Saturday, June 8, 2013

නෙතු අද්දර - 07






සුරංග උත්සහවන්තයි. එහි ප්‍රතිඵලයකි ඔහුගේ හෝටලය. මහවැලි ගඟ ඉහත්තාවේ තරමක කඳුගැට්ටක් මත හෝටලය පිහිටා තිබේ. හෝටලයේ සිට මහවැලි ගඟට අඩිපාරකි. එයට අලංකාර සිමෙන්ති ගඩොල් අල්ලා ඇත. තවත් පසෙක තැනිතලා තණ බිමකි. ඒ කොටස කන්ද කපා සෑදුවක් සේ පෙනේ. එතැනට යාමට පඩි පෙළකි. හෝටලය විවෘත කිරීමට තව වෙලා ඇති නිසා මම ගඟ අසලට පිය නැගුවෙමි. මගේ අඩි සද්දෙන් බියට පත්  දියකාවෙක් කෑ ගහගෙන ඉගිල ගියේ ය. ගං දිය ශාන්ත ලෙසින් ගළාබසියි. වතුර ඉතා පිරිසිදුය. ඒත් වැහි කාලෙට මේ රමණීය බව මැකී යයි. ගඟ ප්‍රචන්ඩ වෙයි. මඩ පැහැගැන්වූ ගං දිය මුළු මහත් පරිසරයටම ගෙන දෙන්නනේ අප්‍රසන්න පෙනුමකි. මහවැලි ගඟට ඔබ්බෙන් පිහිටි කඳුපන්තිය බැසගෙන එන හිරැ තව මොහොතකින් මේ වත්තටත් ගොඩවෙනු ඇත. නැකතට වෙලාවත් ළංව ඇති නිසා මම හෝටලය දෙසට පිය මැන්නෙමි.
            සක් ගෙඩි මංගල බෙර වැයුම් මැද්දේ සුරංගගේ හෝටලය විවෘත විය. එය ඉතාමත් චාම් උත්සවයක් විය. හෝටලය විවෘත කිරීම සිදුවූයේ සුරංගගේ මවගෙ අතින්ය. නිල් පාට පීත්ත පටිය කැපූ ඇය දකුණු පාදය පෙරට තබා හෝටලයට ඇතුල් වුණි. පොල් තෙල් පහන දැල්වීමේ අවස්ථාවට අප්පච්චීටත් ආරාධා ලැබී තිබුණි.  ඉක්බිති සුරංගගේ බාප්පා කෙනෙක් කතාවක් පවත්වන්නට විය. එක දිගට කතාව පවත්වාගෙන ගිය ඔහු,
“සුරාංග පුතා කවද හරි දියුණුවන බව මම හොදාකාරවම දැනගෙන හිටියා. තාත්තගේ අභාවයෙන් පස්සෙ සුරංග පුතා මේ තත්ත්වෙට එන්න දැඩි කැපවීමක් කරා. එහි ප්‍රතිඵලයි අද ඔහු භුක්ති විඳින්නේ. ඉතිං සුරංග පුතාගේ අනාගතය තවත් සාර්ථක කරගන්න නම් ඉක්මනින්ම සහකාරියක් කැන්දාගෙන එන්න සිද්ද වෙනවා. ආයෙ ඉතිං හෝටල් ගාස්තු ආහාර පාන නවාතැන්වලට කියල අමතර මුදලක් යන එකක් යැ. ඒ සියලුම දේ මේ වහලයටින්ම සපයා ගන්න පුළුවන් කොට. ඉතිං මම නම් ප්‍රාර්ථනා කරන්නේ මේ හොටලේ මුල්ම මංගල උත්සවය සිදුවිය යුත්තේ අපේ සුරංග පුතාගේ කියලා.”
            ඔහුගේ කතාවට සවන්දීගෙන සිටි සියලු දෙනා සිනා සෙමින් අත්පොළොසන් දෙන්නට වූහ. ඔහුගේ කතාවේ එසේ කියවෙද්දී මගේ දෑස් සුරංග වෙතට යොමු වූයේ ඉබේටමය. මා සිටි ස්ථානයට මදක් දුරින් ඉඳ සිටියත් ඔහුට මාව හොඳින් පෙනේ.  මගේ දෑස් ඒ වෙත යොමුවෙනවාත් සමගම මා ‍දෙස බලා සිටි සුරංග ඇසක් ගසා ඉඟියක් මැරුවේ මාව ලැජ්ජාවට පත් කරමින් ය. කතාවෙන් පසු කැවිලි පෙවිළිවලින් සැදි භෝජන සංග්‍රහයට සහභාගි වුණෙමු.
“හොඳට ඉඩකඩ තියෙනවා.” යි අම්මා පැවසුවේ භෝජන සංග්‍රයෙන් පසු වත්තට ඇවිදින්නට ගියවිටදිය.
“සුරංග දක්ෂයා.” යි අප්පච්චී ඊට උත්තර බැන්දේය.
“මාමලා කෑවද?” යි හදිසියේම අප අතරට පැමිණි සුරංග ඇසීය.
“දවල්ටත් කන්න බඩේ ඉඩ නැති තරම් පුතා.”
“මම මාමාටයි නැන්දටයි පොඩි ආරාධනාවක් කරන්න කියලා.”
සුරංග එසේ කියද්දි මගේ සිතට උපන් කුතුහලෙන් මම ඔහු දෙස බැලුවෙමි. 
“ඉස් ඉස්සෙල්ලම මගේ හොටලේ උයන කෑමට බැහැයි නොකියා ඔයාලා ඉන්න ඕන.”
“අපි වෙන දවසක එන්නම්කෝ පුතා...”
“අනේ මාමේ, ප්ලීස්... එක බත් කටක් කාල යන්න.”
“පුතා ඔච්චරටම බල කරද්දී බෑ කියන්න හොඳ නැහැනේ. නේද සීතා....?”  අප්පච්චී මවගේ ප්‍රතිචාර අපේක්ෂාවෙන් එසේ කියමින් ඈ දෙස බැලිය. මව එය අනුමත කරන්නා සේ හිස සැලිය.
            තවත් වෙලා මෙහි රැදී සිටීමට හැකිවීම ගැන මගේ සිතේ ඇති වූයේ සතුටකි. මා එසේ සිටියදි අම්මාත්, අප්පච්චීත් ඈතට විහිදෙන තණ බිස්ස දිගේ අවට සිරිනරඹමින් ඇවිද යන්නට වුහ. ගඟ දෙසින් ගත සීතල කරන සුළං පොදක් විත් ගතේ දැවටෙන්න වූවා. මම දැත් බැඳගෙන සීතල නිවාගන්නට උත්සහ දැරැවෙමි.

“කුමාරිහාමි මොකද තනියම?”
“පරිසරයේ සුන්දරත්වය රසවින්දා...”
“අපි ඉතිං දෙයක් තේරැවොත් සුන්දරම තමයි.”
“ඇත්තට... තව මොනවද ඒ වගේ තෝරලා තියෙන්නේ....?”
“තියෙනවා තියෙනවා.... ඒවා පුද්ගලිකයි රහසිගතයි. ඒක නෙමෙයි මගේ අදහසක් තියෙනවා බෝට්ටු සවාරියක් දාන්න.”
“හරි ෂෝක් නේ.”
අම්මත් අප්පච්චිත් හෝටලය තුළට ගොස් සුරංගගේ අම්මාත් අක්කාත් සමග කතා කරමින් සිටින අයුරැ දැක ගත හැක. අපි දෙදෙනා ඉදිරියට පියමනින්නට විමු. හදිසියේ මට යමක් මතක් වූවාසේ,
“ඒක නෙමෙයි ඔයාගෙ බාප්පා කිව්ව වගේ, කවදද ඔයාගෙ වෙඩිං එක ගන්නේ?”
“හෙට උනත් වෙඩිං එක ගන්න ලැස්තියි. ඒති පොඩි ප්‍රශ්නයක් තියෙනවා.”
“ඒ මොකද්ද?”
“තාම බඳින්න ගෑනු ළමයෙක් හොයාගන්න බැරි උනානෙ.”
“අයියෝ.... ඕකත් දෙයක්ද? ඔය ඕන හැටියේ හොඳ ගෑනු ළමයි ඉන්නේ.”
“හිටියට මගේ හිතට හරියන්න ඕනෙ නේ....”
එසේ කියමින් සුරංග කල්පනා කරන්නට විය.   
“මොනවද ඔය හැටි කල්පනා කරන්නනේ?”
හෝටලයේ පසෙක රත්මල් ගහකි. ඒ යට තනන ලද බංකුවකි. අපි ඒ ගස දෙසට පිය නැගුවෙමු.
“මං මේ කල්පනා කළේ.... මගේ හිතට අල්ලන ගෑනු ළමයෙක් නම් ඉන්නවා.”
ඒ වදන් පෙළින් මගේ සිත නොසන්සුන් විය.
“කවුද අප්පේ..... ඒ වාසනාවන්ත කෙල්ල?”
“කියන්න නම් පුළුවන්, ඒත් එයා කැමති වෙයිද දන්නෙ නෑ.”
“ඔයා වගේ දක්ෂ, අවංක, ‍ඒ විතරක්ද ලස්සන කොල්ලෙකුට අකමැති වෙන්නේ මොන මෝඩ කෙල්ලද?”
‘ඒ කියන්නේ.... මගේ හිතේ ඉන්නේ ඒ ඔයයි කියල කිව්වොත්, එතකොට කියන්නෙත් ඉස්සෙල්ල කියපු දේමද?”
            සුරංග කියූ දෙයින් මගේ උගුර කට වේලෙන්නට විය. ගොඩදාපු මැළුවෙකු සේ ගැහෙන්නට මෙන් විය. මම රත්මල් ගහ යට ඇති බංකුව මත හිඳගත්තෙමි. සුරංග මා දෙස නෙතුපිය නොසලා බලා සිටින අයුරැ මගේ නෙත අගට අසුවෙයි. ඔහු ද මා අසලින් හිඳගත්තේය. මට බංකුවෙන් ඉබේටම නැගිට්ටුණි.
“වාඩිවෙන්න ළමයෝ. මං ඔයාව ගිලින්නේ නෑ.”
මම බංකුවේ කොනක යන්තමින් හිඳගත්තෙමි.
“මේ මොකද? හරියට බස් එකේ ෆුඩ් බෝර්ඩ් එ‍කේ යනව වගේ. බය නැතුව වාඩිවෙන්න.”
සුරංගගේ විහිළුවලට මට ඇතිවූයේ ලැජ්ජාවකි. ඒ නිසා බංකුවේ හොඳ හැටි සුව පහසු ලෙස හිඳගත්තෙමි. අප දෙදෙනා අතර මදවෙලාවක් යනකම් පැවතියේ නැහිඬියාවකි. එහෙත් ඔහුට තව දුරටත් එසේ සිටිමට නොහැකි විය.
“මං අවුරැදු පහක් ලංකාවේ හිටියේ නෑ. සමහර විට ඔයාව බඳින්න කෙනෙක් ඉන්නවද දන්නෙත් නෑ. එහෙම නම් මගේ ඉල්ලීම ඉල්ලා අස්කරගන්නවා.”
සුරංග එසේ කියමින් මා දෙස බලා සිටින්නට වූයෙන්, මට කිසිත් කියාගත නොහැකිව මගේ මුව ගොළු විය.
“මහත්තයා, ලොකු නෝනා කතා කරනවා.”
“පියල් යන්න අපි එන්නම්.”
කර කියා ගතහැකි කිසිවක් සිතා ගැනීමට නොහැකිව අතරමංව සිටි මොහොතේ, හෝටල් සේවකයාගේ පැමිණිම දේව දූතයෙකු පැමිණියා සේ දැනෙන්නට විය. සුරංගත් මාත් රත්මල් ගහ යටින් නික්ම හෝටලය තුළට පැමිණෙන තෙක්ම කිසිත් කතා කළේ නැත.
            සුදු සඳ කාළ වර්ණ අහස් කුස ආලෝකමත් කරගෙන සෙමෙන් සෙමෙන් නැග එයි. ඇඳ මතට වී, වීවෘත කර ඇති ජනෙල් පළුව අතරින් ඒ දෙස බලා සිටි මගේ සිත දහවල් සිදුවූ සිදුවිම් වෙත ඇදී යන්නට විය. සුරංගගේ හඬ මා දෙසවනේ දෝංකාර දෙන්නා සේ මට දැනේ. ඔහු ගැන සිතත්දී මා හද අමුතුම ප්‍රබෝධයකින් විකසිත වන්නට වෙයි. එකල සුරංගත් මාත් ඉතා සමීප මිතුරන් සේ හැසිරෙද්දීවත් මෙවන් හැගීමක් මා සිතේ ජනිත වි නැත. ආලය කෙතරම් පුදුමසහගත ද. තරැණවියත් සමග අපේ සිතුවිලි වෙනස් වෙන අයුරැ. මම දෑස් පියාගෙන දහවල් සිදුවිම් එකිනෙක ආවර්ජනය කරන්නට වීමි.

****                ****                ****                ****

“අම්මා මම පුස්තකාලෙට යනවා.....”
            නිවසින් පිටවිමට ඇති ‍හොඳම හේතුව මවට පවසා පැමිණියේ සුරංගගේ හෝටලයටයි. දුර සිට බලද්දී හෝටලය කුඩා වුවත් අලංකාර ලෙස දිස්වෙයි. මා එහාට යන විට කිහිප දෙනෙකු හැර එතරම් සෙනගක් නොවීය. හෝටලයට ගොඩ වූ මට අලුත් අලුත් වෙනස්කම් කිහිපයක්ම දැකගත හැකිවුණි. ඉන් මගේ දෑස් දැඩිව යොමු උනේ පිළිගැනිම් කවුන්ටරයක් අලුතෙන් එක්කර තිබිමත්, හැඩකාර යුවතියක් පිළිගැනීමේ නිලධාරිනිය ලෙස එහි සිටිමත්ය. මම ඇය අසලට ගියෙමි.
yes madam can I help you?”
“මට මිස්ටර් සුරංගව හමුවෙන්න පුළුවන්ද?”
“සර් තවම ඇවිත් නෑනෙ. තව ටික වෙලාවකින් එවි. මැඩම් එතකන් වාඩිවෙලා ඉන්න.”
            මම තණ බිස්ස දිගේ ඇවිදගෙන ගඟ දෙසට පිය නැගුවෙමි. තවත් අලුතෙන් බංකු කිහිපයක්ම තැනින් තැන පිහිටුව තිබුණි. මධුසමය ගත කිරීමට පැමිණි ජෝඩු කිහිපයක් ඒ මත හිඳ ආදර බස් දොඩති. මෝටර් බයිසිකලයක් එන හඬින් මම හැරී බැලුවෙමි. සුරංග පැමිණි හෝටලයට ඇතුල් විය. පිළිගැනීමේ නිලධාරිනිය ඔහුට යමක් පවසනු මට පෙනේ. සුරංග ඈ සමග කතා කරන විට මගේ සිතේ ඊර්ෂ්‍යාවක් උපදී. සුරංග මොන එහෙකට මෙච්චර ලස්සන කෙල්ලෙක් ගත්තද මන්ද. මම මගේ සිතත් සමග ප්‍රශ්න කරන්නට වීමි. ඇය මා වෙත ඇඟිල්ල දිගුකර සුරංගට මාව පෙන්වයි. සුරංග මා දෙස බලද්දි ඔහුගෙන් මගහැරීම සඳහා ගඟ දෙසට හැරැණෙමි. ඈත කඳුවළල්ල දෙස බලා සිටින මගේ සිතට දැන් දැන් ඔහු පැමිණේවි යැයි සිතේ. හද ගැස්ම වැඩිවෙනවා සේ දැනෙයි. නුපුරැදු මොහොතක නුපුරැදු ගමනක් පැමිණි මට විඳින්නට සිදුවි ඇත්තේ නුපුරැදු අත්දැකීමකි. මට එකවරම මෙතනින් පළා යන්නට සිතුණි.
“දැන්ද ආවෙ?”
            මම තිගැස්සී හැරී බැලුවෙමි. ඒ සුන්දර තරැණයා මා අසලය.  මම ඔහු දෙස බලා සිටින්නට වීමි.

“දැන්ද ආවෙ?” ඔහු නැවතත් ඇසීය. මම,
“ටිකක් වෙලා” යයි පැවසුවෙමි.
“හදිස්සියෙම් මෙහේ එන්න හිතුනේ....?”
මම පිළිතුරැ සොයන්නට වීමි.
“මේ.... ළඟට ආපු නිසා එන්න හිතුණා. ලස්සන තැනනෙ.”
“ආ.... තැන විතරද ලස්සන? ඉන්න කට්ටිය ලස්සන නැද්ද?”
“නැත්තෙ මොකද. හෝටලේට ඇතුල්වෙනකොටම ලස්සන ලස්සන අය ඉන්නේ...”
            මා එසේ පැවසූ විට සුරංග හඬනගා සිනාසෙන්නට විය.
“ඇයි ඔයාට ඉරිසියා හිතුණ ද?”
“නෑ. මං කවුද එහෙම හිතන්න.”
“මේ මේ උගුරට හොරා බේත් කන්න හදන්න එපා කුමාරිහාමි.”
            මම කිසිත් නොකියා බිම බලාගත්තෙමි.
“මුකුත් බිව්වෙත් නෑ නෙ. යමු මගේ ඔෆිස් රෑම් එකට.”
            අලංකාර ලෙස සැලසුම් කරඇති කාර්යාල කාමරයේ වූ සුව පහසු අසුනක හිඳ ගත්තෙමි. සුරංග සේවකයෙකුලවා උණුසුම් තේ කෝප්පයක් ගෙනැවිත් දුන්නේය. සුරංගගේ මේසය අසලට කෙලින්ම හෝටලයට ඇතුල්වන දොරටුවත් පිළිගැනීමේ නිලධාරිනියත් පෙනේ. මම තේ එක අතැතිව ජනේලය අසලට ගියෙමි. ඈත පරිසරය ඉතා චමත්කාර ලෙස එහි සිට බලාගත හැක. සුරංග සෙමෙන් මා අසලට පැමිණ මගේ උරහිසට අතක් තැබීය. ඉන් මට නුහුරු  නුපුරුදු හැඟීමක් ඇතිවිය.
“ලස්සන ද?”
            සැබැවින්ම ඉතා මනරම් පරිසරයක පිහිටි අලංකාර හෝටලයකි. මම හිස සලා ඒ බැව් ඔහුට දැනුම් දුනිමි. ඒත් හෝටලයට ඇතුළු වු මොහොතේ සිට මොකද්දෝ නොසන්සුන් බවකින් මගේ හිත වෙලාගෙන තිබේ. ඒ සියල්ලටම මුල අර රිසෙප්ෂන් එකේ ඉන්න යුවතියයි. මට ඇගේ වතගොත අහන්න සිතුනත් ඒ සිතුවිලි යටපත් කරගන්න නිරර්තක උත්සහක යෙදුණෙමි.
“අමා, ඔයා මෙතන හිටියට හිත වෙන කොහේද?”
“න්, නැ නැ එහෙම මොකුත් නෑ.”
“නැති වෙන්න බෑ. මොනව හරි ප්‍රශ්නයක් තියේනම් අහන්න.”
            මම හිස් වූ තේ කෝප්පය මේසය මත වූ බන්දේසිය මත තබා යළි පුටුවේ ඉඳගත්තෙමි.
“අර.... රිසෙප්ෂනිස්ට් කොහේ එක්කෙනෙක්ද?”
“මාතලේ ළමයෙක්.”
“බැඳල ද?”
“නෑ”
“ඔයාගෙ මේසෙ ගාවට එයාව හොඳට පේනවා නේද? උදේ ඉඳන් හැන්දැ වෙනකම් බල බලා ඉන්න පුළුවන් නේද?”
“ඔව් ඔව් ඇයි නරකද?”
            සුරංග කිසිදු පැකිලිමකින් තොරව එසේ කියද්දී මගේ පපුව හරහා විදුලි සැරයක් ඇදි ගියාසේ දැනුණි. මගේ සිතට දුකක් ඇති වුණි. 
“උදේන්ම හොටලේට ගොඩවෙනකොටම මුව පුරා සිනාසෙන සුන්දර කෙල්ලෙක් දොරගාවම ඉන්නකොට, කාට උනත් ආපහු සැරයක් මෙහාට එන්න හිතෙනවා.” 

             සුරංග දිගින් දිගටම ඇයව වර්ණනාකරන්නට වීම මට තවත් අසා සිටිමට නොහැකි තැන එකවරම එතැනින් පිටවීමි. 

සුරංගව  දැකබලාගැනීමේ සිතේ කැටිකරගත් ආශාවෙන් හෝටලේට ගිය මට, ඉන් පිටවිමට සිදුවූයේ සිත් වේදනා‍වෙනි. මම විගසින් බස් නැවතුම්පොළ වෙතට පිය මනින්නට වීමි. හදිසියේම පැමිණි සුරංගගේ මෝටර් බයිසිකලය මගේ ගමන අවහිර කොට නැවැත්තුවේ ය.


තරු

මතු සම්බන්ධයි.

ඔයාලගෙ හිතට දැනුනයමක් තියේනම් ලියල යන්න අමතක කරන්න එපා.






18 comments:

  1. ඕකනේ බැරි මගුල. කෙල්ලෝ නම් ඔහොම්මයි. මෙච්චර දවසක් බලාගෙන හිටියේ ඔය ප්‍රශ්නේ අහනකන්. ඇහුවා විතරයි සද්ද නෑ.

    ReplyDelete
    Replies
    1. වචනෙන් නැති උනාට ක්‍රියාවෙන් කැමත්ත ලැබිල වගේ...

      Delete
  2. ගෑනු හිත කියන්නේ ඕකට තමා. ඇතුවත් බෑ නැතුවත් බෑ. කට වහං හිටිය නං ඉවරයි නෙව..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හරියට කාළගුණේ වගේ අනාවැකි කියන්න අමාරැයි.

      Delete
  3. ලස්සනයි. ඇත්තටම මොකක්ද අමුතු ගතියක් තියෙනව ..සුලබ මාතෘකාවක් වුනාට කියවන්න ආස හිතෙන ගතියක් ...

    ReplyDelete
    Replies
    1. එවැන්නක් හිතෙනවනම්, දැනෙනවනම් එය මට සතුටක් බින්දි.

      Delete
  4. අහනකම් මැරෙන්නෙ හදනවා.. ඇහුවට පස්සෙ මරන් කන්න හදනවා... හයියෝ සංසාරේ...

    ReplyDelete
    Replies
    1. ඔයාලත් ප්‍රවේසමෙන්....

      Delete
  5. ක්‍රියාවෙන් කැමැත්ත පෙන්නන ගොඩක් අය අන්තිමට එයාගේ වෙඩින් එකට එන්න කියලා කාඩ් එක ගෙනත් දෙනකන් දන්නේ නෑ. " අයියෝ සල්ලි"

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි එහෙම ලෙඩත් වැටෙනව තමයි.

      Delete
  6. "සුරංග " හිතට සමීප නමක් ! කතාව ලස්සන ඇති කියල හිතෙනවා ...මුල ඉදලා කියවන්න බැරි වුනානේ ,උත්සහයක් දරන්නම් පුළුවන් වෙලාවට කියවන්න

    ReplyDelete
    Replies
    1. රොහානිව සාදරෙන් පිළිගන්නවා. "නෙතු අද්දර" හැඟීම්බර ආදර කතාවක්. හැකි වෙලාවක කියවන්න. දිගටම රැඳී සිටින්න.

      Delete
  7. හ්ම් ඔක්කොම කියවන්න එපැයි නේද?? කියවලාම කමෙන්ට් කරන්නම් අක්කේ!

    ReplyDelete
  8. මුලින්ම වර්ෂව සාදරෙන් පිළිගන්නවා තරැ අරණට. ඔව් පුළුවන් වෙලාවක සම්පූර්ණ කතාවම කියවලා කමෙන්ට් කරන්නකෝ.

    ReplyDelete
  9. //ඔයාලගෙ හිතට දැනුනයමක් තියේනම් ලියල යන්න අමතක කරන්න එපා.// මුළු කතාවම දැනුන නේ.. :)

    ReplyDelete
    Replies
    1. ඔයා ලිව්ව පොත් වල නම් කියන්නෙ නැද්ද..

      Delete
    2. ස්තූතියි චන්දන. කාලෙකින්.
      දැනට පරිගණක ක්ෂේත්ර යේ තමයි මගේ පොත් තියෙන්නේ. පොඩි ඉඟියක් දෙන්නම් සිංහලෙන් පරිගණක පොත් ලියන එකම කාන්තාව මම කියා නිහතමානීව කිව හැකියි.

      Delete
    3. අන්තර්ජාලයේ පවා මා විසින් ලියපු පොත් සොයා ගන්න පුළුවන්

      Delete