Sunday, June 22, 2014

නෙතු අද්දර - 35


මොහොතකට පෙර සතුටෙන් පිරී තිබූ නිවස දැන් පාළුවෙලා. මගේ සිතට සාංකාවක් දැනුණි. මගේ කාමරයට ගිය මා, පෙර දිනක සුරංග මගේ උපන් දිනය දා තබා ගිය මුද්ද අල්මාරියෙන් ගෙන බලන්නට විය. අදින් පසු සුරංගව අයිතිවන්නේ මගේ නංගිටය. ඒත් මගේ හිතේ බැඳි ආදරය එහෙම්මමයි. ගතින් නොවුණත් සිතින් හැමදාමත් ඔයා අයිති මටයි රත්තරං.
සිතුවිලිවලට බාධා කරමින් දුරකථනය නාදවන හඬ මා දෙසවන වැකුණි. මව මා හට දුරකථනයට අමතන ලෙස කියා සිටියා. ඥාතීන් සියලු දෙනාත් අම්මාත් මුළුතැන්ගෙයි සිට දෙවෙනි දවසේ කටයුතු ගැන සාකච්ඡා කරනවා විය යුතුය. කාමරෙන් පිටතට පැමිණි මා නොනවත්වා නාදවෙන දුරකථනය වෙත ගියෙමි. මා එහි රිසීවරය සවනට ළං කළෙමි.
“මේ කේෂිණී සූරියබණ්ඩාරගේ ගෙදර ද?“
“ඔව්“
“මේ කතා කරන්නේ පිළිමතලාවෙ පොලීසියෙන්. මීට ටික වෙලාවකට කලින් මිස් කේෂිණියි එයාගේ මහත්තයයි ගිය වෙඩිං කාරෙක පිළිමතලාව හන්දියේදී ඇක්සිඩ්න්ට් වෙලා. දෙන්නම පිළිමතලාව ඉස්පිරිත්තාලෙට යැව්වා. වහාම ඇවිත් බලන්න.“
පොලිස් නිලධාරීතුමා කියාගෙන කියාගෙන ගොස් රිසීවරය තැබුවා. ඉහළට ගත් හුස්ම පහළට හෙළාගත නොහැකිව අසාගෙන සිටි මට, මගේ අතේ වූ රිසිවරය එකවරම අතහැරුණි.
“අම්මේ....!“ මම විලාප දුනිමි. මුළුතැන්ගෙයි සිටි සියලු දෙනා සාලයට දුවගෙන ආහ.
“අනේ අම්මේ...“ මම හඬා වැලපෙන්නට වීමි.
“මොකද දුව, මොකද්ද වෙලා තියෙන්නෙ.“ අම්මා කලබලෙන් අසයි. මගේ මුවගට වචන නොඑයි. මම නොනවත්වා හඬන්නට වීමි.
“දුව, කියන්න මොනවද වෙලා තියෙන්නෙ කියලා...“ කොරටුවේ මාමා මගේ හිස පිරි මදිමින් සන්සුන්ව අසන්නට විය.
“නංගිලා ගිය කාර් එක, කාර් එක ඇක්සිඩන්ට් වෙලා...“
එය ඇසූ සැනින් අම්මා සිසුන් විය. පුංචි නැන්දගේ ආධාරයෙන් ඇය පුටුවක වාඩිකෙරෙව්වාය. ගෙදර කවුරු කවුරුත් ඇවිස්සුනු කඩි කුලක් මෙනි. මා ලද තොරතුරු මම කොරටුවේ මාමට පැවදුවෙමි. ඔහු වහාම අයියා සමග වෑන් එකෙන් පිටත් විය. අම්මා දෑත් පපුවේ තබාගෙන වැළපෙයි.
“ආනේ දෙවියනේ මොකද්ද මේ උනේ. දළදා හාමුදුරුවනේ මගේ දරුවො දෙන්නා ආරස්සා කරල දෙන්න....“ පුංචි නැන්දා අම්මගේ හිස අතගාමින් ඇයව සනසන්න වෙහෙසෙයි.
මගේ හිත නොසන්සුන්ය. මම එහාට මෙහාට යන්නට වීමි. කාලය සෙමෙන් සෙමෙන් යයි. මගේ සිත විකාර සිතුවිලිවලින් පිරී යයි. “ඇයි අයියලා තවම පරක්කු. කාට හරි නපුරක් වෙලාද? අනේ දළදා හාමුදුරුවනේ මගේ නංගීවත් සුරංගවත් ආරක්ෂා කරලා දෙන්න.“ මම සිතන්නට වීමි.
පැය දෙකකට පසු අයියාත් මාමාත් ආහ. ගෙදර සිටි සියලු දෙනාම ඔවුන්ව වට කරගනිමින් විවිධ දෑ අසති.
“පුදුම බේරිල්ලක් බේරිලා තියෙන්නෙ. පිළිමතලාව වංගුවේදි ආමි ට්‍රක් එකක හැප්පිලා වාහනේ විසිවෙලා ගිහින් ටෙලිෆෝන් කණුවක හැපිලා.“ කොරටුවේ මාමා පුටුවක ඉඳගනිමින් පැවසීය.
“දරුවන්ට දැන් කොහොමද?“ අම්මාගේ හඬ මලානිකය.
“නංගි බය වෙන්න එපා. අපි හවසට යමු“
**      **      **
කොරිඩෝව දිගේ අපි උපරිම වේගයෙන් ගමන් කළෙමු. ලෙඩ්ඩු බලන්නට පැමිණි අනෙක් අයද ඉක්මන් ගමනින් යන්නේ... දවල් දුටුපසු තම රෝගියාගේ තත්ත්වය කෙසේද කියා දැක බලා ගැනීමට ඇති හිදිස්සියෙන් විය යුතුය. අයියා මා ඉඳගෙන සිටි රෝද පුටුව තල්ලු කරගෙන යයි. කොරටුවේ මාමා පෙරමුණගෙන ගමන් කරයි. අපි ඔහු පිටුපසින් ගමන් කළේ සිහියට වඩා අසිහියෙන්ය. ඔහු හැරෙන හැරෙන පැත්තට අප ද හැරුණේ ඉබේටමය.
“අපි ඉස්සෙල්ලා සුරංග පුතාව බලන්න යමු.“ යි මාමා පැවසුවේ නංගී සිටිනවා යැයි කියූ වාට්ටුව අසලට පැමිණෙත්මය. ඒ ඇයි ද කියා අසන්නට කාගෙවත් මුව ඇරුණේ නැත. මම හිස ඔසවා අයියා දෙස බැලුවෙමි. ඔහු ද මා දෙස බලා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා යළිත් ඉදිරිය බලාගෙන රෝද පුටුව තල්ලු කරගෙන යයි. සාමාන්‍යයෙන් රෝහලක මුලින්ම ඇත්තේ කාන්තා වාට්ටුවයි. එය එසේ තිබියදී නංගිව නොබලා ඒ වාට්ටුව පහු කරගෙන සුරංග බලන්නට යෑම මගේ හිතට ඇති කළේ කුතුහලයකි. ඒත් ඒ බවක් අයියාගෙන්වත් මාමාගෙන්වත් ඇසීමට මගේ හිතට ශක්තියක් නැත.
අපි වාට්ටුවට ඇතුල්වීමු. ඇඳන් කිහිපයක් පහුකරගෙන යද්දී සුරංග සිටිනු දැකගත හැකිවිය. ඔහුගේ නළල වෙළුම් පටිවලින් වෙළා තිබුණු අතර වමතේ වැළමිටේ සිට පහළට ප්ලාස්ටර් ගසා තිබුණා.


තරු
මතුසම්බන්ධයි

වෙනදාසේම සිතට දැනුන අදහස තියලයන්න අමතක කරන්න එපා....

8 comments:

  1. ගැහැණු වාට්ටුව ගාවදි අරෙහෙම කීව කියන්නෙ
    මට නං හිතෙන්නෙ
    නංගිට සොරිම තමා

    ReplyDelete
    Replies
    1. අනාවැකියක් ද?

      Delete
  2. ඔන්න පිස්සු හැදෙනවා දැන් නම් , කොහොම හරිඕ ආපහු පරණ පෙම් යුවලම සෙට කරන්නද හදන්නේ ?

    ReplyDelete
  3. කනගාටුදායකයි හැමදාම මෙහෙම දේ කරන්නෙ ඇයි.නංගිට විපතක් නේද?

    ReplyDelete
    Replies
    1. සැබෑ ජීවිතේ දී පවුල්වලට මෙවැනි කරදර ඇතිවෙන්න පුළුවන්.

      Delete
  4. අප්ප කොල්ලට කුනුකතා ලොරියක් විතර අහගන්න වෙනව වගෙ.තමන්ගෙ දරුව නැතුව වෙනකෙනෙක් බලන්න යන එක අස්වාභාවිකයිනේ

    ReplyDelete
    Replies
    1. සමහර අවස්ථාවලදී මගහැරිය යුතු දේවල් මගහැරීමට සිදුවෙනවා.

      Delete