Monday, August 19, 2013

නෙතු අද්දර - 12




         
            නුවර නගර සභා ක්‍රීඩාංගනයේ පැවති සල්පිල බලන්නට මම රමණි නංගිවත් අඬගහගෙන ගියෙමි. එහි දී සුරංග අපට එකතු විය. අප තිදෙනාම සල්පිලේ ඇති වෙළඳ කුටි නරඹමින් ඉදිරියට ඇවිදගෙන යන්නට වීමු. මා සිත්ගත් භාණ්ඩ කිහිපයක් ඒ අතර වූ නමුත් ඒවා මිලදී ගැනීමට මා අත මුදල් නොමැතිවීම ගැන මම පසුතැවෙන්නට වූයෙමි.



          “ඔය දෙන්නට මොනව හරි ගන්න සල්ලි ඕන නම් කියන්න මම දෙන්නම්.“ යි සුරංග පැවසුවේ ඔය අතරේදි ය.
          “එපා අයියා. මම සල්ලි ටිකක් ගෙනාවා. ඒත් හිතට අල්ලන දෙයක් නෑ වගේ.“ යි රමණි නංගි ගේ පිළිතුර විය.
“අමා... ඔයා මොනවත් ගන්නෙ නැද්ද?“
“නෑ සුරංග. අද තියෙන බඩු එච්චර හරි නෑ.“ යි කීවේ මට සුරංගගෙන් මුදල් ඉල්ලීමට හිත දුන්නේ නැති නිසා. එසේ ඔහුගේ මුදලින් බඩු ගත්තා නම් ඒවා රැගෙන ගෙදර ගියවිට මට මුදල් ලැබුණ ආකාරය ගැන අම්මලාට පැවසීමට සිදුවෙනවා. එයින් අම්මලාගේ හි‍තේ සැකයක් ඇතිවෙන්නට පුළුවන්. එසේ නැතුව මට රමණි නංගිගෙන් ඉල්ලා ගත්බවට මුසාවක් පැවසීමට සිදුවනු ඇත. කෙසේ නමුත් මේ සිදුවීමෙන්, මගේ සිතේ රැකියාවක් කිරීමේ අවශ්‍යතාවය නැවත මතුවන්නට විය.
          පැයක පමණ කාලයක් සල්පිලේ ගත කළ පසු  තිදෙනාම බස් නැවතුමට පැමිණියෙමු. සුරංග පැමිණ සිටියේ ඔහුගේ මෝටර් බයිසිකලයෙනි. ඒ නිසා ඔහු අප බස් රථයකට නගින තුරු නැවතුමේ සිටියේය.
          “අක්කා අයියත් එක්කලා එන්න, මට පුළුවන් බස් එකේ යන්න.“
          “ඒක හරි නෑ නංගි. ඔයා ආවේ අමාලි අක්කගේ තනියටනේ. ඒ නිසා නංගිට තනියම යන්න කියන්න හොඳ නැහැනේ. අනික මට යාළුවෙක් හම්බවෙන්නත් තියෙනවා.“ යි සුරංග කියා අවසන් කරනවාත් සමග බසයක් පැමිණියෙන් අපි ඊට ගොඩවීමු.
          මා වත්තට ඇතුල් වන විට අම්මාත් අප්පච්චීත් ලියන පොතක පිටු පෙරළමින් මොනවදෝ බලයි.
          “මොනවද අම්මෙ ඔය.?“
          “මේ ගෙවන්න තියෙන ණය වගයක්. අප්පච්චිගෙ අර්ථසාධකෙන් ගෙවල දාන්න පුළුවන්නේ. ආ ඒක නෙමෙයි කොහොමද සල්පිල?“
          “ගන්න නම් බඩු වගයක් තිබුණා. ඒත් මම සල්ලි ගෙනිච්චෙ නැහැනෙ.“
          “දුවට මගෙන් ඉල්ලන්න තිබුණනේ....“
          අක්කගේ මගුල් ගෙදරටයි. දෑවැද්දට අවශ්‍ය බඩු හදවන්නයි, ගෙදර අලුත් වැඩියා කටයුතුවලටයි අප්පච්චි ලක්ෂ කිහිපයක මුදලක් ණයට ගෙන තිබුණි. අර්ථ සාධකෙන් ඒ ණය ගෙවා දැමූපසු ඉතිරි මුදල මාසික පොළී පදනමට බැංකුවක දැමීමයි ඔහුගේ අදහස. ඒත් බැංකු පොළිය අඩු වැඩි වීම නිසා එය ස්ථාවර ආදායම් මාර්ගයක් නොවනු ඇත. මෙතෙක් කල් මගේ සිතේ කොණක සඟවාගෙන සිටි බලාපොරොත්තුව එළියට ගැනීමට මෙය හොඳ අවස්ථාවකැයි මට සිතුණි.
“අප්පච්චී විශ්‍රාම ගිය නිසා, ගෙදර අඩු පාඩුවලට උදව්වෙන්න මටත් රස්සාවක් කරන්න ආසයි අප්පච්චි.“  
ඒ පැනය මගේ මුවෙන් ගිලිහෙනවාත් සමගම අප්පච්චී දෑස් කුඩා කර මා දෙස බලන්නට විය.
          “දුවට මොනවද තියෙන අඩුපාඩු රස්සාවක් කරන්න තරම්.?“
          “ඉගෙන ගත්ත දේවල්වලිනුත් වැඩක් ගන්න ආසයි. අනේ.... මගේ හොඳ අප්පච්චිනේ...“


          එසේ කියමින් කුඩා දැරියකසේ ඔහුගේ දෙවුරේ එල්ලුනෙමි.
          “ආ.... මේ මොකද අප්පච්චිව මුරැංගා අත්තේ තියන්න හදන්නේ...?“ යි අම්මා සිනාසෙමින් පවසන්නට වූවාය.
          “ගෑනු ළමයි රස්සාවල්වලට යනවට මගේ නම් එච්චර කැමැත්තක් නෑ. ඒත් දැන් කාලෙ වෙනස්නෙ. ඔයාලා යමක්කමක් තේරැම් තියෙන අය විදිහට ඔයගොල්ලන්ගෙ ජීවිත හැඩගස්සවාගන්න ඕන කාලෙ. සුදුසුකම්වලට ගැලපෙන තැනක් බලලා එහෙනම් ඇප්ලිකේෂන් දාන්න.“
          අප්පච්චී මගේ ඉල්ලීම එකහෙලාම ප්‍රතික්ෂේප කරාවිය යන මතයේ සිටි මට ඔහුගේ අදහස මා මවිතයට පත් කළේය. මම අප්පච්චීට ස්තූතිකර කාමරයට දිව ගියෙමි.
          මගේ සිතේ ඇත්තේ කියාගත නොහැකි සතුටකි. ජීවිතය කෙතරම් සුන්දර ද, උදෑසන පිපුණ මලක් සේ මගේ හිත ප්‍රබෝධමත්ය. සුන්දර සිහිනවලින්, ප්‍රාර්ථනාවන්ගෙන්  පිරුණ ජීවිතය පුළුන් රොදක් සේ පාවී යනවා දැනේ. දාස් මල් ගහේ මල් පිපී තිබේ. මම ඉන් මල් කිහිපයක් කඩාගෙන ඇළට දිව ගියෙමි. මල් පෙති කඩා ඇළ දිගේ පා කර හැරියෙමි. ඇළ දිය වසාගත් මල්පෙති සෙමෙන් සෙමෙන් පහළට ඇදී යයි. සුරංගත් මෙතන හිටිය නම් කොපමණ හොඳ ද කියා මට සිතුණි.
          උදෑසනින්ම නාගත් මම හිස පිහිදමමින් සාලයට පැමිණියෙමි. සාලෙට පැමිණෙත්ම දුරකථනය නාදවන්නට වූයෙන් මම එය ඇමතීමට ගියෙමි. අනෙක් අන්තයෙන් කතා කරන ඒ සුමිහිරි කටහඬ ඇසීමෙන් මගේ සිත සතුටෙන් ඉපිළ යන්නට විය.
          “අමා, ඔයාට පුළුවන් ද අද දහයා මාරට විතර මාව හම්බවෙන්න.“
          සුරංග එම වැකිය කියාගෙන ගියේ තරමක් නොසන්සුන්කමිනි. එය මා සිතේ ඇති කළේ කුතුහලයකි.
          “ඇයි සුරංග කලබලෙන් වගේ?“
          “ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඒක මෙහෙම කියන්න බෑ.“
          සුරංග දුරකථනය තැබු පසු මා දසතේ කල්පනා කරන්නට විය.


           සුරංග කතා කළ විදිහට නම් කියන්නට යන්නේ එතරම් සුභදායී ආරංචියක් නොවන බැව් මට සිතේ. මා දහයාමාර වනතුරු සිටියේ නොඉවසිල්ලෙනි. මම ඔරලෝසුව දෙස වරින් වර බලන්නට වීමි. කාලය ගමන් කරන්නේ ඉතා සෙමින්ය. වේලාසනින්ම සූදානම් වූ මා කලින්ම නිවසෙන් පිට වූයෙමි. මා අපි මුණගැසෙන සුපුරුදු ස්ථානයට යන විට වෙලාව දහය වී තිබුණි. එම ස්ථානයේ තනිවම රැඳී සිටිම මට ප්‍රශ්නයක් වූයේ නැත. මන්ද අපි දෙන්නා එම ස්ථානයට හොඳින් හුරුපුරුදු අය නිසා ය. මද වෙලාවකින් මම ඔරලෝසුව බැලුවෙමි. වෙලාව 10.40 වී තිබුණි. සුරංග කිසි දිනක මා හමුවන්ට ප්‍රමාද වී එන්නේ නැත. ඔහු හැම විටම මට කලින් පැමිණ සිටියි. මගේ සිත තව තවත් නොසන්සුන් වෙයි. මම අසුනෙන් නැගිට පාර දෙසට ගියෙමි. එවිට සුරංග එනු දැකීමෙන් මගේ සිතට අස්වැසිල්ලක් දැනෙන්ට විය. මා අසලින් මෝටර් බයිසිකලය නවත්වමින්,
          “සොරි අමා ටිකක් පරක්කු උනා.“
          “ඇයි ඔයා හදිස්සියේ මට එන්න කිව්වේ.?“
          “ඔයාව බලාගන්න හිතුනා.“
          “අනේ නිකං ඉන්න සුරංග. ඒක නෙවෙයි වෙන මොකක් හරි හේතුවක් තියෙනවා.“
          “වෙන මොකක් හරි හේතුවක්?“
          “ඔව්. ඔයා කලබලෙන් වගේ මට කතා කළේ.“
          “හරි, හේතුව කියන්න, අපි යමු වාඩි වෙන්න.“
          සැනසිල්ලේ කතා කළ යුතුයැයි සුරංග පැවසූ නිසා අපි දෙදෙනා මා පෙර හිද උන් ස්ථානයට ගියෙමු.
          “දැන්වත් කියන්නකෝ මොකද්ද කාරණාව කියලා.“
          සුරංග කතා කරන තුරු ඉවසා සිටිය නොහැකි තැන මම එසේ ඇසුවෙමි.
          “හෝටල් සංගමේ සාමාජිකයන් කිහිප දෙනෙකුට පිටරට සංචාරයක් ලැබිල. ඒ ගමනට මාවත් තේරිලා..“
          “ෂා හරි ෂෝක් නෙ. ඉතිං කවදද යන්න තියෙන්නේ?“
          “සෙනසුරාදාට.“
          “සෙනසුරාදා?“
          සති හයකට රටවල් තුනක සංචාරයකි. අදින් පස්සේ සුරංගව මට මුණ ගැසෙන්නේ මාස දෙකකට පසුවය. සංචාරය ගැන අසා සතුටු වූ මගේ සිතට මහත් දුකක් ඇති විය.
          “ඔයාට ඕකට යන්නම ඕන ද?“
          “නොගියොත් අපිටමයි පාඩු. චීනය, තායිලන්තය, ඉන්දියාව වගේ රටවල්වල ආහාර පාන වගේම ඒවා සංග්‍රහ කරන ආකාරය ගැන දැන ගන්නයි මේ ගමන යන්නේ.“
          “මට තේරෙණ්නෙ නෑ සුරංග ඔයා නැතුව මාස එකහමාරක් කොහොම ඉන්නද කියලා.“
          “ඒක ඉක්මනටම ගෙවිල යාවි. මං එනකොට ඔයාට මොනවද ගේන්න ඕන?“
          “මට මොකුත් එපා සුරංග. ඔයා පරෙස්සමෙන් ගිහින් එන්න.“
          මගේ හිතේ ගලක් හිරවී ඇතිවා සේ දැනේ. නිරන්තරෙන්ම සුරංගගේ තාවකාලික වෙන්වීම සිතට දැනේ. එය සිත පීඩාවට පත් කරවයි. සුරංග නම් ඉතා කැමැත්තෙන් ගමනට සූදානමව ඇති බව පෙනේ. එය එසේ විය යුතුය. රටවල් තුනක එකවර සංචාරය කිරීමට ලැබීම සැබවින්ම භාග්‍යකි. මෙහි ඇති තවත් වාසියක්නම් ගමන් බලපත්‍රයේ සිට ඉඳුම් හිටුම් සියල්ල සඳහාම අනුග්‍රාහකයෙක් සිටීමය. ඒ නිසා ඔවුන්ට විශේෂ වියදමක් දැරීමට සිදු නොවේ. කෙසේ වෙතත් සුරංගගේ වෙන්වීම මා සිතේ හට ගෙන තිබුණේ දරාගත නොහැකි දුකකි, තනිකමකි. ඔහුගේ ආදරයෙන් උණුසුමෙන් ඈත් වී සිටීම තරම් දුෂ්කර කාර්යයක් තවත් නැති තරම් ය. එහෙත් කෙසේ හෝ සිත හදාගත යුතුය. මගේ හිතේ හටගෙන ඇති සන්තාපය අවබෝධකරගත් සුරංග මගේ හිත හදනු පිණිස විහිළු කිරීමට උත්සහ දැරුවත් හිත ඇතුලෙන් දුක්වන බැව් වැටහී ගියේ වෙනදා මෙන් දොඩමළු නොවූ හෙයිනි.
 



 තරු


මතු සම්බන්ධයි.

"වෙනද වගේම අදහසක් තියල යන්න අමතක කරන්න එපා."

9 comments:

  1. ඕකනේ කියන්නේ ඉකමනට බැන්දානම් දෙන්නටම යන්න තිබුනනේ...? අපරාදේ චෑන්ස් එක.

    ReplyDelete
    Replies
    1. දෙන්නව බන්දන්න බැලුව බැලුව වැඩේ හරි ගියේ නෑ. මගුල ඉක්මන් කරන්න ඕන.

      Delete
  2. ඔය කාලෙට ඔහොම දුක තමා.අමාට කියන්න ටිකක් ඈත් වුනහම අගේ වැඩි වෙයි කියල

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කතාව අැත්ත තමයි.

      Delete
  3. කියෙව්වෙමි.. :)

    ReplyDelete
    Replies
    1. අද තනි වචනෙන් උත්තර දීල තියෙන්නේ. කොමෙන්ටුවක් ඇත්තෙම නැද්ද?

      Delete
    2. විශේෂ හේතුවකට නෙවෙයි, මේ කතාව තව ඉස්සරහට යන එකක් නේ. ඉතින් මේ පන්දුව නිදැල්ලේ යන්න ඇරියා. :)

      Delete
  4. මමත් පෞද්ගලිකව නම් කැමති නෑ ගෑල්ලමයි ජොබ් කරනවට....

    අමා දැන් හරියටම කැමැත්ත දීලද සුරංගයට ??

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කැමැත්ත දීලා...

      Delete