“සුරංග අයිය අක්කට තියෙන ආදරේ දැක්කම, එයා කවදාවත් මට කැමති වෙයි කියලා හිතන්න බෑ අක්කෙ.“
“නංගි“
“ඔව් අක්කෙ. මට වෙලාවකට ඔයා ගැන ඉරිසියත් හිතෙනවා. ඔයාට මේ ගමන නෑවිත් ඉන්න තිබ්බෙ.“ යි නංගි පවසන්නට වූයේ තරමක අමනාපයෙනි.
නංගිගේ එම වදන් මට අතුල්පාරක් මෙන් විය. මම ඈ සමග වාදෙට නොගියෙමි. සුරංග මද වෙලාවකින් අප අතරට පැමිණියා. ඔහුගේ මුව කොනේ සිහින් සිනහවක් ලියැවී තිබුණි. එය ආයාසයෙන් තොර වූ ස්වාභාවික මන්දස්මිතියකි. මා එකල අනන්ත අප්‍රමානව ඒ මන්දස්මිතියට රැවටී ඇත.
“අප්පච්චිගේ පහළොස්වෙනි අවුරුද්දට මෙහාට දානයක් දෙන්න අපේ අම්මගේ අදහසක් තියෙනවා. ඒ ගැන නායක හාමුදුරුවන්ගෙන් තොරතුරු ටිකක් අහගන්න ගියා.“
“කවදද දානේ?“
“ලබන මාසෙ පහළොව“
දිය මත ඇඳි සිතුවමක් සේ මට අපේ අප්පච්චිව මැවී පෙනෙන්නට විය. දුවෙකුට පියෙකුගේ සෙනෙහස ඕනම වෙලාවක ඔහු මට අහිමි විය. මගේ මුවෙන් සුසුමක් පිට උනේ ඉබේටමය.
“අපි යමු නේද අමා.“
සුරංග මගේ සුරතින් අල්ලා ඇසීය. නංගී අපට පිටු පා සිටියත්, මා දෙස රවාගෙන සිටිනවා සේ මට පෙනෙන්නට විය. මට ඈ දෙස කෙලින් බැලීමට නොහැකිවිය. මා නංගිට මුසා පවසන වංචාකාරියක් යැයි ඈ සිතනවා විය හැක.
“මොකද දෙන්නම රහත් වෙලාද? යන්න අදහසක් නැද්ද?“
එසේ පවසමින් මොහොතකුදු නොරැඳී සුරංග දෑත් දෙකට යළිත් මා ඔසවා ගත්තා.
“නංගි පුටුව ගේන්න.“ යැයි පවසමින් ඔහු නොනැවතී පඩි පෙළ බැහැගෙන යන්නට වූයේය. හිරු කඳු අතරින් සැඟවෙන්නට ආසන්න වෙමින් තිබුණි.
අප නිවසට පැමිණෙන විට මදක් රෑ බෝ වී තිබුණි. අම්මා අප එනතුරු උළුවස්සට බර වී පාර බලාගෙන සිටියාය. අපව නිවසට ඇරල වූ සුරංග අම්මට වැඳ පිටව ගියේය.
“මොකද්ද පොඩ්ඩි මේ ගමන්වල තේරුම? ඉලන්දාරියෙක් එක්ක මෙහෙම යන්න වටිනවද?“
අම්මගේ ආගන්තුක ප්‍රකාශය ගැන මගේ හිතේ ඇති වූයේ කුතුහලයකි. විමතියකි. අප මීට පෙරද රෑ බෝ වී පැමිණි අවස්ථා කොතෙකුත් තිබුණත්, ඒ කිසිම අවස්ථාවක අම්මා මෙසේ කියා නැත. කේෂිණී මගේ මුහුණ බැලුවේ පුදුමයෙනි.
“මම තනියම නෙමෙයි ගියේ.... අක්කත් එක්ක.“
“ඉස්සර වගේ නෙමෙයි. අක්කත් එක්ක උනත් අනවශ්‍ය ගමන් බිමන් යනවට මගේ කැමැත්තක් නෑ.“ අම්මා තරමක් දැඩි ස්වරයෙන් පැවසුනා.
“අපි ඔයිට කලිනුත් රෑ වෙලා තියෙනවනේ. ඒත් අම්මා කවදාවත් ඔහේම කියලා නෑ.“
මගේ හිතේ ඇති වූ කුතුහලය නිසාම මම එසේ ඇසුවෙමි. අම්මා කල්පනා කරමින් මුනිවත රකින්නට වූවා. අම්මගේ නිහැඬියාව මගේ හිත තව තවත් වද කරන්නට විය.
“ඇයි අම්මෙ, මොකුත් ප්‍රශ්නයක් ද?“
“තවම නෑ. හැබැයි ප්‍රශ්නයක් වෙන්න කලින් මං මේ කියන්නෙ, දැන් ඔය සුරංග ළමයත් එක්ක යන ගමන් බිමන් නවත්තන්න කියලා....“ යි කියූ අම්මා එතැනින් නික්ම ගියේ අපේ ඊළඟ ප්‍රශ්නයට මග අහුරාලමින් ය.
කාමරයට ගිය මාත් නංගීත් දෙතැනකට වී අම්මා කියූ දෑ ගැන සිතන්නට වීමු. අම්මා එසේ කිව්වේ මා දිගින් දිගටම සුරංගගේ හිතට බලාපොරොත්තු දීමෙන් ඔහුගේ අනාගතය අඳුරුවන නිසා විය හැකිය.
“අක්කට නොතේරෙන දේ අම්මට තෙරුනා. මෙහෙම ගියොත්, වැඩිකල් නොගොස් අම්ම කියනවා සුරංග අයියට මෙහේ එන්න එපා කියලා. එහෙම දෙයක් වෙන්න කලින් අක්ක මට උන පොරොන්දුව ඉෂ්ට කරන්න.“ නංගී නොනවත්වා කියාගෙන යද්දී මම නිහඬ වීමි.
“මං හිතනවා සුරංග අයියා මාව බඳනවට, ඔයා ඉරිසියා කරන එකක් නෑ කියලා.“
“නංගි! ඔයා කොහොමද ඔය දේවල් මට කියන්නෙ? මේ ටික දවසට, ඔයා හුඟක් වෙනස් වෙලා...“
නංගී ජනේලය අසලට ගියා. නොපෙනෙ අඳුරේ ඈ මොනවද සොයන්නට විය. මගේ සිත දුක් වළාවකින් වැසී යන්නට විය. හිත් කොනේ සැඟව ඇති දුක එළියට එන්න නොදී මම ආයාසයෙන් වචන ගොනු කරගත්තෙමි.
“මගේ කකුල් පණ නැති උනයි කියලා මගේ හිතත් පණ නැතිවෙලා නෑ නංගි. අද ගමන උනත් මට මග අරින්න උවමනාව තිබුණා. එහෙම කළානම්, සුරංග මේ ගමන නොයන බව මං හොඳටම දන්නවා. මට ඔයා ගැන කිසිම ඉරිසියාවක් නෑ. ඒත් දෙයියනේ.... පණවගේ මට ආදරය කරන කෙනෙකුට, මං කොහොමද එකපාරටම කියන්නේ මාව අත ඇරලා... මගේ නංගිව බඳින්න කියලා....“
“ඔයාට නැකත එනකොට වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා....“
නංගි සැරෙන් කියාගෙන කාමරෙන් පිටව ගියා. මගේ හිසට මහ බරක් දැනෙන්ට විය. සිතුවිලි දාමනකින් මගේ හිස අවුල් වී ඇතුවා සේ දැනේ. ඇයි මං නංගිට සුරංගව යාළු කරල දෙන්න පොරොන්දු උනේ? මගේ යටි හිතේ සැඟව ඇති යම් බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්නද? ඇත්තටම මට පුළුවන්ද සුරංගව අමතක කරන්න. මා අසනීප වූවාට පසු, සුරංග මට තවත් ළංව ඇතිවා සේ දැනේ. එසේය කියා තව දුරටත් ඔහු මා සන්තකේ තබගන්නට දරන උත්සහය කොතෙක් දුරට සාධාරණ ද? විවිධ සිතුවිලි අතරේ සිත අතර මං වී ඇති අවස්ථාවක අම්මා කාමරයට පැමිණියා. ඇය පුටුවක් ඇද ඉඳගත්තාය.
“ඊයෙ මං ටවුමට ගිය වෙලාවේ සුරංගගේ අම්මයි අක්කයි හම්බ උනා. සුරංග මෙහේ එනවට එයා දැන් කැමති නෑ.“
“ඇයි. අම්මට මොනවද කිව්වෙ.“
“සුරංග තවත් මෙහෙ එන එකේ වැඩක් නෑ කිව්වා. එයාව ආපහු පිටරටකට යවන්නයි එයාලගේ කල්පනාව.“ යි කියමින් අම්මා දිගු සුසමක් පිට කළා.
“දැන් ඒ ළමයා මෙහේ ආවා කියලා.... අපිට ඔයාව ඒ ළමයට කසාද බන්දලා දෙන්න බෑනෙ දුව. ඔයා ඒක ඒ ළමයට පැහැදිලි කරලා දෙන්න.“
අම්මා කියන කතාව සම්පූර්ණ ඇත්ත. සත්‍ය වැටහෙන්නේ දැනුයි. නංගිට උන පොරොන්දුව ඉෂ්ඨ කිරීමේ කාලය එළැඹ ඇත. සියලුම හැඟීම් දැනීම් මරා දමමින් මම දැඩි අධිෂ්ඨානයකට එළැඹුනෙමි.
* * * *
එදින සතියේ දිනයක් වූ බැවින් නංගී රස්සාවට ගොස් තිබුණි. අම්මා ටවුමට ගොස් සිටියේ ගෙදරට අවශ්‍ය බඩුවගයක් ගෙන ඒමටය. මම සුරංග ගෙනැවිත් දුන් පොතක් කියවමින් කාමරයට වී සිටියෙමි.
හදිසියේම සුරංගගේ මෝටර් බයිසිකලය ගෙමිදුලේ නවත්වන හඬ ඇසුනි.
තරු
මතුසම්බන්ධයි
වෙනදාසේම සිතට දැනුන අදහස කියල යන්න අමතක කරන්න එපා....
කතාව ඉතා ලස්සනට ගලාගෙන යනවා. දැං තමා හොදම හරිය..
ReplyDeleteස්තූතියි දේශක. ඔව් ඔව්..
Deleteදැන් කතාව උච්චම හරියට ඇවිල්ලා...මතනින එහාට වෙන දේ නොයෙක් විදිහට හිතෙනවා....
ReplyDeleteclimax එක අත ළඟ වගේ....
Deleteවටපිටාව සකස් වෙමින් තියන්නෙ "අක්කට" අවාසිදායක විදිහට. ඒත්.... බලමුකො අපි. කතාව නීරස නොවී දිහටම ලිවීමට ඔබේ ඇති හැකියාව ඉතා හොඳයි..
ReplyDeleteස්තූතියි චන්දන. තරඟෙන් දිනන්න පුළුවන් එක්කෙනාටයි.
Deleteඅපි කැමති සතුටුදායක අවසානයකට හොඳේ...බොලඳ වුනත් ආදර කතාවක් නම් එහෙමයි මම කැමති
ReplyDeleteසරලව කිව්වත් සම්භාව්‍ය ලෙස කිව්වත් ආදරය බොලඳයි බින්දි. ඒකනේ 60 පැන්න උගත් බුද්ධිමතුන් පවා ඒ බොලඳ ආදරය සොයාගෙන යන්නේ. ම්.... අවසානය නේද? බලමු මොනවා වෙයිද කියලා.
ReplyDelete