේ ඇගේ අතකින් අල්ලාගනිමින්ය. එහෙත් ඇගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැතිවීම මට මහත් කුතුහලයක් විය.
“සුදු නංගි...“ යි කියමින් ඇගේ මුහුණ අතගෑවෙමි. ඒ මුහුණ හොඳටම තෙත බරිත වී තිබුණි. මම සෙමෙන් ඇගේ මුහුණ මගේ උරහිස මත තබාගත්තෙමි.
නිමි.
තරු

වෙනදාසේම සිතට දැනුන අදහස තියලයන්න අමතක කරන්න එපා....
(ඡායාරූප අන්තර්ජාලයෙන්)

8 comments:

  1. හයියෝ.... අවසානය ගොඩක් දුක්බර වුනත් , සාර්ථක කතාවක අවසානය , එහෙනම් තරු අක්කේ තවත් එකක් පටන් ගමු .

    ReplyDelete
    Replies
    1. බලමු බලමු. පොඩි විවේකයකුත් ඕනෑ. ඔන්න මං මල්ලිගේ බ්ලොග් එකට කොමෙන්ටුවක් දැම්මා. මට නම් පේන්නෙ නෑ පලවෙලාද කියලා.

      Delete
    2. නෙතු අද්දර දිගටම කියවලා කොමෙන් කිරීමෙන් ලබා දුන්න ධෛර්යයට ස්තූතියි ඉවාන්.

      Delete
    3. පලවෙලා තියෙනවා අක්කේ , කමෙන්ට් 200 පන්නම අන්තිම ඒවා බලන්න නම් කමෙන්ට් බොක්ස් එකට යටින් තියෙන load more කියන එක උඩ ක්ලික් කරන්න ඕනේ එතකොට පේනවා

      Delete
  2. අවසානය දුක හිතෙන්නම දීලා.. ජය වේවා.. වෙනස් ආරක් කතාවක් ලියමු දැං..

    ReplyDelete
    Replies
    1. බලමු . දිරිගැන්වීමට ස්තූතියි දේශක

      Delete
  3. සැක් දුක් ගන්ගාවක් නේ

    ReplyDelete
    Replies
    1. හ්ම්..... ස්තූතියි දමිත් ඇවිත් කතාව කියෙව්වට

      Delete