Thursday, April 18, 2013

02

තැන තැන තබා ඇති පුටු හිස්ව ගොසින්. විනාඩි කිහිපයකට පෙර අමුත්තන්ගෙන් පිරීගිය නිවස දැන් පාළුවෙලා. අලි ගැට පේර ගහ යට තිබූ පුටුවක් මත හිඳගත් මම යකඩ මඩුවේ එල්ලෙන රෝස පාටින්, නිල් පාටින්, කොළ පාටින් බබළන බැලුන් බෝල දෙස බලා උනිමි. අක්කා මනාලියක් වී ගෙදරින් පිටව ගියාට පසු මගේ සිතට දැනුනේ මහත් හුදකලා බවකි. ජානක, සමන්ත, සුරංග එක්ක පාලිත අයියා මා ඉදිරියේ සවිකර ඇති මඩුව ගලවමින් සිටිති. පාළුවය ගිය නිවසේ පාළුව මදකට හෝ මැකී යන්නේ පාලිත අයියගේ පොඩි එවුන්ගේ කෑ ගැසීමත්, මඩුව ගලවන තරුණයන්ගේ උසුළු විසුළු හඬිනුත් ය. මඟුලක් මරණයක් වූ විට එතැනට නෑ හිතමිත්‍රාදීහු එකතු වෙති. සමහරෙක් කාලයකට පසු මුණ ගැසෙති. සමහරු කාලයත් සමග අදුනගන්න බැරි තරමට වෙනස් වෙලා. මාතර නැන්දා, රත්තොට නැන්ද විතරක් නෙමෙයි පිටකොරටුවේ සිරිදාස බාප්පවත් මං දැක්කේ අවුරුදු දහයකට විතර පස්සේ. එයාල දැන් හොඳටෝම වයසට ගිහිල්ලා. ඒකාලේ ඉදන්ම මං මාතර නැන්දට දැක්වූයේ පුදුම ආදරයක් ලෙන්ගතුකමක්. නැන්ද තරුණ කාලේ හරි හැඩියි සිරියාවන්තයි. ඒ විතරක් නෙමෙයි විහිළු කරන්නත් හරි දස්සයි. ඒ නිසා මං විතරක් නෙමෙයි අපි හැමෝම මාතර නැන්දට දැක්කුවේ විශේෂ ලෙන්ගතුකමක්. ඈ වයසට ගියත් ඒ සිරියාවන්තකම සුන්දර සිනහව නම් අඩු වෙලා නෑ.

 

ගෙතුලෙන් පිටතට පැමිණි කේෂිණී නංගි තරුණයන් අතරට දුවගොස් විහිළු කරමින් හරි හරියට ඔවුන් සමග වැඩ කරයි. උසස් පෙළ විභාගෙන් පසු කොළඹ පුංචි අම්මලගේ ගෙදර නැවතුන කේෂිණි, එහි සිට පරිගණක පාඨමාලාවක් හදාරමින් සිටියි. ජීවිතේ කිසිදු බරක් පතලක් නොතේරෙන ඇය ගෙවන්නේ ඉතාමත් සැහැල්ලු දිවියක්. හරියට පියාපත් ලැබුන සමනළියක් වගේ.

 

"හලෝ... අපි මෙතන වැඩ, මෙයා ගහ යටට වෙලා භාවනා කරනවා. තේ ටිකක්වත් හදල ඇල්ලුවනම් නරකයි."

 

සුරංග මගේ පිටු පසින් පැමිණ එසේ කියද්දී, උඩ ගිහින් බිම වැටුණා සේ මට දැනුනි.

 

අපි පුංචි කාලේ සුරංගල හිටියේ අපේ අල්ලපු ගෙදර. ඒ නිසා අපිත් එක්ක සෙල්ලම් කරන්න ඔහු නිතරම අපේ ගෙදර ආවා. අපේ අයියත් අක්කත් සුරංගට වඩා වැඩිමහල් නිසා එයා වැඩිපුරම සෙල්ලම් කළේ මාත් නංගිත් එක්ක.

 

මම පුටුවෙන් නැගිට මුළුතැන් ගෙය දෙසට පා නැගුවෙමි. ගෙතුලට ගොඩ වූ මට අමුතුම පාළුවක් දැනුනි. අප්පච්චී සාලෙ පුටුවක් මතට වී ශෝක බරිතව බලා සිටියි. අම්ම නම් නැන්දලා කට්ටියත් එක්ක කතා කරමින් සිටියි. මුළුතැන්ගෙට ගිය මට එය නුහුරු තැනක් මෙන් විය. බඩු බාහිරාදිය පවා තබා ඇති තැන් මට අමතක වී ගොසින්ය.

"දුවේ.... මොනවද හොයන්නෙ?"

 

"අහ්, නැන්දෙ මේ.... වතුර කේතලේ කොහෙද කියල බැලුව."

 

"ඇයි ළමයො ඔය තියෙන්නේ අතගාවම."

 

නැන්දා මේ ගෙදරට නුපුරුදු තැනැත්තියක් වුවත්, මෙහි තිබෙන බඩු බාහිරාදිය ගැන හොඳ අවබෝධයක් දවසට දෙකට ලබා තිබුනා.

 

"නැන්දි නැන්දි, මොනවද ඔය හදන්නෙ?"

 

"තේ පුතාලටත් ඕනෙ ද?"

 

"අපෝ.... එපා...." යි, කියමින් පොරණුව මත තිබූ මුට්ටියක් ඇර කැවුම් ගෙඩි තුනක් ගත් රුචිර විදුලි වේගයෙන් පැන දිව්වේ ය.

තේ පිළි‍යෙල කරල අවසන් වූ පසු කෝප්පවලට වත් කරන්නට වූයෙමි.

 

"මාර එක්කෙනෙකුට තේ හදන්න ඕඩරේ බාර දුන්නේ. මෙයා තේ හදන වෙලාවේ අපිට කඩෙන් ගිහින් තේ බීල එන්නත් තිබුණා."

සුරංග මා සොයා පැමිණ එසේ කියද්දි මගේ සිතට ලැජ්ජාවක් ඇති විණ. තේ කෝප්ප තැබූ බන්දේසිය මම දෑතට ගත්තෙමි.

 

"කෝ දෙන්න මං ගෙනියන්නම්."

 

මා අත වූ තේ බන්දේසිය අතට ගත් සුරංග එය රැගෙන මුළුතැන්ගෙයින් පිටව ගියේය. මට සුරංගව දැක ගන්නට ලැබුනේ අවුරුදු පහකට පසුයි. සුරංගලා දැන් පදිංචිවෙලා ඉන්නේ අපේ ගෙදර ඉඳන් කිලෝ මීටර් පහක් විතර දුරකය. සුරංගගේ පියා හදිසියේ මිය ගියෙන් එයාලා මහත් ආර්ථීක දුෂ්කරතාවයකට පත් උනා. මට මතකයි අපේ අම්මලා අප්පච්චිලත් සුරංගලාට උදව් කරනවා. එයාලට මුහුණ දෙන්නට සිදුවුණ ආර්ථික ප්‍රශ්න නිසා සුරංග රට ගියා. එයාව අවසන් වරට දකිද්දී මගේ වයස දහඅටක් විතර ඇති. ඒ වන විට සුරංග නාඹරවියේ පසු උන කඩවසම් තරුණයෙක්.


අසුනක ඉදගත් මම ඒ සුන්දර අතීතය ආවර්ජනය කරන්නට වීමි. සුරංග අපේ ගෙදරට සෙල්ලම් කරන්න එන්නේ එයාගේ අක්කා සරෝජනී සමගය. සරෝජනී අක්කා අපේ අක්කත් එක්ක කතා කරන වාරේ මාත්, සුරංගත්, කේෂිණීත් සෙල්ලම් කරන්නට වූහ. විටෙක අපි අපේ වත්ත පහළින් ගළ බසින දොළ පාර අසලට ගිහින්ගෙට ඔරු යවන්නට වීමු. සෙල්ලම් කරන්නට පටන් ගත්තම බොහෝ වෙලාවට සෙල්ලම නවතින්නේ නංගිගේ ඇඬීමෙනි. එයාට පොඩි දෙයක් ඇත්නම් තරහා යයි. ඊට පස්සේ අඬන්න ගන්නවා. ඒ වෙලාවට අපි ඉන්න තැනට එන අප්පච්චී අපි තුන් දෙනාටම දොස් කියනවා. බොහෝ වෙලාවට නංගි අඬන්නේ සෙල්ලම් කරද්දී නංගී මගේ පැත්ත ගත්ත විටයි. “අය්යා හරි නරකයි හැමදාම ගන්නේ අක්කගේ පැත්ත“ කියල නෝක්කාඩුවකුත් එක්ක තමයි අඬන්නේ. අපේ ගෙදරට උඩහින් පොඩි ලන්දක් තියෙනවා. ඒත් එක සැරයක් අපි ගෙදරට නොකියා නෙල්ලි කඩන්න ලන්දට ගිහින් අපි තුන් දෙනාටම අප්පච්චිගෙන් වේවැල් කසාය ලැබිච්ච හැටි අද ඊයෙ වගේ මතකයි. එදායින් පස්සේ සුරංග සෑහෙන කාලයක් යනකම් අපිත් එක්ක සෙල්ලම් කරන්න ආවේ නැහැ.


***                  ***                  ***                  ***


අඳුර වැටීගෙන එද්දී සිතට දැනෙන පාළුව තව තවත් වැඩි වෙයි. අඳුරෙම මිදුලට බැස්ස මා අලිගැට පෙර ගස යට තනි වි ඇති අසුන මත හිඳ ගත්තෙමි. නිවස ඉදිරිපිට හරිම නිශ්ශබ්දයි. උදේ තිබූ සැරසිලි කිසිවක් දැන් නැත. හවස උත්සව භාණ්ඩ සැපයූ ආයතනයේ ලොරියක් ඇවිත් යකඩ කණු, ටකරන්, පුටු ආදිය පටවාගෙන ගියේය. සුරංග ඇතුළු අයියාගේ යාළුවෝ කට්ටියගේ ගෝසාව නම් ගේ පිටුපසින් ඇසේ.

අපේ පවුලේ සහෝදර සහෝදරියෝ හතර දෙනෙක් හිටියත් මාත් අක්කාත් අතර තිබුණේ දැඩි සහෝදර බැම්මකි. අක්කා මොනව හරි දෙයක් මිලදී ගත්තොතින් ඒ හා සමාන දෙයක් මට ද මිල දී ගනී. මම නාන්න ලිඳට ගියත් අක්කා මාව තනියම යවන්නේ නැහැ.වරක් මගේ ටියුෂන් පංතියේ යෙහෙළීයක් සමග චිත්‍රපටියක් බලන්න නොකියා ගියා කියලා අක්ක මට හොඳටම බැන්නා. එදා මං අක්ක එක්ක තරහ  උනා. මං තරහ වෙච්චි එක දරාගන්න බැරැව එයා හොඳටම ඇඬුවා.


**තරු**

 

තරු අරණේ කුළූඳුල් ප්‍රයත්නයට වචනෙකින් දෙකකින්වත් අදහසක් ලියල යන්න අමතක කරන්න එපා. ඔබගේ අදහස් උදහස් මහ මෙරක් සේ වටී.

12 comments:

  1. හුඟක් දවසකින් මේ පැත්තේ ආවේ . ලස්සනයි . එක දිගට කියවන්න පුළුවන් කතාවක් .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි බිංදි. ඉදිරියටත් රැඳී සිටින්න. හිතට දැනෙන දේ ලියන්න.

      Delete
  2. මම බැලුවා කතාවට නමක් නැද්ද කියලා :) හරි ලස්සන කතාවක් වගේ. ඉදිරියටම යන්න සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. "නෙතු අද්දර" කතාවේ නම. හොයා ගන්න බැරි උනාද? ධෛර්යට ගොඩක් තුති. 03 වෙනි කොටසත් නොවරදවාම කියවන්න.

      Delete
  3. ලස්සනයි කතාව. අනෙක් කොටසත් ලියන්නකෝ.

    ReplyDelete
    Replies
    1. කතාව ටිකක් ජනප්රිය වෙනකම් සති දෙකකට වරක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි කතාව දිග නිසා ටික දවසක් බලලා ඉක්මනින් ලියන්න හිතාගෙන ඉන්නේ. ධෛර්යට ගොඩක් ස්තූතියි චන්දන.

      Delete
  4. කතාව ස්වාභාවිකයි ලස්සනයි. තාම මාතෘකාවක් නොදැම්මෙ මොකද ?

    (ඇත්ත සිදුවීමක්දෝ)

    ReplyDelete
    Replies
    1. යසිත්ගේ පැසසුමට ගොඩක් තුති! ඇයි අනේ... “නෙතු අද්දර“ කියල නම වැටෙන්නේ නැතිද? මල්ලි එහෙම නම් තරහ නැතුව මාව දැනුවත් කරන්න. තව පිංතූර දෙකකුත් එකතු කරල තියෙනවා ඒවා පෙනෙනවද?

      Delete
    2. ඔයාගෙ ඔක්කොම පෝස්ට් මගේ රීඩරේට එන්නෙ Untitled කියලනෙ

      Delete
    3. මල්ලි මම බ්ලොග් කෙරැවාවට අලුත් නිසා ඔයා කියන, ඔය දෝසේ මා නිවැරදි කරගත යුත්තේ කෙසේද කියල කියන්න පුළුවන්ද. ඒක ලොකු උදව්වක්.

      Delete
  5. ඔන්න මාත් මේ පැත්තේ අවා,අමාරු උණා හොයාගන්න , ඇත්තටම නවකතා ආකෘතිය තුල වෘත්තීය මට්ටමකින් ලියලා තියෙනවා.කතාව ඉවර නෑ මං හිතන්නේ, ඉවර උනාම සම්පූර්ණ අදහසම කියන්නම්. ජයෙන් ජය ...!

    ReplyDelete
    Replies
    1. ධෛර්යට ස්තූතියි! කතා ශෛලීය ගැන කියන්න ඉවාන් පවුලූශට මොකද්දෝ ඉවක් වැටිල වගේ.... කතාව නම් දිගයි. ටිකක් කෙටි කරන්න හිතාගෙන ඉන්නේ. දිගටම රැඳෙන්න. මීළඟ කොටස මැයි 02 දිහාට පළවේවි.

      Delete