අද දවසත් නිමා කරමින් හිරැ ක්ෂිතිජයේ සැඟව යන මොහොතේ
ඔහු සෙමෙන් සෙමෙන් වෙරළ දෙසට පිය මනින්නට විය. ඉස්සර වගේ නෙමෙයි දැන් වෙරළ හරිම
ලස්සනයි පිරිසිදුයි. තැනින් තැන මල් ගස් වවළා, තැනින් තැන ගලින් තැනූ බංකු තියලා
තිබුණා. තම වාරැ නැති දෙපයට වාරැ ගෙන දෙන සැරයටිය බිම අනිමින් ඔහු ඉදිරියට ගමන්
කරයි. ඒත් ඉස්සර වගේ ඔහු දැන් වේගවත් නැත, ගතට විඩාව දැණුන නිසාදෝ ඔහු ගල් බංකුවක්
මත ඉද ගත්තේ ය.
මිනිසුන්ගෙන් මෙන්ම කුඩා දරැවන්ගෙන් පිරී ගිය ද ඔහු දැනුණේ
හුදකලාවකි. ඔහු දෑස් අයාගෙන වටපිට බලන්නට විය. අද වෙනදාට වඩා වෙනස් බවක් ඔහුට
මුහුදු වෙරළේ දැකගත හැකි විය. තරැණ ජෝඩු ගොඩයි කියා ඔහුට සිතුණි.
''අහ්, අද පෙම්වතුන්ගෙ දවසනෙ" කියා ඒකවරම ඔහුට කියැ වුණි. හේ අතීතය සිහි කරන්නට විය. ඔහුගේ සිත මීට හරියටම අවුරැදු 50 ක් ආපස්සට ඇදී යන්නට විය.
"හහ්... මට මේ වෙලාවට තමයි අයිරාංගනීව මතක් වෙන්නෙ. අපිට නම් ආදරේ කරන්න පෙම්වතුන්ගෙ දින තිබුණේ නැහැ නෙව. ඒකත් ඒකට දැන් කාලේ හැටියට මිනිස්සුන්ට කොහෙද ආදරේ කරන්න වෙලාවක්. ඒක කරන්නෙත් SMS ඒකෙන් නෙ. උදේ නැගිට්ට වෙලාවෙ ඉදන් දුවනවා, දුවලා දුවලා හති වැටිල හැරිල බලද්දි කරපු දේකුත් නෑ, නිකම්ම වයසට ගිහිල්ලා." ඔහු දිගු සුසුමක් පිට කළේ ය.
"ආ... සීයේ මොකද මෙතන තනියම. මලක් දෙන්න කවුරැත් නෑ වගේ?"
''කෙල්ලෙකුත් කරෙ ඒල්ල ගත්තු ඉලන්දාරියෙක් ලැජ්ජ නැතුව ඇවිත් මගෙන් අහන හැටි. අනේ මගේ කට මොකටද." යි සිතමින්, මම ඔහුගේ මුහුණ දෙස අප්‍රසාදෙයන් බැලුවෙමි. ඇත්තටම අයිරාංගනී හිටියනම් මං මේවගේ තනි වෙන්නේ නැහැ. දරැවො පස් දෙනෙක් හදලත් අද මං තනි වෙලා. උන් ඒකෙක් මගෙ තනියට නැහැ. අයිරාංගනී ඔක්කෝටම කළින් මාව තනි කරල ගියා. ඊට පස්සෙ දේපළ මදිවෙලා තව දෙන්නෙක් තරහ වෙලා ගියා. තව දෙන්නෙක් රට අතැරලා යන්නම යන්න ගියා. දන්න කියන තැනක ඉන්නෙ පොඩි කෙලී විතරයි. ඒකිටත් නොසෑහෙන්න පර්‍ශ්න. හ්ම්....."
"තාත්තෙ ඔයාට දැන් මහ ගෙදර තනියම ඉන්න බැහැනෙ. මායි අසංගයි ගිහින් හොද 'හෝම්' ඒකක් හොයා ගත්තා. ඒහේ ගෙදර ඉන්නවට වඩා සැපට ඉන්න පුළුවන්" ඒ අැමරිකාවේ ස්ථීර පදිංචියට යන්න සූදානම් වෙලා හිටිය මද්දුමී දවසක් මං වෙනුවෙන් ගෙනාව යෝජනාව, ඒක ස්ථීර කෙරැවෙ දැනට ඒංගලන්තේ පදිංචි වෙලා ඉන්න ජයන්ත. එදා එයා අපේ මද්දුමීගේ කොම්පියුටරෙන් මූණදාලයි යෝජනාව ස්ථීර කොළේ. ඒ වෙනකොටත් අමරයි, මාධවියි තරහා වෙලා ගිහින් හිටිය නිසා මං ගැන අවසන් තීන්දුවකට ඒන්න මගේ දරැවන්ට ඒච්චර අපහසු වුණේ නැහැ. යෝජනාව ස්ථීර වෙලා දවස් තුනකට පස්සෙ මං මගේ අලුත් නිවහනට ගියා.
නිස්කලංක පරිසරයක පිහිටි පරණ පන්නේ නිවෙස අපිටම ගැළපෙන තැන. නිවාසයට ඇතුළු වෙන තැන 'සුව සෙවන වැඩිහිටි නිවාසය' කියලා බෝඩ් ලෑල්ලක් ගහල තිබුණා. බෝඩ් ලෑල්ල ඉස්සරහ කාර් එක නවත්තපු මගේ බෑනා අසංග කිව්වා "තාත්තෙ මෙන්න තැන. කොහොමද නියමයි නේද?" කියලා. අපි එනබව කලින් දැනුම් දීල තිබිලද කොහෙද කාර් එකේ නලා හඬ ඇහුණ ගමන්ම අඟුටු මිටි මිනිහෙක් ගේට්ටුව ළඟට දුවගෙන ඇවිල්ලා ගේට්ටුව ඇරියා. වත්ත මැද්දෙන් ගිය කාර්එක කෙලින්ම නැවැත්තුවේ පෝටිකෝව යට. කාර් එකේ වම්පසින් බැස්ස මද්දුමී මා සිටි තැන දොර ඇරියාය.
"බහින්න තාත්තෙ. අසංග, ඔය ඩිකියේ තියෙන තාත්තගෙ බඩු ටික ගන්න."
මද්දුමීගේ විධානයට අවනත වූ අසංග ඩිකිය ඇර මා සතුව තිබූ ලට්ට ලොට්ට ඔක්කෝම බිමට බෑවා.
"අයියෝ තාත්තා මේ පොත් පෙට්ටියත් ගෙනාවද? බාගයක් කාවෝ කාලා, බාගයක් ඉරිලා ඕවත් කියවන්න පුළුවන්ද. මං ඒව සුද්ද කරල පුච්චලා දාන්න හිටියෙ."
මද්දුමීගේ ඒ කතාවට නම් මට ඇත්තටම තරහා ගියා. මං ඇගේ කනට කොදුරලා මෙහෙම කිව්වා.
"උඹලට තිබුණේ පොත් නෙමෙයි මාව පුච්චලා දාන්න"
ඇය ගස්සලා අහක බලාගත්තා.
"ආනේ.... මිස්ටර් අසංග කම් කම්." මැදිවියට ආසන්න වෙමින් සිටින කාන්තාවක් පැමිණ අපිව පිළිගත්තා. මා අසල බිම තිබෙන බඩු දැකලා,
"ඕ... මයි ගෝඩ් ලොට් of බෑග්ස්. ඕකේ ඉට්ස් ඕකේ. නිමා....ල් මේ මහත්තයගේ බඩු ටික කාමරෙන් තියන්න."
මගේ අළුත් නිවහනේ සෑම අස්සක් මුල්ලක් නෑරම මගේ දෑස් දිව යයි. නවාතැනට පැමිණි අළුත් හිතවතා දැක බලාගන්න වගේ අනෙක් සහෝදරයන් එහෙන් මෙහෙන් කොකම් පාන්නට විය.
"එන්න සර් අපි කාමරේට යමු."
"ඉයස් මිස්ටර් වීරසිංහ යූ කැන් ගෝ ටු යුඅර් රෑම්."
පාලිකාවගේ උපදෙස් මත මම අර කොට මිනිහා එක්ක මගේ කාමරේට ගියෙමි. කොරිඩෝවක් දිගේ ඉදිරියට ගමන් කරමින් ගොස් දකුණට හැරැණෙමි. කොරිඩෝව දිගටම තියෙන්නේ කාමර. මම මගේ කාමරේට ඇතුල් වුණෙමි. එහි අල්මාරියක්, ඇදක්, කුඩා ලියන මේසයක්, ඇදුම් රාක්කයක්, විදුලි පංකාවක් සහ මදුරැ දැලකින් අංග සම්පූර්ණ වී තිබුණි.
"කොහොමද මහත්තයා කාමරේ හොදයි නේද?"
"හ්ම්.." මම ඇද මත හිද ගත්තෙමි.
"ආ... මං ඉදගන්න පුටුවක් ගෙනත් දෙන්නම්." යි පැවසූ නිමල් කාමරෙන් පිට විය. ඒ සමගම කාමරයට ඇතුල් වූයේ මද්දුමියි, අසංගයි.
"කොහොමද තාත්තෙ කාමරේ?"
"වරදක් නෑ"
"වරදක් තියෙන්න විදිහක් නෑ. අසංග කතා කරල ගත්තෙ vip රෑම් එකක්. අපි මාසෙ ගාස්තුව එවනවා. තාත්තා ඒ ගැන කරදර වෙන්න එපා." මද්දුමී මහත් උජාරැවෙන් පැවසීය.
"තාත්තා අපි ලබන ඉරිදා යනවා, ඊට කළින් තාත්තව බලන්න ඇවිත් යන්න එන්නම්කෝ."
එහෙම කියලා මද්දුමියි අසංගයි යන්න ගියා. මම කාමරේ දොර වහගෙන ඇදේ දිගා උනා. ගතට විඩාවක් නැති උනත් හිතට මහ පාළුවක් දැනෙන්නට විය. මම තනි උනා. මගේ දෑස් අගට ඉනූ කදුලක් හොරෙන්ම පහළට ගලා ගියා. "ටක්, ටක්, ටක්" කවුදෝ දොරට ගසයි. "දොර ඇරලා" යි මම පැවසුවෙමි. කලබලෙන්ම ඇතුළට ආව නිමල්, "මහත්තයට මැඩම් කතා කරනවා." යි කියා කලබලෙන්ම යන්න ගියා. මම ඇද සිටි ඇදුමෙන්ම ඉස්සරහට ගියෙමි. හහ්, මාව පිළිගන්න මෙහි නේවාසිකව ඉන්න අනෙක් අය රැස්ව සිටිති. මාව දුටු පාලිකාව,
"එන්න මිස්ටර් වීරසිංහ. ඇවිත් ඉදගන්න කෝ.... මේ ඉන්නේ මෙහේ ඉන්න අනෙක් වැඩිහිටියෝ. මං ඒ අයව ඉන්ටර්‍ඩියුස් කරල දෙන්නම් කෝ... මේ ඉන්නේ මිස්ටර් හියුගෝ, මේ මිස්ටර් ස්ටැන්ලි, මේ මිස්ටර් අබේපාල, මිස්ටර් වැන්ඩර්වට්, මිස්ටර් රැබේරැ, මිස්ටර් මීගම්මන. එතකොට අපේ ලේඩීස්ලා තමයි... මේ ඉන්නේ මිසිස් කැතරීන්, මිසිස් ශීලා, මිසිස් වැන්ඩර්වට් ඇන්ඩ් මිසිස් ඇග්නස්. අපේ තව ඉන්නවා මිසිස් සුසිලා. එයාගේ සන් රට ඉදන් වැකේෂන් එකකට ඇවිල්ල නිසා අම්මව එක්කගෙන ගියා."
"කෝ මැඩම්ගෙ නම කිව්වෙ නෑනෙ." ඒක් වැඩිහියෙක් පැවසීය.
"ඕ... සොරි සොරි. අයි ඈම් මිසිස් ඉමෙල්ඩා"
හැමෝම මට අතට අත දෙමින් මාව පිළිගන්නට වූහ.
*************** වසර දෙකකට පසු ************************************
මහගෙදර කුලියට දී ඇත. එහි මුදල යන්නේ මදදුමීගේ බැංකු ගිණුමට. මද්දුමී දැන් නිවාසේ කුලිය එවන්නේ නැත. මට පැන්ෂන් එකක් තියෙන නිසා හොදයි. මද්දුමී මහත් අසාවකින් ගියත් දැන් දුක් විදින බවයි ඇගේ කතාවෙන් පෙනී යන්නේ.
මම මුහුද දිහා බලාගෙන අතීතය සිහිකරන්නට විමි. එක වරම මගේ දැහැන බිදීගියේ පොඩි කෙලි පැටික්කියෙක් ඇවිත් මා අසලින් ඉදගත්ත නිසා. ඈ මා දෙස බලා සිනාසුණාය. මම ද ඇයට ඒ අයුරෙන්ම පර්‍තිචාර දැක්වීමි.
"සීයා ගොඩක් වෙලාද මෙතනට ඇවිල්ලා...?"
"ඔව් ගොඩක් වෙලා."
"සීය තනියමද ආවේ?"
"ඔව්, තනියම ආවෙ. එතකොට ඔයා...."
"මම නම් තනියම නෙමෙයි ආවෙ. අම්මයි, තාත්තයි අයියයි, මල්ලියි, ආච්චියි එක්කලා...."
"ආ..... ගොඩක් අය ඇවිල්ලනේ.... ඉතිං කෝ ඒ අය.?"
"අර ඉන්නේ"
කටකාර කෙල්ල වෙරළේ කෙළවරකට ඇගිල්ල දිගුකර පෙන්නන්නට විය.
"කෝ මට පෙන්නෙ නෑනේ."
"අයියෝ..... ඔයාට ඇස් පේන්නෙත් නැද්ද? ඔයත් හරියට අපේ ආච්චි වගේ. හහ්, ඔයා එන්න මං ඔයාට අපේ ආච්චිව අදුන්වලා දෙන්නම්" යි පැවසූ කටකාරී මගේ අතින් අදින්නට විය. ඇගේ පෙරැත්ත කිරීම නිසාම මට ඇය සමග ඇගේ ආච්චි මුණගැහෙන්න යන්නට සිදුවිය. ටිකක් දුර ගිය මට මුහුද දෙස නෙත් අයාගෙන සිටින ඇගේ ආච්චි දැකගන්නට හැකිවිය. "හත්වලාමෙ, මේ අපේ ශීලා නේද?" මවිතයෙන් මම ඈ ඉදිරියේ හිටගත්තෙමි. ඇය මා හදුනා ගත්තාය.
"වීරසිංහ මහත්තයා මේ කොහෙද?"
"නිවාසෙ ඉදලම කම්මැලියි. කෙහේ හරි යන්න ඕන කියලා පාරට බැස්ස මම අන්තිමට මෙහේට ආවා. ඒක නෙමෙයි ශීල නෝනා මෙහේ කොහෙද?"
"පුතා ජර්මන්වල ඉදන් ආවනේ. ඉතිං මේ දවස් ටිකේ මම එයා ගාව."
"ශීල නෝනට හරි සතුටු ඇති?"
"සතුටුද කියලත් අහනවා. ඒත් ඉතිං හෙටින් පස්සෙ ඒ සතුට නැතිවෙලා යනවා." ඇගේ මුහුණ අදුරැවී, දෑස් බොදවෙන අයුරැ මට පෙනෙයි. මගේ හිතට මොකද්දෝ මහා අනුකම්පාවක් ඇය කෙරෙහි ඇතිවන්නට විය. මට ඇගේ අතකින් අල්ලගන්න හිතුනද මම එය ආයාසයෙන් මැඩ ගත්තෙමි. ඒත් එක්කම අතුරැදහන් වෙලා හිටිය කෙලි පැටික්කි යළි අප අතරට දිව ආවාය.
"ආ...නේ... මොකද මේ ආච්චි අම්මගේ ඇස්වල කදුළු. වැලන්ටයින් දවසට ඔහොම අඩන්න හොද නෑ. සීයා ආච්චිට බැන්නද?" (හහ්, පොඩියට හිටියට දන්න දේවල්)
"අපෝ... නෑ..."
"නෑ නෑ ඔයා මොනවා හරි අපේ ආච්චි අම්මට කියල තියනවා. සොරි කියල උම්ම එකක් දෙන්න."
"ඈ...."
"කෝ ඉතිං දෙන්න..."
"චූටි දූ ඔයා මොනවද මේ කියවන්නෙ...."
"දුව....." අම්මා ඈත සිට පොඩි එකීට කතා කළ නිසා ඈ අසුරැ සැනෙන් ඒ දෙසට දිව ගියා.
"දුවට දොස් කියන්න එපා ශීලා. ඒ එයාට හිතෙන විදිහනේ...." මම පැවසුවෙමි.
"එහෙම හරි නෑනෙ. එයාගෙ කතාවෙන් මිස්ටර් වීරසිංහ හරි අපහසුතාවයකටනේ පත් උනේ"
මම පිළිතුරැ නොදී සිනා සුණෙමි. අපහසුතාවයකට පත්උනත් පෙම්වතුන්ගෙ දවසේ දුලබ අත්විදීමක මිහිරියාව මග ඇරීයාමෙන් සිත් කොනක ඇති වූයේ සියුම් කණගාටුවකි
තරු.
ඇත්ත කතාවක්දෝ මන්දා... *(ලෝක)පෙම්වතුන්ගේ දිනය ලගදී ආපු නිසාත්.. එක අත්දැකීමක් විදිහටම දිගටම කියවාගෙන යන්න පුලුවන් වුන නිසාත්, මේ ආවර්ජනයේ ගැඔරක් තියනවා පෙනුනු නිසාත්. ගොඩක් ලස්සනට ලියලා තියනවා. දිගටම ලියන්න ශක්තිය ධෛර්ය බ්ලොග් අඩවිය හැම අයුරකින්ම සාර්තක වෙවායි පතනවා.
ReplyDelete*එහෙම කිව්වෙ පෙම්වතුන්ට නම් එක දිනයක් විතරද සුව්ශේෂ කියන කාරණය නිසා....
හිතවත, 'තරු අරණ'ට මුල්ම 'කොමෙන්ට්' එක එකතු කළාට ස්තූතියි. සැබෑ ජීවිතේ අත්දැකීමක් නොවුණත් අනාගතය කෙසේ වේදැයි කාට නම් කිව හැකි ද? ඇසට පෙනෙන දේ කනට ඇසෙන දේ නිර්මාණයට මුල පිරුවා. - තරු.-
ReplyDeleteඔබගේ බ්ලොග්කාරණයට සුබ පැතුම්..!
ReplyDeleteස්තූතියි චන්දන.!
Delete