Wednesday, May 29, 2013

නෙතු අද්දර - 06







එතෙක් කතාව.... අමාලි සහ සුරංග අසල්වැසියන් ය. කුඩා කළ මොවුන් එකතුව සෙල්ලම් කළහ. සුරංගගේ පියාගේ අභාවයත් සමග ඔවුන් සිටි නිවස විකුණා යන අතර සුරංග රට යයි. යළි අමාලිට සුරංගව මුණගැසෙන්නේ වසර 5 කට පමණ පසුවය. දැන් සුරංග කඩවසම් තරැණයෙකි. අමාලිගේ සිත සුරංග කෙරෙහි ඇදීයයි. අමාලිට සුරංගව අවස්ථා කිහිපයකදී හමුවූවත් ඔහු ඈ ගැන එතරම් තැකීමක් නොකරපු නිසා අමාලී කණස්සල්ලෙන් පසුවෙයි.
අද එතැන් සිට...

පසු ගිය දින කිහිපය මගේ අසනීප තත්ත්වයත් සමග ගෙවී ගිය අතර දැන් නම් ගතත් සිතත් ප්‍රකෘති තත්ත්වයට පැමිණ තිබේ. මාසෙකින් පමණ පුස්තකාලයට යාමට නොහැකි වූ නිසා ලබාගත් පොත් දෙක දඩත් සමග ගෙවීමට සිදුව ඇත. මේ නිසා මම පුස්තකාලය යාමට සිතුවෙමි. නිවසින් පිටත්ව මාර්ගයට පැමිණි සැනින් බසයකට නැග ගැනීමට හැකි විණි. විනාඩි දහයක් වැනි කෙටි කාලයකින් පුස්තකාලය අසලින් බැහැගන්නට හැකිවූයේ බසයේ රියැදුරැ ධාවන ශූරයෙක් වූ නිසා ය. අලසකමින් තිබූ මගේ සිත පොත් ගුලට ඇතුළුවීමත් සමග ප්‍රබෝධයට පත් විය. පොත් ලබාගන්නා ස්ථානය පිහිටා ඇත්තේ ඉහළ මාලයේය. පහත මාලය කියවීම් කටයුතු සඳහා වෙන්කර ඇත. මා තරප්පු පෙළ දිගේ ඉහළට නගින්න විය. 
“අමාලි!.”



හුරැපුරැදු කටහඬක්. මා ගමන නවතා හැරී බැලුවෙමි. සුරංග පුවත්පත් අංශයේ සිට මා දෙසට එනු පෙනේ.
“ඔයා වැඩ කරන්නෙ ලයිබ්‍රරි එකේ ද?”
මගේ මුවින් එකවරම පිට  වූයේ ඔලොක්කුවට මෙනි. ඉන් සුරංගගේ මුවගට නැගුණේ සිනහවකි.
“මං බැංකුවට ආවා යාළුවෙක් හම්බවෙන්න. මිනිහ එන්න ටිකක් පරක්කුවෙනවලු. ඉතිං මෙහාට ආවා පත්තරේ ටිකක් බලන්න කියලා. අමාලි පොත් ගන්නද ආවෙ?”
“නෑ, පොත් පෙරලන්න.”
“ඉස්සර වගේමයි තවමත්.”
“ඔව් අපිනම් හැමදාම එකවගේ. ඔය සමහර අය වගේ වෙනස් වෙලා නෑ...”
“අමාලි මට ඇනුම්පද කියනව වගේ.”
“‍තොප්පිය හරි නම් දාගත්තට වරදක් නෑ.”
සුරංග ගැන මගේ හිතේ ඇතිව ඇති අප්‍රසාදාත්මක හැඟීම ඔහු ඉදිරියේ මුදාහරිමින් ලැබුවේ අපමණම වින්දනයකි. මගේ ඇනුම්පද වලින් ඔහුගේ මුහුණ අඳුරැ වළාවකින් වැසී යන්නට විය.
“පහුගිය දවස්වල මං හරි අවිවේකයෙන් හිටියේ ඒකයි හරියට කතා කරන්නත් බැරි උනේ.”
“කතා කරනවනම් ඕන තරම් අවස්ථා තිබුණ.”
“ඒ ඔයා දකින හැටි. මට ඕන උනේ හිතේ සැනසීමකින් ඇවිල්ල කතා කරන්න. ඔයා දන්නව ඇති මං ‍පොඩි බිස්නස් එකක් පටන්ගන්න යන බව. හොටේල් එකක්. මහවැලි ගඟ අයිනේ හොඳ ගොඩනැගිල්ලක් තියෙනවා. ඒක ගන්නයි මගේ කල්පනාව. ඒකට පොඩි ණයක් ඉල්ලලා තියෙන්නේ තවම ඒක ගන්න බැරි උනා. ගොඩනැගිල්ලේ අයිතිකාරයත් හදිස්සි කරනවා.”
“ඇයි ඔයා රට ඉද්දි හම්බකරපුව.”
“හැම සතේම යටකරන්න බැහැනෙ අමා. මං ඒකෙන් අයිතිකාරයට ඇඩ්වාන්ස් එකක් දුන්න. මිනිහ දැන් දන්නවා මට ඒක ඕනෙමයි කියලා... ඒක නිසා ගනන් උස්සනවා.”
සුරංග තම හිතේ ‍පොදිකරගෙන සිටි දහසක් බලාපොරොත්තු මා ඉදිරියේ දිගහරින්නට විය. මා ඔහු ගැන සිතාගෙන සිටි හැටි කෙතරම් වැරදිද. මම හිතෙන් මටම දොස් නගා ගත්තෙමි. ඔහු තම අත බැඳි ඔරලෝසුව බැලුවේය.
“දැන් නම් යාළුවා ඇවිල්ල ඇති. මං යන්නම් අමා...” යි පවසමින් ඔහු මා අසලින් ඉවතට ගමන් කරන්නට විය. එසේ අඩි කිහිපයක් ගිය ඔහු නැවතත් හැරී මා වෙතට පැමි‍ණෙන්නට විය.
“ඔයා හිතුව විදිහට මං කවදාවත් වෙනස්වෙලත් නැහැ, වෙනස් වෙන්නෙත් නැහැ.” යි පවසන්නට වූයේ මා දෑස් තුළට එබී බලමින්ය. ඒ දෑස් දෙස බලාසීටීමට නොහැකි වූ මම බිම බලාගත්තෙමි. මා නැවත හිස එසවීමට පෙර ඔහු මා වෙතින් නික්ම ගොස් සිටියේ ය.
තරප්පු පෙළ නැගගිය මම පොත් බැහැර දෙන අංශයට ඇතුල් වුනෙමි. මා අත තිබූ පොත් දෙක කවුන්ටරයට ලබා දි දඩය ද ගෙවා දැමුවෙමි. ඉක්බිති නව කතා පොත් රාක්ක අතරේ ඔබ මොබ යමින් හොඳ පොතක් තෝරන්නට විමි. සෑහෙන වේලාවක් ගත කර ජ‍යසේන ජයකොඩිගේ ‘උපේකා’ නව කතාව තෝරාගත්තෙමි. පොත් තේරීමත් හරියට භාවනාවක් වගෙයි. ඒ කොහොම වෙතත් එකවර පොත් දෙකක් ලබා ගතහැකි බැවින් තවත් පොතක් තෝරාගන්න ඒ ඒ පොත්වල සඳහන් කතුවරැන්ගේ නම් කියවමින් යන අතරේ කවුදෝ කෙනෙක් රාක්කයේ එහා පැත්තේ සිට මා දෙස බලාගෙන හැංගිමුත්තන් අල්ලන්නාසේ ගමන් කරන අයුරැ යාන්තමට මෙන් පෙනෙන්ට වූයෙන්, මා සිතේ උපන්නේ කෝපයකි. උන්මත්තකයෙක් යැයි සිතූ මා ස්ථානයේ විනය ගැනද නොසිතා ඔහුට බැන වැදීමට රාක්කයේ ඔහු සිටි පැත්තට ගියෙමි.
“දෙයියනේ....! සුරංග. මොනව කරනවද මන්ද, තවපොඩ්ඩෙන් මගෙන් හොඳ බැනුමක් අහගන්නවා.”  
මගේ මුවෙන් ඒ වදන් පිටවූයේ තරමක් වේගයෙනි. අහළ පහළ සිටි කිහිප දෙනෙක්ද මා දෙස බලන්නට වූහ. එසැනින්ම සුරංග මගේ කන මිරිකුවේය.
“හරි ෂෝක් තැනකට ගියහම හැසිරෙන්නවත් දන්නෙ නෑ.”
ඔහුගේ ඇඟිලි දෙකට සිර වු මගේ කන රිදුම් දෙන්නට විය. මට ඉබේටම “ඌයි” කියැවුණි.
“අනෙ අනෙ මගෙ කන..”
මම වේදනාවෙන් ඇඹරෙන්නට විය. එවිට ඔහු කන අතහැරියේ ය. මගේ සුරත ‍ඒ දෙසට ගියේ ඉබේටමය. වේදනාවට දැස් අගට පැන්න කඳුළු කැට දෙකක් දෑස් අගින් ගිලිහී දෙකම්මුල් දිගේ ගලා යන්නට වීමෙන්, හොරාට එය පිහිදා ගතිමි. සුරංග මා අසල ගැවසෙමින් රාක්කයේ ඇති පොත් ඕනෑවට එපාවට මෙන් බලයි.
“ඔයා කොහොමද දන්නේ මං තවමත් මෙහේ ඇති කියලා.”
“අතීත අත්දැකිම්.”
සුරංගගේ එම ප්‍රකාශය ගැන මම මදක් කල්පනා කිරන්නට වීමි. කුමක්ද මේ අතීත අත් දැකීම?
“එක සැරයක් ජී.බී. සේනානායකගේ පොතක් හොයන්න ඇවිත් පැයක් විතර මෙතන හිටිය මතකද? අන්තිමට කකුල් රිදෙනව කියල මං පුටුවකුත් ගෙනැල්ල දුන්නෙ.”
“ඒ කොයි කාලෙද, ඔයාට ඒක තාමත් මතකද?”
“ඒකනේ මං කිව්වේ මං වෙනස් වෙලා නැ කියලා.” යි මද සිනහවක් පාමින් සුරංග මා දෙසවනට සෙමින් කෙඳිරැවා. ඒ සමගම මට හදිස්සියේ යමක් මතක් වූ වා මෙන්,
“ඒක නෙමෙයි. මොකද උනේ ලෝන් එකේ වැඩේට? යාළුවා ඇවිත් හිටියද”
“ඔව්, තව සුමානෙකින් විතර වැඩේ හරි යයි.”
සුරංග මා වතට ස්පර්ශ වෙමින් පොත් තෝරයි. ඔහු මෙතරම් ළඟින් මා අසල රැ‍‍ඳෙන විට මගේ සිතේ මොකද්දෝ නොසන්සුන් බවක් ඇති‍ වෙයි. හෘද ස්පන්දනය වැඩි වී නාඩි වේගයෙන් ක්‍රියා කරනවා සේ දැනෙයි.
“ආ.... ඔයාට හොඳ පොතක් තියෙනවා කියවන්න.”
සුරංග පොත් දෙකක් අතැතිව එකක් මා වෙත පෑවේය. මම එහි නම කියෙව්වෙමි. “අර්ශස් රෝගය නිට්ටාවටම සුවකරන දිව්‍ය ඖෂධ” යනුවෙන් සටහන් වී තිබුණි.
“කොහොමද පොත?”
මගේ මුවගට නැගුනේ සිනහවකි. ඒත් මම එය සඟවාගනිමින් බොරැ තරහවක් මවා ගනිමින් “අපිට එහෙම තදවෙන්නේ නෑ හරිද.” යි පැවසුවේ අත ඇති පොතෙන් සුරංගට පහරක් දෙමින් ය.
“හරි එහෙම නම් මේක කියවලා බලන්නකෝ....”
‘සෙනෙහස පුදන්න අවසරයි’ යනුවෙන් පොතේ කවරෙ සඳහන් වි තිබුණි.
“මං ඕක තුන් වතාවක් කියවලා තියෙනවා. හරිම ලස්සන පොතක්. ඔයාට යමක් අලුතෙන් හිතන්න පුළුවන් වේවි ඕක කියෙව්වහම.”
පොත් තෝරා ගැනීමෙන් අනතුරැව අපි පුස්තකාලෙන් පිටතට පැමිණියෙමු.
“අපි මොනව හරි බොන්න යමුද?”



තිබහක් නොතිබුණද සුරංගගේ ඉල්ලීම ඉවත දැමිමට නොහැකි නිසා මම එකඟ වූයෙමි. අපි ඒ අසල ඇති අවන්හලකට ගොඩ වුණෙමු. සුරංග අපි දෙදෙනාටම දොඩම් යුෂ වීදුරැ දෙකක් ඇනවුම් කළේ ය.
“මගේ හෝටලේ විවෘත කරනදාට අමාලිත් එනවද?”
“ආරාධනා කළොත් එන්නම්. මං ආවේ නැතත් අප්පච්චි හරි ඒවි.”
“ඔයා එන්නම ඕනෙ. මං බලාගෙන ඉන්නවා.”
“එච්චරටම මගේ තියෙන විශේෂත්වය මොකද්ද?”
“ඒක මං පස්සෙ කියන්නම්.”
දොඩම් යුෂ පානය කිරීමෙන් අනතුරැව අපි අවන්හලෙන් පිටතට පැමිණියෙමු. සුරංග පැමිණ සිටියේ මෝටර් බයිසිකලෙනි. ඔහු මාව ඇරලවීමට ඉදිරිපත් වී නමුත් මම ඒ යෝජනාව ප්‍රතික්ෂේප කර බසයකට ගොඩ වුණෙමි. සුරංග මා බසයට ගොඩ වනතුරැම මා සමග රැඳී සිටියේය. බසයේ ගමන් කරන අතර වාරයේ මගේ සිහියට නැගුණේම සුරංග මාත් සමග පසුව පවසනවා යයි කියූ කතාවය. මම සිතෙන් එයට පිළිතුරැ සොයන්නට වීමි. ආදර යොජනාවක්ද? නෑ නෑ වෙන්න බැහැ. එයාලට දැන් අපිට වඩා සරැයි. හොඳ පො‍හොසත් කෙල්ලෙක් බැඳගන්න පුළුවන්. මේ ආකාරයෙන් සිතුවිලි සමුදායක මගේ සිත පැටලෙන්නට විය.

...තරු...


මතු සම්බන්ධයි...

හිතට දැනුන යමක් වේ නම් ලියල යන්න අමතක කරන්න එපා.





14 comments:

  1. මොකද බොල.. සල්ලි ඕනද

    ReplyDelete
    Replies
    1. අනේ.... මන්දා...මට නෑ ඔව්ව තේරෙන්නේ...

      Delete
  2. අනේ මන්දා මේ සුරංග කාරයා මොන අස්සක ඉදන් කඩා පාත්වෙනවද කියලා. හැම තැනම ඉන්නවනේ මේකා

    ReplyDelete
    Replies
    1. ඒකනේ වැඩේ කියන්නේ... මොකක් හරි හොරයක් තියෙනවා.

      Delete
  3. අලුත් ජෝඩුවගෙ වෙඩින් එක ඒ හොටෙල් එකේම ගන්න බැරියැ. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් free hotel charges.

      Delete
  4. හිත සැහැල්ලු වෙන සරල ලස්සන කතාවක්

    ReplyDelete
  5. සංකීර්ණ ජීවිතවලට වින්දනය සඳහා ලැබෙන සුළු ඉඩ දි ත් හතර කොණ නොතේරෙන නිර්මාණ හිසට තවත් බරක්.

    ReplyDelete
  6. ලයිබ්‍රි කේස් ඒක කියවනකොටනම් අතීතයේ ගොඩක් දේවල් මතක වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔය හොරේ එළිවෙන්නේ....

      Delete
  7. ඕකනෙ අෆ්ෆ කෙල්ලො එක්ක කරන්න බැරි... බොරුවටත් ගනන් උස්සනවා, ඇත්තටත් ගනන් උස්සනවා..
    ඉතිං ඕක බලන්න අපිට දිවැස් තියෙනවයි ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අර ටීවී එකේ යන වොෂින් මැෂින් දැන්වීම වගේ නේද?...

      Delete
  8. කෝ කතාව ???

    ReplyDelete
  9. අයියෝ.... මේ දවස්වල හරි කුණාටුණේ. ඒ මදිවට ගෙදර කට්ටියත් ලෙඩ වෙලා. මේ ජරා වෛරස් උණ හැදිලා. ඉතිං ඕව අස්සෙ තමයි කතාව ලියන්න වෙලා තියෙන්නේ. අද හෙටම දෙන්නම් තව කොටසක්. මල්ලිට ස්තූතියි තතු විමසලා බැලුවට.

    ReplyDelete