Wednesday, October 23, 2013

නෙතු අද්දර - 17



සුරංගගේ ද කැමැත්ත ලැබීමෙන් අනතුරුව පුවත්පත්වල පලවී තිබූ ඇබෑර්තු කිහිපයකටම ඉල්ලුම්පත් දැමීමි. ඊට පිළිතුරු වශයෙන් ආයතන දෙකකින් මට කැඳවීම් ලැබුණි. එකක සම්මුඛ පරීක්ෂණය නුවරම වන අතර අනෙක් සම්මුඛ පරීක්ෂණය සඳහා ගම්පහ යෑමට තිබුණි. සම්මුඛ පරීකෂණය සඳහා දී ඇති දින අනුපිළිවෙල අනුව නුවර දිනය මුලින්ම යෙදී තිබුණි. එම ආයතනය පිහිටා තිබුණේ සුරංගගේ හෝටලය ආසන්නයේය. මල් වැටුණු ඔසරියක් ඇඳ සුරංග සමග මම සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලබන ආයතනයට ගියෙමි. පරීක්ෂණය සඳහා අයැදුම්කරුවෝ විස්සක් පමණ පැමිණ සිටියහ. මා සිටියේ හත්වෙනියටය. මාත් සුරංගත් ගොස් ඇතුල්වන ශාලාවේ අසුන් ගත්තෙමු.

“ඔයාව නම් ෂුවර් එකට තේරෙනවා.“ යි සුරංග පැවසුවේ වට පිට බලමින්ය.

“ඒ කොහොම ද?“

“බලන්නකෝ අනිත් අයගෙයි ඔයාගෙයි අතර වෙනස. ඔයා විතරයි උඩරට විදිහට සාරි ඇඳලා ඉන්නේ. ඒ නිසා ඔයාව හොඳට කැපිල පේනවා. ඒ විතරක් ද ඔයාගෙ නොම්බරෙත් ලකී සෙවන්නෙ.“

සුරංග එසේ කියද්දී මගේ සිතට බලාපොරොත්තු සහගත සතුටක් ඇති විණ. මට පෙර ගිය එක් කාන්තාවක් සම්මුඛ පරීක්ෂණය අවසන් වී පැමිණ අප අසල ඉඳගත්තාය. ඈ අසල සිටි අනෙක් අපේක්ෂිකාව ඈ සමග සම්මුඛ පරීක්ෂණයේ විස්තර අසන්නට විය. මා ද සෙමෙන් එම සංවාදයට සවන් යොමු කරවිය.

“මොනවද ඇහැව්වෙ.?“

“වැඩිය මොකුත් ඇහැව්වෙ නෑ. මගේ සර්ටිෆිකට්ස් ටික දැක්කම එයාලට අහන්න දෙයක් ඉතිරිවෙන්නේ නැතිව ඇති.“ යී ඈ පැවසුවේ ආඩම්බරය කැටිවූ සිනාවක්ද සමගිනි.

“ඉතිං එයාලා ඔයාව තොරගත්ත ද.?“

“කතාකරපු විදිහට නම් මාව තේරෙයි කියලා හොඳ ෂුවර් එකක් තියෙනවා. දන්නලා එවනව කිව්ව.“

“හැමෝටම දෙන්නෙ ඔය උත්තරේනෙ.“ යි අනෙක් තරුණිය පවසන විට ඇගේ මූණ ඇඹුල් විය. ඔවුනගේ දෙබසට සවන් යොමාගෙන සිටි සුරංග මා දෙස බලා උපහාසාත්මක සිනවක් පෑවා. ඇගේ එම වදනට පිළිතුරු නොබැන්ඳ තරුණිය එතැනින් පිටව ගියාය. මගේ වාරේ පැමිණෙන තුරු තව මද වේලාවක් එතැන රැඳී සිටීමට සිදුවිය.

“හල්ලෝ.... මචං සුරංග. මේ කොහෙද?“

අප අසලට පැමිණි තරුණයෙක් සුරංගගේ අතකින් අල්ලාගෙන විමසුවේය. ඔහුගේ ආමන්ත්‍රණ විලාසය අනුව කාලෙට පසු දෙදෙනා හමුවූ බවකි ඇඟවෙන්නේ. සුරංග මාව තම මිතුරා වූ කෝසලට හඳුන්වා දුන්නා. කෝසල මගේ අංකය රැගෙන එතැනින් නික්මුණා. සුළු වෙලාවකින් මගේ වාරය එළැඹියෙන් පරීක්ෂණය පවත්වන කාමරයට සහතික පත් ඇති ෆයිල් කවරය ද සමග ඇතුල් වූයෙමි. පිටත විදුලි පංකා සවිකර තිබුණද කාමරය වායුසමීකරණය කර තිබුණි. එහි සීතල මට වැඩියෙන් දැනෙන්ට විය. එය සමහර විට මා සිතෙ හට ගෙන ඇති තිගැස්ම නිසා විය යුතුය. වටකුරු හැඩයක් ගත් මේසයක් ඉදිරිපසින් පිරිමින් දෙදෙනෙක් සහ එක් කාන්තාවක් අසුන්ගෙන සිටිති. මොවුන්ගෙන් එක් පිරිමියෙක් තරුණයෙකු වූ අතර අනෙක් දෙදෙනා මැදිවීයේ අය වූහ. මම ඔවුනට ආචාර කර අසුනේ හිඳගත්තෙමි.

“මිස් අමාලි කන්නංගර“ මැදිවියේ පරීක්ෂක මගෙන් ඇසීය.

“ඔව් සර්.“

මගේ පිළිතුරට හිස සෙමෙන් සැලූ හෙතෙම මගේ සහතික පත් ඉල්ලා සිටියේය. ඔහු සහතිකපත් පරික්ෂාකරන අතරේ කාන්තාව මගෙන් ප්‍රශ්න කිහිපයක් අසන ලදි. ඔවුහු සහතික පත් බලමින් කඩදාසියක මොන මොනවදෝ සටන් කරගන්නට විය. අනතුරුව ෆයිල්කවරය වසා මගේ අතට දෙනගමන්,

“මිස් අමාලිට පුළුවන්ද පළවෙනිදා ඉඳන් වැඩට එන්න.?“

“පුළුවන් සර්.“

“හොඳයි අපි ඔයාව අපේ කම්පනි එකේ රස්සාවට ගන්නවා. එහෙනම් පළවෙනිදා ඉඳන් වැඩට එන්න.“ කියමින් තිදෙනාම මගේ අතගෙන සුභ පැතූහ. මං පිනාගිය සතුටෙන් පිටතට පැමිණියෙමි. සුරංග පෙනෙන්නට නැත. මම එළියට ගියෙමි. ඔහු හෙවනකට වී කෝසල සමග කතාකරමින් සිටිනු දුටු මා ඔහුවෙත දිවගියේ සුභ ආරංචිය ඔහු හමුවේ තැබීමටය.

“හරි නේද වැඩේ. කවද ඉඳන්ද එන්න කිව්වේ?“

“පළවෙනිදා ඉඳන්.“

“උඹට ගොඩක් ස්තූතියි. රස්සාවක් කරනවට මගේ නම් එච්චර කැමැත්තක් නෑ. කොහෙද, කියන දෙයක් අහන්නෙ නෑ නෙ.“

“එහෙම තමයි ගෑනියෙක් උනත් ස්වාධීනත්වයක් තියෙන්න ඕන. නැත්නම් වෙන්නේ හැම එකටම මිනිහගෙන් සල්ලි ඉල්ලලා පිංසෙන්ඩු වෙන්න. නැද්ද අමාලි.?“ යි කෝසල තම අදහස් ප්‍රකාශය අවසානයේ මගෙන් ඇසීය. පිළිතුරු දෙනවා වෙනුවට මද සිනහවකින් සංග්‍රහ කළෙමි.

අපි කෝසලට නැවතත් ස්තූති කර එතැනින් පිට වුණෙමු. එතැනින් පිට වූ පසු සුරංගගේ මුහුණේ තිබුණ සිනහව වියැකී ගොස් මුහුණේ වෙනස්ම ඉරියව්වක් සටහන් විය. එය මා සිතට එක්කලේ මහත් ප්‍රහේළිකාවකි.

“ඔයාගේ අනිත් ඉන්ටර්විව් එක තියෙන්නේ කවදද?“

“විසි අට වෙනිදා. ඒකට ගම්පහ යන්න තියෙනවා. දැන් ඉතිං ඒකට යන්න ඕන නෑ නෙ.“

“ඔයා ඒකටත් යන්න.“

සෑම දෙයක්ම සිතුවටත් වඩා හොඳින් සිදුවීම ගැන මා අපමණ සතුටකින් සිටිය දී සුරංගගේ හදිසි වෙනස්වීම මට තේරුම් ගැනීමට නොහැකි විය. ඔහු එසේ පවසද්දී මම කුතුහලෙන් ඔහුගේ මූණ බැලුවෙමි.

“ඔය කෝසලය හරි කුකුලා. ඇහැට කනට පේන කෙල්ලෙක් හම්බඋනොත් කොහොම හරි ඇම දානවා.“

කෝසල දෙස බැලූවිට නම් ඔහු එවැනි පුද්ගලයෙක් යැයි නිකමටවත් නොසිතේ. සුරංගගේ හෝටලයටත් ළඟ නිසා මම එහි රැකියාව කරන්න දැඩි ආශාවෙන් සිටියෙමි.

            “ඔයාව දන්න නිසා මං හිතන්නෙ නෑ කෝසල මට එහෙම කරයි කියලා.“

“මිනිහට යාළුවයි නෑදෑයයි කියල වෙනසක් නෑ අමා. මම මිනිහ ගැන හොඳට දන්නවා. ඒ නිසා ඔය රස්සාවට යන්න ඕන නෑ.“

සුරංග ස්ථීර හඬින් පැවසුවේය. මා නිරුත්තර විය. ඉෂ්ඨ කරගැනීමට ආශාවෙන් සිටි බලාපොරොත්තුව උපන් ගෙයිම මරා දැමීමට සිදුවිය.

නිවසට පැමිණි මා කෝසලගේ ර ෑපය මවාගැනීමට උත්සහ දැරීය. පැහැයෙන් සුරංගට වඩා තරමක් කළු වූවත් සුරංගට වඩා කඩවසම් යයි සිතේ. ඔහුට ඇත්තේ කායවර්ධනය කරන අයෙකුගේ සිරුරකි. මේ නිසා තරුණියෝ ඔහුට වසඟ වනවා ඇති. මට නම් මාව විශ්වාසය. ඒත් දැන් මේ කිසිවක් සිතා පලක් නැත.


මතුසම්බන්ධයි

තරු

 
වෙනද වගේම අදහසක් තියල යන්න අමතක කරන්න එපා

(ඡායාර ෑප අන්තර්ජාලයෙන්)

6 comments:

  1. සැකය පැනලා.. හැබැයි ඉතිං දන්න මිනිහා කියන කතාව ඇත්ත වෙන්නත් පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ප්රවේසම්වීම ඇඟට ගුණයි නෙ

      Delete
  2. ඔන්න තත්වේ ...තරු ඕක තමයි තමන්ගේ කෙල්ල රස්සාවකට යන්න හදකොට හැම කොල්ලටම එන හැගීම. ඒත් අවබෝධය තියෙනවනම් ප්‍රශ්න ඇතිවෙන්නෙත් නෑ , යන්න හිතුනොත් වළක්වන්නත් බෑ

    ReplyDelete
    Replies
    1. ඉවාන්ගේ අදහසට මං එකඟයි. අවබෝධය ගැටුම් වළකාලයි.

      Delete
  3. සුරන්ගට කොසලට වැඩිය අමාලි සැකයි නෙ.
    හය හතර

    ReplyDelete
    Replies
    1. අහා.... ඇයි එහෙම කියන්නේ?

      Delete