Friday, May 17, 2013

නෙතු අද්දර - 05




එකවරම සෙල්ලම නතර කර කේෂිණී මා අසලට දුව ආවාය.


“ඒක නෙමෙයි අක්කේ.....“


“ටොම් කෘෘස්ගෙ ලස්සන ෆිල්ම් එකක් ඇවිල්ල තියෙනවා. යමුද බලන්න?“


“කොහේටද?“


“කටුගස්තොටට.“


“පස්සෙ බලමු.“


“අනේ මන්ද, අක්කට මොනව වෙලාද කියලා. ඔන්න මං කොළඹ යන්න ඉස්සෙල්ලා යන්නම ඕනෙ. නැත්නම් මං තනියම ගිහින් බලනවා.“


නංගිගේ මුරණ්ඩු කතාවට මට තරහා ගියේ ය.


“තනියම! ඔයාට පිස්සු ද? ගෑනු ළමයි තනියම ෆිල්ම් බලන්න යන සිරිතක් නෑ“


“ඒකනේ මං අක්කට කතා කළේ.“


“හරි හරි මං එන්නං. මොකද්ද ෆිල්ම් එකේ නම?“


“වෝ ඔෆ් ද වර්ල්ඩ්“


මා යන්න කැමැත්ත ප්‍රකාශ කළ විට නංගිගේ මුහුණ සතුටෙන් ඉපිල යනු පෙනුණි.


***                  ***                  ***                  ***


කේෂිණි නංගි උදේන්ම කොළඹ බලා පිටත්ව ගියා ය. අප්පච්චී ඇයව බස් නැවතුම්පොළට ගොස් බැස්සුවේ ය. දැන් නිවසේ ඉතිරිව ඇත්තේ අප්පච්චීත්, අම්මාත්, මාත් පමණි. අක්කා ගියපසු ඇති වූ හුදකලාව නංගි පිටව යෑමත් සමග වැඩිවන්නට විය. හිතට සහ ගතට අමුතුම සාංකාවක් මෙන්ම වේදනාවක් දැනෙන්ට විය. ඇඳට ගිය මම හිසේ සිට පාදාන්තය දක්වා පොරවා ගත්තෙමි.


“මද්දූ...... මේ මොකද මහ දවල් නිදාගන්නෙ. නැගිටින්න නැගිටින්න.“


“අනේ අම්මේ තව ටිකක් මෙහෙම ඉන්නම්.“


“අනේ මන්දා. මේ ළමයි ගියහම මුළු ගේම පාළුයි.“ යි පවසමින් අම්මා කාමරෙන් පිටව ගියා ය. මට එහෙම්මම නින්ද ගොස් තිබුණි. දවල් කෑමද නොගෙන මා නිදාසිටින බව දැනගත් අප්පච්චී, ඒ ගැන අම්මාගෙන් විමසන හඬත් සමග මට ඇහැරැණි. මා ඇඳේ ඉඳගන්නට උත්සහ දැරැවත් අතපය තලා දාලා වගේ රිදුම් දෙන්නට විය.


“දවල්ට තවම කෑවෙ නැහැනෙ. නැගිටලා එන්න කන්න.“ යි අම්මා කාමරයේ දොර රෙද්ද මෑත් කර පැවසීය.


“බෑ අම්මා. මං පස්සෙ කන්නං“


“එහෙම කියලා හරියන්නෙ නැහැනෙ. අප්පච්චි ආවොත් බැනුම් අහගන්නයි වෙන්නේ.“


“අම්මා බලන්න මගේ නළලට අත තියලා.“


අම්මා පැමිණ මගේ නළලටත් බෙල්ලටත් පිටි අල්ල තබා බැලුවාය.


“දෙයියනේ..... සහලවල උණ.“


අම්මා කාමරයේ සිට දිවගියේ නිසැකවම අප්පච්චීට මේ පුවත සැලකර සිටීමට ය. මා අසනීප බව දැනගත් විට අම්මාට වඩා අප්පච්චී කලබල වනු ඇත. ඒ ඔහුගේ ස්වභාවයයි. අප්පච්චී තම දරැවන්ට දැඩි සේ ආදරය කරයි. ඒ ආදරයේ පල වැඩිවශයෙන් නෙලා ගත්තේ මාත්, ලොකු අක්කාත් ය.


 


වෛද්‍යවරයා වෙත ගිය විට ඔහු මගේ දෑස් ඇඟිලි තුඩින් පහත් කර පරික්ෂා කර බැලූ පසු දිව එළියට දමන්නට කියමින් ද පරික්ෂාකර බලන්නට වූයේ ය. සියලු පරික්ෂණ අවසන් වූ පසු තුණ්ඩු කැබැල්ලක් ගෙන මොන මොනවදෝ ලියාගෙන යන්නට විය.


“කෑම රැචියක් නැති නම් මෙන්න මේ බෙහෙත ගන්න. පැරිසිටමෝල් දුන්නම උණ බැහැල යාවි.“


 


අප්පච්චී මුදල් ගෙවා පැමිණි පසු අපි නිවෙස බලා යන්නට බසයට ගොඩ වුණෙමු. බස් නැවතුමට එන අතරමග අප්පච්චී පලතුරැ වෙළෙන්දෙකුගෙන් අන්නාසි ගෙඩියක් මිලදී ගත්තේ මා වඩාත් කෑමට ප්‍රිය  කරන පලතුරැ වර්ගය වන බව දන්නා නිසා ය. පෞද්ගලික බසයක් වූ මෙහි කොන්දොස්තර උගුර ලේ රහ වෙනකම් බෙරිහන් දෙයි.


“හරියට ටින් එකකට සාඩින් පැක් කරනවා වගේනෙ මේකට සෙනග පටව ගන්න හදන්නේ. ෂිහ්, සීටීබී බස් එකක්වත් තිබුණ නම්...“ යී අප්පච්චී පැවසුවේ බලා සිට හෙම්බත්ව ඇති නිසාය. ඔය අතරේ දෑස් අන්ධ මනුස්සයෙක්, එක් අතකින් රබානක් ද අනෙක් අතින් සුදු සැරයටියක් ද ඇතිව බසයට ගොඩ විය. ඉසයේ දොරටුව අසල හිටගත් ඔහු රබාන ගසමින් තමාගේ දුක්ගැනවිල්ල වේදනාබර හඬින් ගායනා කරන්නට විය. ඒ හඬෙහි ඔහුගේ දුක්බර ජීවිතය කියවෙන බවක් මට දැනුණි. විරිදු ගායනය අවසන් වූ පසු රබාන අනෙක් පස හරවා බසයේ සිටින මගීන් අතරට යමින් ජීවිතය යදින්නට විය. මම ද පසුම්බියෙන් ගත් රැපියල් දහයේ නෝට්ටුවක් රබාල තුළට දැමුවෙමි.


“ඇස් පේන්නෙ නෑ කියල බොරැවට රඟපාන හිඟන්නොත්  ඉන්නව.“


“දැන් හිඟාකන එකත් හොඳ බිස්නස් එකක්.“


අපේ ආසනයට පිටුපසින් සිටි මගීන් දෙදෙනා එසේ කතා කරනු මට ඇසෙයි. එහෙත් මට නම් ඔහු වංචාකාරයෙක යන හැඟීම කිසිසේත් දැනුනේ නැත. මා සිතේ ඔහු කෙරෙහි විශාල අනුකම්පාවක් ඇති විණ. තරැණ ජීවිතයක් අකාලයේ අඳුරට බිලි වී ඇත. මුදල් එකතු කරගත් පසු අපහසුවෙන් බසයෙන් බසිනු බලා සිටි මගේ දෑසට අසු වූයේ හුරැපුරැදු රෑපයකි. බසයට නැග වට පිට බැලූ සුරංග අප සිටිනු දැක අප වෙතට ආවේ ය.


“මාමෙ කොහෙද මේ?“


“දුවව දොස්තර ගාවට එක්කගෙන ආවා.“


“ඇයි මොකද්ද අසනීපෙ?“


“අක්කල නංගිලා නැති සාංකාව. ඒක නෙමෙයි පුතා අද බස් අඩු මොකද?“


“මේ... මොකද්ද වර්ජනයක්.“


“මේ විදිහටනම් අපේ රටේ ගමනා ගමනය කවදාවත් දියුණු වෙන්නේ නෑ පුතා. මගියෙකුට ඩ්‍රයිවර්ගේ කන ගාව කිඹුහුමක් ගියත් මුන්ට වර්ජනේ. මගීන්ව අපහසුතාවයට පත් කරන, මේ වගේ විනය පිරිහුණ බස් සේවයක් වෙන කිසිම රටක නැතුව ඇති.“


 


අප්පච්චිගේත් සුරංගගේත් කතාව අතරේ බසය ගමන් ආරම්භ කළේ ය.


 


සුරංගගේ නිවස අපේ නිවසට කලින් පිහිටා තිබෙන නිසා, නිවස අසල බස් නැවතුමෙන් බැසගත් සුරංග ජනෙල් කවුළුවෙන් බලා අතක් වනා අප දෙදෙනාගෙන් සමු ගත්තේය. අක්කගේ මගුල් ගෙදර පැමිණියාට පසු කිහිප වතාවක් සුරංගව මුණ ගැසී ඇතත් මා සමග වචන කිහිපයකට වඩා කතා කර නැත. ඔහු හිතා මතා මා මග හරින්ට වෑයම් කරන බවක් මට හැඟේ. එකල අප දෙදෙනා අතර පැවති මිත්‍රත්වය බැඳීම හමුවේ දැන් සුරංග මාව මග හැරීමට උත්සහ ගන්නේ ඇයි ද කියා මට සිතා ගත නොහැක. ඔහු එසේ කරන නිසාදෝ මගේ සිතේ ඔහු ගැන මතකය නිරන්තරයෙන් අවදිවන්නට විය.


 


නිවසට ගොඩ වූ මා කෙලින්ම පා නැගුවේ මගේ කාමරයට ය. අප්පච්චී සියලු තොරතුරැ අම්මට කියනු ඇසේ. මේසය මත වූ වතුර ජොග්ගුවෙන් කෝප්පයක් පුරෝගත් මා එය එක හුස්මට බීගෙන ගියෙමි. ඉක්බිති ඇඳ සිටි ඇඳුම් ගලවා සැහැල්ලු ඇඳුමක් ඇඟලාගත් මා ඇඳට ගොඩවූයේ පැය ගානක් බසයේ තැම්බි තැම්බි පැමිණි තෙහෙට්ටුව නිසාය.


4 comments:

  1. අද කතාව වෙන වෙන දේවලට වැඩිපුර ගිහින්. බස් එකේ ඉදන් තමා වෙනස දැනුනේ. ඉක්මනට ඉතුරු ටිකත් දාන්නෝ.

    ReplyDelete
  2. මං හිතන්නෙ නැහැ ඒ කොටස අනවශ්‍යයි කියලා. මොකද සුරංග සීන් එකට එන නිසා. ස්තූතියි පූමා අදහසට. "බස් එකේ ඉදන් තමා වෙනස දැනුනේ" කියල සඳහන් කරන්නෙ කුමක්ද කියා මට හරියට තේරැණේ නෑ.

    ReplyDelete
  3. ඔය කොල්ලත් හෙමින් හෙමින් එන්නෙ කතාවට. :)

    …ලස්සන කොටසක්. බොහොම කැමත්තෙන් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන. මං මේක කාලෙකට පෙර ලියපු කතාවක්, නව කතාවක් විදිහට පල කරන්න හිතාගෙන. පස්සෙ අදහස අත් ඇරගත්ත. බ්ලොග් එක හැදුව නිසා ඒකට දාන්න හිතුවා. පූමා කියලා තියෙනවා කතාව පිට පැනලා කියලා. මටත් හිතෙනවා ඒක ඇත්ත කියලා. පොතකට වගේ නෙමෙයි බ්ලොග් එකකට අතුරැ කොටස් උවමනා නැහැ කියලා. ඉතිං මං කොටස් ඉවත් කරමින් තමයි ඉතිරි කොටස් පලකරන්න හිතාගෙන ඉන්නේ.

      Delete