Thursday, February 6, 2014

නෙතු අද්දර - 24



“අත අරින්න. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.“
මම ජනෙල් කවුළුවෙන් ඉවත බලාගෙන පැවසුවෙමි. හදවත දවාලන තරම් දුකක් හිතේ එකතුවෙන බවක් දැනෙන්නට විය.
“අම්මෝ.... තියෙන සැර. අබ ටිකක් දැම්මනම් බැදගන්න තිබුණා.“
සුරංග එසේ විහිළු කරද්දී මට මා ගැනම ආත්ම අනුකම්පාවක් ඇතිවිය. මා දැන් අන්ත අසරණ තත්වයට පත්වෙලා නේද කියන හැඟීම මා සිත වෙලාගන්නට විය.
“ප්ලීස් සුරංග, මට මගේ පාඩුවේ ඉන්න දීලා ඔයාලා යන දිහාවක යන්න. එක අතකින් ඔයා හරි. ඔයාටත් හැමදාම මේ පව්කාර ගෑනිට කරගහන්න බෑනෙ. නංගිත් එක්ක යන්න මගේ තරහක් නෑ.“
මම වචන බැඳ ගත්තේ ආයාසයෙනි.
“මට සමාවෙන්න අමා. මං ඒ ගමනට ඔයාව එක්කගෙන යන්න බෑ කිව්වේ විහිළුවට.  මං දන්නවා ඔයාගේ හිත රිදෙන බව“

“එහෙම දැන දැනත් ඇයි ඒ හිත තවත් රිද්දන්නේ. ඔයාට දැන් මාව විහිළුවක් වෙලා සුරංග.“
මගේ හිත තුල මෙතෙක් වෙලා තෙරපි තෙරපි තිබූ දුක මහා ජල කඳක් සේ ගලායන්නට විය.
සුරංග වහා මගේ මුව ඔහුගේ සිරුරට සිරකර ගත්තා.
“අඬන්න එපා අමා. මං එච්චර දුරට හිතුවෙ නැහැ. මට සමාවෙන්න.“ යි කියමින් මගේ හිස සෙමෙන් පිරිමිදින්නට විය. මගේ හැඬුම තවත් වැඩි විය. මම හැකි වැර යොදා සුරංගව ඉවතට තල්ලු කළා.
“යන්න මෙතනින්. මං ඔය ගමනට එන්නෙ නෑ.“ යි සැරෙන් කීවෙමි. අනපේක්ෂිත ලෙස සිදුවූ දෙයින් විස්මයට පත්වූවාසේ සුරංග පසෙකට වී මද වෙලාවක් මා දෙස බලා සිටින්නට විය. අනතුරුව මද සිනහවක් මුවගට නගාගත්තේය. මට නංගිව මතක් විය. මේ ගමන මගහැරියොත් නංගිට හැකිවේවි සුරංග සමග යන්න.
“අමා, ඔයා දන්නවා මං වාහනේ අරන් එන්නෙ, ඔයාව කොහේ හරි එක්කගෙන යන්න කියලා.“
සුරංග දැඩි සංයමයකින් පැවසුවා.
“ඔයාට මාව එක්කගෙන යන එක දැන් බරක් විතරයි. සතුටක් විනෝදයක් නැහැ. නංගිත් එක්ක ගියානම් ඔයාට විනෝදෙන් ගමන ගිහින් එන්න පුළුවන්.“
“මේ අමා, ඔයා කැමති නැතිනම් මාත් එක්ක යන්න, මටත් ඕන නෑ. මම යනවා යන්න.“
සුරංග අමනාපෙන් කාමරෙන් පිටතට යන්නට විය.මට බැහැ ඒ හිත රිද්දන්නට.
“සුරංග“
ඉදිරියට එසැවුණු ඔහුගේ දෙපා ඉබේටම නතරය විය.
“අපි යමු“
සුරංග මා දෙස හැරී බැලුවා.ඒ දෑස් ආදරෙන් දිලිසෙන්නට විය. මෙවන් සොඳුරු අමනාපකම් කෙතරම් සුන්දර ද? දෙන්න දෙමහල්ලන්ගේ රණ්ඩු සරුවල් බත ඉදෙනකම් විතරයි කියලා කියමනකුත් තියෙන්නේ... ඒ සුළු ආරවුල දෙහදක ආදරයට අලුත් පණක් එක්කරන නිසා විය හැකි.
අපි තුන්දෙනා බහිරව කන්ද පාමුලට ගියෙමු. මම වාහනේ කවුළුවෙන් පිටත බැලුවෙමි. පෙර දින සිටි මල් අම්මා අද නැත. ඒ වෙනුවට හිටියේ මැදිවියේ පසුවන තැනැත්තෙකි. පෙර දින සුරංග එක්කලා මෙතනට ඇවිත් පඬි නැග ගොස් බුදුන් වැන්ද අයුරු සිතුවමක් සේ මැවී පෙනෙන්නට විය. ඒත් අද මේ පඩිනැගගෙන යන්නට මට බැරිය. මම වාහනයේ සිටම දෑත් එක්කර අහස් කුසට නැගි බුද්ධ ප්‍රතිමාවට නමස්කාර කළෙමි.
ඔක්කෝටම කලින් වාහනෙන් බැසගත් කේෂිණී අවට සිරි නරඹන්නට වූවා. ඇගේ සිත සතුටින් පිරී ගිහින්ය.
සුරංග වාහනේ කබීහෝල් එකෙන් පනාවක් ගෙන නිහඬවම කොණ්ඩෙ පීරන්නට විය. ගමන පුරාවටම සුරංගගේ මුවෙන් වචන දෙක තුනකට වඩා පිටවූයේ නැත. ඒකටත් එක්ක නංගී, වාහනේට නැග්ග වෙලේපටන් ගිරවියක් වගේ කතාව. කොණ්ඩෙ පීරා අවසන පනාව නැවත කබියට දැමූ සුරංග වාහනෙන් බිමට බහින්නට විය.
“ඔයාලා ගිහින් වැඳලා එන්න. මං මේකට වෙලා ඉන්නම්.“
නිහඩවම වාහනෙන් බැස්ස සුරංග වට පිටබලා නංගිට කතා කළේය.
“කේෂිණී...“
“ඇයි අයියෙ...“ ඈ වාහනය අසලට දුවගෙන ආවාය.
“මේ රෝද පුටුව එළියට ගන්න.“
මා සිටි ආසනයේ වූ දොර ඇරි සුරංග,
“කො, මගේ කරට අතක් දාගන්න.“
“අනේ සුරංග... ඔයා මේ මොකද්ද කරන්න හදන්නේ?“
“ඔයාව මළුවට එක්කගෙන යන්න.“
නංගී රෝද පුටුව ගෙන දිග හැර තැබුවා. මා දන්නා පරිදිනම් පඩිපෙළ හැර මළුවට යන්න වෙන මගක් නැත. ඔහුගේ ඉල්ලීමට එරෙහි විමට නොහැකි නිසා ඔහුගේ කරවටා අතදමා ගත්තෙමි. ඔහු ඒ දෑත් දෙකට මා ඔසවා ගත්තා. බෝමළුව තෙක් එක හීයට නැගගෙන ගියා. මගේ හිතට දරාගත නොහැකි දුකක් ඇති විය. මේ කොල්ලා අබ්බගාත ගෑනියෙකුට ඇයි මෙච්චරටම සලකන්නේ.  මං නිසා ඔයා කොච්චර වද වෙනවද රත්තරං. මළුවට ගියපසු කේෂිණී පුටුව දිග හැරිය පසු සුරංග මාව එහි ඉන්දෙව්වේය.
“පිං සිද්ධවෙනවා.“
මං සෙමින් මිමිණුවා. මගේ දෑතින් ඒ දෑත් පිරිමැදුනේ ඉබේටමය.
“රිදුනද?“
සුරංග අමුතු විදිහට මගේ දෑස් දෙස බලා මුවගට සිනහවක් නගා ගනිමින් හිස දෙපසට සැලුවේය.
“අක්කෙ සුරංග අයියා නිකං රැම්බො වගේ නේද?“
කේෂිණී සුපුරුදු ලෙස කෝමල ලෙසින් පැවසුවාය.
“මේ, මෙතනවත් පොඩ්ඩක් කට වහගෙන ඉන්නවද?“
සුරංග තරමක් දැඩි සවරයෙන් කේෂිණීට පැවසුවේය. ඔහු රෝද පුටුව තල්ලු කරගෙන වෙහෙර වටේට ගමන්කරන්නට වුණි.
“ආ අද නෝනත් එක්කගෙනම ඇවිත් තියෙන්නේ. අනිච්චේ දුක්කේ සංසාරෙක හැකි. මෙච්චර ලස්සන නෝන කෙනෙකුට වෙලා තියෙන අපරාදෙක මහත. මහත්තය නම් හැම සුමානෙම ඇවිත් පැන් කල හතකින් බෝධිය නාවලා දෙයියන්ගෙන් ඉල්ලා හිටිනවා නෝනව ඉක්මනට සනීප කරලා දෙන්න කියලා.“
අපේ ගමන් මග ඉදිරියට පැමිණි මැදිවියේ පුද්ගලයෙක් කියාගෙන කියාගෙන යන්නට උනා. සුරංග මං වෙනුවෙන් වෙහෙසෙන තරමින්ම මගේ හිතත් මොකද්දෝ මහ බරකින් පිරෙන්නට විය.
නුවර නගරය පෙනෙන තැනක රෝද පුටුව නතර කළ සුරංග,
“ඔය දෙන්නා මෙතනට වෙලා ඉන්න. මම නායක හාමුදුරුවෝ හම්බවෙලා එන්නම්.“
පරිසරය හරිම ශාන්තය. නිහඬය. සුදු අරලිය ගහේ මල් වැටිලා පලසක් සේ බිම රූ ගැන්වී ඇත.
“අක්කෙ...“
නංගී නිහැඬියාව බින්දාය.
“ඇයි නංගි?“
“සුරංග අයිය අක්කට තියෙන ආදරේ දැක්කම, එයා කවදාවත් මට කැමති වෙයි කියලා හිතන්න බෑ අක්කෙ.“
“නංගි“
“ඔව් අක්කෙ. මට වෙලාවකට ඔයා ගැන ඉරිසියත් හිතෙනවා. ඔයාට මේ ගමන නෑවිත් ඉන්න තිබ්බෙ.“ යි නංගි පවසන්නට වූයේ තරමක අමනාපයෙනි.

තරු
මතුසම්බන්ධයි

වෙනදාසේම සිතට දැනුන අදහස කියල යන්න අමතක කරන්න එපා....



12 comments:

  1. හ්ම්ම්.. අක්කගේ තෑග්ග නංගිට ගන්න බැරි වෙයි වාගේ.

    ReplyDelete
  2. මමත් හිතන්නේ අක්කට මේ ගමන නෑවිත් ඉන්න තිබුනා. එහෙම වුනානම් නංගිට තේරෙයි සුරංග එයාට ආදරේ කරයිද නැද්ද කියලා .....
    එක නවෙයි තරු කෝ පොත.....අපි මේ මග බලන් ඉන්නේ .

    ReplyDelete
    Replies
    1. අක්ක වෙනුවෙන් ආපු නිසා. එයා බැහැ කිව්ව නම් ගමන කැන්සල් වෙනවා. පොත නේද? ඒකට බාලගිරි දෝෂෙ. ගිය දෙසැම්බර්වල ඉඳන් පොත තවම එනවා. මාත් බලාගෙන ඉන්නවා අද එයි හෙට එයි කියලා. මොකද මුල්ම නව කතාව නිසා හිතේ ආසාවයි බලාපොරොත්තුවයි නිසා.

      Delete
  3. අක්කා නෑවිත් හිටියනං මේ කතාව මොකක් වෙයිද කියලයි මම හිතුවේ. කාර් එකේ ඉදගෙනම වැන්දේ බහින්න බැරි නිසාද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ගමන කැන්සල්. වාහනේ ඉඳන්ම වැන්ඳේ බහින්න බැරි නිසා. අමාලි නොහිතන්න ඇති සුරංග එයාව උඩහට ගෙනියයි කියලා.

      Delete
  4. සුරංග නංගිට කමතිවෙනවා කියල හිතාගන්නවත් බෑනෙ,අන්තිමට එහෙම වෙනව නේද.

    ReplyDelete
    Replies
    1. ම්..... කොහොමද එහෙම කිව්වෙ

      Delete
  5. Anonymous7/2/14

    මාර සිස්ටර්ස්ලා නේද :D

    ReplyDelete
    Replies
    1. එකගෙයි කෑම වගේ වෙයිද දන්නෙ නෑ

      Delete
  6. සුරංග වෙන කෙනෙක් බැන්දත් නංගිව බඳින එක නම් හරි නැහැ .

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත බින්දි. මාත් ඒක පිළිගන්නේ නෑ. ඒත් මොනවා වෙයිද කියලා කියන්න බෑ.

      Delete