Wednesday, May 1, 2013

නෙතු අද්දර - 03


‘‘මොනවද ඔය කරැවලේ කරන්නේ.... භාවනා කරනව ද?‘‘
අඳුරෙම මා ඉදිරියේ ඇසුණු හඬින් තිගැස්සුනෙමි.
‘‘කාඩ් ගහල ඉවරද?‘‘
‘‘අයියලානම් තවම සෙල්ලම් කරනවා. මං දැන් ගෙදර යන්න කියලා. අම්මයි අක්කයි විතරනේ.... එහෙනම් අමා මං ගිහින් එන්නම්.‘‘
‘‘සුරංග අපේ අක්කගේ හෝම් කමින් එකට එනව නේද?‘‘
‘‘ආරාධනාව පිළිඅරගෙන තියෙන්නේ. ඉතිං එන්නම වෙනවා.‘‘
සුරංග මද සිනහවකින් සංග්‍රහ කරල පිටව ගියේය. මා ඔහු අඳුරේ නොපෙනී යනතුරැම බලාන හිටියා. අඩි බරකරමින් සුරංග ඇවිදින ආකාරයේ මොකද්දෝ සුන්දරත්වයක් තිබුණි.
අප්පච්චී නිවසේ සිට එළියට ආවා. ඔහුත් අඳුරේ ඉදිරියට ගමන් කරන සුරංග දෙස බලා සිටින්නට විය. හදිසියේම සිරිපොදක් ඇද හැලෙන්නට වූයෙන් මම ගෙතුළට  ගියෙමි. අම්මාත්, ලොකු අම්මාත්, නැන්දාත් කාමරේට වෙලා දෙවෙනි ගමනට රැගෙන යා යුතු කළමනා සූදානම් කරමින් සිටිති. ජයනාත් අයියා අක්කා වෙනුවෙන් කවදාවත් දෑවැද්දක් ඉල්ලුවේ නැත. ඒ උනත් අක්කට දෙන්න කියලා  අලුතෙන්ම සාදන ලද යුගල ඇඳක් සහ අල්මාරියක් කාමරයේ තබා තිබුණා. අලුත් පිටම නිසා ඒවායින් හමන පොලිෂ් සුවඳ නහයට ප්‍රියතාවයක් ගෙන දෙයි. කාමරේ දැල්වෙන විදුලි පහනේ එළියට දිලිසෙන අල්මාරිය අසලට ගිය මා එය සෙමෙන් පිරිමදින්නට විය.
‘‘ඊළඟට අක්කේ අමාලි දුවට තමයි අල්මාරි හදවන්න වෙන්නේ....‘‘
කවදත් කටකාර කතා කියන නැන්දා... අපේ අම්මාට එසේ කියා මා දෙස බලා ඇසක් ඉඟි මැරැවා.
‘‘නැන්දලා හදන්නේ මාවත් ඉක්මනට අමාරැවේ දාන්න ද? මට එච්චර හදිස්සියක් නෑ....‘‘
‘‘ගෑනු ළමයි දීග යන්න පරක්කු වෙන්න හොඳ නෑ.‘‘
ලොකු අම්මා ද නැන්දාගේ කතාවට පෝර දමන්නට වුණා. තව දුරටත් එතන රැඳී සිටියොත් නැන්දලාගේ අවවාද අනුශාසනා අහන්නට වන නිසා මා එතැනින් නික්ම මගේ කාමරයට වැදුණා.
***                  ***                  ***                  ***
පිරිත් දෙසුමක් මහ හඬින් ඇසෙන්නට වූයෙන් මං වෙලාව බැලුවා. පාන්දර පහ පසු වී විනාඩි විස්සක් ලෙසින් එහි සටහනව තිබුණා. නිවසේ වැඩිහිටියන් සියලු දෙනාම අවදි වී ඇති බව ඔවුන්ගේ කටහඬවල් ශ්‍රවනය වීමෙන් මට දැනුණා. මගේ දෑස් අක්කා නිදාගන්නා ඇඳ දෙසට යොමු වුණි. අක්කා වෙනුවට අද එහි නිදා සිටින්නේ කේෂිනී. ඇය හිසේ සිට පාදාන්තය දක්වා පෙරවගෙන නිදිය. දෑසින් නිදිබර ගතිය පහව ගියත් නැගිටින්න හිත දෙන්නේ නැත. හිතටයි ගතටයි මහා අලසකමක් දැනේ. තවත් ටික වෙලාවක් නිදා ගැනීමේ අරමුණෙන් ඇඳේ අනෙක් පැත්තට හැරී දෑස් පියාගත්තෙමි. ඒත් නින්ද නම් අහලකටවත් එන්නේ නැත. මට අක්කා සිහි විය. අක්කා හරිම වාසනාවන්තයි. ජයනාත් අයියා හරි හොඳ කෙනෙක් අද කාලේ ඒ වගේ පිරිමි හොයාගන්න එක ලේසි නැහැ. සිතුවිලි අතරේ සිටින විට එකවරම කාමරේ විදුලි පහන දැල්වුණි.
‘‘මද්දු නැගිටින්න. අනේ අනේ... මෙයා ගුලිවෙලා හොඳටම නිදි. පොඩි දුව නැගිටින්න....‘‘
‘‘අයියෝ.... අම්මා තව ටිකක් නිදාගන්න දෙන්නකෝ....‘‘
‘‘එහෙනම් ඔයා ගෙදරට වෙලා ඉන්න. අක්ක ඇහැව්වහම මං කියන්නම් නංගිට අක්කව දකිනවට වඩා නින්ද ලොකු උනා කියලා, ආන්.... ගෙදරට වෙලා නිදි කියලා.‘‘
අම්මා නෝක්කඩු ස්වභාවයෙන් එසේ කියද්දී අපි දෙදෙනාට තව දුරටත් නිදාගන්නට බැරිවිය. පානදුරේට යැමට ඇති නිසා අපට උදේන්ම ගෙදරින් පිටවීමට සිදුව ඇත.
විගසින් මූණ කට සෝදාගත් මා පෙර දින සූදානම් කර තිබූ තැඹිලි පාට සාරිය අඳින්නට විය. ගමනට සූදානම් වීම පිණිස කාමරයට පැමිණි නංගී අල්මාරියෙන් ගත් දිග කලිසමක් අඳින්නට වූවාය.
‘‘මොකද්ද නංගි ඔය ඇඳුම? මඟුල් ගෙවල්වලට ඕවත් අඳිනවද? ඇරත් අපේ අක්කගෙ මගුල් ගෙදරට....‘‘
‘‘ඇයි මොකද්ද මේකෙ ඇති වැරැද්ද? කොළඹ ස්ටයිල් එක මේක තමයි. බලන්න අපේ අක්කත් මොඩ් වෙන හැටි.‘‘
නංගිගේ ඇඳුම කෙරෙහි මගේ හිතේ අප්‍රසාදයක් ඇති වුවත්, ඒ සම්බන්ධව දිගින් දිගටම වාද කිරීමට මෙය අවස්ථාවක් නොවන නිසා මම නිහඬ වුණෙමි. අක්කගේ ‘හෝම් කමින්‘ එක තිබුණෙත් ඔවුන් මධු සමය ගත කළ හෝටලයේ මයි. අපි පානදුරේ පිහිටි හෝටලයට යන විට දවල් එකොළහ පමණ වී තිබුණි. අක්කල නැවතී සිටිය හෝටලය ගඟක් මැද්දේ තිබුණේ. පස්සෙයි මං නම දැගත්තේ බොල්ගොඩ ඇළ කියලා. ඇළෙන් එගොඩ වෙලා යන්න තිබුණ නිසා හෝටලයට එන අමුත්තන්ව රැගෙන යන්න මෝටර් බෝට්ටු සේවයක් යොදවා තිබුණා. ඒක බාල තරැණ අයට අපූරැ අත්දැකීමක් උනා. ඒත් අපේ අම්මල නැන්දලනම් බෝට්ටුවලට නගින්න බය උනා මොකද ඒව පැද්දෙන නිසා.
‘‘අපේ මස්සිනාකාරයටත් හනිමූන් යන්න වෙනතැනක් තිබුණෙම නැද්ද මන්ද මෙතනම තෝර ගන්න.‘‘
අයියා එසේ කියන්නට වූයේ අනෝමා අක්කට බෝට්ටුවට නගින්න අත දෙන ගමන්ය.
රතු සාරියකින් සැරසී සිටි අක්කගේ මූණ අප දැකුමෙන් රෝස මලක් සේ විකසිතවන්නට විය. මාත් නංගීත් ඇය අසලට දිව ගියෙමු.
‘‘කොහොමද නංගි?‘‘
‘‘ආ.... අපියි අක්කගෙන් කොහොමද කියල අහන්න ඕනෙ. නේද පොඩි අක්කේ.....‘‘
 කේෂිණී දඟකාර ලෙස එසේ කියමින් අක්කගේ කනට කොඳුරා යමක් කීවා. ලැජ්ජාවට පත් වූ අක්කා එය සඟවාගෙන නංගිගේ කන මිරිකුවා.
‘‘අනේ අනේ පොඩිකමට ඉඳගෙන අහන ඒවා.‘‘
‘‘එහෙම තමයි. අපිත් දැනගෙන ඉන්න එක හොඳයි නේ....‘‘
‘‘හරි හරි ඒව වෙලාවට දැනගන්න ලැබේවි.‘‘
‘‘ලොකු දූ.....‘‘
අම්මා පසෙක සිට අක්කාට අඬගැසුවා ය. ජයනාත් අයියා, අපේ අයියයි සුරංග එක්කයි කතා කරමින් සිටියි. අම්ම අක්කව කැඳවාගෙන අපට නොපෙනෙන තැනකට ගියා ය. නංගී මා දෙස බලා සමච්චල් සිනහවක් පෑවාය.
දැන් ඉතිං ලොකු අක්කා අයිති මෙහාටයි. නුවර සිට පානදුරේට දුර නිසා සීතූ විටක පැමිණිය නොහැක. මට හීල්ලුණි.
‘‘මොකද මේ මූණ එල්ලගෙන. මේක මළ ගෙයක් නෙවෙයි මගුල් ගෙයක්.‘‘
මධුවිත වීදුරැවක් අතැතිව සුරංග මා ඉදිරියට පැමිණ විහිළුවක් කළේය. ඔහුගේ දෙඇස් රකුසෙකු ගේ දෑස් මෙන් දිස්විය.  ඔහු දෙස බැලීමට අකමැති වූ මම හුන් තැනින් නැගිට අම්මලා සිටි මේස වෙතට ගියෙමි. අක්කාත් ජයනාත් අයියාත් මේසෙන් මේසෙට ගොස් නෑදෑයන්ට අචාර කරමින් අප සිටින තැනටද පැමිණියා. අක්කාව සිප වැළඳගනිම්න් ද ජයනාත් අයියට දෑත් එක්කොට අචාර කරමින් සාම්ප්‍රදායික ලෙස අපි ඔවුන්ව පළිගත්තෙමු.
‘‘ඊළඟට අමාලි නංගිගෙ වාරෙ එන්නෙ.‘‘
ජයනාත් අයියා සුන්දර සිනහවකින් මුව සරසාගෙන කීවේය. වැඩිහිටි පිරිසද හිස් සලමින් එය අනුමත කරන්නට වූහ.
‘‘නංගිට වරදින්නේ නෑ. ඔයාට කවද හරි හොඳ කොල්ලෙක් ලැබේවි.‘‘
‘‘ඒත් ජයනාත් අයිය වගේ හොඳ කෙනෙක් නම් හම්බවෙන එකක් නැතිවෙයි.‘‘
‘‘ඒ මොකෝ කොල්ලෝ එච්චරටම නරකද?‘‘
‘‘ඒක ඉතිං අපිට වඩා හොඳට අයියා දන්නවා ඇති නේ.....‘‘
‘‘නෑ නෑ අපේ ඔෆිස් එකේ ඉන්නවා හොඳ කොල්ලො සෙට් එකක්. මං නංගිට ගැලපෙන කෙනෙක් හොයල දෙන්නම්කෝ.‘‘
‘‘ඒක නෙමෙයි, අයියයි අක්කයි අපේ ගෙදර නවතින්න එන්නකෝ....‘‘
මං එසේ බැගෑපත්ව කියද්දී අක්කගෙයි අයියගෙයි මූණුවල තිබූ සිනා රැලි වියැකී යන්නට විය.
**තරු**

තරු අරණේ කුළූඳුල් ප්‍රයත්නයට වචනෙකින් දෙකකින්වත් අදහසක් ලියල යන්න අමතක කරන්න එපා. ඔබගේ අදහස් උදහස් මහ මෙරක් සේ වටී.
 
 
 
 
 
 

11 comments:

  1. එක දිගට ගලාගෙන යනවා, ඉවර වෙනකන් දන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. කියවන්නාට කම්මැලිකමක් වැතුව කියවන්න පුළුවන්නම් කතාව එච්චර අප්සෙට් නෑ කියලා හිතනවා.

      Delete
  2. මට නිකන් කතාවේ මුල මතක නෑ නෑ වගේ.. ඒකත් හෙමීට බලලා මතකේ තියා ගන්නම්..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්ගෙ කතාව හරි. මොකද සති දෙකකට වරක්නේ මේක මෙතෙක් කල් පලඋනේ. ඉතිං කොහොම ද මතක තියාගන්නේ.

      Delete
  3. දෙබස් වලින් විතරක් මුළු කතාවම කියන්න බෑ නේද

    ReplyDelete
  4. ඒක හරි. එතකොට නාට්යක් වෙනවා. හැබැයි දෙබස්වලින් කතාවට ජීවයක් ලැබෙනවා කියලයි මට හිතෙන්නේ. පරිසර වර්ණනා, පුද්ගල ලක්ෂණ ආදිය ලිවීමේ දී නම් විස්තර කිරීම අවශ්ය වෙනවා.

    ReplyDelete
  5. තවත් සාර්ථක කොටසක් :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සයුරි.

      Delete
  6. අද සියල්ලම කියෙව්වෙමි. සාර්ථක ප්‍රයත්නයක්.

    ReplyDelete
  7. ගොඩක් ස්තූතියි ඉවාන් පවුලූශා..

    ReplyDelete
  8. ලස්සනයි ..මන් ආවේ පරක්කු වෙලා . අද සේරම කොටස් ටික කියවන්න ඕන

    ReplyDelete