එදා මට නිදි නැති රැයක් විය. මගේ සිතුවිලි අතීතයත් වර්තමානයත් අතර දෝලනය වන්නට විය. ඒත් අනාගතයක් ගැන සිතුනේම නැත. ඒ අනාගතය සුන්දර නොවන නිසා විය හැකියි. අනාගතය ගැන සිතීමට පවා මම බියවීමි. රෑ පහන්වනතුරු නේක සිතුවිලි අතරේ සැරී සැරූ මගේ සිත පියවි මගට ගත්තෙමි. මම අවදිවූයේ තීරණයකට එළැඹීමත් සමගය.
මම අවදිවන විට හොඳටම එළිය වැටි තිබුණි. මා හිතන්නේ පැයකට දෙකකට වඩා නින්දක් නොයන්න ඇති කියලා. නංගී නැඟිට ගොස් සිටියා. දැන් ඇය තමයි අම්මට උදව්ව කරන්නේ. ගෙදර වැඩ කරන්න ඉස්සර මෙන් දැන් ඇය කම්මැලි කරන්නේ නැත.
“අක්කේ ඔයා තාම නිදිද?“ ඈ මා අසලටවිත් මට තට්ටු කරමින් ඇසීය.
“ම්.... දැන් තමයි නංගි ඇහැරුණේ.“
“අක්කා ඉඳගන්න, මං අක්කව පුටුවෙන් තියන්නං.“
“ඊට කළින් ඔයා මෙතනින් වාඩි වෙන්න. මට ඔයාට උදේ පාන්දරම සුබ ආරංචියක් කියන්න තියෙනවා.“
ඈ මා අසලින්ම ඉඳගත්තා. මා ඇගේ අතකින් අල්ලාගත්තා.
“නංගි, මං ඔයාට පොරොන්දු වෙනවා... සුරංග අයියගෙ හිත ඔයාට අරං දෙනවා කියලා. හැබැයි, ඔයත් මට එක දෙයක් පොරොන්දු වෙන්න ඕන. මගෙන් සුරංග අයියට ලැබුණ ආදරේට වඩා ආදරයක් ඔයාගෙන එයාට ලැබෙන බව.“
මගේ මුවෙන් ඒ වදන පෙළ පිටවනවාත් සමග නංගිගේ මුහුණ උදේ පිපි පියුමක් සේ විකසිත වන්නට විය.
“තැන්ක් යූ අක්කේ....“ ඈ මගේ අත තරයේ අල්ලාගත්තා.
ඈයට වූ පොරොන්දුව ඉටුකරන්න මට යම් කාලයක් අවශ්‍ය බැව් කියා සිටියෙමි. ඒ කාලය තුල මට මගේ සිත හදාගත හැක.
* * * *
දවස් දෙකකින් සුරංග කතා කරේවත් ආවේවත් නැත. වෙනදට නම් ඔහු දවසක් ආවේ නැතිඋනොත් හරි කතා කළේ නැති උනොත් හරි මට ඉවසීමක් නැත. ඒ නිසා මා රෑවෙන්න ඇර ඔහුට කතා කරන්නට පුරුදුවී සිටියෙමි. ඒත් මෙවර සුරංග දැකගැනීමේ හෝ කතා කිරීම සඳහා ඇතිවුන ආශාව මම ආයාසයෙන් මැඩ ගත්තෙමි. ඒත් මෙසේ තව දවස් කීයක් සිටින්නද. ඇයි සුරංග කතා නොකළේ? මොකුත් කරදරයක්වත් ද? මගේ සිත මොරගායි. ඔව්, මම කතා නොකර නංගිව මේ සඳහා යොදාගත යුතුයැයි සිතාගත්තෙමි.
“නංගි... සුරංග අයියගෙන් කෝල් එකක්වත් ආවෙ නැහැනෙ. ඔයා රෑට කෝල් කරල බලන්න.“
අපේ මේ කතාබහ ඇති වූයේ අලිගැට පේර ගහයටදී ය. අපි දෙදෙනාම එහි සිට පොත් දෙකක් කියවමින් සිටින්නට වීමු. සුරංග පහුගිය දවසක මට ගෙනැත් දුන් භාවනා ක්‍රම අඩංගු පොත කියවා මෛත්‍රී භාවනාව කරන්න පුරුදුවීමි. ඉන් සිතට ගෙනෙන්නේ පුදුම සැනසීමකි, සුවයකි. මිතුරටසේම හතුරටද මෙයින් මෛත්‍රී කරන්න කියාදෙයි.
එකවරම වාහනයක නළා හඬක් ගේට්ටුව අසලින් ඇසෙන්නට විය. ඒ සුරංගගේ මෝටර් රථයේ නළාව බැව් මම හඳුනාගත්තෙමි. නංගී වහ වහා දුව ගොස් ගේට්ටුව ඇරියා. රථය අප අසලටම ඇවිත් නතර කළා. පසුගිය දවස් දෙකේ සුරංගගේ රුව නොදැකීමෙන් මා සිතේ පැන නගිමින් තිබූ සාංකාව සැනෙන් පහව ගියාක් මෙනි.
“කොල් එකක්වත් දුන්නේ නැති නිසා අපි ඒත් බැලුව මොකද කියලා.“
සුරංග රථයෙන් බහින්නටත් පෙර නංගි පැවසුවා.
“ඇයි ඔයාගෙ අක්ක වෙනදට නම් දවසක් කතාකළේ නැති උනත්.. කෝල් කරනවා. දැන් අපිව එපාවෙලාද කොහෙද.“
සුරංග නංගිට පිළිතුරු බැන්ඳේ ද රථය තුළ සිටමය. සුරංග මා දෙස බලමින් එසේ පැවසුවේ මුවගට සිනාවක්ද නගාගනිමින්ය. ඉන් මගේ හිතට ඇති උනේ දුකකි. මට සුරංගව අමතක වෙලා කියන්නේ, ඔහුට වඩා හොඳ කෙනෙක් මට හමුවී ඇති බව අඟවන්නටයි. ඒත් ඒ තුළ කුමක්දෝ උපහාසාත්මක බවක් සැඟවී ඇතැයි මට සිතේ. මට මා ගැනම අනුකම්පාවක් ඇති විය.
රථයෙන් බිමට බට සුරංග මා වෙත නෑවිත් එයට හේත්තු විය.
“කේෂිණී, අද අපි බහිරව කන්දට යමුද?“
සුරංග මා දෙස හොරැහින් බලා නංගීගෙන් ඇසුවා.
“හරි යමු. එතන හරි ලස්සනයි. ආ... එතකොට අක්කව කොහොමද එක්කගෙන යන්නේ?“
සුරංග එසේ අසද්දී, සැඟව තිබූ සුන්දර අතිතයේ මතක සටහන් මා සිතතුළ යළිත් අවදිවන්නට විය.
නුවර නගරයේ ඇති එකම අතිශය සුන්දර ස්ථානය මෙතන නොවේයැයි කාටනම් කිව හැකිද? සුරංග එහි යාමට යෝජනා කිරීමත් සමග ඒ මනරම් පරිසරය යළි දැකගන්නට මා සිතේ ඇතිවූයේ දැඩි ආශාවකි. මම සතුටු සිතින් සුරංගගේ මුහුණ බැලුවෙමි.
“අක්කට දැන් ඕවයේ යන්න බෑ.“
සුරංග නංගි දෙසම බලා දැඩිව පැවසීය. සුරංගගේ මුවින් මෙවන් වදනක් මා කිසිවිටකත් අපේක්ෂා නොකෙළෙමි. ඔහු මින්පෙර කෙදිනකවත් මෙවන් දෙයක් ප්‍රකාශ කර නැත. මගේ හදවත කඩා වැටුනාසේ දැණුනි. මහා මේරු පර්වතේට නගින්න ගියත් මාව එක්කගෙන යන ඔහු අද එසේ කීවේ ඇයි.
මා ඔහු ගැන සොයා නොබැලූ එකට මට රිද්දන්න හිතුවාවත්ද?. එසේ නැතිනම් ටිකෙන් ටික මගෙන් ඈත්වෙන්න හිතුවා විය හැකිද?. විවිධ සිතුවිලිවලින් මගේ සිත පීඩාවට පත්වෙද්දී, ඒ සිත අඳුරු වළාවකින් වැසීයනවා සේ දැනෙන්නට විය. දෙනෙත් බරවීගෙන එයි. මම වහා මගේ කාමරයට ගියෙමි. එකවර ඇද හැලෙන්නට වූ මොරසූරන වැස්සක් සේ, දෑසේ බරවී තිබුණ දුක ගලායන්නට විය. නංගී එකවරම කාමරයට ඇතුල් විය. මම ඇයට හොරා කඳුළු පිසදා ගත්තෙමි.
“අක්කත් එනවනම් කොච්චර හොඳද? සුරංග අයියා කැමති නැත්තේ අක්කට නගින්න බැරි නිසානෙ.“
එසේ කියාගෙන ඈ නාන කාමරයට ගියාය. ඒ සැනින් කවුදෝ යළි කාමරයට ඇතුළුවෙන බව දැණුනි.
නැවත වරක් නංගි පැමිණ ඇතැයි සිතූ නිසා මා ඒ දෙස බැලීමට උනන්දු නොවූයෙමි. එකවරම මගේ දෑස් දරදඬු අත්දෙකක සිරවුණි. නුහුරු අත්දැකීමක් වුවත් ඒ දෑත්වල හිමිකරු මම ඇඳින ගත්තෙමි.
තරු
මතුසම්බන්ධයි
වෙනදාසේම සිතට දැනුන අදහස කියල යන්න අමතක කරන්න එපා....
තරු දැන්නම් තරු පේනවා. බුද්ධියට අනුවනම් දෙදෙනාම් කලයුතු හොඳම දේ වෙන්වීම තමයි. මොකද පහුගිය ටිකේ පේන්න හිටියේ නැත්තේ. කොහොමද පොතේ විත්ති. ඒ වැඩේ පහුවුනාද?
ReplyDeleteමේක ප්‍රබන්ධයක් වුවත් ෆැන්ටසියක් නොකර යතාර්ථයක් කරන්නයි මං උත්සහ ගන්නේ. ඒකනෙ වැඩේ ඉවාන් ... මගේ පොතට බාලගිරි දෝෂෙ ද කොහෙද. ගිය මාසේ ඉඳන් පොත එනවා.
Deleteමට නං ඇහැ අහකට ගන්න බැරි උනා නේ අර උඩම දාපු රතු කිරිල්ලිගේ පින්තුරෙන්.. ඉද හිට දැක්කමත් සන්තෝසයි
ReplyDeleteෂෝයි නේද ඒ ගෑණු දැරිවි
Deleteදේශා........කටත් ඇරගෙනමද උඹ බලන් හිටියේ?
Deleteඅනේ වාසනාවන්... මාත් එහෙනං පිනක් කොරගත්ත දේශෝ...
Deleteපහුගිය ටිකේ ඇත්තටම මොකද උණේ? ඇත්තටම මම මේ වගේ සිද්ධි වලට කැමති නෑ. අපුරුවට ගලාගෙන ගිය ආදර කතාව මෙහෙම වෙනස් උනාම දරා ගන්න අමාරුයි.
ReplyDeleteපහුගිය කාලේ පොඩි ලියන වැඩක් කළා. ඒ නිසා බ්ලොග් එක පැත්තේ වැඩිය එන්න ලැබුණේ නෑ. එහෙනම් මල්ලි රෝමියෝ - ජුලියට කතාවටත් කැමති නැතුව ඇති. සමහරු සතුටට කැමතියි සමහරු විරහවට කැමතියි.
Deleteතරු කතාව වෙන පැත්තකට ගෙනියන්න උත්සාහ කරනවද මන්දා.. බලමුකෝ..
ReplyDeleteවෙනසක් කරන්න උත්සහ කරනවා දිනේෂ්. බලමු කොතෙක් දුරට සාර්ථක වෙයිද කියලා
Deleteහුඟ කාලෙකින්.....පොත අච්චු ගහන ප්‍රෙස් එකේ වැඩටවත් ගියාද? :D
ReplyDeleteඒක නම් ඇත්ත. ටික දවසක් එන්න බැරි උනා. පොත් කෙරුවාව එපා වෙනවා මෙච්චර කල්ගත්තහම. අපි ඉතිං පොඩි මිනිස්සුනේ ඒකයි.
Deleteකතාව කියෙව්වට කමෙන්ටුවක් දාන්න බැරි වුනා. අද කොටසට මන් කැමතියි. අවසානය හිතාගන්න බැරි විදිහට ගලා යනවා
ReplyDeleteඅවසානය අවිනිශ්චිත උනහම තමයි නිර්මාණයක් රසවත්වෙන්නේ. එහෙම නේද බින්දි? බලන්න බින්දි ඔයා මේ කොටසට කැමතියි. ඒත් පූ මලය කැමති නැතිලු.
Deleteමගෙ කමෙන්ට් එකක් ස්පෑම් වෙලා තියනවද බලන්න තරු...
ReplyDeleteෙකාමෙන්ට් ඒකක් නෙමෙයි කිහිපයක්ම ස්පෑම් වෙලානෙ. මං ඒවා ඒකතු කරා.
Delete