Thursday, June 20, 2013

මම වැරදිනම් මට අනුකම්පා නොකරන්න



අවසන් කොටස

එක දිගට සාහිත්‍ය සංගමේ පුහුණු කිරීම් නිසා දින කිහිපයක්ම පාසැල ඇරී යන විට සවස් විය. ඒ දින කිහිපයේම නදීෂ් පාසැල් පැමිණියේ නැත. දිනක් සවස් වි පාසැලෙන් පිට වූ මා සුපුරුදු ලෙස අරලිය මාවත දිගේ ඇවිද ගියෙමි.  අද එතැන් සිට.....

දින කිහිපයක්ම පාසැල් නොපැමිණි  නදිෂ් අරලිය ගසකට හේත්තුවී සිටින අයුරු දැකීමෙන් මගේ සිතේ ඇතිවූයේ තිගැස්මකි. එහෙත්  සිත දැඩි කරගනිමින් ඔහු දෙසට පියනැගූ මා අතරමග නැවතුණෙ පෙර සිදුවීමෙන් කෝපගැන්වී සිටි නිසාවෙනි..

“නදීෂ්, මෙහාට එනවා..!“  මම ගිගිලුවෙමි. බියට පත් වූ මුත් පැන නොගිය ඔහු මා වෙත සෙමෙන් සෙමෙන් පිය මැනවිත් නැවතුණේ ය.

“නදීෂ්, මොකද්ද ඔයා එදා කරපු කැත වැඩේ තේරුම? ගුරුවරුන්ට සළකන්නේ ඔහොමද? මම කවුරු කියල හිතාගෙන ද ඒ වගේ නොහොබිනා දෙයක් කරේ.“ මම ඉහවහ ගිය කෝපයෙන් කෑ ගැසුවෙමි. ඔහු බියෙන් වෙව්ලමින් මා දෙස බලා සිටින්නට වීමි.

“කියනවා, අදත් මෙතන රැකල හිටියේ මොකටද කියලා. මං මේක ප්‍රින්සිපල් සර්ට පැමිණිලි කරනවා.“

මගේ තරවටු කිරීම හමුවේ බියට පත්ව සිටි නදීෂ්ගෙ දෑස් ඉබේම තෙත්වන්නට විය. ඔහු තම දෑත් එක්කොට මගෙන් සමාව යදින්නට විය. ඒ වත මහා අනුකම්පා සහගත පෙනුමකින් වෙලී යන්නට විය. මා සිත අරක්ගෙන තිබූ කෝපය ඉන් සිඳීයන්නට විණි.


“නදීෂ් ඇයි ඔයා ඒහෙම කළේ....“  ඔහු නිහඬය. ගොළුවෙකු බිහිරෙකු සේ බලා සිටියි. මම යළීත් එම පැනය පුනරුජ්ජාරනය කෙළෙමි. ඔහු වෙවිලන මුවෙන් යමක් පැවසීමට යත්න දරන බව මට වැටහුණි.

“ඔයාට මොනව හරි මට කියන්න තියෙනවා. බය වෙන්න එපා. මං ප්‍රින්සිපල් සර්ට කියන්නෙ නෑ“

“මිස්, මම, ම-ම මිස්ට කැමතියි. මම මිස්ට ආ....දරෙයි.“ යි පැවසූ පෙර දින සේම එතැන නොරැඳී දිව ගියේ ය. මගේ සිතට මොකද්දෝ නුහුරු සිතුවිල්ලක් දැනෙන්නට විය. දෙයියනේ..... මොකද්ද මේ වෙන්න යන්නේ. පාසැල් යන නාඹර කොල්ලෙක් තමන්ට සිප් සතර කියාදෙන ගුරුවරියකට ආලය කරන්න. මගේ මනස අවුල් විය. ගෙදර ගිය මම මේ ගැන දසතේ කල්පනා කරන්නට විය.

***                  ***                  ***                  ***
එදා සිකුරාදා දවසක්. නදීෂ් පාසැල් පැසි පන්දු කණඩායමේ සාමාජිකයෙක්. සිතුරාදා යනු ඔවුන්ගේ පුහුණුවීමේ දිනයයි. මට නදීෂ් සමග කතා කිරීමේ දැඩි උවමනාවක් තිබුණි. මේ දින කිහිපයේ නදීෂ් පාසැලට පැමිණියද මාගේ වෙලාවේදී ඔහු පංතිය මග හරින්නට විය.
පාසැල නිමාවීමෙන් පසු මද වෙලාවක් කාර්යාලයේ රැඳී සිටිය මා ක්‍රීඩාංගණය දෙසට පිය මැන්නෙමි. ළමුන් කිහිප දෙනෙකු පැසි පන්දු ක්‍රීඩාවේ යෙදෙන අයුරු දැක ගත හැක. මම ඒ අතර නදීෂ්ව සොයන්නට වීමි. එහෙත් ඔහු එතන නැත. මගේ දෑස් පිටියෙන් පිටතට දිව ගියේ නිරායාසයෙනි. නදීෂ් අරලිය ගසක් යට හුදකලාව සිටින අයුරු මගේ දෙනෙතට අසුවිය. මට ඔහුව මගේ කාර්යාල කාමරයට ගෙන්වාගැනීමට උවමනා විය. එහෙත් මට එතැනට යා නොහැකිය. ඔය අතරේ ඒ අසලින් ගිය සිසුවෙකුට කතා කර නදීෂ්ට පණිවිඩය ලැබීමට සලස්වා මම කාර්යාලයට ගියෙමි.
“නදීෂ්. එන්න ඇතුලට.“ එහෙත් ඔහු ඇතුලට එන්න අදිමදි කළේය.
“බය වෙන්න එපා ළමයෝ.....ඇවිත් මෙතනින් වාඩිවෙන්න.“  ඔහු බියෙන් බියෙන් පැමිණ මා පෙන්වූ පුටුව මත හිඳ ගත්තේය.
“නදීෂ්, මම ඔයාට එන්න කිව්වේ ගහන්නවත් බනින්නවත් නෙවෙයි. ඔයත් එක්ක ටිකක් කතා කරන්න. මට කියන්න ඇයි ඔයා අර විදිහට හැසිරැණේ....?“
ඒ සමගම ඔහු යන්නට උත්සහ දැරීය.
“කොහෙද යන්න හදන්නේ . ඔහොම ඉඳගන්න.“ මම මදක් සැරෙන් පැවසුවෙමි. ඉන් බියට පත් ඔහු යළිත් පුටුවේ හිඳගත්තේ ය.
“නදීෂ් මට කෙලින් උත්තරයක් ඕන. ඔයා මගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ. ඇයි ඔයා අරවගේ දෙයක් කළේ. ඔයා දන්නවද ඒ කළ දේ හරි කියලා. ගුරුවරයෙකුට ගෞරව කරන්න ඔයා තවම දන්නෙ නැද්ද.? ඔයා දැන් ඇත්ත නොකිව්වොත් මට සිද්ධ වෙනවා ලොකු සර්ට කියන්න.“  මගේ වේගවත් වාග් ප්‍රහාරය හමුවේ බියෙන් බියට පත් ඔහු ඉකි ගසා හඬන්නට විය.
“මට සමාවෙන්න මිස්. මං ආයෙ කවදාවත් ඒ වගේ දෙයක් කරන්නෙවත් කියන්නෙවත් නෑ. අනේ මිස් ලොකු සර්ට නම් කියන්න එපා....“ ඔහු දෑත් එක්කොට මා ඉදිරියේ දණින් වැටුණේය. ඒ වත මහා අසරණකමකින් පිරී ගිය බවක් මටද දැනෙන්ට විය. මා දෑතින් අල්ලා ඔහුව නැගිට්ටුවාලීය. මගේ මුව මොහොතකට ගොළු විය. මම ඔහු දෙස බලා සිටියෙමි. මගේ මානයෙන් ඉවත් වූ නදීෂ්,
“මිස්, මම අවුරුදු හතේ ඉඳන්ම හැඳුනෙ හොස්ටල් එකේ. නිවාඩු කාලෙට තාත්ත ඇවිත් මාව ගෙදර එක්කගෙන යන්නෙ නැතුව කොහේ හරි නෑ ගේක නවත්තනවා. මට මතක ඇති කාලෙක ඉඳන් මං මගේ අම්මව දැකල නෑ. තාත්තගෙන් අම්ම ගැන ඇහැව්වහම, අම්ම මැරිල කියනවා. ඒත් මං දන්නවා, මගෙ අම්ම කොහේ හරි ඉන්නව කියල.“
“පුතා....“
“ඔව් මිස්, අම්ම හැමදාම මං නිදාගන්න යනකොට ඇවිත් මාත් එක්ක කතා කරනවා. මගේ ඔළුව අතගානවා. මට කතන්දර කියල දෙනවා. මගෙ අම්ම හරි ලස්සනයි. මම හැමදාම උදේට නැගිට්ටහම හිතනවා, අද මට මගේ සුදු අම්මව හම්බවෙයි කියලා. මං බලාගෙන හිටිය දේ හරි ගියා. මං ඉස්කෝලෙට ගිය දවසේ මගෙ අම්ම..... මගෙ අම්ම පන්තියට ආවා උගන්නන්න.“
නදීෂ් කඳුළු පිරුණු දෑසින් මගේ දෙස බලා සිටින්න විය. ඒ දෑස් ආදරෙන් සෙනෙහසින් පිරිලා. මගේ දෑස් වලට නැගි කඳුළු කම්මුල දිගේ ගලායනනට විය. මගේ සිතට බොහෝ දේවල් ආවත් ඒ එකක්වත් මුවේ පිට වූයේ නැත. මම හිසෙන් මා වෙත පැමිණෙන ලෙසට ඉඟි කළෙමි. ඔහු මා වෙතට පැමිණියා නොව මගේ සිරුරට පැන මාව තරයේ වැලඳ ගත්තේය.
“පුතා.....“ මගේ දෑස්වලින් කඳුළු දෝරෙ ගලා යන්නට විය.
“මගෙ අම්මා. මාව බලන්න ආවා.“
“ඔව් රත්තරං.“
“මාව දාලා යන්නෙ නෑ නේද?“
“කවදාවත් නෑ“
“මට දිවුරන්න.“

මම ඔහුගේ හිසේ අත තබා දිවුරුවෙමි. එදා සිට අපි ගොඩකි ළං වුණෙමු. පංතියේ කොණක් අල්ලගෙන හිටිය නදීෂ් ක්‍රියාකාරී සිසුවෙක් විය. අනෙක් ගුරුවරුන්ට මේ නෙස සීතාගැනීමටවත් නොහැකිව පුදුමයට පත්වී තිබුණි. දිනක් නදීෂ්ට ඕන උනා මාත් එක්ක ඉඳල ජායාරෑපයක් ගන්න. මම ඔහු සමග ස්ටුඩියෝ එකකට ගිහින් ජායාරෑපයක් අරන් දුනිමි. ඔහු ඊට බෙහෙවින් ඇලුම් කළේ ය. ඒත් අපේ මේ සම්බන්ධය වැඩි කළක් එසේ ගෙනයාමට නොහැකි විය. වරක් හදිසියේ අසනීප වූ මා දින දෙකක් පාසැල් නොගියෙමි. මාගේ නොපැමිණීම ගැන නදීෂ් බොහෝ සෙයින් කණගාටුවට පත්වී තිබේ. මෙය දුටු ඔහුගේ සගයෙක්,
“මොකද මූඩ් ගහල. උඹේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ආවෙ නැති නිසාද?“ කියල සරදම් ලෙස පවසා ඇත. ඉන් කිපුන නදීෂ් ,
“මොකද්ද යකෝ තෝ කිව්වෙ. ආයිත් කියපං බලන්න.“ යි කියමින් බිම දාගෙන ඔහුට හොඳ හිටි පහර දී ඇත. එම සිදධියත් සමග සියල්ලම අවුල් වී ඇත. පසු දින මා පාසැලට යන විට හැමෝම මා දෙස බලන්නට වූයේ පෙර දැක නැති සතෙකු දෙස බලන ආකාරයට ය. සමහරු මා පසු කරගෙන යනවිට මට නොතේරෙන ලෙසට කසු කුසු ගායි. මම සුපුරුදු ලෙස ගුරු කාමරයට ගියෙමි. කාමරය මුළුමනින්ම හිස්. කාමරයට ඇතුල්වෙන්නට එන අය මා දැක ගස්සාගෙන යන්නට වූහ. මට මෙය මහත් ප්‍රහේළිකාවක් විය. ඔය අතරේ ගුරු කාමරයට පැමිණි ගුරුවරියකට මා කතා කළෙමි.
“මිස් හේමා....“ ඇය මගේ හඬින් නැවතුන මුත් ඒ මුහුණේ පැවතියේ නුරැසුනා බවකි.
“මිස් හේමා, මං නැති දවස්වල මෙහේ මොනවද උනේ.... මේ හැමෝම මාව මග අරිනවා. ඇයි ඒ....“
“බාල අපරාධකාරයෝ උනහම එහෙම වෙනවා. ඔහෙල වගේ අය මුළු ගෑනු සංහතියටහ විතරක් නෙවෙයි ගුරුවරුන්ටත් නින්දාවක්. ලොකු සර් මේක ලේසියෙන් අතාරින එකක් නෑ“ යි කියමින් ඇය ඔරවාගෙ ගස්සාගෙන යන්නට ගියාය. “දෙවියනේ..... මොනවද වෙන්න ඇත්තේ....“ මම අහස පොළව ගැටලන්නා සේ කල්පනා කරන්නට වීමි.
“මිස් ලොකු සර් එන්න කිව්වා.“  ගුරු කාමරයට පැමිණි සිසුවෙක් පැවසීය. එසේ පවසා කුරුල්ලෙකු පිහාඹා යන්නාසේ දිව ගියේය. මම විදුහල්පතිතුමගේ කාර්යාලයට පිය නගන්නට වීම. මා නැති දිනවල නදීෂ් අරබයා කුමක් හෝ ප්‍රශ්නයක් මතු වී ඇත. මම හිතේ දෙගිඩියාවෙන් කාර්යාලයට ඇතුල් වූයෙමි. නදීෂ් කාමරයේ කොණක දණගස්සවා තිබුණි. මගේ පපුව හොස් ගා පිටවිය.
“සර් ඇයිමේ?.“
“මූ ඊයෙ ළමයෙකුට හොඳටම ගහල. පස්සෙයි මට ආරංචි උනේ කතාව. මොකද්ද ඔයාගේයි මුගෙයි අතර තියෙන සම්බන්ධය. මම දන්නවා, සමහර කොල්ලන්ගේ කරදඬු උස්වෙනකොට උන්ගෙ ඔළුවලට මගුල් විසේ ගහනවා. සමහර නැහැදිච්ච එවුන් ඉස්කෝලේ ඇහැට කනට පේන්න ඉන්න ටීචර් කෙනෙකුටවත් ඉන්න දෙන්නේ නෑ?“ විදුහල්පති නදීෂ් දෙස රවමි මා සමග පවසයි.
“සර් නදීෂ්ට....“
“ඔව් මන් දන්නවා මිස් කියන්න හදන දේ. මූට අම්මෙක් නෑ කියලනේ. ඒ විතරක් නෙවෙයි හරි හමන් අප්පෙකුත් නෑ. සමහරු කියනවා අම්ම මැරිල කියල. සමහරු කියනවා ඒ ගෑනි වෙන මිනිහෙක් එක්ක පැනලා ගිහින් කියලා. ඒවගේ හරි හමන් ජාතකයක් නැති එවුන්ගේ කල්කිරියාවත් මහ එවුන් වගේ.“
“සර් නදිෂ්ට ඕන උන අම්මගේ උණුසුම මං එයාට දුන්න. ඒත් මේ ඉස්කෝලේ ඉන්න අය එක වැරදියට දැක්ක. නදීෂ් අහිංසක ළමයෙක්. සර්ම කියන්න මං කරපු දේ වැරදිද කියලා. ගුරැවරැ ඉන්නේ දරැවන්ට උගන්වන්න විතරක්ම නෙවෙයි. ගුරුවරු දරැවන්ගේ දෙවෙනි අම්ම, දෙවෙනි තාත්ත. ඇයි සර් සර්ට ඒක තේරුම් ගන්න බැරි.“
“මිස් මට මේ පාසැලේ විනය තියාගන්න ඕන. ඔය සම්බන්ධකම් නිසා පාසැලේ ප්‍රශ්න ඇති වෙනවට මං කැමති නෑ.“ යි විදුහල්පති දැඩිව කියා සිට පුටුව වේගයෙන් තල්ලු කර නැගී සිටියේය. ඒ සමග කාමරයේ පැවතියේ දැඩි නිහඬතාවයකි. විදුහල්පති කාමරයේ ඔබ මොබ සක්මන් කරයි.
“ලොකු සර්....“ අපි කාගේත් අවධානය ඒ දෙසට යොමුවිය. නදීෂ් අත ජායාරෑපයකි. ඔහු එය විදුහල්පතිතුමාට දිගු කළේය. එය අතට ගත් විදුහල්පති ඒ දෙස පුදුමයෙන් බලා සිට එකවරම මා දෙස බැලීය.
සියලු ජායාරෑප අන්තර්ජාලෙයන්

තරු
ඔබේ සිතට පැමිණි අදහසක් වේ නම් ලියල යන්න අමතක කරන්න එපා.....
(හදිස්සියෙන් ටයිප් කරපු නිසා අඩු පාඩු අැති. ඒයට සමාවෙන්න...)

12 comments:

  1. කතාවේ තුන්වෙනි කොටසක් තිබුනනං හොඳයි කියලා හිතෙනවා, එක දිගටම කොටස් දෙකම අදත් කියෙව්වා, අර වගේ ක්‍රියා දෙකකින් පස්සේ අම්මා ගේ සෙනෙහස බලාපොරොත්තු වීම ටිකක් විතර අතාත්විකයි වගේ කියලත් හිතෙනවා, මම හිතන්නේ එතෙනට ආපු වේගේ ටිකක් වැඩියි කියලා. කොහොම වුනත් වෙනස්ම අවසානයක් ඇති කරන්න අරගත්තු උත්සාහය ප්‍රසංසනීයයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අවසානය ඉක්මන් උනා තමයි. එක දිගට 'නෙතු අද්දර' ලිවීමෙන් පොඩි විරාමයක් ගන්න හිතිලයි ‍කෙටි කතාවක් ලියන්න හිතුවේ.

      Delete
  2. ඔන්න ඔය හදිස්සිය තමා තියෙන ලොකුම කරදරේ. ඒක කතාවට බලපානව. කතාව නවත්තන්න තමා උත්සාහය කොහොම උනත් වෙනත් මානයක් සොයා ගිය කතාවක්. හැගීම් ප්‍රකාශනය මීට වඩා සාර්ථකව කරා නම් කතාවේ තියෙන ෆැන්ටසි ගතිය නැති වෙන්න ඉඩ තිබ්බා. ටච් කරල වැඩක් නෑ බොක්කම අත ගාලා දෙන්නයි ඕන. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඔව් දේශක, මම ආයාසයෙන් තමයි කතාව නවත්ත ගත්තේ. ලියන්න ගත්ත නම් තව කොටස් කිහිපයක් දක්වා ඇදෙනවා. එතකොට 'නෙතු අද්දර' ඔයාලගේ මතකෙන් ගිලිහී යාවි.

      Delete
  3. කතාව බලෙන් නවත්තලා දෝ කියලා හිතාගෙන එද්දි පල්ලෙහායින් ඒක ගැන කියලම තියෙනවා.. අන්න ඒකනම් මම අනුමත කරන්නේ නෑ.. හැබැයි කෝම උනත් කතාවනම් හුඟක් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. මුලින්ම දිනේෂ්ව තරු අරණට සාදරෙන් පිළිගන්නවා. ඔයාලා කියන කතාව මම පිළිගන්නවා. ඇත්තටම මම කතාවට අසාධාරණයක් කරල තියෙනවා.

      Delete
  4. තරු හැමෝටම එකම දේ දැනිලා. මට කතාව කියද්දී හිතුනේ මේක පොඩ්ඩක් ගැලපිලා නැතිද මන්දා කියලා. අනික් අය කියලා තිබ්බ හින්දා කියනවා නෙවේ. පලවෙනි එකෙන් ගොඩ නගා ගත්ත එක පොඩ්ඩක් විතර, චුට්ට්ම චුට්ටක් අවුල් වෙලා. ඒත් අවසානේ ඉවර කරපු විදිය නම් හොදයි මට.

    ReplyDelete
    Replies
    1. හ්ම්.... ඒ නොගැලපීමට මුල කතාව ඉවරකරගන්න තිබුණ ඉක්මන වෙන්න ඕන.

      Delete
  5. තව කොටසක් ඕනා වගේ අක්කෝ..)))

    ReplyDelete
  6. මට කතාව ලියාගෙන යද්දිත් දැනුන තව දික්කරන්න පුළුවන් කියල. ඒත් හිත කැමකි උනේ නැහැනේ ඒකට. මොනව කරන්නද ඉතිං?

    ReplyDelete
  7. හරි ඕක අතීතයනේ, දැං නදීෂ් හම්බ උනානේ... දැං එයා එක්ක කතා කරමු

    ReplyDelete
  8. මාර වැඩේ.... හැමෝම කියන නිසා ඊළග කොටසක් ගැන හිතන්න වෙයි වගේ. බලමු...

    ReplyDelete