ටාං... ටාං... ටාං... ටාං... ටාං... ටාං... ටාං... ටාං...
ටාං... ටාං... ටාං... ටාං...
“ඔරලෝසුව මරහඬ තලයි. ඒ
පැත්තට මේ පැත්තට හැරි හැරී නිදාගන්න හැදුවත්, නින්ද අහලකටවත් ආවේ නැහැ. ඒ නිසා මං ඇඳෙන් නැගිට්ටා. විදුලි පහන දල්වා
කණ්ණාඩිය ඉදිරියේ හිට ගත්තා. දුහුල් නයිටිය අස්සෙන් මට මගේ සිරුර පෙනෙයි. මං ඒ
සිරුර දෙස කෙලින් බැලුවා. ඒ මම ලෙසින්. ඊළඟ මොහොතේ හොරෙන් බැලුවා. ඒ පිරිමියෙක් බලන
විදිහට. කොයි ආකාරයකට බැලුවත් අඩුවක් පාඩුවක් ඇදක් කුදක් පේන්න නැහැ. ඒත් මං තවම
තනිකඩයි. අවුරුදු තිහක් ගතවෙලත් මට මිනිහෙක් හොයාගන්න බැරි උනා. නාඹර කෙල්ලෝ
කොල්ලන්ගේ අත්වල එල්ලිලා වැව රවුමේ යන හැටි, හැමදාම හවසට මේ ජනෙල් කවුළුවෙන් බලාගෙන
ඉන්නවා. ඒ වෙලාවට, මගේ හිතට දුකක් වගේම ඉරිසියාවක් ද ඇති වෙනවා.“
“තමුන්ගෙ නොහැකියාවට
අනුන්ට ඉරිසියා කරන්න එපා කාමිනී...“
“නැහැ, ඒක වැරදියි
චින්තෝ...ඒක මගේ නොලැබීම නැතිනම්....“
“ නැතිනම් කරුමෙ. තමන්ට
යමක් නොලැබුණහම හැම ගෑණියෙක්ම කියන්න දන්නෙ ඔය වචනෙ විතරයි.“
“ඒක තමයි යථාර්ථය“
“කෙහෙල් මල. දැන් බලපං
උඹ දිහා. උඹේ අඟපසඟවල අඩුවක්ද, රස්සාවේ අඩුවක්ද, දේපලවල අඩුවක්ද. එහෙම වෙලත් උඹට
තවම මිනිහෙක් හොයාගන්න බැරි උනා.“
“ඒක නෙ චින්තෝ මං
කිව්වෙ. ඉතිං මං මොනව කරන්න ද?“
“මෝඩි, ගෑනියෙකුට
පුළුවන් වෙන්නඕන පිරිමියෙක්ව දැපනෙ දාගන්න. ඒකට තමයි හැට හතරක් දීලා තියෙන්නේ අවශ්‍ය
වෙලාවට පාවිච්චි කරන්න“
“මට එකක්වත් පාවිච්චි
කරන්න දන්නෙ නැති කොට, ඔයා හැට හතරක් ගැන
කියෝනවා..“
“හරි, දැන්වත් මං කියන
දේ හොඳට අහගනින්. ඊට පස්සෙ ක්‍රියාත්මක වෙයන්.“
“මං දන්නවා චින්තෝ....
ඔයා හැමදාමත් මට ලෙන්ගතු එකී බව“
“උඔට දැන් හරි ඒක
තේරිච්ච එක හොඳයි. උඹ මීට කලින් මට කතා කළානම් උඹට තුන් වැන්නෙක්ව බලා ඉන්ට අවශ්‍යවෙන්නෙ
නැහැ.“
“හ්ම්......“
“හූල්ලලා හරි යන්නෙ
නැහැ. උඹ වගීෂට ආදරය කරනවා නේද?“
“මං දන්නෙ නෑ“
“උඹ වගීෂ ඉදිරියේ
ගොඩදාපු මාළුවෙක් වගේ ගැහෙනවා මං බලාගෙන. මම හරි නේද?“
.......................
“මොකද ගොළු වෙලා? ඔව් ද
නැද්ද?“
“ඔ-ඔව්“
“වගීෂ ඉදිරියේ උඹේ දිව
පැටලෙනව නේද?“
“එහෙම වෙන්නැති“
“උගුරට හොරා බේත් බොන්න
බෑ කාමිනී. අවුරුදු තිහක් ජීවත් වෙලත් උඹ තවම ළාමකයි. ඉස්සෙල්ලා උඹේ හිත දැඩි කර
ගනිං. මොන බාධක ආවත් උඹේ ඉලක්කයට යන බවට, උඹටම සපත කරගනිං. මේ මොහොතේ ඉඳන් වගීෂව
ලබාගැනීමේ හීනය ලුහුබැඳපන්. ඒ වෙනුවෙන් වැඩ කරපං. උඹට උදව්වක් ඕන වෙලාවක මට තට්ටු
කරපං“
“චින්තා පිටවෙලා ගියා.
මං ආයෙමත් ඇස් පියාගත්තා. මං වගීෂ සොයාගෙන ගියා. ඇත්තටම ඒ රුව මොන තරම් කඩවසම් ද?
දෙකන් තෙක් යාන්තමට වැවී ඇති දඟකාර රැවුල, ගැහැණියකගේ දොතොලට උපමා කරන නා දළුවන්
අහිංසක තොල් සඟල, රාගය තැවරුණ අඩවන් දෙනුවන්, සිහින් හුරතල් නැහැය මේ හැම ඉන්ද්‍රියක්ම
වගීෂගේ සිහින් දිගටි මුහුණට අපූරුවට පෑහුණා. අහ්, හදිසියේම දැනුන අමුතුම
ස්පර්ශයකින් මම ඇස් ඇරියා. වගීෂ මගේ පිටුපසින් සිට මගේ දෙවුර සෙමෙන් පිරිමදිනවා.
නහයෙන් පිටවෙන උණුසුම් ප්‍රාශ්වාසය මගේ දකුණු කන කිතිකවන්නට උනා. මෙය හීනයක් ද?
සැබෑවක් ද? එය මායාවක්ම විය. මගේ හෘද ස්පන්දනය වේගවත් වෙමින් එයි. මං උමතුවෙන්
මෙන් හිනා උනා. ගොදුරකට පනින්න කුරුමානම් අල්ලන කොටි දෙනකගේ දෑස් වගේ මගේ දැස්
තියුණු වෙලා. මගේ බැල්ම නපුරු වෙලා. “ඔව් වගීෂ..., ඔයා මගේ. මේ සැරේ මං පරාද
වෙන්නේ නැහැ. කිසිකෙනෙකුට මාව පරාද කරන්නත් බැහැ. මං කෙහොම හරි දිනනවා... මං කොහොම
හරි දිනනවා..!“
“මේ රාත්‍රිය හරි අපූරු
රාත්‍රියක්. හිතට පණ දුන් රාත්‍රියක්. සුභ රාත්‍රියක්!“
** ** ** **
“සාරියට උඹ හරි හැඩයි.
ඔය පෙන්ඩන්ට් එක පෙන්න තියපං අස්සෙ දාගන්නෙ නැතුව. හා හා කොණ්ඩෙ ලූස් එකට හරි නැහැ.
අර ඇවිදිනකොට දෙපැත්තට උජාරුවෙන් වගේ පැද්දෙන අස්සවලිගෙ වගෙ වෙන්න කොණ්ඩෙ දාගනිං.“
“දැන් හරි ද චින්තෝ....“
“හරිම අපූරුයි.“
“මම එහෙනම් වගීෂව බලන්න
යනවා.“
“හරි. ඒත් හිස් අතින්
යන්න එපා. ඊයෙ බෝඩිමේ අක්ක හදල දුන්න වැලිතලප වලින් කීපයක් ගෙනියපං“
“චින්තගේ කීම අහලා මං
වැලිතලප කීපයකුත් පාර්සල් කරගෙනම කාර් එකට ගොඩ උනා.“
“මොකද ඔච්චර හදිස්සි.
ටිකක් හෙමින් එළවපං. කොහේ හරි හැප්පුනොත් ඔක්කොම හීන වතුරෙණේ. මට නම් හිතෙන්නේ අද
කලින් වැඩියි කියලා. වගීෂ ඇවිල්ලා නොහිටියෝත් උඹ මොකද කරන්නෙ..?“
“මේ චින්තෝ, ටිකක් කට
වහගෙන යනවද? වෙලාවකට ඔයා හරිම කරච්චලයක්නේ. හිතනවා කියලා ඔහොමත් හිතන්න පුළුවන්ද?“
“මං නැත්නම් මෙච්චර
හරියක් කොරගනියි. හා හා ඕන් මං ගියා.“
“ශාස්ත්‍ර පීඨයේ මගේ
සුපුරුදු ස්ථානයේ රථය නතර කළා. අද ටිකක් වේලාසනින් වගේ. කෙලින්ම ඔෆිස් එකට යනවද...
නැති නම් වගීෂ ඇවිත්ද කියලා බලාගෙනම යනවද? කළ යුත්තේ කුමක්ද කියලා හිතට එන්නේ නෑ.“
“චින්තො, ඇවිත් උදව්
කරන්නකෝ. ඔයා තරහද? මං දන්නවා ඔයාට බැහැ මාත් එක්ක තරහා වෙන්න. කියන්න මං දැන්
මොකද කරන්න ඕන කියලා..?“
“අනේ චින්තෝ... ඔච්චර
ගනන් උස්සන්න එපා. ඔයා මෙච්චර දුරක් මාත් එක්ක ඇවිත්, මාව අතර මං කරලා යන්නද
හදන්නෙ. මාව අසරණ කරන්න එපා. ප්ලී...ස්.“
“ඉබ්බි මං කියන විදිහට
වැඩ කරනවා.“
“එසේය දේවිය. මේ ගැත්තීට
අනුකම්පා කර උදව් කර මැනවි.!“
“තව පුයර ටිකක් එහෙම
දාගෙන කෙලින්ම වගීෂ හම්බවෙන්න ගියොත් හොඳා.“
“චින්තාගේ අණ පරිදි, වැලිතලප
පෙට්ටියද අතට ගනිමින් මම වාහනෙන් බිමට බැස්සා. කොරිඩෝව දිගේ ඇවිද යද්දී වගීෂගේ
ඔෆිස් කාමරේට යන්න පුළුවන් කෙටි මගක් තියෙන බව මතක් උනා. එය කොරිඩෝව සම්බන්ධවෙන
ගොඩනැගිලි දෙකක් මැද්දෙන් වැටී ඇති අඩි පාරක්. ඉන් යා හැක්කේ වගීෂලගෙ ඔෆිස් කාමරයට
විතරයි. මම අඩි පාරට පිවිසියා. එතෙක් නොඉවසිලිවන්තව තිබූ හිතට බියක් දැනෙන්ට උනා.
“මොකද බය වෙලා. වගීෂ
යකෙක් නෙමෙයි. ආපු ගැම්මටම ඔෆිස් එකට පලයන්.“
“අනේ මං දන්නෙ නෑ
චින්තෝ, මං මේ කරන වැඩේ හරිද මන්දා...“
“මෙච්චර දුරක් ඇවිත්
හැරිල යන්නද හදන්නෙ? තව අඩි කීයද තියෙන්නේ. වගීෂ ඇවිත් නැති නම්, එයාගේ මේසෙ
ඉස්සරහින් වාඩි වෙලා ඉන්න එකයි තියෙන්නේ. අද දෙකෙන් එකක් බේරගෙන එනව හොඳයි. අහ්, ඔය ඇවිල්ල ඉන්නෙ.
මිනිහ ලොකු කතාවක වගේ. බාධා නොකර අපි මෙහෙන් නවතිමු.“
“වගීෂගේ ඔෆිස් කාමරේට
හැරෙන තැන ඇති අරලිය ගහට හේත්තු වී දුරකථනෙන් බර කතාවක්.“
“අම්ම කෑවද?“
“බෙහෙත් ටික වෙලාවට ගන්න
කියන්න. අම්මට වැඩිය මහන්සිවෙන්න දෙන්න එපා“
“අප්පච්චිට දැන්මම එන්න
විදිහක් නෑ පැටියෝ.... මයෙ දූ මල්ලිවයි අම්මවයි බලාගෙන දඟනොකර ඉන්න ඕන. අප්පච්චිට
නිවාඩු ලැබුණ ගමන් එනවා.“
“මගේ අතේ වූ පාර්සලය බිම
වැටුණා.“
“මොකද එකපාරටම ගැස්සුණේ?
ඒ පාර හිනාවෙනවා. උඹට පිස්සු හැදීගෙන එනවද?“
“නෑ චින්තෝ මං හීනයක්
දැක්කා.“
“මං දන්නෙ නෑනේ.“
“ඔයා කොහේ දැන ගන්නද
ඔයත් මාත් එක්ක නිදිනෙ.“
“හා හා ඔය කතාවලින්
කාරිනෑ. මේ කට්ටියට කියන්නෙ නැද්ද උඹත් දැන් මහ ලොකු පෙම්වතියක් කියලා. එයාලත්
දැනගන්න ආස ඇති ඒ කතාව.“
“ඔව් චින්තෝ... ඔයා නැති
නම් මට වගීෂවත් මග ඇරෙනවා. ඔන්න එදා මං වැලිතලපත් අරගෙන වගීෂගේ ඔෆිස් කාමරේට යනකොට එයා මොනවදෝ
ලියමිනුයි උන්නේ. එයා හිනාවෙලා මාව සතුටින් පිළිගත්තා.“
“මං අපේ මාසික සඟරාවට
සාහිත්‍ය ලිපියක් ලියනවා. ඒකෙ මාතෘකාව තමයි.... මචං න්‍යායට සාහිත්‍ය සම්මාන පිදීම“
“ඒ කිව්වෙ?“
“අපේ රටේ සාහිත්‍ය
සම්මාන දිහා බලපුවහම මට පෙනුන දෙයක් තමයි, එකම කණ්ඩායමකට විතරක් සම්මාන ලැබෙන බව.“
“ඇයි මේ රටේ අලුත්
නිර්මාණශීලී කතාකරුවන් නැතිද?“
“ඉන්නවා. ඒත් අර කට්ටිය
නමකුත් හදාගෙන, ඇඳුරුම්කමුත් හදාගෙනනෙ තියෙන්නේ“
“මං ආපු එකෙන් වගීෂගේ ලිවීමට බාධා උනානේද?“
“මොන බාධාවක්ද. උදේ
පාන්දර මේවගේ සුන්දර රූපයක් දැක්කහම සාහිත්‍ය සිතුවිලි වැඩි වැඩියෙන් ගලාගෙන එනවා.ඒක
නෙවෙයි මොනවද ඔය අතේ?“
“වැලිතලප වගයක්“
“කාටද?“
“ඔයාට දෙන්න“
“පොඩි ලැජ්ජාවකුත් මගේ
හිතට ඇතුල් උනා. මං වැලිතලප පාර්සලේ වගීෂගේ මේසෙ උඩින් තියලා එන්න හැරුණා.“
“කොහෙද හදිස්සියෙ
දුවන්නෙ. ඔෆිස් පටන්ගන්න තව වෙලා තියෙනවනෙ. එන්න, අපි ටිකක් කතා කරමු.“
“කිසිම මොහොතක එවන්
ආරාධනාවක් වගීෂගෙන් ලැබෙයි කියලා හිතුවෙ නැහැ. හිතේ සැඟවුණ ආසාවත් මොකද්දෝ බියකුත්
එක්ක මං ආයෙත් එයා ඉදිරියේ ඉඳගත්තා“
“මාත් දවස් කීපයක ඉඳන් බලා හිටියා ඔයත් එක්ක කතා
කරන්න.“
“වගීෂ ඒක කිව්වේ හොරගල්
අහුලනවා වගේ. “මොකක් ගැනද?“ කියලා මං ඇහැව්වා. මගේ හිතෙත් මොකද්දෝ නොඉවසිල්ලක්
තිබුණා. එකපාරට කියන්නේ නැති බරපතල දෙයක් කියන්න හදන බව දැනුනා. ඒ මගේ හිතත් ඉල්ලන
දේ තමයි කියලා මට ඉවෙන් මෙන් දැනෙන්ට උනා.“
“ම්...මේ... මං මේ
කියන්න හැදුවේ... මං ඔයා ගැන ඔක්කොම හොයාගත්තා. විශේෂයෙන්ම ඔයා මැරි කරලා නැති
එකයි ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැ කියලයි.“
“මං කිසිම දෙයක් නොකියා
වගීෂ දිහා බලාගෙනම හිටියා. වගීෂ කියන්න හදන දේ තතනද්දී කාලය යන බවනම් මට තේරුණා. වගීෂ,
තව ටිකකින් කට්ටිය එන්න පටන් ගනීවි. මාත් සීට් එකට යන්න ඕන. ඊට කලින් ඔයා කියන්න
හදන දේ කියන්න.“
“එහෙනම් මං කෙලින්ම
කියන්නම් කො. ඔයා කැමතිද මාව මැරි කරන්න.?“
“හැම දෙයක්ම එකපාරට කැරකිලා
නැවතුනා වගේ දැනුනා. මං කසාය බීපු ගොළුවෙක් වගේ එයා දිහා බලාගෙන හිටියා. වගීෂගේ
සුරත හෙමින් ඇවිත් මගේ සුරතින් අල්ලාගත්තා.“
“කැමතිද?“
“මම හිනාවෙලා ඔළුව
වැනුවා“
“හුරේ.... අපේ කාමිනිත්
දැන් පෙම්වතියක්. හුරේ....!!!“
නිමි