“මට පුළුවන්. ඔයා යන්න.“ රමණි නංගි මාව ගෙතුලට ඇරලවමින් ඇසීය. මට තනිවෙන්න දැඩි අවශ්‍යතාවයක් විය. මගේ හිතේ හිරකරගෙන තිබූ වේදනාවට නිදහසේ එළියට එන්න ඉඩදෙන්න අවශ්‍ය විය. රමණි නංගි යැවූ මා, ගියේ නාන කාමරයටය. එහි මගේ අත පොවන මානයේ වූ ෂවරයේ පයිප්පය කරකැවූ මා වතුරේ වෙව්ල වෙව්ලා පැය ගණනක් ගෙව්වේ මට මගෙන්ම පළිගන්නට අවශ්‍යව තිබූ නිසා.
නිවසේ දී උදෑසන අවදිවූ විට මා දෑස් විවර කරන්නේ අවට පරිසරයෙන් ඇසෙන විහඟ නාදවලට මද වේලාවක් කන්දීමෙන් අනතුරුවය. ඒත් අද වෙනදා ඇසෙන ඒ විහඟ නාදයන් වෙනුවට ඇසෙන්නට වූයේ මිනිස් හඬවල්ය. ඒවාද කලබලකාරී විය. මම වහා දෑස් විවර කළෙමි. මා සිටින්නේ රෝහල් ඇඳක් මතය. මට සිදුව ඇති කිසිවක් සිතාගැනීමට නොහැකි විය. මා අසලින් පුටුවක ඉඳගෙන සිටින්නේ අම්මාය.
“අම්මේ.....“
ඒ සමගම හිස ඇදුම් දෙන්නට විය. මගේ සුරත නළල මතට ඇදීගියේ ඉබේටමය. මගේ හඬින් මා දෙස බැලූ අම්මා නෝක්කඩු බැල්මක් හෙලීය.
“හරි ෂෝක් කරල තියෙන වැඩේ.“
මම අතීතය ආවර්ජනය කරන්නට විමි. සුරංග හමුවීමට ගොස් පැමිණි මා නාන කාමරයට වැදුණු අයුරු මතකය. ඒ අවස්ථාවේ මා පැමිණියේ හිතේ හටගත් දැඩි කලකිරීමෙනි. මට මා ගැනම වෛරයක් ඇති වී තිබුණි. මා නිසා සුරංගගේ ජීවිතය කාලකණ්ණිවනු මට බලාසිටීමට නොහැකි විය.
“ඊයෙ මං ගෙදර එනකොට, ඔයා බාත්රූම් එකේ සිහියනැතුව වැටිල ඔළුවත් පැලිලා, ඒ මදිවට වතුරට තෙමිල තෙමිල ඇඟ අයිස් කැටේ වගේ වෙලා තිබුණා. මං හොඳටම බය උනා. කාන්ති ඇන්ටිලාට කතා කරගෙන, එයාලගෙ වාහනෙන් දුවව මෙහාට එක්කගෙන ආවෙ. මට රමණි දුව කිව්ව කතන්දරේ. ප්‍රශ්නවලට ඔය විදිහට නෙමෙයි දුව විසඳුම් හොයන්න ඕන. එහෙම නම් තාත්ත නැතිඋන වෙලාවේ මටත් පිස්සියක්වගේ හැසිරෙන්න තිබුණ. ආ, අන්න නංගිත් එනවා....“ රමණි නංගිත් සමග ඇය ඉක්මන් ගමනින් මා දෙසට පියනගයි.
“අක්කේ, දැන් ඔයාට කොහොමද?“ නංගි මා අසලට දිවඅවුත් ඇසීය. මම මද සිනහවක් පෑවා විනා කතා කරන්නට උනන්දුවක්වත් ශක්තියක්වත් නොවීය. මගේ දෑස්වලට මහ බරක් දැනෙන්නට විය. ඇස් අරින්නට උත්සහ ගත්ත ද ඇහිපිහාටු මත ගල්ගෙඩි දෙකක් තබා ඇතුවා සේ දැනේ. නංගි මගේ හිස සෙමෙන් පිරිමදින්නට විය.
“රිදෙනවා ඇති නේද? නළල පැලිල තිබුණෙ. මැහුම් තුනක් දැම්මා. ඊට පස්සෙ අක්කට නින්ද යන්න ඉන්ජෙක්ෂන් එකක් දීල තිබුණා.“
“ඒක නෙමෙයි, ඇයි අක්ක සුරංග අයියව බලන්න ගියේ?“ නංගී අම්මා දෙස හොරැහින් බලමින් අසන්නට විය. ඒත් ඇයට ඉන් එහාට ගිය යමක් දැනගන්නට ඕනෑ වී තිබෙන අයුරු ඇගේ ඉරියව්වලින් මට පසක් විය. අම්මාත් රමණි නංගීත් ඊට බාධකයන් වූහ.
“ගුඩ් මෝර්නිං. දැන් කොහොමද?“ මගේ ඇඳ පසුකරගෙන යන්නට පැමිණි හෙදි සොයුරියක් පියකරු සිනහවක් පාමින් මගෙන් ඇසීය.
“තුවාලෙ ටිකක් ඇදුම් දෙන එක තමයි.“
“ඒක දවසක් දෙකක් යනකොට හරියයි.“
“අද ටිකට් කපාවිද?“ ඒ පැනය අම්මගෙනි.
“ඔව් අද ටිකට් කපාවි. කොහොමත් ඩොක්ටර් ආවට පස්සෙ තමයි. දවල්ට ලෙඩ්ඩු බලන වෙලාවට ගෙදර යන්න පුළුවන් වෙයි.“ ඇය යළිත් මන්දස්මිතියක් පා අපෙන් වෙන්ව ගියාය.
“දුවට බඩගිනිත් ඇතිනේ. මං මොනවා හරි අරං එන්නම්.“ යි පවසමින් අම්මා පිටව ගියාය.
“අමාලි අක්කෙ. අපි ඊයෙම වික්‍රමට කතා කරලා අක්ක ඉස්පිරිත්තාලෙ කියලා විස්තරේ කිව්වා. මිනිහා ඔළුවෙ අතගහගත්තද කොහෙද. කොහොම හරි සුරංග අයියව එක්කගෙන එනව කිව්වා. “ යි රමණි නංගි මගේ අතකින් අල්ලාගෙන පැවසීය.
“ඔයාල යනකොට සුරංග අයිය හොඳටම බීලලු නේද හිටියේ? මං හිතුවෙ නෑ එයා ඔහොම බොනවා කියලා.“
“සුරංග බේබද්දෙක් නෙමෙයි නංගි. මගෙන් එයාට ලොකු වැරැද්දක් උනා. එයාට ඒක දරාගන්න බැරිවෙන්න ඇති.“
“වැරැද්දක් උනා...!“
“ඔව්. ඒ මොකද්ද කියන එක ඔයත් දන්නවා.“ මගේ හිතේ ඇති වූයේ ආවේගයකි. නංගිට සිදුව ඇති දෑ තේරුම් ගියාසේ නිහඬ විය.
අම්මා රෝහල් ආපනශාලාවෙන් බනිස් ගෙඩි දෙකක් ගෙනාවාය. ඒ සමගම ලෙඩ්ඩු බලන වෙලාව අවසන් බව අඟවන සීනුව නාදවිය.
“අම්ම යන්න. ඊයෙ රෑත් හරි නින්දක් නැහැනේ“
“ඒක නම් එහෙම තමයි. කෙඳිරිගෑම් තමයි මුළු රෑම ඇහුණෙ. චූටි දුව අක්කගාව ඉන්නවද?“
“ඕන නැහැ. නංගිට වැඩට යන්නත් තියෙනවනේ.... මට දැන් අමාරුවක් නැහැ. අම්ම දවාලට එන්නකෝ....“
අම්මත් නංගිලා දෙන්නත් පිටව යන අය හා එකතු වූහ. මම ඔවුන් යන දෙස බලා සිටින්න වීමි. සෙනග අතරින් ඈතට ඈතට ගිය ඔවුන් එකවරම අතුරුදන් විය. අම්මලා ගිය පසු අම්ම ගෙනැවිත් තිබූ බනිස් ගෙඩි දෙකෙන් එකක් ගෙන කන්නට වීමි. ඒත් කිසිම පිරියක් නැත. කෑල්ලක් කෑ බනිස් ගෙඩියේ ඉතිරි කොටස යළි බෑගය තුළට දැම්වෙමි.
“මේ, මොනව වෙලාද ඔළුව තුවාලවුනේ.“
යාබද ඇඳේ උන් මැදිවියේ කාන්තාව මගෙන් ඇසීය. තරබාරු කාලවර්ණ සිරුරකින් හෙබි ඇය වෙළෙන්දියක ස්වරූපයක් ඉසිලිය. ඇගේ අතක් උරපතේ සිට වෙලා තිබුණි.
“බාත් රූම් එකේ වැටිලා.“
“ඔයාට ඇවිදින්නත් බැරිද?“
මම හිස දෙපසට සැලුවෙමි.
“ඒ මොනවා වෙලාද?“
“ඇක්සිඩන්ට් එකක් වෙලා.“
“කොහේදිද? කොහොමද?“
ප්‍රශ්න වැලක්. මට අතීතය යළි ආවර්ජනය කරන්නට සිදුවිය.
“හප්පොච්චියේ..... හරිම අවාසනාවක්.“ ඇය අත්ල නිකටට තබාගනිමින් පැවසීය.
වෛද්‍යවරයා රෝගීන් බලමින් පැමිණ මගේ ඇඳ අසලට පැමිණියා. ඔහු ඉතා තරුණ වෛද්‍යවරයෙකි. ප්‍රියමනාප පෙනුමකින් යුත් ඔහු ඇඳ ඉදිරියේ ඇති මේසය මත වූ ෆයල් කවරය තුළ වූ ලේඛන කිහිපයක් පරික්ෂා කරන්නට විය. අනතුරුව යමක් ලියා මා දෙස බැලීය.
“දැන් සනීපයි නේද? මං ටිකට් කපනවා. දවල්ට ගෙදර යන්න පුළුවන්. ෆයිල් එකේ තුන්ඩුවක් ඇති ඒකෙ තියෙන බෙහෙත් ඩිස්පෙන්සරියෙන් ගන්න. සූමානෙකින් ඇවිත් මැහුම් කපාගන්න.“ යි පවසමින් ඉවතට ගියා. ඉන්පසු හෙදියක විසින් බෙහෙත් පෙති දෙකක් බීමට ලබාදුන්නා. එය බීමෙන් අනතුරුව මම දෑස් පියාගත්තෙමි. සුරංග ගැනත් පෙරදින සිදුවූ සිදුවීම ගැනත් යළි මෙනෙහි කිරීමටය. එය වේදනාත්මක සිතුවිලි දාමයක් වුවද මට මගේ සිත පාලනය කරගැනීමට නොහැකි විය. වික්‍රම පැවසූ පරිදි සුරංග උදේ වරුවේ මා බැලීමට පැමිණියේ නැත. ඔහු යළි කිසිම දිනක මා බැලීමට නොඑන්නේවත්ද?
තරු
මතුසම්බන්ධයි
වෙනදාසේම සිතට දැනුන අදහස තියලයන්න අමතක කරන්න එපා....
සුරංග.....
ReplyDeleteපවි යකෝ...................... අර කෙල්ල....
ඉස්සරහට මොනා වෙයිද කියන නොයිවසිල්ල තමා දැන් තියෙන්නෙ
හැකි ඉක්මනින් දාන්න බලන්නම් මහේෂ් ඊළඟ කොටස. මේ දිනවල ටිකක් කාර්ය බහුලයි මගේ නවකතාව එළිදැක්වීමේ කටයුත්තට.
Deleteසුරංග එන්නම ඕනේ මට හිතෙන විදිහාට ...තරු පොතේ වැඩේ ලඟයි නේද? දැන් බිසී ඇති
ReplyDeleteඔව් ඉවාන්. පහුගිය දවස්වල යාපනේ ගියා. ඒ ඇවිත් පොතේ වැඩට බැස්සා.
Deleteසුරංග ඒවි මාත් හිතන්නෙ එහෙමයි.
ReplyDeleteම්.... කොහොමද හැලපඅයියා තක්කෙටම කියන්නේ?
Deleteඅපි බලමුකො මොකද වෙන්නෙ කියල ඉස්සරහට.
ReplyDeleteහ්ම්...හම්.... ඒක හොදා..
Deleteඅපි දිගටම කියවනවා තරු
ReplyDeleteස්තූතියි බින්දි!
ReplyDelete