අපට සෙවන දුන් මහා රුක්ෂයක් මුලින්
ඉදිරී බිමට වැටී ගියාසේ මුළුගේම පාළුවට ගොසින්ය. අම්මා නංගි දෙන්නත් කසාය බීපු
ගොළුවන්සේ මුළු ගැන්වී සිටිති. කාමරයෙන් පිටට එන හැම විටම අප්පච්චිගේ හඬ ඇසෙයි. ඒ
සුවඳ දැනෙයි.
මම අතීතය යළි ආවර්ජනය කළෙමි. දහසක්
බලාපොරොත්තු සිත තුළ පොදි බැඳගත් මගේ ජීවිතය, දැන් ඒ සෑම බලාපොරොත්තුවකින්ම ඈත් කර
තිබේ. මගේ ආරක්ෂාවට පැමිණි අප්පච්චී අපට අහිමි විය. මාව අබ්බගාතයෙක් කරමින් මුළු
අනාගතයම අඳුරු අගාධයකට ඇද දැමිනි. දෙපාවාරු දී හිටගන්නටවත් නොහැකි මා කෙසේද
කසාදයක් ගැන හිතන්නේ. මේ විදිහට මට කවදාවත් සුරංගගේ විය නොහැක. දෛවය කුරිරු
අයුරෙන් අපිව වෙනකරන්නට ක්‍රියා කර ඇත. සුරංග අපේ අනාගතය වෙනුවෙන් බොහෝ දෙවල්
සැලසුම් කරන්නට විය. මේ හැම දෙයක්ම එයාට හීනයක් වගේ ඇති. “පව් දෙයියනේ මට ඔයා ගැන
දුකයි රත්තරං.“
දවසේ වැඩි කාලයක් මා ගත කලේ මගේ කාමරය තුළය. දෙපා
වාරු නැති මගේ පිහිටට සිටින්නේ රෝද පුටුවයි. දිගින් දිගටම බෙහෙත් කරනකොට කිහිලි
කරුවාරුවෙන් ඇවිදින්නට පුළුවන් වේවී කියලා වෛද්‍යවරු කියා තිබුණත්, එසේ හැකියාව
ලැබෙන්නේ කොපමණ කලකින්ද කියා නොකියයි. අප්පච්චිගේ මළගමට පැමිණි අයියා වැඩ රාජකාරි
නිසා ගියත්, අක්කා තවම ගෙදර ඉඳියි. බොහෝ වේලාවක් අතීතාවරජනයේ සිටි මම දෑස්
විවරකළෙමි. හතර වටින් කළුවර වී ඇත. ජනෙල්
කවුළුවෙන් පිටත බැලුවෙමි. සහන ආලෝකයක් ගස්වල අතු අතරින් පෙනෙයි. මම අතපොවන මානයේ
වූ කුඩා ඔරලෝසුව ගන්නට අත දිගුකරත්ම අඳුර නසාලමින් කාමරේ විදුලිය දැල් වුණි.
“මං හිතුවේ නංගිට නින්ද ගිහින්
කියලා.“
අක්කා බෙහෙත් රැගෙන කාමරේට පැමිණියා.
“ආ..... බොන්න මේ බෙහෙත්.“
අක්කා බෙහෙත් බෙති අහුරක් මා අත
තැබීය. මට ඒවා දුටු පමණින් වමනෙට එන්නා සේ දැනයි. මේ බෙහෙත් බීම මට දැන් හොඳටම ඇති
වෙලාය.
“තව කොච්චර කල් මේ බෙහෙත් බොන්න වෙයිද
අක්කේ?“
“ඒව ගැන හිතන්නේ නැතිව, මේ බේත් ටික
බීල ඉන්න කෝ....“
එසේ කියා ඈ මා දෙස කණගාටුවෙන් බැලුවා.
ඇයට අපේ අතීතය සිහිවන්නට ඇති. පොඩි කාලෙසේම ලොකු වෙලත් පොඩි දේටත් බොරුවට රණ්ඩු
වෙච්චි හැටි. ඒ වෙලාවට අම්මගෙන් බැනුම් අහපු හැටි ඇයට සිහිවෙනවා ඇත. අයෙත් ඒ
අතීතයට යා හැකි නම්? මා බෙහෙත් බොන අතරේ අක්කා මා දෙස අනුකම්පාව, ආදරය, සහෝදර
සෙනෙහස පිරුණු දෙනෙතින් බලා සිටින අයුරු මගේ දෑස් කොණට අසු විය. මම ඇගේ අතකින්
අල්ලා ගතිමි. ඇගේ දෑස් අගට කඳුලක් නැගුණි. මා සිත උපන් දුක සඟවාගෙන සිනාසෙන්නට
වෑයම් කළෙමි.
“අපි ඉස්සර වගේ අල්ලන සෙල්ලම් කරමු?“
අක්කා කිසිත් නොකියා මගේ හිස අතගෑවා.
මම ඒ අත අල්ලාගත්තා. මගේ දෑස් අගින් කඳුලක් ගලා යන්නට විය. අක්කගේ මුවෙන් දීර්ඝ
සුසුමක් පිටවිය.
“අක්කෙ අපි ටිකක් එළියට යමු.“
“යමු.“ මද සිනාවක් පාමින් පැවසුවාය.
ඇය මා අත වූ වීදුරුව පසෙකින් තබා රෝද පුටුව ඇඳ අසලට යොමු කළා. ඉක්බිති ඇගේ
උපකාරෙන් මා ඊට ගොඩවිය. ඈ රෝද පුටුව තල්ලුකරගෙන මිදුලට පියනැගීය. අප්පච්චිගේ මළගම
අවසන් වූ දිනට පසු දිනම, අයියා විසින් නිවස ඉදරිපසින් සහ කුස්සියෙන් මිදුලට බසින
පඩිය මගේ රෝද පුටුව ගැනීමට පහසුවන අයුරෙන් සිමෙන්ති දමා සැදුවේය. ඒ නිසා තනිවම
වුවද ගෙතුලෙන් මිදුලට බැසීමට හැකියාව ඇත. එළියෙ හුඩ් එකේ දමා ඇති ලයිට් එක නිසා
මිදුලට යම් ආලෝකයක් ලැබෙයි. අපි අලුගැට පේර ගහ පාමුලට ගියෙමු. අක්කත් මා අසලින්ම
ගල් බංකුව මත ඉඳගත්තා.
“අක්කට මතකද ඉස්සර අපි තුන්දෙනා
මෙතෙන්ට ඇවිත් අහසෙ යන දියකාවෝ ගණන් කරනවා. උන් එක එක රටාවට පෝළිමේ යනකොට හරි
ලස්සනයි.“
“හ්ම්.... දියකාවෝ ගණන් කරන්න පටන්
ගත්තේ අපි ටිකක් ලොකු වෙද්දිනේ. ඊට කලින් තරු ගණන් කෙරුවනේ.“
“වැඩේ හරි යන්නෙ නැති නිසා ඒක අත්ඇරලා
දියකාවෝ ගනින්න පටන් ගත්තා.“
“ හැබැයි පොඩ්ඩිනම් ඒත් තරුමයි ගණන්
කරේ.“
“මොකටද මං තරු ගණන් කරේ...“ යයි
අසාගෙන කේෂිණී එතැනට පැමිණියා.
“පුංචි කාලේ අපි තුන් දෙනා මෙතනට වෙලා
ඉඳල කරපු සෙල්ලම, පොඩ්ඩිට මතකද?“
කුඩා කාලේ කොච්චර සුන්දර ද? ඒ කාලේ
අපේ හිත්වල සිහින තිබුණේ නෑ, බලාපොරොත්තු තිබුණේ නෑ. ජීවිතේ යතාර්ථය මොකද්ද
කියලවත් තේරුමක් තිබුණේ නෑ. දෙමව්පියෝ දෙන දෙයක් කාලා, අඳින් තියෙන දෙයක් ඇඳලා
සැහැල්ලුවෙන් විනෝදෙන් ජීවත් උනා. ආයෙත් ඒ කාලෙට යන්න තියේ නම්.....
**** **** මාස
හතරකට පසු **** ****
“කෝ මං කියපු පොත් නෙමෙයිනෙ ගෙනැල්ලා
තියෙන්නේ.“ යි කියමින් තොඳොල් වෙයි.
“මට ඒ පැත්තෙ යන්න බැරි උනා. ලබන
සුමානෙ යනවා එතකොට ගෙනැත් දෙන්නම්කෝ.“
“එතකොට මේ පොත්.?“
“ඕවා අපේ ගෙදර තිබුණා. ඔයත් කියවල
බලන්න?“
“අපෝ..... මේ භාවනා පොත් නේ. මේව
හොඳයි ආච්චිලා සීයලාට.“ යයි නංගී කියන අතරේ සුරංග මා සිටි තැනට පැමිණියා.
“කොහොමද අමා. හැමදාම බෙහෙත් ගන්නවා
නේද?“
සුරංග මගේ අතකින් අල්ලාගෙන ඇසුවේ, මාව
හොඳින් බලාගන්නා ලෙස නංගිට කියමින්ය.
“ආ මේ පොත් දෙක ඔයාට. ඔය එක එක බහු -
බූත හිත හිත ඉන්නේ නැතුව මේක කියවන්න. මේ ආච්චිටත් පොතක් දෙන්න කියවන්න.“ යයි
පැවසුවේ නංගී දෙස බලමින් ඔච්චම් ලෙසටය.
“මේ නිකං ඉන්න හරිද සුරංග අයියා.“ යි
කියමින් මූණ ඔරවාගෙන ගේ දෙසට දිව ගියා.
“නංගී... අයියට තේ එකක් හදල ගේන්න.“
අප වෙතින් ඉවතට යන ඈට තරමක් උස් හඬින්
පැවසීමි.
“මට බෑ. අපි වයසයිනේ තේ හදන්න අත වාරු
නෑ.“ කේෂිණී තරහෙන් කියාගෙන ගියත්, ඈ තේ එකක් හදාගෙන එන බව නම් හොඳාකාරවම දනිමි.
සුරංග මද වේලාවක් අප සමග අල්ලාප
සල්ලාපයේ යෙදී සිට පිටව ගියා. ඔහු පැමිණ සිටි කාලය තුළ ප්‍රබෝධයෙන් පිරීගිය මගේ
සිත, ඔහු ගිය සැනින් හිස්ව ගියා සේ දැනේ.
“අක්කා අත ගහන්න.“
නංගී බුදුන් පිදීමට සැකසූ මල් වට්ටිය
මා දෑතට ළං කළාය. නංගිගේ උදව්වෙන් ගෙතුලට ගිය මම සුරංග ගෙනැවිත් දුන් පොත් අතරින්
පොතක් ගෙන කියවන්නට වීමි.
සුරංග සමහර දිනවලට එන්නේ හෝටලේ වෑන්
එකෙනි. එසේ එන්නේ මාව කොහේ හරි එක්කගෙන යන්නටයි. එසේ කොහේ හෝ ගියදාට මගේ හිතට
දැනෙන්නේ පුදුම සැහැල්ලුවකි. ඒත් එක්කම ඒ සැහැල්ලුව බිඳගෙන දුක සුසුම මහා දිය
රැල්ලක්සේ ඇවිත් හිත වසාගන්නේ අනාගතය ගැන සිහිවීම නිසාය.
සමහර දිනවලට නින්දත් නොනින්දත් අතර
පෙරලෙමින් රැය පහන් කරන්නේ අවුල් වූ සිතුවිලිවලින් මා මනස කලඹන නිසාය. අප්පච්චිගේ
තුන් මාසෙ දානෙත් දී ඉවර වී ඇතත් මගේ තත්වේ වෙනසක් නම් මට දැනෙන්නේ නැත. වෛද්‍යවරු
මා හට කිහිලි කරු ආදාරෙන් ඇවිදින්න පුළුවන් වෙනවා කීවත් එය හැමදාම පස්සට යන හීනයක්
විතරයි කියලා මට නම් හිතෙන්නේ. මට දුක සුරංග ගැන. මම තවත් සුරංගට බලාපොරොත්තු
තියාගන්නට ඉඩ දීමේ තේරුමක් තිබේද? මා නිහඬව සිටීමෙන් ආත්මාරථකාමී ලෙස ඇසිරෙනවා
නේද? හෝටලේ වැඩ හොඳින් කෙරීගෙන යයි. පැහැදිලි ලස්සන අනාගතයක් තියෙන ඒ තරුණ ජීවිතය
මං නිසා අඳුරට වැටෙන්නට දියහැකිද? මා දැන් කිසිම වටිනාකමක් නැති නිකම්ම නිකන් ගෑනු
පරාණයක් පමණයි. මේ සියලු සිතුවිලි අතරේ මැවී පෙනෙන අප්පච්චිගේ රුව මා තව තවත්
පීඩාවට පත් කරයි. එදා සිදුවීම විදුලි දහරාවක් පරිද්දෙන් සිත හරහා ඇදී යන්නේ මුළු
සිරුරම දවාලමින්ය. යම් කිසිවෙකු මිනිස් ආත්මයක් ලබන්නේ නම් ඒ තැනැත්තාගෙන් ගමට රට
හෝ පවුලට යම් සේවයක් විය යුතුය. එවිටයි ඒ ආත්මයට වටිනාකමක් සැලකිල්ලක් ලැබෙන්නේ.
එසේ බලනකල මගෙන් කිසිවෙකුටත් සෙතක් නැත. හැමෝටම බරක් පමණි. මේ ජීවිතය තව කොපමන
කාලයක් මේ විදිහට ගෙවන්නද? කාටවත් ප්‍රයෝජනයක් නැති ජීවිතයක් තව දුරටත් ජීවත්
කරවීමෙන් පලක් තිබේද? රෝද පුටුවෙන් නැගිට ඇවිදින්නට තිබූ බලාපොරොත්තුව දැන් ටිකෙන්
ටික ඈතට යනවා සේ දැනෙයි. මංගල ඇඳුමෙන් සැරසී සුරංගගේ හෝටලේ තැනූ පොරුවක නැගී ඔහුගේ
අතගෙන ඔහුගේම වෙන්නට පිරූ පෙරුම දැන් බොඳවී ගිය හීනයක් පමණි. මගේ දෑස් අගට කඳුලක්
නැගුනි. කේෂිණී මා දෙසට හැරී අතක් මා ඇඟ මතින් දමා ගත්තත් ඇයට ඇහැරුණි. ඇඳ විට්ටමට
හේත්තු වී සිටින මා දුටු කේෂිණී,
“අක්කේ, මොකද මේ මහ රෑ ඇහැරගෙන?“
ඇය කූඩා විදුලි ලාම්පුව දල්වා වෙලාව
බැලුවා. එහි 2.24 ලෙස සටහන්ව තිබුණි.
“ඔයා මොනවද ඇහැරගෙන කරන්නෙ.“
“නින්ද යන්නෙ නැති නිසා ඇහැරගෙන
ඉන්නවා.“
“විකාර නැතුව නිදාගන්න. ඔන්න මම
නිදි.“
කේෂිණී පොරවනය ගෙන ඒ තුළ සැඟවුනා.
මතුසම්බන්ධයි
තරු
වෙනද
වගේම අදහසක් තියල යන්න අමතක කරන්න එපා
(පිංතූර අන්තර්ජාලයෙන්)
අපොයි ඕව පොත් ගේන්න බැරි උනත් බාවනා පොත් නං ගෙනැත් දෙන්න නාකයි.. අපි කියවනවා බය වෙන්න එපා...
ReplyDeleteභාවනාව හිත සන්සුන් කරගන්න හොඳයිනේ. සුරංග එහෙම හිතලා වෙන්නැති ඒ වගේ පොතක් දුන්නේ.
Deleteදැන් මොනවද කියන්නේ , ඉක්මනට සුව වේවා කියලා තමයි පතන්න වෙන්නේ
ReplyDeleteඅනේ ඔව් ඒක තමයි අපි කාගෙත් පැතුම.
Deleteදිගටම ලියන්න තරු ..... අපි එනවා කියවන්න .....
ReplyDeleteස්තූතියි සහන්.
Deleteසුරන්ග නියම කොල්ලෙක් නේ
ReplyDeleteආයිත් අහලා. වචනේ පරිසමාප්තයෙන්ම ආදරණීය පෙම්වතෙක්.
Delete////ඩා කාලේ කොච්චර සුන්දර ද? ඒ කාලේ අපේ හිත්වල සිහින තිබුණේ නෑ, බලාපොරොත්තු තිබුණේ නෑ. ජීවිතේ යතාර්ථය මොකද්ද කියලවත් තේරුමක් තිබුණේ නෑ. දෙමව්පියෝ දෙන දෙයක් කාලා, අඳින් තියෙන දෙයක් ඇඳලා සැහැල්ලුවෙන් විනෝදෙන් ජීවත් උනා. ආයෙත් ඒ කාලෙට යන්න තියේ නම්....//////.
ReplyDeleteබැරිවෙලා හරි යන්න හම්බවුනොත් අපිටත් කියන්න,....ෂුවර් එකට මාත් එනවා....හැබැයි ටික දවසකට විතරයි.....මට බැහැ මුල ඉඳන් ආපහු ලොකුවෙන්න.
මට යන්න ලැබුණොත් මම නම් පැනලා යන්නේ. පුංචි කාලෙදී හරි ආසයි ඉක්මනට ලොකු වෙන්න. පෙරුම් පුරලා පෙරුම් පුරලා ලොකු උනානේ. ඊට පස්සෙ වයසට යනවනේ ඒකට කවුද කැමති? ලොකු උනහම වගකීම් වැඩියි. යුතුකම් වැඩියි. එතකොට පුංචි කාලේ කොච්චර හොඳද කියලා හිතෙන්නේ නැද්ද?
Delete