Saturday, February 15, 2014

මගේ මනාපේ....



ගෙදර ගෑනි හදල දුන්න කහට තේ එක බීපු ඇඩ්ඩින් බීඩියක් පත්තු කරගෙනවිත් පාරට මායිම්වන නිවසේ පිල් කණ්ඩිය අසලට ආවේ දවස කෙසේ අරභමිද කියා සිතමින් ය.
            “අහ්... මේ ඇවිල්ල තියෙන්නෙ ආයෙ පාරක්. තුහ්.... නොදකින් ගෙයින් එළියට බැස්සගමන්ම පේන්නෙ මුංගෙ මූණත් තහඩු ටික.“ යි කියමින් බිමට කෙල පිඩක් ගසා ඉඳගත්තා.
            “මේ ඔහේට කීයක් හරි හොයාගන්න දැන් ඇහැකි.“
පියවතී එළියට ආවේ දිගු ගවුමට උඩින් ඇඳ තිබූ චීත්ත රෙද්ද ගැටගසමින්ය.
            “අර කොහොමෙයි?“
            “ඇයි ඔය ඇස් ඉදිරියේම තියෙන්නෙ ගානක් හොයාගන්න කෙරෙමෙ.“ යි කියමින් පියවතී තමා ඉදිරිපිට ඇති තාප්පෙ දිහාවට අත දිගුකළා. ඊයේ නින්දට යද්දී නොතිබ්බ නානාප්‍රකාර මුහුණුවලින් තාප්පය දේදුනු පැහැගැන්වී තිබුණි. රවුම් මූණු, පපඩම් මූණු, පෙම්සිනා පාන මූණු, ඕවාල හැඩයේ මූණු ඒ අතර වෙති. ඇඩ්ඩින් මූණු එකිනෙක දිහා බලන්නට විය. ඒ මූණු එක්කම අපූරු වැකි ද ලියා තිබුණි. ඇඩ්ඩින් දන්න විදිහට අකුරු ගැටගසමින්  ඒ වාක්‍ය කියවන්නට වූයේය. ‘ගමට හිතැති අපට හිතැති...‘, ‘අල්ලසට දූෂණයට වංචාවට එරෙහිව...‘, ‘වසර දොළහක් පුරා ජනතා සේවයට කැපවූ...‘, ‘ඔබේ මුදල් ඔබටම...‘.
            “පියෝ.... මං මේ එකෙක්වත් දන්නෙ නෑ නෙ බං. උඹවත් දන්නවද?“
            “අර කසිප්පු කඩේ විල්බට් මුදලාලි ඔය සැට් එකම දන්නවලු.  උන් පත්උනහම ගන්න බැරි වැඩ දැන්වත් ගන්න එකයි තියෙන්නේ.“
            මූණු අතරේ වූ සුකුමාල රුවැත්තිය දෙස මද වෙලාවක් බලාගෙන උන්නු ඇඩ්ඩින්, ඒ දෙසට දබර ඇඟිල්ල දිගුකරමින්,
            “ඈ බං පියෝ... අර අරකි ඉන්න තැනත් විල්බට් මුදලාලි දන්නව ඇති නේද?“
            “ඔච්චර පිරිමි අස්සේ ඔහේටත් පේන්නෙම රෙද්දක්ම තමයි.“
            “නෑ.....  බං, ඊයෙ පෙරේදා දවසක කසිප්පු මුදලාලිගෙ කඩේ ගාවදී කවුද එකෙක් කිවුවා, කවුදෝ ගෑනු පරාණයක් කෝටි ගානක් වියදම් කරන්න සූදානම් කියලා. අන්න ඒ වගේ තැනකට සැට් උනානම් දෙයියනේ කියලා මේ දවස් ටිකේ කාලා ඇඳලා ඉඳතැහැකි.“
            “ඔය යස අගේට මොළේට ආවේ...“ යි කියාගෙන පියවතී ගෙට ගියා. ඇත්තෙන්ම ඒ මනබඳින රූසපුව දිහා දවසෙම බලා ඉන්න ඇහැකි නම් කෙතරම් අපූරු ද කියලා ඇඩ්ඩින්ට සිතුණා.
            “ඒයි ඇඩ්ඩින්, හන්දියේ කඩේ ළඟ සරණපාල මන්ත්‍රීතුමාගේ රැස්වීමක් දවල්ට තියෙනවා.“
            “කවුද බං සරණපාල මන්ත්‍රී? මම ඇහැව්වෙත් අදමයි. අලුත් පොරක්ද?“
            “නෑ... බං. ගියපාර පළාත් සභාවේ හිටිය එකෙක්ලු. අපිට නම් මිනිහගෙන් කිසිම සරණක් ලැබුණෙ නෑ “
            “එහෙනම් ඉතිං අහවල්  කෙන්ගෙඩියකට ද මිනිහගේ රැස්වීමට යන්නෙ?“
            “මිනිහ එන හැමෝටම සහන මල්ලක් දෙනවලු.“
            “ඔහ්, වැඩේ හොඳයි. මාත් එනවා. ඇහැක් උනොත් ගෑනිවත් ඇඳගෙන එන්නම්.“
*          *          *          *          *          *
ඇඩ්ඩින් තම බිරිඳගේ ඔවදන් ද මිතුරාගේ දැනුවත් කිරීම ද මත රැස්වීමට ගියා. ඔහු එතැනට ගියේ තම මද්දු කොලූ සමගය. තදබල පාක්ෂිකයෙකුගේ ගෙදරක රැස්වීම සංවිධානය කරලා තිබුණේ. වත්ත පුරා කොඩි වැල් ඇඳ තිබු අතර විශාල ජෑම් ගසක් යට මේසයක් දමා තිබූ අතර ඒ ඉදිරියෙන් ප්ලාස්ටික් පුටු තබා තිබුණි. මේසය මත මල් මාලාවක් හා ෆයිල් කවරයක්ද විය.  ඒ වන විටත් කිහිප දෙනෙක් ඇවිත් සිටිය නිසා ඇඩ්ඩින් වට පිට බලන්නට වූයේ දන්න කියන කවුරුත් ඉන්නවද කියා. තමාට පණිවිඩය දුන් මිතුරාවත් පෙනෙන්නට නොසිටි නිසා මැදිවියේ මිනිහෙක් අසල ඉඳගත්තේ කදයක් දමා ගැනීමේ අරමුණෙනි. ඇඩ්ඩින් අසල වූ මිනිහගේ මූණ බලා හිනාවක් පෑවේය. ඔහු අධික වියදමක් දැරිය යුතු දෙයක් සේ කට කොනකට නගාගත් සිනහවකින් සංග්‍රහ කර අත බැඳි වෙලාව බැලුවාය. ඒ සමගම ඔහුගේ ජංගම දුරකථනය නාද වන්නට විය.
“හලෝ....“
“මේ ඔයා කොහෙද ඉන්නේ.“ කාන්තා කටහඬ ඇඩ්ඩින්ට ද ඇසෙයි.
“මම රැස්වීමේ ඉන්නෙ.“
“දැන් පටන් අරන්ද? අරව ලැබුණද?“
“කොහෙද. තවම මේක පටන්ගත්තෙත් නැහැ. ඔහේ තියෙන විදිහට මොනව හරි උයනවා.“ යි කියමින් ඔහු ඇමතුම විසන්ධි තළා. ඒ සමගම කතාවට මුල පිරූ ඇඩ්ඩින්,
“මේ.... සහන මල්ලක් දෙනව ලු නේද?“ යි රහසින් කොඳුළේය.
“ඔව් අයිසෙ. අනික් පැත්තෙ එක්කෙනෙකුගෙත් රැස්වීමක් මිනිහගේ ලී මෝලෙ තියෙනවා. එයා රුපියල් පන්සීයක් දෙනවලු. මං ආවෙ සහන මල්ල අරගෙන එතනට යන්න. කෝ තවම මේ මගුල පටන් ගත්තෙ නෑනෙ.“
ඔහුගේ කතාව ඇසීමෙන් ඇඩ්ඩින්ගේ මුවගට සිනහවක් නැගුණී.
“හරියට ටෙලි නාට්‍යවල දැන්වීම් දානවා වගේ නේද?“
ඔන්න එක පිම්මට ආව මොන්ටේරෝ රථයක් සහ තව වෑන් එකක් ගේට්ටුව අසල නතර කෙරුණා. කවුරු කවුරුත් බෙලි දික්කර කර ඒ දෙස බලන්නට වූහ. මොන්ටේරෝ රථයෙන් බැස්සෙ අපේක්ෂක තුමා වූ හිටපු මන්ත්‍රී සරණපාල මැතිතුමායි. මිනිහා රථයෙන් බැස්ස ගමන්ම, වෑන් රථයෙන් පැමිණි ගෝල බාල පිරිස රතිඤ්ඤා වැලක් පුපුරුවා හරින්නට වූහ. ඩෝං - ඩෝං හඬ මැදින් වත්තට ඇතුල් වූ අපේක්ෂකතුමා පැමිණ සිටිය පිරිසට යටහත් පහත් ලෙස ආචාර කරමින් මේසට වෙතට ගමන් කරන්නට විය. ඒ වන විට ආසන සියල්ලක්ම පාහේ පිරීගොස් තිබුණි. මේ අතර කවුදෝ කෙනෙක් පැමිණ මේසට මත වූ මල්මාලා ව පළඳවනු ලැබීය. ගේ ඇතුලෙ තබූ සහන මලු පිරවූ ගෝනි කිහිපයක්ද මිනිසුන් කිහිපදෙනෙක් විසින් ගෙනැවිත් මේසය අසල තබන ලදි.
“මට හදිසියේම කොළඹ යන්න උනා. දැන් ඉතිං කොළඹ ගිහින් එන වැඩේ හරි සිම්පල්නේ. කොහොම හරි පොඩ්ඩක් පරක්කු උනා, ඒකට මේ නෝන මහත්තුරු  සමාවෙන්න  ඕන.., හරි අද මේ සියලු දෙනා රැස්වෙලා ඉන්නේ මේ මැතිවරණයේ ඉදිරි කටයුතු සාක්ච්ඡා කිරීමටත් මෙහි ඇති වැදගත්කම පහදා දෙන්නටත්. මේ හැමෝම දන්න කරුණක්,  අද අපේ රටේ තියෙන සංවර්ධනය. ඔබෙත් අපෙත් නායකතුමාගේ මගපෙන්වීම හා නිර්භීත නායකත්වය යටතේ ලංකාවෙන් කොටිය අතුගා දැම්මට පස්සේ බලන්න මේ රට පණගහල එන ලස්සන. .....අධිවේගී පාරවල් වරායවල් ගුවන්තොටුපොළවල් ක්‍රීඩා පිටි .......“
අපේක්ෂකතුමා වතුර කරාමයක් ඇරියා සේ වට්ටෝරුවක් කියාගෙන කියාගෙ යන්නට වූයේය.
“මේ එකකින්වත් අපිට ඇති සෙතේ මොකද්ද? නැද්ද උන්නැහේ. අපිට ඕන එදාවේල බඩගින්දරේ නොඉඳ මොනව හරි බඩටදාගන්න. බොරුද මං කියන්නෙ.“
ඇඩ්ඩින් අසල සිටි මිනිසා ඇඩ්ඩින්ට කෙඳිරුවා නොසන්සුන් විලාසයෙනි. ඇඩ්ඩින් කටුස්සෙක් සේ හිස සැලුවා විනා කිසිදු පිළතුරක් දුන්නේ නැත.
“මං දන්නවා මෙදාපාරත් ඔබතුමන්ලාගේ වටිනා මනාපෙ මට ලැබෙනවා කියලා. ඒ බව මනාව ඔප්පුවෙනවා මෙතනට ඇවිල්ලා ඉන්න සෙනග දැක්කහම. මං ඔබලාට සහන මල්ලක් සමග පෝස්ටර් වගයකුත් දෙනවා. ඒ පෝස්ටර් සුදුසු තැන් බලලා අලවලා දාන්න ඕන. මෙදාසැරේ පළාත් සභාවේ....“
දිගින් දිගටම කෙරීගෙන යන කතාව දැන් නවත්වාවි දැන් නවත්වාවි කියා බලාගෙන සිටි පිරිසේ අය කිහිපදෙනෙක් නොසන්සුන්වන්නට වූහ. ඒ සමගම අසුන්ගෙන සිටියවුන් අතරින් සිටගත් ගැමියෙක් කැ ගසන්නටත් බැන වදින්නටත් විය.
“මේ මහත්තයෝ අපි මෙතනට කොච්චර වෙලා බලාගෙන හිටියද? “
“ඔව්--- පරක්කු වෙලා------ අපෙත් ගෙවල්වල ------ . සහන මල්------ දෙන්නේ----“
 ඔහුගේ සහයට තව කිහිපදෙනෙක් නැගී සිටියහ. සැවොම එකිනෙකා පරයමින් කෑ ගසන්නට වූයෙන් කියන කිසිවක් කිසිවෙකුටත් පැහැදිලිව ඇසුණේ නැති බව නම් විශ්වාසයි.
එකවරම අපේක්ෂකයා අසලට පැමිණි කිහිප දෙනෙක් ඔහුව ආරක්ෂා සහිතව නිවෙස තුළට කැඳවාගෙන ගියේය. ඒ සමගම මයික්‍රෆෝනය අසලට පැමිණි අයෙක් සියලු දෙනාට සන්සුන්ව පෝලිමේ මේසයය අසලට පැමිණෙන ලෙසට කියා සිටියා. මේසය අසලට ගිය සැමටම සහන මල්ලයි පෝස්ටර් රෝලකුයි බැගින් බෙදා දෙන ලදි. ඇඩ්ඩින්, කොල්ලාද සමග එළියට පැමිණියා.
“කොල්ලෝ බලපන් ඕය මල්ලෙ මොනවද කියෙන්නේ කියලා.....“
මද්දුමයා බිම වාඩිවෙලා සිලින් සිලින් බෑගය ලිහන්නට විය. ඒ බෑගය තුළ තව බෑගයක් විය. ඔහු එයද ලිහුවේය. ඒ තුළ තවත් බෑගයකි ඒ තුළ හාල් කිලෝ බාගෙකුයි පරිප්පු කාලයි පොල් ගෙඩියකුයි විය.
“නොදකින් විතරක්. එපා වාහෙට හොදිබෙදනවා වගේ ඒකත් දීලා තියෙන්නේ. ආවටත් ණයයි“
“කොලූ උඹ මේකත් අරගෙන ගෙදර පලයන්.“
“තාත්තේ මේ පෝස්ටර් ටික.“
“ඒකත් අම්මට දීපන් ලිපට දාන්න කියලා....“ ඇඩ්ඩින් හිතේ නැගඑන කෝපය මැඩගනිමින් මද්දුවට පැවසුවා.
“තාත්තා දැන් කොහෙද යන්නෙ?“
“තව රැස්වීමක් තියෙනවා. එතන රුපියල් පන්සීයක් දෙනවලු. ඒකත් අරගෙන එන්නම්. උඹ ගෙදර පලයං“
රැස්වීමට පැමිණී බොහෝ දෙනෙකුගේ මුහුණු ඇඹුල්වි තිබුණි. ඒ හැමෝම පාහේ රුපියල් පන්සීයේ රැස්වීම පැවැත්වෙන දිහාවට පා නගන්නට වූහ.
“තාත්තේ මාත් ඒ රැස්වීම බලන්න එන්නද?“
“එපා එපා උඹ ඔය ටික ගෙනිහින් අම්මට දීපං. වේලක් හරි පිරිමහගතැකි නේ“
“දැන් පරක්කුවෙලා නිසා අම්මා මොනවා හරි උයලා ඇති. අනේ තාත්තෙ.....“
මද්දුගේ දැඩි පෙරැත්ත කිරීම පියාට අහක දාන්න බැරි විය. ඔහුගේ එකඟතාවය ලැබීම නිසා මද්දුද පියා සමග රුපියල් පන්සීයේ රැස්වීමට යන්නට විය.
පාර දිගේ තාප්පවල ලයිට් කණුවල අලවා ඇති විචිත්‍රවත් මුහුණු දෙස බලමින් යෑම මද්දුට මහත් ආශ්වාද ජනක දෙයක් විය. එසේ යන අතරේ මද්දුගේ දෙනෙත් එකවර මාර්ගයේ වූ යම් සිතුවමක් දෙසට යොමුවිය. පෙර දින මේ මාර්ගය ඔස්සේ පාසැලට යද්දී නොදුටු සලකුණක් දැකීමෙන් ඔහුගේ හිතට ඇති වූයේ කුහුලකි.
“ඇයි තාත්තේ මේ පත ගාන්ටාරයක් පාරෙ ඇඳලා තියෙන්නේ. ?“
“ඒකත් ජන්ද ලකුණක්. ඒකයි.“
“අපිට ඉස්කෝලෙ ටීචර් කිව්වා පොදු දේපල විනාස කරන්න එපා කියල.“
“පොදු දේපල! මට තේරෙන්නේ නෑ බං ඔය හරුප. ඒ මක්ක උනත් පාරක් කියන්නේ අපි කවුරුත් පාවිච්චි කොරන එකක්. ඒකවත් පිරිසිදුවට පිළිවෙලට තියාගන්න බැරි ඈයෝ සභාවකට සුදුසු නෑ.“
කතාවෙන් බහෙන් තාත්තයි පුතයි රැස්වීම තිබෙන තැනට පැමිණියහ.
“උඹ ඕවත් අරගෙන ඇතුලට එන්න එපා. එළියට වෙලා ඉඳපන්. මං ඇතුලට ගිහින් කතාවත් අහලා සල්ලිත් අරගෙන එන්නම්.“
රැස්වීම ආරම්භ වී තිබුණි. අපේක්ෂක්යෙක් ගිරිය පුප්පාගෙන කෑගහයි. ඇඩ්ඩින්ද ඇවිත් සිටියවුන් අස්සේන් රිංග රිංග ඉදිරියටම ගියේය. සරණපාල අපේක්ෂකතුමාගේ රැස්වීමේ සිටිය සෙනගෙන් බාගයක්ම මෙතනට ද පැමිණ සිටියහ.
මෙතනද පෙර ස්ථානය සේම අලංකාර ලෙස සරසා තිබේ. මේසය මත සිසිල් බීම බෝතල් කිහිපයක්ද රබර් පටි දමා තිබූ මුදල් මිටි කිහිපයක්ද දැක ගත හැකිව තිබුණි. අපේක්ෂක තුමා ගේ ආරක්ෂකයන් කිහිපදෙනෙක් ඔහු පිටුපස්සෙන් සිටගෙන දෑත් බැදගෙන දෙපා දෙපසට විහිදුවාගෙන ගාම්භීර බැල්මෙන් බලා සිටිති.
“තමුන්නාන්සෙලා දන්නවා මේ පාලකයෝ තමුන්නාන්සේලගේ බඩගිනි නිවන්න කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ.... සංවර්ධනය කිය කියා නිකං බොරු වැඩවලට සල්ලි වියදම් කරනවා. අර අපේ නායක තුමා කිව්වා වගේ මොකටද මේ පාරවල් කාපට් කරන්නෙ.අධිවේගී පාරවල් හදන්නෙ අපිට නිදාගන්නද..... නෑ නේ.... මහරජාට කිරිපැණි සප්ලයිකරන්න ඇඹුල්තියල් කුරහන් තලප අදින්න.  මොකද ඔය එක අධිවේගෙකවත් තමුන්නාන්සෙලාට නොමිලේ යන්න ඇහැකිද?....“
මෙතන අපේක්ෂකතුමාත් පෙර අපේක්ෂකතුමාට නොදෙවෙනි කතාවක් පවත්වයි. මෙතනට ද පැමිණි බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව අපේක්ෂකතුමාගේ කතාව ඇසීම නොව ආධාර මුදල රැගෙන යාමය. ඒ නිසා දිගින් දිගට ඇද්දෙන කතාව ඔවුනට නොරුස්සන්නට විය. ඒ නිසා පැමිණි සිටි බොහෝ අයගේ ඉවසීමේ සිමාවන් පුපුරා යන්නට ආසන්න වෙමින් තිබුණි. ගතවූයේ නිමේෂයකි. අවේස වූවෝ කිහිප දෙනෙක් නැගිට කෑගසන්නට වූහ. ඔවුන් අතර පෙර ස්ථානයේ කලබලය ඇති කළ පුද්ගලයාද සිටින බැව් ඇඩ්ඩින්ට දැකගත හැකිවිය. 
අපේක්ෂකතුමා කාට කාටත් නිහඬවන ලෙස කියා සිටියද ඔවුහු ඒවගක් නොගෙන දිගටම කලහ කරන්නට වූහ. ඒ සමගම මේසට වෙතට කඩා  පැන්න කිහිප දෙනෙක් මුදල් මිටි සාක්කුවල දමාගනිමින් පැන යන්නට උත්සහ දැරූහ. ඉන් කිහිප දෙනෙකුව අල්ලාගත් අපේක්ෂක තුමාගේ ඔත්තුකරුවන් , ඔවුන්ව පුටුවලට තබා බැඳ තැබූහ. ඒ සමගම පැමිණි පොලිස් ජීප් රියෙන් බිමට බට නිලධාරීන් පුටුවල බැඳසිටි අය අසලට ගොස් ඔවුන් අතවූ මුදල් නෝට්ටු තම බාරයට ගත්හ. පොලීසියේ ඕ.අයි.සී මහත්තයා අපේක්ෂක තුමා සමග මොන මොනවදෝ කතාකරන්නට විය.
ඒ සමගම ඔවුන් අතරට පැමිණි පොලිස් නිලධාරියෙක් මුදල් නෝට්ටු මිටියක් ඕ.අයි.සී අතට ලබා දුන්නේ, “සර් මේවා ඔක්කෝම හොර සල්ලි...“ කියා ය.

12 comments:

  1. අද වෙනස් කතාවක්..
    අන්තිම කෙනා නම් සියලු සුදුසුකම් සහිතයි.. මං හිතන්නෙ මිනිහ දිනයි.. :)

    ReplyDelete
    Replies
    1. වර්තමාන දේශපාලනය සහ එදාවේල හම්බකරගෙන කන ජනතාවගේ සිතුම් පැතුම් ගැන හිතද්දී එයාලට කවුරු දිනුවත් එකයි. සෑම පාලකයෙක්ම තම තමන්ට හැකි අයුරින් රට සංවර්ධනය කරනවා. ඒත් පොඩි මිනිහට ඒවයින් වැඩක් නෑ. ඔවුන් උදේට නැගිටින්නේ අද වේල සපුරාගන්නේ කෙසේද කියා සිතමින්.

      Delete
  2. හොඳයි හොඳයි නියම ලිපිය.හැබැයි කියවන අපිත් හිතුවෙ සහන මල්ලක් ලැබෙයි කියල.කමක් නෑ

    ReplyDelete
    Replies
    1. ටිකක් බයත් හිතුනා. මොනවා උනත් පැමිණයාම ගැන ස්තූතියි! අපේ ඇත්තෝ හැමදාම බලන් ඉන්නේ නිකං ලැබෙන දේ ගන්නනේ.

      Delete
  3. නියමයි තරු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්ඳි. මේ දවස්වල මෙහේ දේශපාලන වේදිකාව රත්වෙලා.

      Delete
  4. ෂාහ් ...වෙල්ඩන් තරු....අවුලක් නෑ ,දැන් මට සුදු වෑන් එකක යන්න වුනොත් තව දන්නා කියන කෙනෙක් ඉන්නවනේ ...:D

    ReplyDelete
    Replies
    1. අහා.... ඔව් ඔව්. දකින සත්‍ය කියන්න බයවෙන්න ඕන නැහැනෙ. මේ අපේ රටේ දේශපාලනය ගැන මට හැගුණ දේ. පුද්ගලික දේශපාලනය අමතක කරලයි මෙවැන්නක් ලියන්න හිතුවේ.

      Delete
  5. අපි අපිටම හිනා වෙවි හැම දාම එකම දෙ කරනව නේද

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද දමිත්, ලාංකීය දේශපාලනයේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය නේ.

      Delete
  6. ඇත්තටම මේපාර මොකාට දෙන්නද මන්ද..?

    ReplyDelete
  7. මෙදා පාරත් ගියපාර වගේ තමයි.

    ReplyDelete