Sunday, November 10, 2013

නෙතු අද්දර - 19



“මිස් අමාලි කන්නංගර“ යි කියමින් මදක් උස් හඬින් අර තරුණිය කාමරේ දොර ඇර හිස පිටතට දමා අඬ ගැසීය.

මගේ වාරය එළැඹීමත් සමග සම්මුඛ පරීක්ෂණය පවත්වන කාමරයට ගියෙමි. මෙහිදී ද පෙර පරීක්ෂණයේ මෙන් කාන්තාවක් සහ පුරුෂයින් දෙදෙනෙක් පරීක්ෂණය පැවැත්වීමට එක්ව සිටියහ. පරීක්ෂණ මණ්ඩලයට ආචාර කළ මා අසුනේ ඉඳගත්තෙමි. මා අත වූ ෆයිල් කවරය අතට ගත් ඔවූහු එහි ඇති සහතික බලන අතරේ මගෙන් විවිධ ප්‍රශ්න අසන්නට වූහ. නම ගම වයස පාසැල අධ්‍යාපන සුදුසුකම් බාහිර සුදුසුකම් ඇතුළු අදාල ඇති නැති ප්‍රශ්න සේම මට මෙම රැකියාව ලැබුණහොත් ඒ වෙනුවෙන් ආයතනයට ලබාදිය හැකි සේවය කෙසේද? කියාත් අසන ලදි. මේ සෑම ප්‍රශ්නයකටම නොපැකිළිව පිළිතුරු දුන්නෙමි. ඔවුහු  තම තමන් සතු පත්‍රිකාවක මගේ පිළිතුරුවලට අනුව කිසියම් සටහනක් කරගන්නට වූහ. අනතුරුව මට නොඇසෙන සේ ඒ ඒ පත්‍රිකා එකිනෙකා අතර හුවමාරු කරගනිමින් මොන මොනවදෝ සෙමෙන් මුමුණන්නට වූහ. එක් අයෙක් තමා අතවූ ලේඛනය රැගෙන අසුනෙන් නැගිට අනිත් අන්තයේ සිටි කාන්තාව වෙත ගොස් මොන මොනවදෝ සාකච්ඡා කර නැවත පැමිණ අසුනේ හිඳගත්තේය. සියලු සාකච්ඡා අවසන් වූ පසු සියලු දෙනාම හරිබරි ගැසුන අතර එතැන සිටි ප්‍රධාන නිලධාරියා මා ඇමතීය.

“මිස් අමාලි නුවර අපේ බ්‍රාන්ච් එක තියෙන්නේ ගන්නොරුවේ. ඔයා දැනට කොහේ හරි වැඩ කරනවද?“

“නෑ සර්.“

“එහෙනම් ඔයාට පුළුවන්ද ලබන පළවෙනිදා ඉඳන් වැඩට එන්න.“ යි කියද්දී මට සිතා ගැනීමටවත් නොහැකි විය. සාමාන්‍යයෙන් මෙවන් පරීක්ෂණවලදී පසුව දැනුම් දීමක් කළත් මෙහිදී මේ මොහොතේම මාව තෝරාගැනීම ඇදහිය නොහැකි කරුණක් විය. මම ඉහළින්ම කැමැත්ත ප්‍රකාශ කරසිටියෙමි.

මම ආයතනයෙන් පිටතට පැමිණියේ හදපිරි සතුටෙනි. අප්පච්චී පිටත සිට පරික්ෂණයට පැමිණි තවත් අයෙකුගේ වැඩිහිටියෙක් සමග කතාවක පැටලී සිටියි.

“ආ, ඉවරද දුව?“ අප්පච්චී ඇසීය. මම හිස සළා ‘ඔව්‘ යැයි ඇඟෙව්වෙමි.

“එහෙනම් යමු. අපි ගිහින් එන්නම් මිස්ටර් තෙන්නකෝන්.“

“හා... හොඳයි. අපේ පුතා එන්න තව වෙලා යාවි.“

අප්පච්චී මදක් පය ඉක්මන් කර ඉදිරියට යන්න විය.

“කොහොමද ඉන්ටර්විව් එක. මොනවද එයාලා ඇහැව්වේ.?“

“ඇහැව්ව නෙමෙයි අප්පච්චි, එයාලා මාව තෝරගත්තත් එක්කලා...“

“ආ.... ඇත්තද? කවද ඉඳන්ද වැඩට එන්න කිව්වෙ.“

“පළවෙනිද ඉඳන්. අප්පච්චි අපි කෝල් එකක් දීල සුරංගට කියමුද?“

“හරි. එහෙනම් අර පෝස්ට් ඔෆිස් එකට යමු.“

ගෙදර යන්නට පෙර ඒ සුභ ආරංචිය සුරංගට කීමට උවමනා නිසා අපි පෙර ගිය තැපැල් කාර්යාලයටම ගියෙමු. මම ඔහුගේ දුරකථන අංකය කරකැව්වෙමි.

“හලෝ සුරංග.“

“අමා. ඉන්ටර්විව් එන ඉවරද?“

“ඔව්. ඔයා දන්නවද මාව තේරුණා. පළවෙනිද ඉඳන් වැඩට එන්න කිව්වා.“

“ම්... ඒකනේ මං එද්දි කිව්වෙ ඔයාට ජොබ් එක ලැබේවි කියලා.“

“ඒක තමයි. ඔයා කොහොමද හරියටම දන්නෙ මට ජොබ් එක ලැබෙන බව.“

“ඒක රහසක් ආවහම කියන්නම්. ඒක නෙමෙයි කොහෙද ඔෆිස් එක තියෙන්නේ.?

“ගන්නොරුවේ.“

“ආ... එහෙමනම් ලේසියි. දැන් දවල්ට මොනව හරි කාලම පිටත් වෙන්න.“

“ඔව් සුරංග. ගෙදර එනකොට පහ හය විතර වේවි. එහෙනම් මං තියනවා.“

“හරි අමා. ප්‍රවේසමෙන් එන්න. මම හවසට ඔයාලගේ ගෙදර යනවා. ආවහම විස්තර කතාකරමු“

තැපැල් කාර්යාලයෙන් පිටතට පැමිණි අපි උදේ ආහාරය ගත් කඩේටම ගියෙමු. බනිස් හා ප්ලේන්ටිවලින් කුස පුරවාගත් අපි බස් නැවතුමට ගියේ ඉක්මනින්ම ගෙදර යන්නටය. රස්තියාදුවකින් තොරව නුවර බලායන බස්රථයකට ගොඩවීමට හැකිවිය. පිටත්වීමට නියමිත කාලය එළැඹෙනතුරු බසය නවතා තිබුණි. මධ්‍යහනය එළැඹ ඇති නිසා හිරු එළිය මුළු පරිසරයම දවාලමින් මුදුන්ව හිඳියි. දිළිඳු කාන්තාවක් අතදරුවෙකු එල්ලාගෙන ගිනි මද්දහනේ පදික වේදිකාවේ ඇවිදයමින් හිඟමන් යදියි. ඇයට බස්රථවලට නැගීමට කොන්දොස්තරවරුන්ගෙන් අවසරයක් නැත.

“පලයන් පලයන්“

නැතිනම්

“බැහැපන් බැහැපන්“

යනුවෙන් බැනවදිමින් ඔවුහු ඇයට අකාරුණික වූහ.

ඇය අත වූ හුරුබුහුටි දරුපැටියා දැකීමෙන් මා සිතේ ඇති වූයේ කම්පාවකි.  පොඩි එකාගේ කටට සූප්පුවක් ඔබා තිබුණි. මම ඇය දෙස අනුකම්පාවෙන් බලාසිටියෙමි. ඇය අප සිටින බසය අසලට පැමිණියහොත් ආධාරයක් කිරීමට සිතා සිටිය ද ඇය පැමිණියේ නැත.  

විනාඩි පහකින් පමණ පසු බසය පිටත්විය. නුවරට යනතුරුම අලුත් රැකියාව ගැන සිතමින් සිහින මැව්වෙමි. පළවෙනිදට ඇත්තේ තව දින දාහතකි. ගෙදර ගියපසු බොහෝ රාජකාරි ඇත. අලුත් රස්සාවට යන්නට සාරි කිහිපයක් අත් බෑගයක් සෙරෙප්පු කුට්ටම් ආදිය අලුතෙන්ම ගත යුතුය. හැට්ට මැසීමට අවශ්‍ය නිසා හෙට හරි අනිද්ද හරි නංගිවත් අල්ලගෙන නුවර ටවුමට එන්න ඕන. මේ ආදී වශයෙන් විවිධ වූ සිතුවිලි අතරේ නොදැනීම බසය නුවරට පැමිණ තිබුණි. කඩුගන්නාවේ සිට කළුකර තිබූ අහස නුවර එද්දී කඩා වැටෙන්නට විය. මුළු පරිසරයම අන්ධකාරයෙන් වෙලාගෙනය. ඈත කඳු මීදුමෙන් වසාගෙනය. ගුඩ් ෂේඩ් නැවතුමෙන් නැවැත්වූ පසු බසයෙන් බැසගත් අය කඩිමුඩියේ ආවරණ යටට රිංගා ගත්හ. ගෙදරට යන බසයක් නැගීමට නම් අපිට ඔරලෝසු කණුව අසලට යායුතුව ඇත. වැස්සෙන් නොතෙමෙන තැනක සිටිය අපි වැස්ස මදක් තුරල්වෙනතුරු බලා සිටියත්, ගොරව ගොරවා වැස්ස තවත් වැඩිවනවා මිස තුරල්වෙන පාටක් නැත.

“දුව වැස්ස පායන පාටක් නෑ. අපි ත්‍රී වීලරයක යමු.“ මම ද අප්පච්චිගේ අදහසට එකඟ වීමි. ඒ අනුව අපි ත්‍රී විලරයක ගෙදර යන්නට පිටත් වීමු. දැන් සුරංගත්  අපේ ගෙදර ඇවිල්ල ඇති. කට්ටියට තොරතුරු කියන්න මට ඉස්පාසුවක් නැත.

ත්‍රී රෝද රථ රියැදුරුට මාර්ගය නොපෙනෙන තරමට වැස්ස දැඩිය. රථයේ වයිපරය එයාට හැකි උපරිම වේගෙන් වීදුරුවේ වතුර පිසදමයි. මහා රූස්සගස් යටින් යනවිට අවට අඳුර දෙගුන තෙගුන වෙයි. මදක් තුරල් කළ  වර්ෂාව යළිත් මොහොතකින් වැඩිවිය. මහයියාව අසල වංගුව ගත් ත්‍රී රෝද රථය එකවරම මහා හඬින් තිරිංග තද කරන හඬ පමණයි මට ඇසුණේ.   

 
මතුසම්බන්ධයි

තරු

 

වෙනද වගේම අදහසක් තියල යන්න අමතක කරන්න එපා



9 comments:

  1. පහුගිය ටිකේ ආපු නැති ටිකට කොටස් 3ක් දාලා තිබබා. අද කියෙව්වේ සේරම. දැන් නම් සරුසාර අනාගතයක් වගේ පේන්න තියෙන්නේ. සුරංගයා මොකක්ද ගැහව්ව ගැටේ ඒ පාර

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් පහුගිය කාලේ කොහෙද ගියේ? දැන් තමයි ලිහාගන්න බැරි ගැට වැටෙන්නෙ.

      Delete
  2. අයියෝ රස්සාවට යන්න බැරිවෙයිද ..?

    ReplyDelete
    Replies
    1. ධාරානිපාත වැස්සක වංගුවක් ගන්නකොට ප්රවේසම් වෙන්න ඕන නේද?

      Delete
  3. රස්සාවට යන්න කලින් කොයි තරං සුදානං වෙන්න තියේද හැබෑටම...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. දේශකගේ මතකයත් අතීතයට ගිය හැඩයි.

      Delete
    2. ඇත්තටම එහෙම උනා

      Delete
  4. බලමුකෝ රස්සාවට ගියායින් පස්සේ මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. ඒක හරි දිනේෂ් ඊළඟ කොටසින් බලමු.

      Delete