Thursday, April 4, 2013



 01


උදා හිරු අද කළින්ම පායා ඇවිත්දෝයි මට සිතුනේ මගේ මුහුණ මතට හිරු රශ්මිය පතිතවන විටය. මම ඇඳ අසල කුඩා මේසය මත තිබෙන එළාම් ඔරලෝසුව ගෙන අතගා වෙලාව බැලුවෙමි. වෙලාව අටහමාරත් පසු වී ඇති බව මට පසක් වූයේ එවිට ය. වෙනදා උදෑසන හය වන විට අවදිවීමෙන් මගේ දින චර්යාව ආරම්භ වෙයි. එහෙත් පෙර දින නින්දට යන විට වෙලාව කීය ද කියා මට අවබෝධයක් නොතිබුණි. මම කොට්ටය ගෙන ඇද විට්ටමට හේත්තු කළෙමි. එය හොදටම තෙතබරිත වෙලා. පෙර දින රාත්‍රියේ මා මෙතරම් ඇඬුවාද කියා මටවත් සිතාගැනීමට නොහැකි තරම්ය. හ්ම්.... මගේ සිතට මහත් හුදකලා බවක් දැනෙයි. අද මට ඉතිරිව ඇත්තේ මා පමණයි නේද කියා සිතෙන විට යළි යළිත් විලාප දී අඬන්නට සිතෙයි. සිනහව කඳුල මැද ගෙවී ගිය අතීතයට මගේ සිතුවිලි ඇදී යන්නට විය. පසුගිය කාලය තුළ සිදු වූ දෑ ආවර්ජනය කරන්නට මම උත්සහ දැරුවෙමි.

 

"අමාලි අක්කා....." සුදු නංගී වසා ඇති දොර විවර කර එබි බලනවා ඇතැයි මට සිතුණි.


"සුදු නංගි එන්න ඇතුළට."


"අක්ක පරක්කු වෙනකොට මොකද කියල බලන්න ඉස්සෙල්ලත් ආවා. එතකොට අක්කට හොදටම නින්ද ගිහින්."


"ඔව් නංගි, ඊයේ නිදාගන්න කොට ගොඩක් රෑ උනා."


දොර වසා දැමූ සුදු නංගි මා අසලට පියනගන්නට විය. ඇය මා අසලින්ම ඇඳ මත ඉඳගෙන මගේ අතකින් අල්ලා ගත්තා.


 "හානේ.. මේ මොකද අක්කගේ මූණට වෙලා තියෙන්නේ? මූණ හොදටම ඉදිමිලා. අක්ක හොදටම අඩලා තියෙනවා. අනේ මං දන්නේ නෑ... මං ඇහැව්වට ඔයා කවදාවත් කියන්නෙත් නෑ. නිකං හිතෙන් දුක් විඳ විඳ ඉන්නවා"


ඇගේ වදන් හමුවේ මට ඉබේටම සුසුමක් පිටවුණි. මම සුදු නංගිගේ සුරත තරයේ අල්ලා ගත්තෙමි.


"මට ඔයා අඬන කොට දුකයි අක්කි. ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නේ මට කියන්න බැරිනම් වෙන කාට හරි කියන්න. එතකොට ඔච්චර දුක දැනෙන එකක් නැහැ."


ඒකත් ඇත්ත. මම මෙතෙක් මගේ හිතේ හිරකරගෙන සිටි වේදනාව අදවත් පිටකර හිත සැහැල්ලු කරගත යුතු යයි සිතුවෙමි. වජිර නිවාසේ මගේ කතාව කියන්න පුළුවන් කෙනෙකුට හිටියේ සුදු නංගි විතරයි. ඇය අපිට පේන්න සතුටෙන් හිටියට අම්මෙක් අප්පෙක් නැති සන්තාපයෙන් පෙළෙන බව මම දැන සිටියෙමි. ඉතිං මං කොහොමද මගේ හිතේ බර ඒ පුංචි හිත මත තියන්නේ.... හ්ම්.... ඒත් දැන්නම් මට මගේ දුක දරාගන්නට බැරි තරම්. පපුව තුළ හිරවී තෙරපෙන වේදනාව කවුරැන් හෝ ඉදිරියේ මුදානොහැරියොත්, පපුව පැලී මාව මැරිල යාවි.

"නංගි ඔච්චරටම කැමතිද මගේ කතාව අහන්න?"


"ඔව් අක්කා... මට හිතෙනවා ඔයා ගොඩක් දුක් විඳපු කෙනෙක් කියලා...."

 

"හ්ම්.... ඒක ඇත්ත. ඒත් මගේ කතාව අහලා ඔයාගේ ඔය පුංචි හිතට දුක හිතේවි."


"කමක් නැහැ අක්කෙ, මොකද මං කියලත් සැප විඳපු කෙනෙක් නෙමෙයිනෙ."


මම සුදු නංගිගේ වාරුවෙන් රෝද පුටුවේ හිඳගත්තෙමි. ඉක්බිති ඇය රෝද පුටුව තල්ලු කරගෙන  කාමරෙන් පිට වුණා.

 

කාත් කවුරුත් නැති අනාථයන් මෙන්ම, නෑදෑ හිතමිතුරන් සිටින, ඒත් ඔවුන්ට ද බලාකියා ගැනීමට නොහැකි ව අසරණ වූ අම්මලා දොළොස් දෙනෙක් මෙහේ ඉන්නවා. පුතුන් දෙදෙනෙකු මෙලොවට බිහිකරපු සීලවතී නැන්දා ඒවන් මාතාවකි. ඇය මෙහාට ආවේ තම ස්වාමිපුරුෂයාගේ මරණෙන් පසුවයි. සීලවතී නැන්දාගේ පුතුන් දෙදෙනාම රැකියාවන් කළේ විදේශ රටවල්වල. මාග්‍රට් නැන්දා මෙහාට පැමිණ ඇත්තේ තමන් වැදූ දරැවන් අතර සමගියක් නැති නිසා. වජිර නිවාසයේ සිටින සුදු නංගීත් මාත් හැර අනෙක් සියලුදෙනාම වයස පනහ ඉක්මවූවෝ. සඳමාලි මෙම අනාථ නිවාසෙට පැමිණ ඇත්තේ වයස දින දෙකේ දී. රෝහල් දොරටුව අසල දමාගොස් සිටි සඳමාලිව දුටු අයෙක් ඇයව මෙම අනාථ නිවාසයට භාර දීල තියෙනවා. එදා සිට මෙෙහ් සිටින හැම දෙනාගේම සුරතල් දියණිය වි ඇත්තේ සඳමාලි යි. කාගේත් ආදරය රැකවරණය නොඅඩුව ලැබූ සඳමාලිට, කවුරැත් ආමන්ත්‍රණය කළේ 'සුදූ' කියල‍යි. සුදු නංගිගේ දහසය වසරක ජීවිත කාලයට ඇයට හමුවූ එකම අක්කණ්ඩිය වූයේ මා ය. මා මෙහි පැමිණියාට පසු අනෙක් අයට වඩා මා සමග ලෙන්ගතු වූයේ ඇගේ වයසට ගැලපෙන කෙනෙකුට සිටියේ මා පමණක් වන නිසා.

 

අපි උදෑසන ආහාර ගත්තේ එකට. සුදු නංගී මා සමග ආහාර ගැනීමට බලා සිට ඇත.


"පව් අහිංසක කෙල්ල."

මගේ සිතට දුක මුසු සතුටක් ඇති විය. එක මොහොතකට හෝ මං වෙනුවෙන් බලාගෙන ඉන්න කෙනෙක් තවමත් ඉන්නවා නේද කියල සිතුන මට, මගේ නංගි මතක් විය. ඒත් දැන් මට ඉතිරිව සිටින්නේ සුදු නංගි පමණි.

 

උදෑසන ආහාර ගැනීමෙන් පසු සුදු නංගී මගේ රෝද පුටුව තල්ලු කරගෙන වත්ත කොනක පිහිටි විශාල මාර ගහ යටට පැමිණියා. විවේක පාඩුවේ කාලය ගත කරන්න උවමනා වූ විට අපි  මෙතනට ඒනවා. ගහ යට ඇති ලෑලි බංකුව මත සුදු නංගී ඉඳගත් අතර මම මගේ සුපුරුදු රෝද පුටුවේ ඉඳ ගෙන සිටියෙමි.

 

"ඔන්න අපි සුපුරුදු ගිමන්හලට ආවා. අක්කට බංකුවෙ වාඩි වෙන්න ඕන ද?"

 

"එපා නංගි."

 

මාර ගස යට බංකුව මත හිඳගත් සුදු නංගී, මාව එයා අසලට ළංකර ගත්තා.

 

"ඔන්න අක්කේ... මං ලෑස්තියි අහන්න. ඔයාට තියෙන්නේ කතාව පටන් ගන්න."

නංගි එසේ කීවත් මට හිතාගන්න බෑ කොහෙන් පටන්ගන්න ද කියලා.

 

"ඇයි අක්කා කල්පනා කරන්නේ....?"

 

"මං කල්පනා කළේ... මගේ කතාව කොතනින් පටන්ගන්න ද කියලා. මොකද.... කතාව ටිකක් දිගයි."  

 

"කමක් නෑ අක්කෙ, මං රෑ වෙනකම් හරි අහගෙන ඉන්නං."

 

ඈතින් කොහෙක් කෑ ගහන හඬ ඇසෙයි. බක් මහේ අසිරිය අපේ හදවත් තුළට කැන්දන මේ පක්ෂියාගේ හඬට එදා ඇලුම් කර මට අද එය විලාපයක් සේ දැනෙයි. මම සිදුවීම් එකිනෙක ආවර්ජනය කරමින් වදන් වලට එකතු කරන්න වුණෙමි. 

 

**තරු**



- මතු සම්බන්ධයි -

(ඡායාරෑප අන්තර්ජාලයෙන්)

කතාවේ ආරම්භය කෙසේ වේද කියා ඔබ සිතන්නේ.?
තරු සාගරේ දිදුළන තවත් තරුවක් වන්නට වෙර දරන තරු අරණට ඔබගේ අදහස් උදහස් මහ මෙරක් සේ වටී. තරු අරණේ කුළූඳුල් ප්‍රයත්නයට වචනෙකින් දෙකකින්වත් අදහසක් ලියල යන්න අමතක කරන්න එපා. 

9 comments:

  1. දාන්නකෝ බලන්න ඉතිරි කොටහත් එතකොට මක්කා හරි කියන්ඤඤං

    ReplyDelete
    Replies
    1. එහෙනම් 18 වෙනිදා වෙනකම් ඉන්ඩ වෙනවා.

      Delete
    2. සුභ අලුත් අවුරුද්දක් වේවා...! දේශක.

      Delete
  2. ආ... මේ පළවෙනි කොටස නේද? ටොපික් එකේ එහෙම දැම්ම නම් හොඳයි... ඇත්තටම වෙනස් කතාවක් වගේ... ලියමුකො... 18 බලන්න වෙන්නේ නෑ මට නම්.. 18 උදේ පාන්දරම ගිහින් ආයේ 21 තමා එන්නේ...

    ReplyDelete
    Replies
    1. තරැ අරණ පැත්තෙ ආවට ගොඩක් සතුටුයි. හැකි හැම විටම ගොඩ වෙන්න අමතක කරන්න එපා.

      නෙතු අද්දර කියෙව්වාට ගොඩක් ස්තූතියි අනූ... 03 වෙනි කොටස එන්නේ මැයි 02. ඒ නිසා දෙවෙනි කොටස කියවන්න පුළුවන් වේවි. නිවාඩුවට trip එකක් යනව වගේ හොඳා හොඳා..... සුභ ගමන් කිව්වා.

      Delete
    2. සුභ අලුත් අවුරුද්දක් වේවා...!

      Delete
    3. නිවාඩුවට ට්‍රිප්... :( මේක හැමසතියේම යන ට්‍රිප් එකක් අයියෝ... දවස් 3 යි මං ගෙදර!!!

      Delete
  3. දුක හිතෙන කතාවක් වගේ..........

    ReplyDelete
    Replies
    1. හ්ම්..... ඒ වගේ නේද? දිගටම රැඳෙන්න.
      තරැ අරණට ගොඩ උනාට සතුටුයි. හැකි හැම විටම ගොඩ වෙන්න අමතක කරන්න එපා.
      සුභ අලුත් අවුරුද්දක් වේවා...!

      Delete